You are currently viewing කිරි කළයක් අපවිත්‍ර කිරීමට ගොම බිඳක් ..

කිරි කළයක් අපවිත්‍ර කිරීමට ගොම බිඳක් ..

බුදු සසුන පෙර කිසි දා නොවු විරු ආකාරයේ තර්ජනයකට මුහුණ දී ඇතැයි කලකට පසුව කරලියට පැමිණි ඇල්ලේ ගුණවංශ හිමිගෙන් අසන්නට ලැබිණ. ඒ සමගම මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමි නමක් දේශනාවක් පවත්වමින් 40,000ක් පමණ වන භික්ෂූන් වහන්සේලාගෙන් විවිධාකාරයේ (ලිංගික චෝදනා ඇතුළුව) චෝදනා එල්ල වී ඇත්තේ සියයට දශම එකකටත් වඩා අඩු සංඛ්‍යාවකටයැයි දෙසූහ. මේ සියලු දෙනාම ඉලක්ක කර ගෙන ඇත්තේ පසුගියදා බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියත් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අටමස්ථානාධිපති නායක හිමි ගේ කතා පුවත ජනමාධ්‍යයේ පළ වීමෙන් ඇති වු ආන්දෝලානාත්මක තත්වය යි.

සිද්ධියට අදාල දැරිය වෛශ්‍යාවක් විය හැකියැයි සර්ව ජන පක්ෂයේ නායකයෙකු වන දිලුම් අමුණුගම පැවසූ බවද වාර්තා විය.

ලිංගික අපචාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පළමු හෝ එකම භික්ෂුව අටමස්ථානාධිපති හිමි නොවන බව සත්‍යයකි. මීට පෙර එවැනි චෝදනා එල්ල වී අධිකරණ නඩු විභාගයෙන් පසුව දඬුවම් ලැබු භික්ෂූන් වහන්සේලා ගැන ද අපි දනිමු. සමාජ පෙරළියකට මුල් පියවර තැබු අගමැති බණ්ඩාරනායක මහතා ඝාතනය කෙළේ ද භික්ෂුවකි. එම ඝාතනය සැලසුම් කෙළේ ද කැළණිය රජමහා විහාරයේ අධිපතිව සිටි මාපිටිගම බුද්ධරක්ඛිත හිමි බව තවමත් අප මතකයේ රැඳි ඇත.

ප්‍රශ්නය වන්නේ මෙවැනි සිද්ධීන් ප්‍රතිශතය අනුව ගණන් බලා හෑල්ලුවට ලක් කිරීමේ අවමන් සහගත උත්සාහයයි. සිදුහත් කුමරු බුදු බව පතා රජ මාලිගාවෙන් පිට වූයේ සියලු සැප සම්පත් අතහැර ය. ඉන් පසු සසුන් ගතවන සෑම කෙනෙකුම ලිංගික සම්බන්ධතා ඇතුළු ගිහි ජීවිතයේ සියලු සැප සම්පත් අතහැරිය යුතුය. එය කඩ කරන අයට හිමි දඬුවම් විනය පිටකයේ පැහැදිලිව දක්වා ඇත. එමනිසා අටමස්ථානාධිපති හිමි හෝ වෙනත් භික්ෂුවක් විනය පිටකයේ දක්වා ඇති වැරදිවලට අමතරව රටේ නීතිය අනුව කිසියම් ආකාරයේ වැරැද්දක් කර ඇතිනම් රටේ නීතියට අමතරව සාසනයේ චිරස්ථිතිය සඳහා ඇති නීතියට ද යටත් විය යුතුය. එවැන්නක් බෞද්ධයින් වශයෙන් අප අපේක්ෂා කරන්නේ භික්ෂූන් වහන්සේලා ට පුද සත්කාර කිරීම ඇප උපස්ථාන කිරීම පිළිවෙතක් මෙන්ම චාරිත්‍රයක් ද වන නිසාය. භික්ෂූන් වහන්සේ කෙනෙකු මහ මග හමු වුවත් දොහොත් නමා වැඳීමේ පුරුද්දක් තවම පවතී.

බුද්ධ ධර්මයේ ඉගැන්වෙන දේට අමතරව ඒ හා බැඳුනු චාරිත්‍රවාරිත්‍ර පවතින්නේ භික්ෂුන් වහන්සේලාගෙන් කිසි විටෙක වැරැද්දක් නොවන විශ්වාසයෙනි. ක්ලේශයන් ප්‍රහීන කළ බුද්ධ පුත්‍රයානන් කෙනෙකු අතින් වැරදි වීම කිසි විටෙක අපේක්ෂා නොකෙරේ. රටේ පවතින නීතිය අනුව කිසිම කෙනෙකු අධිකරණ නඩු විභාගයකින් තීරණය වන තෙක් නිවැරදි යැයි පිළිගැනීමක් පවතින නමුත් පූජ්‍ය පක්ෂයට එවැනි තත්වයක් හිමි නොවිය යුතුය. ඒ ඔවුන් සමාජය හික්මවීමටත් නිවැරදි මාර්ගයේ යොමු කිරීමටත් කැපව සිටින නිසාය. ජනතාව ඔවුන් නඩත්තු කරන්නේත් පුද පූජා පවත්වන්නේත් එම නිසාය.

එහෙත් වර්තමානයේ භාවිතය වී ඇත්තේ අධිකරණ නඩු විභාගයකින් තීරණය කරන තෙක් පූජකයන්ද නිදොස්යැයි සැලකීමය. අටමස්ථානයේ අධිපති හිමිට බරපතළ චෝදනාවක් එල්ල වී තිබුණ ද ඔහු තවමත් අටමස්ථානයේ අධිපති ය. තවමත් චීවරධාරීය. (සාමාන්‍යයෙන් මෙවැනි අපරාධයක් පිළිබඳව චෝදනාවක් ලැබු අයෙකු සම්බන්ධයෙන් පොලීසිය ක්‍රියාත්මක වූ ආකාරයට වෙනස්ව නීතිය ක්‍රියාත්මක කිරීමේ වෙනත් ආයතන මැදිහත් වූ ආකාරය ගැන අප මෙහිදී සාකච්ඡා කරන්නේ නැත.) අඩුම වශයෙන් තම නිර්දෝෂී භාවය තහවුරු කරන තෙක් හෝ පූජකවරය අත්හිටුවීමේ ක්‍රමයක් නැත. එවැනි අමතක කිරීම් හෝ මගහැරීම් විවේචනය කිරීම බුද්ධ සාසනයට කරන අපහාසයක් සේ හැඳින්වීම සුලබ කාරණයකි. ඇල්ලේ ගුණවංශ හිමි බුද්ධ සාසනයට අනතුරක් ඇතැයි පවතින්නේ එවැනි චෝදනා බැහැර කිරීමේ අරමුණෙනි.

එමනිසා අටමස්ථානාධිපති හිමි තවමත් නිල වශයෙන් එම තනතුරේම වැඩ සිටිති. එම තනතුරේ ඇති බල මහිමය නිසා පොලිසිය ක්‍රියාත්මක කිරීමට ළමා ආරක්ෂාව සඳහා ඇති ආයතනවලට මැදිහත් වීමට සිදු විය. ප්‍රමාද වී හෝ යුක්තිය ඉටු වනු ඇතැයි අපි ද බලාපොරොත්තු වෙමු.

එහෙත් ඒ සියල්ල ඉවසා වදාරණ සමාජ තත්වයක් පැවතීම ඛේදනීය තත්වයකි. නිසි කලට අව් වැසි නොලැබීම දේශපාලන ප්‍රශ්නයක් බවට පත් කර ගැනීමට තරග කරන දේශපාලකයන් සහ ඔවුන්ගේ පක්ෂ මෙම අපචාරයේ දී සම්පූර්ණයෙන්ම නිහඬය. ඒ ගැන පාර්ලිමේන්තුව කල් තැබීමේ අවස්ථාවේ විවාදයක් කිසිවෙකු ඉල්ලා සිටින්නේ නැත. අප ඉහතින් දැක් වූ ආකාරයට දිලුම් අමුණුගම වැනි දේශපාලකයන් උත්සාහ කරන්නේ එම දැරිය ගණිකාවක් සේ හඳුන්වා සිද්ධිය යටපත් කිරීමටය. ගණිකාවක් වුවත් බාල වයස්කාරියක් සමග ඇයගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ලිංගික සම්බන්ධතා පැවැත්වීම අපරාධයක් බව මෙම තරුණ දේශපාලකයා දන්නේ නැති ද?

මේ සියල්ලෙන් මතුවන්නේ ධනය සහ බලය ඇත්නම් ඕනැම දෙයක් කිරීමට නිදහස පවතී යන්නයි. වාර්තාවන ආකාරයට එම බාල වයස්කාර දැරිය අටමස්ථානාධිපති හිමිගේ භාරයට පත්ව ඇත්තේ ඇගේ මවට මූල්‍යමය පෙළෙඹවීම් ලබා දීමෙනි.  නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් පසුබට වී ඇත්තේ ද ධනය සහ බලය යන කාරණා දෙක නිසාය. දේශපාලකයින් මෙම අපචාර චෝදනාව ගැන මුනිවත රකින්නේ   බලය නිසාය. මොවුන් තරහ කර ගත හොත් ඡන්ද ලබා ගැනීමට නොහැකි වනු ඇතැයි යන බිය නිසාය. දේශපාලකයන්ගේ ඒකායන මාර්ගය වන්නේ හොඳින් හෝ නරකින් දේශපාලන බලය අත්පත් කර ගැනීම සහ තමන් අත ඇති දේශපාලන බලය රැක ගැනීම විනා යුක්තිය හා සමාජ ගුණ ධර්ම රැකීම නොවේ. මෙම දේශපාලකයින් දරිද්‍රතාවය ගැන කතා කරන්නේ බලය ලබා ගැනීමට දික් කරන සීනි බෝලයක ආකාරයෙන් විනා දුප්පත්කම තුරන් කිරීමට නොවේ.

අම්මා කෙනෙකු සිය දියණිය මුදලට විකුණන්නේ දුප්පත්කම නිසාය. තරුණියක් වෛශ්‍යා වෘත්තියට පෙළෙඹෙන්නේ දුප්පත් කම නිසාය. ආත්ම ගරුත්වයක් ඇති කිසි කෙනෙකු මෙවැනි දේට පෙළඹෙන්නේ නැති බවට වෙනත් සාක්ෂි අවශ්‍ය නැත. එමනිසා මෙවැනි අපචාර වැළැක්වීමට ඇති සාර්ථකම ක්‍රියා මාර්ගය දුප්පත්කම තුරන් කිරීම පමණි. සමහර අවස්ථාවල නීතිය අනුව වැරදිකරුවන්ට දඬවම් ලබා දීමේ හැකියාව පවතින නමුත් ප්‍රශ්නයට පිළිතුරක් නොවේ.  

මෙහිදී තවත් කරුණක් සිහිපත් කිරීම වැදගත් ය. කිරි කළයට ගොම බිදක් වැටීමෙන් කිරි කළයම අපවිත්‍රවන්නේය යන්න ගැමි පිරුළකි. කිරි කළයක් වන සාසනය එක පුද්ගලයෙකුට සම්පූර්ණයෙන්ම අපවිත්‍ර කළ හැකි ය. එය වසා ගැනීමට ප්‍රතිශතය පිරුවටක් නොවේ.      

Leave a Reply