මේ දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරයේ පැවැත්වෙන එක්සත් ජාතික්ගේ 81 වැනි වාර්ෂික සම්මේලනය මෙතෙක් පැවති අන් සියලුම මහා සභාවලට වඩා වෙනස් ය. ඒ අන් කිසිවක් නිසා නොව එහිදී කතා කළ ලොව ප්‍රබල රාජ්‍යය කීප දෙනෙක්ම සංවිධානයේ අරමුණු සහ පරමාර්ථවලට හාත්පසින්ම වෙනත් වාග් ප්‍රලාප ඉදිරිපත් කළ නිසාය. එක්සත් ජාතින්ගේ ප්රඥප්තියේ දැක්වෙන ආකාරයට එහි පරමාර්ථ සහ ප්‍රතිපත්ති වන්නේ සාමයට ඇති තර්ජන වැළැක්වීම සහ ඉවත් කිරීම ද ආක්රමණික ක්‍රියා හෝ සාමය බිඳී යාමට තුඩු දෙන ක්‍රියා මැඩ පැවැත්වීම ද අරභයා ප්‍රබල විධි විධාන යෙදීම යනාදී වශයෙනි. එමෙන්ම සාමය බිඳී යා හැකි පරිද්දෙන් ඇති වන ජාත්‍යන්තර භේද හෝ ආරවුල් සමගි සමාදානයෙන් සමථයට පත් කිරීම හෝ බේරුම් කිරීම ද පරමාර්ථ සහ ප්‍රතිපත්ති ලෙස සඳහන්ව ඇත.

එක්සත් ජාතින්ගේ පරමාර්ථ සහ ප්රතිපත්තිවල එසේ සඳහන් වුවත් මෙවර වාර්ෂික මහා සභාවේ දී ලොව ප්‍රබලම රාජ්‍යයැයි හැඳින්වෙන එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවැත් වූයේ නට්සි ජර්මනියේ හිට්ලර් හෝ නොකල ආකාරයේ අතිශය බියකරු සමස්ත මානව වර්ගයාම අනතුරට හෙළන ආකාරයේ අශික්ෂිත කතාවකි. සාමයට ඇති තර්ජන ඉවත් කිරීම සහ ඒවා වැළැක්වීම වෙනුවට ඔහු පාරම්බෑවේ ඔහුගේ අණසකට හිස නොනමන රාජ්‍යයන් මිහි මතින් තුරන් කරන ආකාරයයි. දැනට ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායෙලයේ ප්‍රහාරවලට ලක්ව සිටින ඉරානය ඔහු නියම කරන ආකාරයේ ගිවිසුමකට එළඹෙන්නේ නැතිනම් මුළු මහත් රටම විනාශ කරන බවට තර්ජනය කෙළේය. එමෙන්ම ප්‍රහාරය ආරම්භයේ දී ඉරානයේ රාජ්‍ය නායක අයතොල්ලා කමේනි ඝාතනය කිරීම තම ජයග්‍රහණයක් සේ හුවා දැක් වූයේය.
එසේ වුවත් මෙම ප්‍රහාරයේ දීම ඉරානයේ ප්‍රාථමික පාසලක කුඩා ළමයින් 160කට වැඩි පිරිසත් ඇමරිකානු බෝම්බ ප්‍රහාරවලින් මරා දැමීම ගැන සඳහන් කෙළේ නැත.
ඇමරිකානු නායකයා නිදහස් ස්වෛරී රාජ්‍යයක් වූ වෙනිසුවෙලාවේ ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ පැහැර ගෙන යෑම හුවා දැක් වූයේ තවත් ජයග්‍රහණයක් සේය. මදුරෝ සහ ඔහුගේ බිරිඳ තවමත් නිව්යෝර්ක් නගරයේ සිර ගෙයක කොටු කර සිටී.
”..එක්සත් ජනපදයේ අතිශය වැදගත් වුවමනාවන් තහවුරු කිරීමට අප සතු අසම සම යුද ශක්තිය යොදා ගනු ඇත. එමගින් කියුබාවේ පවතින තත්වය මූලික වශයෙන්ම වෙනස් කිරීමට බලාපොරොත්තු වෙමු..”
ඉන් අදහස් කෙළේ වෙනිසුවෙලාවේ මෙන් රාජ්‍ය නායතයා පැහැර ගෙන යෑමට නොහැකි වුවහොත් කුරිරු ප්‍රහාරයකින් කියුබාවේ පාලනය වෙස් කිරීමට සූදානම් ය යන්නයි.

රටේ නායකයා පැහැර ගෙන යෑමට අමතරව එහි තෙල් සම්පත් හිමි කර ගෙන ඉන් ලැබෙන ආදායම් එක්සත් ජනපද භාණ්ඩාගාරයට බැර කිරීම ද අමු අමුවේ කෙරෙන මංකොල්ලයකි. ජනාධිපති ට්‍රම්ප් එය හැඳින් වූයේ ජයග්රාහකයාගේ අයිතියක් සේය.
ජනාධිපති මදුරෝ පැහැර ගෙන යෑමට වෙනිසුවෙලාවේ හමුදාවේ සහ අනෙකුත් රාජ්‍ය කායකයන්ගේ සහාය ලබා ගැනීමට හැකි වුවද එවැන්නක් කියුබාවේ ක්‍රියාත්මක කිරීම අපහසු නිසා උපරිම හමුදා ශක්තිය යොදා ගැනීමට බොහෝ දුරට ඉඩ ඇත. දශක හතකට ආසන්න කාලයක් ඇමරිකාවේ නීති විරෝධී සම්බාධකවලට ලක්ව සිටින කියුබාවේ ජන ජීවිතය පත්ව ඇත්තේ ඛේදනීය තත්වයකට බව අමතක නොකළ යුතුය.
එක්සත් ජාතීන්ගේ මහා සභාව ඇමතු ඇමරිකා එක්සත් ජනපදයේ රැකවරණය යටතේ සිටින ඊශ්‍රායෙලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු ද පැවැත් වූයේ එවැනිම අශික්ෂිත කතාවකි. මෙම පුද්ගලයා අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි අන්තර්ජාතික අපරාධ අධිකරණය නියෝගයක් නිකුත් කර ඇති නමුත් එය ක්‍රියාත්මක කිරීමට කිසිම රාජ්‍යයක් ඉදිරිපත් වන්නේ නැත. යුද විරෝධියෙකු වශයෙන් හැඳින්වෙන නිව්යෝර්ක් නගරයේ නගරාධිපති සොහ්රාන් මම්ඩානි ඊශ්‍රායෙල් අගමැති නිව්යෝර්ක් නගරයට පැමිණිය හොත් අත් අඩංගුවට ගන්නා බවට කලින් තර්ජනයක් කළ තිබුණ ද ඇත්ත වශයෙන්ම සිදු වූයේ නිවියෝර්ක් පොලීසිය බෙන්ජමින් නෙතන්යාහුගේ පැමිණීමට එරෙහිව විරෝධතා දැක් වූ අය අත් අඩංගුවට ගැනීමය. අත් අඩංගුවට පත් වූවන් අතර ලෝක ප්‍රකට කලාකරුවන් වූ බවද වාර්තාවේ.
ඇමරිකා එක්සත් ජනපදයේම නිර්මාණයක් වූ ඊශ්‍රායෙලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු ගේ කතාව ද ඔහුගේ ස්වාමියාගේ කතාවට වෙනස් නොවේ. සමහර විචාරකයින් පවසන ආකාරයට යථාර්ථය වන්නේ ඊශ්‍රායලය ඇමරිකානු ප්‍රතිපත්තිය මෙහෙයවන බව වුවත් ඒ දෙරටේම ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග එකිනෙතට මැනැවින් ගැලපෙන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.
ඊශ්‍රායෙල් නායකයා ද ගාසා තීරයේත් බටහිර ඉවුරේත් සිදු කරන මිනිස් ඝාතන සහ දේපොළ විනාශය ගැන කතා කෙළේ ආඩම්බරයෙනි. බෙන්ජමින් නෙතන්යාහු ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ ඊශ්‍රායෙල් හමුදා සිදු කරන ජනඝාතනයට එරෙහිව නැගී සිටින සටන්කාමීන් හැඳින් වූයේ මිහිතලයේ සිටින මිප්ලේච්ඡතම මිනිමරුවන් සේය. ඔහු ද සින්වාර් හනියේ වැනි හමාස් නායකයන් ඝාතනය කිරීම ගැන පාරම්බෑවේ සිය අනුග්‍රාහකයා මෙනි. පලස්තින ප්‍රදේශවල ජනඝාතනයක් සිදු වන්නේයැයි කීම මෙම ශතවර්ෂයේ මහා ම පචයක්යැයි ඔහු සමුළුව අමතමින් කීවේය. මීට අමතරව 2024 නොවැම්බර් මස ඊශ්‍රායෙල් ඔත්තු සේවා මගින් ජංගම දුරකතනවලට සවි කරන ලද ද්‍රව්‍ය පුපුරුවා හැරීමෙන් කාන්තාවන් සහ ළමයින් සිය ගණනාවක් මරණයට පත් කිරීම අගය කෙළේ එහි ආකෘතියක් මහා මණ්ඩලයේ ප්‍රදර්ශනය කිරීමෙනි.

ඔහු ඉන් අදහස් කෙළේ එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ කොමිසමක් 2025 සැප්තැම්බර් නිකුත් කළ වාර්තාවකින් ඊශ්‍රායෙලය ගාසා තීරයේ ජන ඝාතනයක් සිදු කරන බව පිළිගෙන තිබීම හෑල්ලුවට ලක් කිරීම ය.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද ඉරානයේ යුද අපරාධ සිදුකෙළේයැයි පිළිගැනීමට සාධාරණ හේතු පවතින බව එක්සත් ජාතීන්ගේ තොරතුරු සෙවීමේ කොමිසමක් වාර්තා කර ඇති බවද සැලකිල්ලට ගත යුතුය.
මීට අමතරව නේටෝ රටවල් වෙනුවෙන් රුසියාව සමග යුද වැදි සිටින යුක්රේනයේ ජනාධිපති ව්ලැඩ්මීර් සෙලන්ස්කි ද එක්සත් ජාතින්ගේ මහා මණඩලය ඇමතුවේ රුසියාවට එරෙහි යුද්ධයට අවි ආයුද ලබා ගැනීමට එක්සත් ජනපදය සහ වෙනත් රටවල් සමග ඇති කර ගත් ගිවිසුම් සහ එකඟතා හුවා දැක්වීමටය. රුසියාවට එරෙහිව කරන යුද්ධයේ දී එම රට වඩාත් දුර්වල කොට පරාජය කිරීම සඳහා වඩ වඩාත් සම්බාධක සහ තහංචි පනවන ලෙස ඔහු ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටියේ සාමය උදා කිරීමේ අවස්ථා අමතක කිරීමෙනි.

පුදුමයට මෙන් සාමය සහ නීතිය ශක්තිමත් කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියේ සම්බාධක සහ තහංචිවලින් හොඳටම හෙම්බත්වී සිටින ඉරානය සහ නොනවත්වා ඊශ්‍රායෙලයෙන් එල්ල කරන ගුවන් සහ මිසයිල ප්‍රහාරවලට ලක්ව සිටින ලෙබනනය පමණි. ආරවුල් විසඳා ගැනීමට සාකච්ඡා සහ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියා මාර්ග ගත යුතු බව ඉරාන ජනාධිපති අවධාරණය කෙළේය. ලෙබනනයේ අගමැති ගේ දුක්ගැනවිල්ල වූයේ තම රටට එරෙහිව සිදු කරන සාහසික අපරාධ ඉදිරියේ ජාත්‍යන්තර ප්‍රජාව නිහඬව සිටීම ය.
අප බිහි කර ඇත්තේ යුද අවි ආයුධ ගලා යෑමට සියලු පහසුකම් ඇති එහෙත් විපතට පත ජනතාවට ආහාර ලබා ගැනීමට තහංචි පනවන ලෝකයක්යැයි නේපාලයේ අගමැති බාලේන්ද්‍ර ෂා පෙන්වා දුන්නේය.
කලින් සඳහන් කළ ආකාරයට ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීමට ජාත්‍යන්තර ප්‍රජාවේ ආශීර්වාද මැද පිහිටුවා ගත් එක්සත් ජාතින්ගේ සංවිධානය එහි මහලේකම් ඇන්නියෝ ගුටරෙස් ද පිළිගන්නා ආකාරයට අද සම්පුර්ණයෙන්ම අවලංගු කාසියක් බවට පත්ව ඇත. ගෝලිය බලය හමුවේ ජාත්‍යන්තර නිතිය යනුවෙන් අද කිසිත් ඉතිරිව නැත. ආදර්ශය බවට පත්ව ඇත්තේ බලය හා ශක්තියයි. අන්තර්ජාතික අපරාධ අධිකරණයේ නිලධාරීන් සහ විනිශ්චයකරුවන් ඇමරිකාවේ සම්බාධකවලට ලක්ව සිටිති. එම අධිකරණයේ බලය ක්‍රියාත්මක වන්නේ ආසියා අප්‍රිකා රටවල් සම්බන්ධයෙන් පමණි.
මෙවැනි වාතාවරණයක් තුළ අප ගමන් කරමින් සිටින්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි ආරක්ෂක මණ්ඩලය හුදු ප්‍රේක්ෂකයන් බවට පත් කරන, මංකොල්ලකාරී අධිරාජ්‍යවාදී අඳුරු අතීතය සිහිපත් කරන භයානක ලෝකයකටය. සතුරු බලවේග සියල්ල සමූලාඝාතනය කර ලොවම සිය අණසක යටතට ගත හැකියැයි සිහින මවන නායකයන් ගේ ලෝකයකටය. කෘත්‍රීම බුද්ධිය සහ නූතන තාක්ෂණය මගින් සියල්ල ජය ගතහැකියැයි විශ්වාස කරන ලෝකයකටය.
වර්ධනය වන සමාජ ආර්ථික යථාර්ථය තුළ තීරණාත්මක වන්නේ නිවැරදි දේශපාලන තීරණ ගැනීමට සහ ඒ වෙනුවෙන් නොසැලී සිටින නායකත්වයක් ගොඩ නගා ගැනීම ය. සාමය ගැන කතා කරමින් යුද්ධය එකම ක්‍රියා මාර්ගය බවට පත් කර ඇති සමාජයක එය දියෙන් කිරි වෙන් කර ගන්නාක් මෙන් ශූක්ෂම ක්‍රියාවකි.
මෙම ලිපිය අවසන් කිරීමට සූදානම්වත්ම මට ඇස ගැසුණු වාර්තාවකින් මෙය වඩාත් තහවුරු විය. ඒ යුද්ධය ප්‍රශ්න විසඳා ගැනීමේ සහ සිය බලය තහවුරුකර ගැනීමේ එකම ක්‍රියා මාර්ගය බවට පත් කර ගෙන සිටින ඇමරිකා එක්සත් ජනපදයේ තරුණ තරුණියන් 34ක සාම සාධක කණ්ඩායමක් ලංකාවට පැමිණීමය. ජනමාධ්‍යයෙන් උත්කර්ෂවත් ආකාරයට වාර්තා කළ ආකාරයට මෙම පිරිස් උතුරේ සහ මධ්‍යම කඳුකරයේ ඉංග්‍රීසි අධ්‍යාපනය සහ ඇමරිකානු සාමකාමී ජීවන ශෛලිය ස්වේච්ඡාවෙන් උගන්වනු ඇත. ඒ ගැන කිව යුත්තේ ලංකාව වැනි තුන්වැනි ලෝකයේ රටවල සාම අධ්‍යාපනය පතුරුවා හැරීමට වඩා ඒ වෙනුවෙන් වැය කරන සම්පත් සහ යොදවන තරුණ තරුණියන් ඇමරිකාවේ දේශපාලන නායකයන්ට ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය නිසා විනාශයේ මුව විටට පැමිණ සිටින ලෝකය ගලවා ගැනීමේ අවශ්‍යතාවය ගැන පාඩම් කියා දීම වඩාත් වැදගත්ය යන්නයි.
- එක්සත් ජාතින්ගේ සාම දෙවොලට අරක්ගත් යුද්ධයේ රාක්ෂයින්.. - September 30, 2026
- කැළෑව වෙනුවට ගස් දකින දේශපාලන කලාව - September 20, 2026
- වී මෝල් හිමියන්ට අඩු පොලියට ණය දීමෙන් ගොවියාට සෙතක් නැත.. - September 7, 2026