පළාත් සභා ඡන්දය දින නියමයක් නැතිව කල් දමා ඇති සහ වෙනත් ඡන්දයක් පෙනෙන තෙක් මානයේ හෝ නැති තත්වයක් යටතේ වුවද දේශපාලකයන් රට වටා ඡන්ද රැස්වීම් පවත්වමින් ශබ්ද දූෂණය උපරිමයට නංවා ඇති බව පෙනේ. විමල් වීරසිංහ ද ඇතුළත් විපක්ෂයේ ඒකාබද්ධ පෙරමුණ අනුරාධපුරයේ රැස්වීමක් පැවැත්විමට සූදානම් වෙත්ම ජාතික ජන බලවේගය ජනාධිපති ගේ නායකත්වයෙන් රැස්වීම් මාලාවක් සූදානම් කර ඇත. එහි පළමු රැස්විම් දෙක පැවැත් වුණේ කළුතර දිස්ත්‍රික්කයේය. ඒකාබද්ධ විපත්ෂයේ රැස්වීම අනුරාධපුරයේ පැවැත් වු දිනම ජනාධිපති අනුර තුමාර දිසානායක ගේ ප්‍රධානත්වයෙන් පොළොන්රුවේ ජන රැලියක් පැවැත්විණ. ඊට පසුදින අනුරාධපුරායේ ජනතා විමුක්ති පෙරමුනේ තවත් රැලියකි. (නාමල් රාජපත්ෂ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමත් ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමත් අතර ඇති සම්බන්ධතාවය මෙහිදී අමතක කරමු.)
මෙවැනි පරිසරයකින් පැහැදිලි වන්නේ ජනාධිපති ඇතුළත් ජාතික ජන බලවේගය විපක්ෂයේ පෙළ ගැස්ම ප්‍රධාන දේශපාලන මාතෘකාව කර ගෙන ඇති බවය. රට වටා රැස්වීම් පවත්වන්නේ එක අතකින් ඔවුන්ට තවමත් ප්‍රබල ජන මතයක් පවතින බව හුවා දැක්විමට සහ ඊට අමතරව වසර දෙකක් ගත වන විට තමන් විශාල වැඩ කොටසක් නිම කර ඇති බව ප්‍රචාරණය කිරීමට ය. ආණ්ඩුව කරන වැඩ රජයේ මාධ්‍යයෙන් සහ වෙනත් ජනමාධ්‍යවලින් අඩුවක් නැතිව ප්‍රචාරණය වන නිසා මෙම රැස්වීම් පවත් වන්නේ ඊට එහා යන අදහසකින් බව පැහැදිලිය.
ප්‍රචාරක රැස්වීම් පැවැත්වීම පක්ෂ දේශපාලන ක්‍රීඩාවේ ප්‍රමුඛ අංශයකි. වේදිකාව දෙදරවන කතා පවත්වන අයට පක්ෂයේ පිළිගැනීමක් සහ නායකත්වයක් හිමිවිම ද මෙම ක්‍රීඩාවේ කැපී පෙනෙන ලක්ෂණයකි. ලංතාවේ මැතිවරණ දේශපාලනයේ ඉතිහාසය දෙස බලන විට සිරිමා බණ්ඩාරනායක සහ ජේ ආර් ජයවර්ධන වැනි නායකයන් චතුර කතිකයන් නොවුව ද ප්‍රබල නායකත්වයක් හිමි කර ගත්තේ වෙනත් කරුණු නිසාය. වර්තමාන පාර්ලිමේන්තු දේශපාලනයේ එවැනි ආකර්ෂණීය නායකත්ව දුලබ ය. එමනිසා කතිකත්වය ප්‍රබල සාධකයක් ලෙස දේශපාලන පක්ෂ තුළ පැවතීම පුදුමයක් නොවේ.
2022 දී විදේශ ණය ගෙවා ගත නොහැකිව රට බංකොළොත්වීමත් ඒ නිසා දිවයින පුරාම ඉන්ධන පෝලිම් ඇතිවීමත් දූෂණ වංචා ගැන විරෝධයක් සහ දේශපාලන නායකත්වය කෙරේ දැඩි අප්‍රසාදයක් මතුවීමත් විසිඑක් වැනි සිය වසේ දෙවන දශකයේ ජන විඥානයේ හැරවුම් ලක්ෂයකි. 22 ජන අරගලය එහි සංකේතයකි. දේශපාලන පක්ෂ සහ ජනතාව නැතිනම් ඡන්දදායකයන් අතර යා කළ නොහැකි පරස්පරයක් පවතින බව දැක් වූ අවස්ථාවකි. මැතිවරණයෙන් ජයගත් පමණින් පක්ෂයකට හෝ දේශපාලන නායකත්වයකට සුජාත භාවයක් අනිවාර්යෙන්ම නොලැබෙන බව විදහා දැක් වූ අවස්ථාවකි. පොදුජන එක්සත් පෙරමුණේ අපේක්ෂකයා ලෙස සියයට පනහ ඉක්මවා ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් ගෝඨාභය රාජපක්ෂට අනතුරුව පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් තුනෙන් දෙකකට ආසන්න නියෝජනයත් ලබා ගත හැකි වූයේය. අරමුණක් හෝ වැඩ පිළිවෙළක් නොතිබුණු විපක්ෂය අඳුරේ අතපත ගාන තත්වයට පත්විය. ගෝඨාභය රාජපක්ෂ වචනාර්ථයෙන්ම විධායක ජනාධිපති වූයේය. ඔහුගේ මුඛයෙන් පිටවන දේ නීතිය ලෙස පිළිගැනීමට බල කෙරිණ. ඒ සියල්ල තිබිය දී ඔහුට අරගලයෙන් මතු වූ ජනතා විරෝධය හමුවේ ජනාධිපති මන්දිරයේ පසු පස දොරටුවෙන් පැන යෑමට සිදු විය.
ඉන් පසුව ජනාධිපති තනතුරට පත් රනිල් වික්‍රමසිංහ ඉටු කළ කාර්ය භාරය ජනාධිපති ආර් ප්‍රේමදාස ගේ අභාවයෙන් පසුව එම තනතුරට පත් ඩී බී විජේතුගෙ ගේ භුමිකාවට වෙනස් නොවේ.
ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක ජනාධිපති තනතුරට පත් වූයේ මෙවැනි දේශපාලන පසබිමකය. ඔහුට ඊට පෙර සිටි ජනාධිපතින්ට මෙන් ප්‍රකාශිත ඡන්දවලින් සියයට පනහ ඉක්මවා යෑමට නොහැකි වුවත් මනාප ඡන්දවලින් තනතුරට පත්විමට හැකි විය. අනතුරුව පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් තුනෙන් දෙකක බලයක් හිමිවීම යන පැත්තට හෝය්යා කියන ජනතා කැමැත්තයි.
මේ කරුණු සැලකිල්ලට ගත යුතු වන්නේ බලයට පත් ජාතික ජනබල වේගයේ දේශපාලන නායකත්වය දේශපාලන භූමියේ සිදු වූ වෙනස්කම් නොසලකා ක්‍රියා කරන බව පෙන්වා දිමට ය.
22 අරගලයේ ප්‍රධාන ඉල්ලීම වූයේ ක්‍රමයේ වෙනසකි. පහසුවට සිස්ටම් වේන්ජ් නමින් හැඳින් වු ඉන් අදහස් වූයේ ගොඨා ගෝ හෝම් පමණක් නොවේ. ගෝඨා සහ ඔහුගේ නායකත්වයෙන් පැවති පාලන ක්‍රමය දූෂිත කොල්ලකාරි ජනතා ශාපයකි. කුඩු ජාවාරම්කරුවන් ට පාලනයේ රැකවරණය හිමි විය. ජනාධිපති සිරිසේනගේ කාර්ය මණ්ඩල ප්‍රධානි පවා අල්ලස් ලබා ගන්නා විට අත් අඩංගුවට ගැණින. එහෙත් මෙම අපරාධනරුවන් නීතියේ රැහැනට හසු වූයේ නැත. හසුවූවත් පහසුවෙන්ම ගැලවී යාමට හැනි විය.
කුඩුකාරයින් අත් අඩංගුවට ගැනීම සහ අල්ලස් හෝ දූෂණවලට හවුල් දේශපාලකයන් අත් අඩංගුවට ගෙන නීතිය ඉදිරියට ගෙන ඒම ජනතා අපේක්ෂාව ඉටු කිරීමකි. ඒ ගැන පාලකයන්ට මෙන්ම දූෂිත පාලකයින් පලවා හැරීමට දායක වූ සියලු දෙනාටම ආඩම්බර විය හැකිය. ජනාධිපතිත් ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් පත් කිරීමටත් අරගල කළ සහ ඡන්දය දුන් ජනතාවගේ අපේක්ෂාව මල්පල ගැන්වීමකි.
එහෙත් ක්‍රමයේ වෙනසක් ඉල්ලා වීදි බට ජනතාව හොරු ඇල්ලීමට එහා යන දෙයක් බලාපොරොත්තු වූහ. ඒ ජනතා දේපොළ තමන්ගේ සහ ඥාතීන්ගේත් හිතවතුන්ගේත් සුඛ විහරණයට යොදා ගැනීමට ඉවහල් වූ ක්‍රමයේ වෙනසකි. එය පාලකයන් වෙනස් කිරීමට වඩා ගැඹුරට යන සමාජ ආර්ථික සහ දේශපාලන වෙනසකි. හොරු ඇල්ලිම සිදු වුවත් පවතින සමාජ දේශපාලන ක්‍රමය වෙනස් නොවන්නේ නම් වෙනත් කොටසක් ඒ තැනට පත්වීම වැළක්විය නොහැකිය. හොරු ඇල්ලිම ගැන උදම් අනන ජාතික ජනබලවේගයේ ආණ්ඩුව හොරුන්ට සහ වෙනත් දූෂිත ක්‍රමවලට ඉඩ සැලසන ක්‍රමයේ වෙනසක් ගැන කතා කරන්නේම නැත. අධිකරණයේ පවතින්නේයැයි කියන අඩුපාඩු පියවීමට 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සශෝධන වල සැබෑ තේරුම පවතින ක්‍රමය පිළිසකර කිරීමට ඇති ආශාව සහ නැඹුරුවයි.
රටේ පවතින ආර්ථික සහ දේශපාලන කඩා වැටීමට මූලික හේතුව ජනාධිපතිට ඒකාධිපතියෙකුට සමාන බලතල ලබා දීම බව රටේ ප්‍රබුද්ධ කොටස්වල පිළිගැනීමයි. ජනතා විමුක්ති පෙරමුණ ද විපක්ෂයේ සිටින විට දැරුවේ එවැනි අදහසකි. එය ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශනයට ද ඇතුළත් කරුණකි. එහෙත් විධායක ජනාධිපති තනතුරට පත් අනුර කුමාර දිසානායක කලින් සිටි විධායක ජනාධිපතිවරුන්ගෙන් වෙනස් වන්නේ නැත. අඩුම ගණනේ ඇමතිකම් ලබා ගැනීම හෝ ප්‍රතික්ෂේප කෙළේ නැත. පාර්ලිමේන්තුවේ සෘජු අධීක්ෂණයට යටත් මුදල් ඇමතිකම හෝ අතහැරියේ නැත. සමහර විශ්ලේෂකයින් පෙන්වා දෙන ආකාරයට එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ද පටහැනිය. විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයෙන් පෙන්වා දෙන ආකාරයට ආණ්ඩුවේ සියලු බලතල හිමි වන්නේ ජනාධිපතිට ය. සියල්ල සිදු වන්නේ ඔහුගේ අධීක්ෂණය යටතේය. ආණ්ඩුවේ ඇමතිවරුන්ම පිළිගන්නා ආකාරයට සියල්ල සිදු වන්නේ ජනාධිපති තුමාගේ උපදෙස් සහ මගපෙන්විම යටතේය. සියලු බලතල එක මිටට ගෙන ඇත.
ජනතාව බලයේ සිටි පාලකයින් පලවා හැර අලුත් පිරිසකට බලය ලබා දුන්නේ පාලන බලය එක මිටට ගැනීම හෙවත් සියලු බලය එක පුද්ගලයෙකු යටතට පත් කිරීමට නොවේ. ජනතා කැමැත්ත වූයේ රාජ්‍යයේ සියලු අංශ, විධායකය, පාර්ලිමේන්තුව සහ අධිකරණය ස්වාධීන අපක්ෂපාත ජනතාවට වගකියන සහ වගවෙන තත්වයට පත්වනු දැකීම ය. එවැන්නක් සිදු කළ හැක්කේ පවතින බලය ඒකරාශි කර ගත් ක්‍රමය වෙනස් කිරීමෙනි. ජනතාවට පරිපාලනය ගැන වැඩි බලතල ලැබෙන ක්‍රමයක් බිහි කිරීමෙනි. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජනතාව ඉල්ලා සිටින්නේ ඒ අදහසිනි.
අනෙක් වැදගත්ම කාරණය වන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම නීති විශාරදයන් ගේ සහ දේශපාලකයන්ගේ අයිතියක් නොවන බව පිළිගැනීමය. ඒ සඳහා ජනතා සහභාගිත්වය ලබා ගැනීමට සියලු ජන කොටස් සහභාගිවන ඔවුන්ගේ මතයට සවන් දෙන ක්‍රමවේදයක් සකස් කල යුතුය. නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව බහුතරයේ කැමැත්ත මත නොව සියලු ජන කොටස්වල කැමැත්ත සහ අනුමැතිය ප්‍රකාශ වන්නක් විය යුතුය. නොඑසේනම් නැවත වරක් රට වාර්ගික ආගමික ගැටුම්වලට පත්වීම වැළැක්විය නොහැකිය.
අපේ දේශපාලකයන් මෙතෙක් හැසිරී ඇති ආකාරයෙන් පෙනෙන්නේ ජන මතය ගරු කරන්නේ මැතිවරණ සමයේ දී පමණකි යන්නයි. පාර්ලිමේන්තු බලය ලබා ගත් පසු ඔවුන් ගරු කරන්නේ ආණ්ඩු බලය නැතිනම් රාජ්‍ය බලය තම ව්‍යාපාරික වුවමනාවන් සඳහා යොදා ගැනිමට තැත් කරන විවිධ ව්‍යාපාරිකයන්ටය. ඔවුන් ඒ බලය අත්කර ගන්නේ තමන් සතු ධන සම්පත් විදහා දැක්වීමෙනි. ඩඩ්ලි සිරිසේනලාට සහ ජෝන් කිල්ස් වැනි මහා ව්‍යාපාරවලට රාජ්‍ය ප්‍රතිපත්තිය තමන්ට රුචි ආකාරයට හැසිරවිය හැකිය. ව්‍යවස්ථා සම්පාදනයේ දී වැදගත් වන්නේ එවැනි බලගතු කණ්ඩායම් ය. එහෙත් ජනතාවාදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයේදී ප්‍රමුඛ තැන හිමි විය යුත්තේ ජනතාවටය. පරමාධිපත්‍යය හිමි ජනතාවට එම බලය හිමිකර ගැනීමට දේශපාලකයන්ගේ බලය අභිබවා යන ශක්තියක් ගොඩ නගා ගත යුතුය. එසේ නොමැති වුවහොත් අපට ලැබෙන්නේ අලුත් බෝතලයකට දැමූ පරණ වයින්ම ය.
මෙම සත්‍යය අවබෝධ කර නොගෙන ජනතාව ප්‍රතික්ෂේප කළ විපක්ෂයේ රඟපෑම්වලට ප්‍රතිචාර දැක්වීම කටු කොහොලින් පිරි වනාන්තරය නොදැක ගස් දැකිමකි.
- කැළෑව වෙනුවට ගස් දකින දේශපාලන කලාව - September 20, 2026
- වී මෝල් හිමියන්ට අඩු පොලියට ණය දීමෙන් ගොවියාට සෙතක් නැත.. - September 7, 2026
- දේශපාලන අණ්ඩවලින් මරා දැමෙන රන් කිකිළිය ගේ කතාව.. - August 14, 2026