ජනතාවාදී දෘෂ්ටිවාදයේ හරය වන්නේ, “පිරිසිදු”, පරමාදර්ශී ජනතාව පිළිබඳ සංකල්පය සහ “දූෂිත” ප්‍රභූන් අතර පවතින ද්වෛතයයි. එය දේශපාලනය දූෂණයට එරෙහි සදාචාරාත්මක අරගලයක් ලෙස රාමු කරන අතර, දේශපාලනයේ සාම්ප්‍රදායික පන්ති පදනම විස්ථාපනය කිරීමට උත්සාහ කරයි. ආයතන විරෝධී ස්ථාවරයක දැඩිව පිහිටා සිටින ජනතාවාදය, විශේෂඥ සහ ශාස්ත්‍රීය දැනුම ප්‍රභූවාදී දේ ලෙස සලකා බැහැර කරයි.
ශ්‍රී ලාංකිකයෝ අරගලයේ සිවුවැනි සංවත්සරය මෑත දී සැමරූහ.අරගලය ශ්‍රී ලංකාවේ වාම ජනතාවාදී යුගයක ආරම්භය සලකුණු කළ බව ඇතැමුන් විශ්වාස කරති. ශ්‍රී ලංකාවේ වාම දේශපාලනය 1970 දශකයේ අගභාගයේ සිට දැඩි අර්බුදයකට ලක්ව පැවැතුණි. එය මූලික වශයෙන් 1977 මැතිවරණයේදී වමට අහිමි වූ බහුජන පදනම නැවත ගොඩ නැඟීමට අපොහොසත් වීමේ අර්බුදයකි. ආණ්ඩුව විසින් පටිතදකිරීමේ ලුහුපෙවෙතට අදාළ පියවර අනුගමනය කිරීමට හේතු වූ ගෝලීය තෙල් අර්බුදය හමුවේ, සිරිමාවෝගේ නායකත්වයෙන් යුත් හවුල් ආණ්ඩුව තුළ සිටි දක්ෂිණාංශික බලවේග විසින් වම ඉන් ඉවතට තල්ලු කර දමන ලදී.
‘ගෝඨා ගෝ හෝම්’ (ගෝටා ගෙදර යනු!, Gota Go Home) යනුවෙන් නම්කළ මාර්ගස්ථ හෑෂ්ටැග් (#) ව්‍යාපාරයෙන් ආරම්භ වූ, ‘අරගලය’ ලෙස හැඳින්වෙන මහා ජන නැගිටීමත් සමඟ වමේ මෙම අර්බුදය පුපුරා ගියේය. එම ව්‍යාපාරයේ වර්ධනයේ ස්වභාවය විවේචකයන්ගේ පරීක්ෂාවට ලක්ව ඇති අතර, ඔවුන් චෝදනා කරන්නේ සැඟවුණු ජාත්‍යන්තර හස්තයන් විසින් මෙම ව්‍යාපාරය මෙහෙයවූ බවයි. එසේ වුවද, අව්‍යාජ පුරවැසි ක්‍රියාකාරීත්වයක් දක්වා වර්ධනය වූ අරගලය අවසානයේ කෙළවර වූයේ ප්‍රති-විප්ලවයකිනි. අවසානයේදී, අරගලය ආශ්‍රිතව සිදු වූ මහජන පිබිදීමේ රැල්ල මත වත්මන් ජවිපෙ/ජාජබ ආණ්ඩුව බලයට පත් විය.
I කොටස: ජවිපෙ/ජාජබ ආණ්ඩුව වාමාංශිකද?
බටහිර ජාත්‍යන්තර මාධ්‍ය, ජවිපෙ/ජාජබ ආණ්ඩුව හසුරුවීමේ උපාය මාර්ගයක කොටසක් ලෙස, කලින් කලට එය වාම ආණ්ඩුවක් ලෙස හඳුනාගෙන තිබුණද, ආණ්ඩුව තමන් වාමාංශික ලෙස හඳුනා නොගනී. එය දේශීය දක්ෂිණාංශික ධනේශ්වර පන්තිය සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ ඉතා සමීපව කටයුතු කරයි.
නිර්ප්‍රභූ-ප්‍රභූ
ආණ්ඩුවේ පංති ස්වරූපය ‘’නිර්ප්‍රභූ” යැයි හඳුන්වා දීමේ උත්සාහයක් ආරම්භයේදී දරනු ලැබූවද එල්ල වූ විවේචන හමුවේ දෙවනුව එය ‘’ප්‍රභූ-නොවන” ලෙසින් වෙනස් කරනු ලැබීය. මෙම නව පාලන තන්ත්‍රය පොදුවේ ගත් කළ සම්ප්‍රධායික රදළ පැළැන්තියේ සහ ධනපති පංතියේ දේශපාලන ප්‍රභූ ස්ථරයන්ට අයත් නොවන බව සැබෑවකි. නමුත් ඔවුන්ගේ තැනට තමන් පත්වීම අරමුණු කොටගත් දේශපාලන ප්‍රභූ අභිලාෂයන්ගෙන් යුතු ග්‍රාමීය සහ නාගරික සුළු ධනේශ්වර ස්ථරයන්ගෙන් පැන නැඟුණු ශාස්ත්‍රාලීය, වෛද්‍ය, ඉංජිනේරු සහ තාක්ෂණික, නීති, කළමණාකරණ, ව්‍යාපාර ගිණුම්කරණය,පරිපාලනය යනාදී අංශ මුල් කරගත් වෘත්තීය ක්ෂේත්‍රයන්හි සහ නිලධාරි තන්ත්‍රයෙහි ඉහළට නැඟ ගත් පිරිස් සහ සම්ප්‍රධායිකව දේශපාලන ක්‍රියාකාරීන්/වෘත්තීය සමිති නායකයින්ව සිට ඇති පිරිස් ජාජබ ආණ්ඩුවේ නායකත්වය දරති. මෙය තාක්ෂණ තාන්ත්‍රික පංති මතවාදය වැළඳ ගත් සුළු ධනේශ්වර පංති කොටස් දේශපාලන බලය අත් පත් කර ගැනීමකි. ඔවුන් වටා වාණිජ මංඩල මෙහෙයවන, ජාත්‍යන්තර ප්‍රාග්ධනය සමඟ ගැටගැසුණු,ධනපති නායකත්වය ඒකරාශී වි සිටිති.හරයෙන් ගත් කල, මෙය සුළු ධනපති- ධනපති- ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධන කණ්ඩායම් අතර ගොඩ නැඟුණු සන්ධානයකි. එය මේ වන විට, ආණ්ඩුව පිහිටුවීමට තුඩු දුන් මැතිවරණ ව්‍යාපාරය අතරතුර ‘ජනතාව’ සමඟ ගොඩනඟා ගත් ජනප්‍රිය සන්ධානය (bloc) විස්ථාපනය කර ඇත.
නව ප්‍රභූ පැලැන්තිය නියෝජනය කරන්නේ 1956 දී බණ්ඩාරනායක විසින් මුදා හරින ලද සමාජ බලවේගය වූ ‘56 දරුවෝ’ පරම්පරාවේ, ජනතා විමුක්ති පෙරමුණ විසින් නියෝජනය කරන ලද ජාතිකවාදී-වාම ප්‍රවණතාවයේ උරුමක්කාරයන්ය. ’56 දේශපාලන පෙරළියේ ප්‍රධාන ධාරාව නියෝජනය කිරීමට පැමිණියේ බණ්ඩාරනායක ගේ පක්ෂය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. පොදු මිනිසාගේ යුගයක් බිහිකිරීමේ එහි පොරොන්දුව 2015 දී මහින්ද රාජපක්ෂගේ පාලනය අවසන් වීමත් සමඟ අඩපණ වී ගියේය. දීර්ඝ කාලීන අරගලයකින් පසු, අවසානයේදී ග්‍රාමීය හා නාගරික සුළු ධනේශ්වරයේ සැබෑ නියෝජිතයන් දේශපාලන බලය ලබාගෙන ඇතත්, එම ක්‍රියාවලිය තුළ ඔවුන් තමන්ගේ වාමාංශික අනන්‍යතාවය අත්හැර දමා ඇත. ජාතික චින්තනයේ සවුදෙටු වන ගුණදාස අමරසේකර, රටේ අනාගතයේ වගකීම බාර ගනු ඇතැයි මතභේදාත්මක ලෙස විශ්වාසය තැබූයේ මෙම “ උගත් ගැමි තරුණ” පරපුර කෙරෙහිය. ඔවුන් දේශපාලන බලය ලබාගෙන ඇති අතර, ඔවුන් ‘පුනරුදය’ ලෙස හඳුන්වන ඔවුන්ගේ සූත්‍රගත කිරීම අමරසේකරයන්ගේ ‘සිංහල බෞද්ධ ශිෂ්ටාචාර විඥානයේ’ පුනර්ජීවනයක් ඇති වනු දැකීමේ අභිලාෂය සමඟ පරස්පර වන බවක් පෙනේ. මෙය වෙනත් අවස්ථාවක වෙනම සාකච්ඡා කළ යුතු කරුණකි.
ආණ්ඩුව පිහිටුවීම සඳහා ජාජබ සමඟ එකතු වූ ඇතැම් වාමාංශිකයන් තමන්ගේ තේරීම සාධාරණීකරණය කිරීමට උත්සාහ කරන්නේ, නව පාලන තන්ත්‍රය ලෙනින්ගේ ‘අදියර දෙකේ විප්ලවය’ වෙනුවෙන් පෙනී සිටින බව පවසමිනි. එනම්, පළමුව ධනේශ්වර-ප්‍රජාතන්ත්‍රවාදී අදියර සහ පසුව නිර්ධන පන්ති-සමාජවාදී අදියර වශයෙනි; ඒ අනුව, පුනරුදය යටතේ පළමු අදියරේදී ශ්‍රී ලංකාව කාර්මීකරණය සාක්ෂාත් කරගනු ඇත. එහෙත් පැහැදිලි නැති කරුණ නම්, ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල ග්‍රහණයට හසුව සිටිමින් ශ්‍රී ලංකාවට කාර්මීකරණය විය හැක්කේ කෙසේද යන්නයි. ආර්ථික විද්‍යාඥයන් තර්ක කරන්නේ, ශ්‍රී ලංකා ආර්ථිකයට මෙම ආයතන මැදිහත් වූ මුල් අවස්ථාවේ සිටම ඔවුන් ගෙන ගොස් ඇති ක්‍රියාමාර්ග මගින් රට කාර්මික රටක් බවට පත්වීමේ දුරස්ථ හැකියාව පවා කලින්ම අහුරා දමා ඇති බවයි. ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය ළඟා කර දෙන බවට පවසන ආණ්ඩුව, ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික ක්ෂේත්‍රයන්හි ජනතාවගේ සහ රටේ සැබෑ අවශ්‍යතාවලට සේවය කිරීමෙන් ඉවතට ගොස් ඇති බව එහි විවේචකයෝ පෙන්වා දෙති. එය මෙම ලිපියේ මීළඟ කොටසින් කෙටියෙන් දක්වා ඇත.
වාම ජනතාවාදයේ න්‍යාය සූත්‍රගත කරන ලද්දේ නව ලිබරල් න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන ගිය දක්ෂිණාංශික ජනතාවාදයට එරෙහිව බව කියනු ලැබේ. පහත දක්වා ඇති කරුණු අනුව බලන කල, ජවිපෙ/ජාජබ ආණ්ඩුව වාම-ජනතාවාදී එකක් ලෙස හඳුනාගත හැකිද?
ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයක් නොව, ඒකාධිපත්යයක්ද?
වර්ථමාන ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ වමේ අර්බුදය වඩා උග්‍ර වී ඇතැයි වාමාංශික දේශපාලන පක්ෂ, කණ්ඩායම් සහ ජනයා අතර හැඟීමක් පැතිර තිබේ. ඔවුන්ගේ විවේචන පෙන්වා දෙන පරිදි ජවිපෙ/ජාජබ ආණ්ඩුව වමේ ආණ්ඩුවක් නොවේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, වාණිජ මංඩලය, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව
ජවිපෙ/ ජාජබ මැතිවරණ ව්‍යාපාරය වටා එකතු වූ බහුජනයාගේ අපේක්ෂාවන්ට සහ තම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි ලා වූ පොරොන්දු වලට පවා එරෙහිව යමින් වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැනවූ කොන්දේසි මත ඔවුන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමකට එළඹුණි. ඒ අනුව යමින්, ණය කප්පාදුවේ බර වැඩ කරන ජනතාවගේ අර්ථ සාධක අරමුදල මත පැණවිම ක්‍රියාවට නැංවීම කිසිදු වෙනසකින් තොරව ජවිපෙ/ ජාජබ ආණ්ඩුව විසින් කරගෙන යනු ලැබීය. ආණ්ඩුවේ ආර්ථික වැඩ පිළිවෙළ ආරම්භයේ සිටම මෙහෙයවනු ලබන්නේ වාණිජ මංඩලය මුල් කොට ගත් ධනේශ්වර පංති නියෝජිතයන් ගේ නායකත්වයෙනි. ආණ්ඩුව ප්‍රධාන කොටම දේශීය ජනතා අවශ්‍යතා මත නොව මූල්‍ය අරමුදල සහ ඔවුන් ගේ අනුබද්ධිත ආයතන වන ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන අරමුදල ලබා දෙන ණය මත, ඔවුන් පණවන කොන්දේසි අනුව රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම සහ මෙහෙයවීම කරමින් සිටියි.
බදු බර, ජීවන බර
ජනතාව මත දරාගත නොහැකි අධික බදු බර පටවා ඇත. එමගින් සූරාගත් ධනයද ඇතුළත්ව රුපියල් ට්‍රිලියන ගණනින් භාණ්ඩාගාරය පුරවා ඇතැයි ආණ්ඩුව පුරාජේරු දොඩයි. දරා ගත නොහැකි අධික ජීවන බරින් දුප්පතුන් පමණක් නොව මැද පංතිකයෝද පරිපීඩිතව සිටිති.
දිළිඳුභාවය සහ මන්දපෝෂණය
ජීවන මට්ටමේ ප්‍රධාන නිර්ණායකයන් වන දිළිඳුභාවය සහ මන්දපෝෂණය වත්මන් ආණ්ඩුව යටතේ ඉහළ මට්ටමක පවතියි. නිල වාර්ථා වලට අනුව ජනගහණයෙන් සියයට විසිපහක් අන්ත දුගී භාවයෙන් පෙළෙයි. එයින් සියයට අසූවක් ග්‍රාමීය ප්‍රදේශවල වාසය කරති. එයිනුත් වතුකරයේ ජීවත්වන දෙමළ ප්‍රජාවගේ දුගීභාවය වැඩියෙන් ඉහළය.සැබෑ ජීවන වියදම අනුව ගණනය කරතොත් දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත්වන ජනගහණය සමස්ත ජනගහණයෙන් තුනෙන් එකක් වනු ඇතැයි නවලිබරල් ආර්ථික විද්‍යාඥයෝම කියති. ස්ත්‍රීහු සහ දරුවෝ, ඒ අතරින් ගැහැණු දරුවෝ මේ සියල්ලෙන්ම වැඩිපුර පීඩා විඳිති.
ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය අර්බුදය
ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය අර්බුදය හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක්, ප්‍රධාන වශයෙන් ග්‍රාමීය කාන්තාවන්, කොල්ලකාරී ඉහළ පොලී ණය හරහා උග්‍ර ණය උගුලක සිරවී ඇති අතර, එය සියදිවි නසාගැනීම් 200 කට අධික සංඛ්‍යාවකට හේතු වී තිබේ. වත්මන් ආණ්ඩුව සම්මත කළ ක්‍ෂුද්‍රමුල්‍ය සහ ණය නියාමන අධිකාරී පනත වින්දිතයින්ට දෝෂාරෝපනය කිරීමේ පිළිවෙතක පිහිටා සම්පාදනය කොට ඇති අතර ආරක්ෂාවීමේ වගකීම ණයගැතියන් මත පටවන හෙයින් එවැනි නියාමන රාමුවක ඇති පාරිභෝගික ආරක්ෂාවන් ශුන්‍ය කිරීමට දායක වනු ඇතැයි ක්‍රියාකාරීන් දැනටමත් බිය පළ කොට තිබේ. මෙනයින් එම පණතට ක්‍ෂුද්‍රමුල්‍ය සහ ණය පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට ප්‍රමාණවත් ප්‍රතිපාදන ඇතුළත් නොවන බව ඔවුහු අවධාරණය කරති.
දේශපාලන ස්වෛරීභාවය අනතුරේ
අපගේ ආර්ථික ස්වෛරීභාවය පමණක් නොව දේශපාලන ස්වෛරීභාවය සහ සුරක්ෂිතභාවය ගෝලීය ඇමරිකානු අධිරාජ්‍යය (ඇමරිකා එක්සත් ජනපද-ශ්‍රී ලංකා ආරක්ෂක අවබෝධතා ගිවිසුම/රාජ්‍ය හවුල්කාරිත්ව වැඩසටහන (2025)) සහ කලාපීය ඉන්දියානු අධිකාරය (ඉන්දියා-ශ්‍රී ලංකා ආරක්ෂක හවුල්කාරිත්ව ගිවිසුම (2025)) සමඟ වත්මන් ආණ්ඩුව අත්සන් කොට ඇති රහසිගත ගිවිසුම් මඟින් පාවා දී අනතුරට හෙළා ඇතැයි විවේචකයෝ පෙන්වා දෙති.
මෙම ආණ්ඩුව පලස්තීන ජන සංහාරක ඊශ්‍රායලය සමඟ සබඳතා ශක්තිමත් කරමින් සිටින අතර ඊශ්‍රායල බුද්ධි අංශ සහ හමුදා සමඟ සහයෝගීතාව පවත්වා ගෙන යාමේ පිළිවෙතක සිටියි.
රාජ්‍යයට එරෙහිව වෙළෙඳ පොළ සහ පෞද්ගලීකරණය – නවලිබරල්වාදය
වත්මන් ආණ්ඩුව ඊට පෙර පැවති ආණ්ඩු පරදවා යන මට්ටමින්, රාජ්‍ය අංශය නොව පෞද්ගලික අංශය සහ වෙළෙඳ පොළ යාන්ත්‍රණය ආර්ථික වර්ධනයේ එන්ජිම ලෙස ප්‍රකාශ කොට ඇත. සමාජ ජීවිතයේ විශාල ක්ෂේත්‍ර වෙළඳ භාණ්ඩකරණයේ තර්කනයට යටත් කිරීමේ නවලිබරල්වාදී ආර්ථික දැක්ම ආණ්ඩුව පිළිගෙන ඇත.
පෙර ආණ්ඩු විසින් මහජන විරෝධය හමුවේ හකුළා ගත් රාජ්‍ය අංශයේ ආයතන පෞද්ගලීකරණය කිරීමේ වැඩ පිළිවෙළ වත්මන් ආණ්ඩුව විසින් සියුම්ව ක්‍රියාත්මක කිරීමට යොමු වී ඇතැයි විවේචකයෝ චෝදනා කරති.
වෙළෙඳ පොළට රිසි සේ හැසිරෙන්නට ඉඩ හරිමින්, අත්‍යවශ්‍ය භාන්ඩ කිහිපයක් සම්බන්ධයෙන් හැරුණු විට, ජනයා තනිකරම වෙළෙඳපොළේ නිර්දය පාලනයට යටත් කොට ඇත.
සාමාන්‍ය ජනයාගේ සහ මැද පංතික ජන කොටස්වල පවා පැවැත්මට අත්‍යවශ්‍ය සේවාවන් වන රාජ්‍ය අංශයේ සෞඛ්‍ය සේවය සහ අධ්‍යාපනය එන්න එන්නම වෙළෙඳ පොළේ බලපෑමට යටත් කෙරෙමින් පවතියි. දැනටමත් බරපතළ ලෙස පෞද්ගලීකරණයට යටත් කොට ඇති මගී ප්‍රවාහනය ඉන් මුදවා ගැනීමේ පැහැදිළි උත්සාහයක් දක්නට නැත.
පෞද්ගලික අංශය සමඟ තරඟයට රාජ්‍ය අංශය යොමුකරන්නේ යැයි ආණ්ඩුව ප්‍රකාශ කර ඇති අදහස පවා අව්‍යාජව ක්‍රියාත්මක කිරිමට ආණ්ඩුව යොමු නොවන බව,උදාහරණයක් ලෙස, ලාභ ලැබීම මුල් කොට ගෙන රාජ්‍ය අංශයේ කිරි නිෂ්පාදන ආයතන ක්‍රියා කරන ආකාරයෙන් පෙන්නුම් කරයි.
බල ශක්ති ක්ෂේත්‍රය -තෙල් සහ සහ විදුලිය සැපයුම, කොටස් වලට කඩමින් පෞද්ගලීකරණය කිරීම දිශාවට දිගටම යොමු කෙරෙමින් පවතියි.
නිව්යෝර්ක් නුවරින් ප්‍රකාශයට පත් කෙරෙන, සොහ්රාන් මම්දානිගේ නගරාධිපති අපේක්ෂකත්වයට දැඩි ලෙස සහය දුන් ජනප්‍රිය වාමාංශික සඟරාවක් වන ජැකොබින් සඟරාවේ කර්තෘ භාස්කර් සූන්කාර සමාජ යටිතල පහසුකම් පිළිබඳව දක්වා ඇති අදහස් මෙහිදී සලකා බැලීම වටී:
“..සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, ප්‍රවාහනය, බලශක්තිය සහ විදුලි සංදේශ යනු පාරිභෝගික භාණ්ඩ නොව නූතන ජීවිතයේ සහභාගීත්වය රඳා පවතින සමාජ යටිතල පහසුකම් වේ. අවශ්‍යතාවයට වඩා මිල අනුව සලාකනය කරන ලාභ සොයන අතරමැදියන් හරහා ඒවා සංවිධානය කිරීමෙන් පුරෝකථනය කළ හැකි විකෘති කිරීම් හඳුන්වා දෙනු ලැබේ. ප්‍රතිඵලය වන්නේ සමානාත්මතාවය සහ කාර්යක්ෂමතාව යන දෙකම අඩපණ කරන පද්ධතියකි. දශක ගණනාවක සංසන්දනාත්මක අත්දැකීම්වලින් පෙනී යන්නේ මෙම අංශවල රාජ්‍ය ප්‍රතිපාදන අඩු සමාජ පිරිවැයකින් වඩා හොඳ ප්‍රතිඵල ලබා දිය හැකි බවයි, මන්ද එය මිලදී ගැනීමේ බලයට වඩා සමාජ අවශ්‍යතා සමඟ ප්‍රතිපාදන පෙළගස්වන බැවිනි..”
[මෙහි බලන්න: බස්කර් සූන්කාර, අපට ධනවාදයට පසු සමාජවාදය අවශ්‍යයි, 2026, ජැකොබින්]
ස්වභාවික පරිසරයට සහ ජෛව විවිධත්වයට හානි කිරීම
ස්වභාවික පරිසරයට සහ ජෛව විවිධත්වයට බරපතළ ලෙස හානි කිරීම වත්මන් ආණ්ඩුව යටතේත් දිගටම සිදුකෙරෙමින් පවතියි. වන විනාශය, වනජීවී වාසස්ථාන ඛණ්ඩනය සහ මානව-වනජීවී ගැටුම් තීව්‍ර වී ඇත. ආරක්ෂිත ඉඩම් පරිසර සහ ජෛව විවිධත්ව සංරක්ෂණයට සහ පොදුජන භුක්තියට අහිමි කරන ලෙසින් ඊනියා සංවර්ධනය සඳහා දේශීය සහ විදේශීය පෞද්ගලික ආයෝජකයන්ට මුදා හැරීම, පාරිසරික බලපෑම් තක්සේරු කිරීම් නොසලකා හැරීම (උදාහරණයන් වශයෙන් මන්නාරම සුළං බළ ව්‍යාපෘති) සහ විශේෂයෙන් වියළි කලාපයේ ජෛව විවිධත්වය අඩපණ කර ඇති නීති විරෝධී ඉඩම් අත්පත් කර ගැනීම සහ වැලි කැණීම නැවැත්වීමට අපොහොසත් වීම දිගින් දිගටම සිදුකෙරමින් පවතියි.
ජෛවමිතික පාදක ජාතික හැඳුනුම්පත
පෞද්ගලික අංශයේ මෙහෙයුම යටතේ දියත් කෙරී ඇති දැවැන්ත ඩිජිටල්කරණ වැඩ පිළිවෙළට සමගාමීව ඉන්දියානු ප්‍රදානයක් මත ක්‍රියාත්මක ජෛවමිතික පාදක ජාතික හැඳුනුම්පතක් හඳුන්වාදීම අනවශ්‍ය ලෙස පුද්ගල නිදහස සීමා කිරීම දක්වා යොදා ගැනීමේ මෙන්ම ලාංකේය රජයට මෙන්ම විදේශීය රාජ්‍යන්ටද අවශ්‍ය කෙරෙන විට පුරවැසියන් මර්ධනය සඳහා යොදගැනීමට ඉඩ තිබීමේ බරපතළ අවධානමක් පවතී.
සමස්තයක් වශයෙන් ගත් කළ ඩිජිටල්කරණය වූ කලී ජාතික ආරක්ෂාවේ නාමයෙක් ප්‍රවේක්ෂණ රාජ්‍යයක් ගොඩ නැංවිම බව ගෝලීය අත්දැකීම් සළකා බලන කළ පැහැදිළිය.
II කොටස: ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රාමුව පිටු දැකීම
ලාංකේය පුනරුදය වනාහී, බටහිර යුරෝපීය පුනරුදයේ හා ප්‍රබුද්ධත්වයේ පරිකල්පනයේ ප්‍රථිඵලයක් ලෙස විසිවැනි සියවසේ බිහිවුනි යැයි විශ්වාස කරන ගෝලීය නව්‍යත්ව ව්‍යාපෘතිය අපට අහිමිවූ මොහොත යළි උදාකර ගැනීමේ අභිලාෂය ලෙස ජවිපෙ/ජාජබ ජාතික පුනරුදය සංකල්පීකරණය විසින් අර්ථකථනය කරන ලදී. ජාතික පුනරුදය පොදු සමාජ සම්මුතිය පදනම් කොට ගත් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතිය පදනම් කරගත් පුරවැසියන්ගේ යුගය ලෙස නූතනත්වය අගය කරයි.එය නූතනත්වයේ මූලික හරයන් ලෙස මානව හිමිකම්, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් අගය කරයි.සමාජ සාධාරණත්වය හා සාමූහිකත්වය පිළිබඳ වටිනාකම් පදනම් කරගත් සමාජ මැදිහත්වීම් අගය කරයි.නමුත්, වත්මන් ආණ්ඩුව ක්‍රියා කරන්නේ ඔවුන් විශ්වාස කරන බව කියැවුණු එම පුනරුද විශ්වාසයන් මත පදනම්වද?
ආණ්ඩුව බලයට පත් වූයේ ධනේශ්වර පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රාමුව තුළ පිහිටමිනි.නමුත්, එම රාමුව තුළ පාර්ලිමේන්තුව තුළමත් විපක්ෂයට ආණ්ඩුවේ කටයතු ප්‍රශ්න කිරීමට ඇති අයිතිය සීමා කිරීමට ආණ්ඩුව ක්‍රියා කරන බවට විපක්ෂය චෝදනා කරයි.
පලාත් සභා ඡන්දය පැවැත්වීම දිගින් දිගටම කල් දෑමීම කෙරෙමින් පැවතීම විශේෂයෙන් සුළු ජාතික ජන කණ්ඩායම් වසන පළාත් ආශ්‍රිතව විමධ්‍යගත දේශපාලන බලය ක්‍රියාත්මක කිරීම කල් දැමීමක් ලෙස විරෝධයට ලක් වී තිබේ.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තුව මුල් කොට ගත් දේශපාලන බල ව්‍යුහය ප්‍රථිස්ථාපනය කිරීමේ පොරොන්දුව ක්‍රියාත්මක කිරීම දිගින් දිගටම කල් දමමින් පවතියි. මෙය විධායක ජනාධිපති ක්‍රමයේ බලය අධිකාරවාදී ලෙස යොදා ගනිමින් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන මහජන ආරක්ෂක පණත සහ හදිසි නීතිය වැනි මර්ධනකාරී නීති මගින් වෘත්තීය සමිති ක්‍රියාකාරකම් මර්ධනය සහ දේශපාලන ක්‍රියාකාරකම් බිය වැද්දීම කිරීම කළ හැකි මඟක් ලෙස අවධානයට ලක් වී තිබේ.
නීති රීති මත ස්ථාපිත ආයතන පද්ධතිය නොව ‘අවංක පක්ෂ නායකත්වය’
තම සාමාජිකයන් අවංක යැයි කියා සිටින වත්මන් ආණ්ඩුවේ හර දේශපාලන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ,ඔවුන් ආණ්ඩුකරණයේදී යම් නීති රීති උල්ලංඝණය කළත් ඒ පෞද්ගලික අවශ්‍යතාවක් නිසා නොව පොදු අරමුණ සඳහා වන හෙයින් එය වරදක් නොවේ යැයි කියා සිටියි. එයින් කියැවෙන්නේ මෙම ආණ්ඩුව විශ්වාසය තබන්නේ නීති රීති සහ ඒ මත ගොඩ නැඟෙන කල්පවත්නා ලෙස ස්ථාපිත කළ ආයතන පද්ධතියක් මත නොව තමන් අවංක යැයි විශ්වාස කරන තම පක්ෂයේ නායකයන් කෙරෙහි බවය.නීති රීති සහ මත ස්ථාපිත කළ ආයතන පද්ධතිය අදාළ සෙසු ජනතාවට ය.
තනි මතයට ආයතන සහ ජනමතය යටපත් කිරීමේ උත්සාහය
ආණ්ඩුවට අවශ්‍ය තමන් කල් තබා සකස් කරගත් වැඩ පිළිවෙළ බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීම යි. ඒ සඳහා, ආණ්ඩුව තම තනි මතයට රටේ සියළු ආයතන සහ ජනමතය යටපත් කිරීමේ උත්සාහයක නිරතව සිටියි.
මෙම එළඹුම පිළිබඳ ප්‍රබලතම උදාහරණය නම් රටේ අනාගතයට තීරණාත්මක ෙලස බලපාන ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අව්‍යාජ මහජන සාකච්ඡාවකින් තොරව පෙර පැවැති ආණ්ඩු විසින් සම්පාදනය කරන ලද නවලිබරල්වාදී දැක්මකින් යුතු ප්‍රතිසංස්කරණ එලෙසින්ම ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව උත්සාහ ගනිමින් සිටීම යි.යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කුමන විවේචන, විරෝධතා පැමිණියත් මුලින් සකස් කළ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන බවට ආණ්ඩුව වහසි බස් දොඩයි.
ආණ්ඩුව ප්‍රාදේශීය මට්ටමින් මහජනතාව නියෝජනය කිරීමට යැයි කමිටු පිහිටුවන නමුත් ඔවුන්ගේ චින්තන රටාවට අනුකූල නොවන සියලු දෙනා ඒවායින් ඈත් කොට තබන බවට ජනයා පැමිණිලි කරති.
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස
පෙර පැවති ආණඩුව විසින් මහජන විරෝධය තිබියදි සම්මත කරන ලද මාර්ගස්ථ ආරක්ෂණ පණත වත්මන් ආණ්ඩුව විසින් පවත්වා ගෙන යාම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බලවත් තර්ජනයක් එල්ල කරන බව සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරී සංවිධාන වල මතයයි.
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස නීත්‍යානුකූලභාවයට වසන් වී මර්ධනයට ලක් කරනු ලැබ තිබේ. ආණ්ඩුව විවේචනය කරන පුද්ගලයන්, ජාතික මට්ටමේ දේශපාලනඥයන් පවා, රහස් පොලිසියට කැඳවා ප්‍රශ්න කිරීම ප්‍රතිපත්තියක් වශයෙන් ආණ්ඩුව විසින් අනුගමනය කරයි.එය විවේචකයන් බිය වැද්දීමකි.
ආණ්ඩුව වූ පොරොන්දු කඩ කරමින් පවත්නා ත්‍රස්ත විරෝධී පණත අහෝසි කොට නැතුවා පමණක් නොව ඊටත් වඩා මර්ධනකාරී ලෙසින් දේශීය සහ ජාත්‍යන්තර සිවිල් අයිතිවාසිකම් සංවිධාන විසින් එකහෙළා ප්‍රකාශ කොට ඇති නව ත්‍රස්ත විරෝධී පණතක් ද සම්මත කර ගැනීමට උත්සාහ දරමින් සිටියි.දැනට පවතින ත්‍රස්ත විරෝධී පණත අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මරධනයට අවියක් වශයෙන් යොදා ගනිමින් පැවතීම යෝජිත නව පනතිත් තීව්ර කිරිමේ අවකාශ එහි ඇතැයි ප්‍රකාශ වී තිබේ.
“කලා මණ්ඩලය කලා පොලිසියක් වෙයි !”
ප්‍රකාශනයේ නිදහසට වාරණ පැණවීම ට ආණ්ඩුව ගන්නා උත්සාහයක් ලෙස බරපතළ අන්දමින් මහජන විරෝධයට ලක් වී ඇති ආසන්නතම අවස්ථාවක් වන්නේ දීපචෙල්වන් නමින් දෙමළ බසින් ලේඛනයේ යෙදෙන ලාංකේය ලේඛකයාගේ කෘති හතරක් ඉන්දියාවේ සිට මෙරටට ගෙන ඒමේදී ලංකා රේගුව විසින් රඳවා තබා ගැනීම යි. පසුව,රේගු අධ්‍යක්ෂවරයා නිකුත් කළ නිවේදනයකින් කියැවුණේ ජාතික කලා මණ්ඩලය සහ සාහිත්‍ය අනුමණ්ඩලය විසින් නිකුත් කරන ලද නිර්දේශ මත මෙම පොත් අතරින් නවකතා දෙකක් නිදහස් කරන අතර එම මණ්ඩලවල සහ ආරක්ෂක අමාත්‍යංශයේ නිර්දේශ මත පදනම්ව අනෙක් කෘති දෙක නිදහස් නොකරන බවයි.
තමනට නැති බලයක් ආරෝපණය කර ගෙන මෙලෙස නිර්දේශ ලබා දීමෙන් “තම හිතුමතයට භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසේ සීමා මායිම් මැන දක්වා සළකුණු කිරීම” ට “දේශපාලන පත්වීම් ලබා ඇති කලා මණ්ඩලයේ සහ සාහිත්‍ය අනුමණ්ඩලයේ සාමාජිකයන්ට ඇති නෛතික, සහ සදාචාරාත්මක අයිතිය” ප්‍රශ්න කරමින් පැණ නැඟුණු මහජන විරෝධය “ කලා මණ්ඩලය කලා පොලිසියක් වෙයි !” යන ප්‍රකාශයෙන් කැටි කොට දැක්වෙයි.
මෙම පොදු තත්වයෙන් ඔබ්බට යමින් මතු කෙරී ඇති බරපතළ ප්‍රශ්නය නම් වාරණයට ලක්ව ඇති දීපචෙල්වන්ගේ පොත් දෙකෙහි එන අදහස් රේගුව විසින් එම වාරණයට හේතුව වශයෙන් දක්වා ඇති, දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය වන ‘රාජද්‍රෝහී’ වීම යන අපරාධයට සමාන යැයි සැලකුවේ කුමන පදනමක් මතද යන්නයි. එවැන්නක් තවම ප්‍රකාශයට පත් කොට නොමැත. එම චෝදනාව සහ ලේඛකයා කිලිනොච්චියෙන් පැමිණි දෙමළ ජාතිකයෙකු වීම අතර සම්බන්ධයක් තිබේද? යන ප්‍රශ්නය මේ හා සම්බන්ධ ය.
මෙහි ලා උත්ප්‍රාසය දනවන කරුණ වූයේ වත්මන් ආණ්ඩුවේ සංස්කෘතික ඇමතිවරයා සහ සංස්කෘතික අමාත්‍යංශය යටතේ ඇති කලා මංඩලය සහ එහිම සාහිත්‍ය අනුමංඩල ප්‍රධානීන් මෙම කටයුත්ත සම්බන්ධයෙන් කළ මැදිහත්වීම සහ ඉන් උදාවූ තත්වය මත එම බලධාරීන් මෙන්ම එයින් පිටස්තරව ආණ්ඩුවේ තනතුරු දරමින් සිට ඇති මෙන්ම එසේ නැති ලේඛකයන්, කලාකරුවන්, බුද්ධිමතුන් සහ ශාස්ත්‍රාලීය උගතුන් ලෙස හඳුනාගැණෙන පුද්ගලයන්ද ආණ්ඩුවේ තීරණය වෙනුවෙන් පෙනී සිටිමින් මේ පිළිබඳ කළ ප්‍රකාශයන් ය. වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමට පෙර සමයේ ප්‍රකාශනයේ නිදහස සහ ජනවාර්ගික අයිතීන් පිළිබඳ රැඩිකල්, ලිබරල් මත දරන බව පෙන්වමින් සිටි මේ පුද්ගලයන් වත්මන් ආණ්ඩුව යටතේ විවිධ තනතුරුවලට පත් ව සිට දැන් එහි මර්ධනකාරී තීරණ ජනවාර්ගික සංහිඳියාවේ නමින් අනුමත කරන්නට යාම පිළිබඳ ප්‍රබල විවේචන සමාජයෙන් එල්ල කෙරුණි.
ඉන් අයෙකු කළ ප්‍රකාශයක් පිළිබඳ තම කම්පනය පළ කරමින් එයට පිළිතුරු දක්වමින් සුමදි සිවමෝහන් පළ කළ අදහස් වල අඩංගු පහත උපුටා දක්වන වැකි කිහිපය මෙම විවේචනයන් ගේ හරය කැටි කොට දක්වන බව මගේ අදහසයි.
“..තීබචෙල්වන්ගේ කෘති රේගුව විසින් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් [පුද්ගලයාගේ නම] ගේ වචන ගැන මම දැඩි කම්පනයට පත් වෙමි..
මෙම රැඩිකල්භාවය, මෙම ලිබරල්භාවය ‘සිංහල පමණක්’ වන ආස්ථානයන් වසා ගන්නා හුදු තුනී පිටස්තර බොරු ඔපයන් වෙයි.. .දැන් ඔවුහු සසංහිඳියාව ගැන කතා කරති. මර්දනය හරහා සංහිඳියාව.. සංහිඳියාව, බම්බුව තමයි!!! මම හිතන්නේ සංහිඳියාව තියෙන්නෙ ඔබේ ඔළුවේ.
[මම] කෝපයට පත් වීමි. නමුත් දැන්, මට එක දෙයක් විශ්වාසයි. මෙය ලිබරල්වාදීන්ගේ බොරු බේගල් සහ පුරසාරම් පමණි [bluff and bluster – එනම්, සැබෑ බලය, අභිප්‍රායන් හෝ හරයක් මගින් අනුබල නොලබන, අන් අය බිය වැද්දීමට හෝ රැවටීමට අදහස් කරන ඝෝෂාකාරී, ආක්‍රමණශීලී හෝ නිසැක බව පෙන්වන හැසිරීම් ප්‍රදර්ශනය කිරීමයි. එය දුර්වලතාවය හෝ අවිනිශ්චිතභාවය සැඟවීමට භාවිතා කරන හිස් තර්ජන සහ නාට්‍යමය රංගනය යි. -ගූගල් අනුසාරයෙනි. කුමුදු] සිංහල ජනතාව සංහිඳියාවක් ඇතැයි සිතන විට, සංහිඳියාවක් ඇති බව, ඔවුන් [මෙම රැඩිකල්, ලිබරල් පුද්ගලයන් ] සිතීම ඉතා ගැඹුරට මුල් බැසගත් ජාතිවාදයේ දුගඳ ගෙන එයි..
සමීප කවයන් තුළ විවේචන හඬ නඟන බොහෝ ලිබරල්වාදීන් විසින් හුවා දක්වනු ලබන, ‘අපි මෙම ආණ්ඩුව ආරක්ෂා කළ යුතුයි,’ යන හැඟීම [පිළිබඳ] තර්කය මට තේරෙන්නේ නැහැ, මේ අය එල්ටීටීඊයට සහාය දුන් එකම අයම ය; එය ඔවුන්ට, ඔවුන්ගේ ලිබරල් සිංහල න්‍යාය පත්‍ර වලට ගැලපෙන විට..”
“දැන්, ඔවුහු හඬමින් දොඩවති.. එය කම්පන සහගතයි, මන්ද, එය මෙම ලිබරල් මුහුණුවල මුහුණුවලින් වෙස් මුහුණ ඉවත් කරයි. එල්ටීටීඊයට අදාළ හැඟීම්වලට වහල් ලෙස සහාය දෙන සිංහල ලිබරල්වාදයේ පැත්තක් තිබේ. ඔවුන් සියල්ලෝම එක හා සමානයි. ඒ රැඩිකල්වාදීන්, ඒ ලිබරල්වාදීන්, තමන් සිංහල නිසා තමන්ට දේවල් පිළිබඳ වඩා උසස් දැනුමක් ඇති බව සිතන සෑම කෙනෙක්ම. [මෙය ] පිළිකුල් සහගතය..” ( උපුටා ගැනීම, සුමදි සිවමෝහන්, Facebook පිටුවෙනි, අවසර ගෙන පළකරන ලදි. සිංහල අනුවර්ථනය කුමුදු විසිනි. )
සමාජ මාධ්‍ය
බලයට පත්වීම සඳහා සමාජ මාධ්‍ය ප්‍රබල ලෙස යොදාගත් ජවිපෙ/ජාජබ ආණ්ඩුව සමාජ මාධ්‍ය මගින් කුළු ගැන්වෙන තවත් අරගලයකින් තම ආණ්ඩුව පෙරළා දැමෙනු ඇතැයි දැඩි බියකින් පසුවන බව පෙනෙයි. එහෙයින් ආණ්ඩුවේ ක්‍රියා පිළිබඳ කෙරෙන විවේචන මගින් සමාජ මාධ්‍ය හරහා ආණ්ඩුවට එරෙහිව ජනමතය සම්පාදනය කෙරෙනු ලැබීම වැළැක්වීමට ආණ්ඩුවට පක්ෂපාතී සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඇතුළත් බලකායයන් වාත්තීයමය ලෙස සංවිධානය කොට තිරෙන් පිටුපස සිට ඒවා මෙහෙයවමින් ආණඩුවේ විවේචකයන් අධෛර්යයමත් කොට නිහඬ කිරීම සහ පළවා හැරීම උපහාස, අපහාස, අසභ්‍ය ප්‍රකාශ එල්ල කිරීම සහ බිය වැද්දීම් යනාදී මාර්ගයන්ගෙන් කෙරෙන බවට ආණ්ඩුවට බරපතළ චෝදනා එල්ල වී තිබේ.
තිරෙයන් පිටුපස මෙහෙයවීම් එසේ තිබියදී,‘ඩෝබි’ ලා නැතහොත් කිලිටි සෝදන්නන් යනුවෙන් ස්වයං-අනන්‍යකරණය කොට ගෙන ඇති සමාජ මාධ්‍ය ක්‍රියාකාරී රාශියකට අයත් යූ-ටියුබ් කරුවන් පිරිසක් මෑතකදී ජනාධිපති ගේ ආරාධනයෙන් ඔහු සහ ඔහුගේ මාධ්‍ය ඇමති සහ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජවිපෙ පක්ෂ මූලස්ථානයේදී පෞද්ගලික මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වීම පිළිබඳ පුවත වත්මන් ආණ්ඩුව සමාජ මාධ්‍ය කෙරෙහි කොතරම් බරක් තබන්නේද යන්න පිළිබඳ ප්‍රබල උදාහරණයකි.
ඩෝබි” ලා/ “සෝදන්නන්”
ප්‍රජාතන්ත්‍රවාදී රටවල බුද්ධිජීවීන් සහ බුද්ධිමතුන් මහජන මතය හැඩගැස්වීමේදී ප්‍රධාන භූමිකාවක් ඉටු කරන අතර, එය සාම්ප්‍රදායිකව මැතිවරණ ප්‍රතිඵල තීරණය කිරීමට හෝ මහජන විරෝධතා ගොඩනැගීමට වැදගත් වේ. සමාජ මාධ්‍ය සර්වව්‍යාප්ත වී ඇති යුගයක, දේශපාලනයේ නියැලෙන බුද්ධිජීවීන්ගේ ප්‍රධානතම අවකාශය සමාජ මාධ්‍ය වෙත මාරු වී ඇත. සමාජ මාධ්‍ය පරිශීලකයන්ට බලපෑම් කිරීම දැන් දේශපාලන ජයග්‍රහණයේ රහස ලෙස සලකනු ලබයි. “සෝදන්නන්” යන යෙදුමෙන් හඳුන්වන සංසිද්ධියේ වැදගත්කම පවතින්නේ එතැනය.
ස්වේච්ඡා සමාජ මාධ්‍ය ක්‍රියාකාරකමක් ලෙස ප්‍රකාශ වන ෆේස්බුක් මගින් ආධිපත්‍යය දරන සහ ප්‍රධාන වශයෙන් සිංහල මාධ්‍යයෙන් සිදුවන (මෙම ලිපියෙන් දෙමළ සමාජ මාධ්‍ය ආවරණය නොවේ) මෙම “සේදීමේ” සංසිද්ධිය ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රියාවලියට එක් වූ පෙර නොවූ විරූ සහ සුවිශේෂී එකතු කිරීමකි. මෙය හුදු සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්ගේ මට්මම ඉක්මවා යන, බුද්ධිජීවින් සහ බුද්ධිමතුන් විසින් ක්‍රියාවට නංවන යම් මට්ටමක බුද්ධිමය අඩංගුවක් රැගත් දේශපාලන වැදගත්කමකින් යුතු කටයුත්තකි. තමන් බලයට පත් කළ සහ තමන් විශ්වාස කරන දෘෂ්ඨිවාදය අනුයන මෙම ආණ්ඩුව කෙසේ හෝ රැක ගැනීම සඳහා දැඩිව ක්‍රියාකිරීම තම වගකීම බව මෙම “සෝදන්නන්” ලෙස තමන් හඳුන්වා ගන්නා බුද්ධිජීවිහු සහ බුද්ධිමත්තු සහ ඊට නායකත්වය දෙන ශාස්ත්‍රඥයෝ තරයේ ප්‍රකාශ කර සිටිති.
හුදු සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් වීමට වඩා වෙනස්ව, පොඩ්කාස්ට් සහ වීඩියෝ සම්මුඛ සාකච්ඡා වැනි අන්තර්ගතයන් නිර්මාණය කිරීම හරහා තමන් වාමාංශික දේශපාලන ක්‍රියාකාරීන් සහ ‘විශ්ලේෂණාත්මක’ සාකච්ඡා ඉදිරිපත් කරන්නන් ලෙස හඳුන්වා ගන්නා සමාජ මාධ්‍ය මාධ්‍යවේදීන්ද මෙම කණ්ඩායමට ඇතුළත් වේ.
තම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන් තම කාර්යභාරය ලෙස වටහා ගෙන ඇත්තේ ආණ්ඩුවට එල්ල වන විවිධ විවේචන හමුවේ ආණ්ඩුව “සේදීම” නැතහොත් ආණ්ඩුව නිවැරදි යැයි සනාථ කිරීම සඳහා ව්වේචකයන් ඉලක්ක කොට ප්‍රහාර එල්ල කරමින්, කරන්නන් වාලේ තර්ක විතර්ක කරමින්, ව්වේචකයන් දුර්මුඛ කොට නිහඬ කිරීම මඟින් ආණ්ඩුව “රැක ගැනීම” යි.
මෙම ප්‍රහාර මූලිකවම “බුද්ධිමය” ස්වරූපයෙන් ආවද එම “බුද්ධිමය නායකත්වය” යටතේ මුදාහැරෙන ප්‍රහාර පරාසය තුළ විවිධ මට්ටමින් ප්‍රතිමල්ලවයන් වෙත එල්ල කිරීමට දිරිගැන්වෙන උපහාස, අපහාස, කරදර කිරීම් යනාදිය අඩංගු කර ගනියි. සමාජ මාධ්‍ය “මිතුරන්” ලෙස ඒවායේ දිවිගෙවන “පුද්ගලයින්ට” සමාජ මාධ්‍යවල තම අදහස් ප්‍රකාශ කරන දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව ඔවුන්ගේ ප්‍රතික්‍රියා පළ කරන ලෙස සියුම් ලෙස හෝ සෘජුවම ආරාධනා කරමින් සටහන් ප්‍රකාශයට පත් කෙරේ. එම ප්‍රතිචාර කැමති, අකමැති, සිනහව, සමච්චල් කිරීම යනාදී ඉමෝජි රූපවල ස්වරූපය ගත හැකිය,නැතහොත් වාචික “අදහස්” විය හැකිය.
සංවිධානාත්මක “සෝදන්නන්ට” අමතරව, සෘජුව හෝ නිහඬ, සූක්ෂ්ම ක්‍රමවලින් තම පුද්ගලික ෆේස්බුක් පිටු හරහා මෙම “සේදීමේ” ක්‍රියාවලියට දායක වන ඉහළ සුදුසුකම් ලත් ශාස්ත්‍රඥයෝද සිටිති. සක්‍රීයව මීට සම්බන්ධ නොවන අය, සංවිධානාත්මක “සෝදන්නන්ගේ” “මිතුරන්” ලෙස නිහඬව තම සහයෝගය දක්වති. ඒ, එක්කෝ ඉමෝජි හරහා හෝ බැලූ බැල්මට අහිංසක යැයි පෙනෙන නමුත් තම කාර්යය මැනවින් ඉටු කරන වාචික “ප්‍රතිචාර” හරහාය.
ඔවුන් කියා සිටින පරිදි වර්ථමානයෙහි දේශපාලනය තීරණය වන සැබෑ භූමිය මෙම සේදීමේ ක්‍රියාවලියයි. වර්ථමාන සමාජ මාධ්‍ය අවධියේ දේශපාලනය තුළ උපහාස, අපහාස, කරදර කිරීම් නොවැළැක්විය හැකිය, එහෙයින් ඒවාට මුහුණ දිය නොහැකි අය දේශපාලනය නොකර සිටිය යුතුය, යන්න ඔවුන්ගේ ප්‍රකාශිත තර්කය යි.
වෙනත් වචනවලින් කිවහොත්, මෙම දැක්මට අනුව, සමාජ මාධ්‍ය විසින් ආධිපත්‍යය දරන දේශපාලනය තෝමස් හොබ්ස් ගෙන හැර දැක්වූ “නපුරු, දුප්පත්, හුදෙකලා, ම්ලේච්ඡ සහ කෙටි” වූ “ස්වභාවයේ තත්ත්වය” නැවත රඟ දක්වන බවක් පෙනේ, එයින් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවේ බුද්ධිමය සංස්කෘතිය ඇද වැටී ඇති පෙර නොවූ විරූ මට්ටමයි.
ශාස්ත්‍රඥයන් විසින් මෙහෙයවනු ලබන මෙම “සේදීමේ” පිළිවෙත – විශේෂයෙන්ම බුද්ධිමතුන්ගේ වෘත්තිය සහ දේශපාලනය තුළ ඔවුන්ගේ භූමිකාව සම්බන්ධයෙන්,සමාජ මාධ්‍යවල සිටින ඔවුන්ගේම ශාස්ත්‍රීය “මිතුරන්ගේ” දැඩි පරීක්ෂාවට ලක්වීමක් නොමැතිවීම, සමස්ත ශාස්ත්‍රාලීය ප්‍රජාවටම එල්ල වූ චෝදනා පත්‍රයක් නොවේද? කැපී පෙනෙන කරුණ නම්, වාම ජනතාවාදයේ බුද්ධිමය නායකයන් ලෙස තමන්වම හඳුනා ගන්නා ඇතැම් අය — ඔවුන්ගෙන් සමහරෙකු ශාස්ත්‍රාලීය ක්ෂේත්‍රයෙන්ම පැමිණි අයයි — මෙම සමාජ මාධ්‍ය කව තුළම සැරිසැරීමයි.
තම ප්‍රතිමල්ලවයන් නිහඬ කොට දේශපාලන භූමියෙන් පළවා හැර මෙසේ රැකගන්නට උත්සාහ කරන්නේ ආණ්ඩුවට එල්ල වන විවේචන පැතිරී යාමෙන් සමාජ මධ්‍ය මෙහෙයුම් මත ගොඩ නැඟීමට ඉඩ ඇතැයි ඔවුන් සහ ආණ්ඩුව තදින් විශ්වාස කරන බව පෙනෙන දෙවැනි අරගලයකිනි. එබැවින්, එම ක්‍රියාවට බුද්ධිමය මුහුණුවරක් දෙමින් කෙසේ හෝ විවේචන මර්දනය කිරීමේ අවශ්‍යතාවක් පවතී. ඔවුහු සංවිධාන ලෙසින් පෙළ ගැසීමෙන්ද, තනි තනිවද, සියළු දෙනා විවිධ මට්ටම් වලින්ද මෙම කටයුත්තට හවුල් වෙති.
මෙම “සේදීමේ” ක්‍රියාකාරකම් ප්‍රධාන වශයෙන් සිංහල මාධ්‍යයෙන් සිදුවන අතර, මීට අදාළ “ඉහළ” බුද්ධිමය අන්තර්ගතයන් ඉංග්‍රීසි මාධ්‍යයෙන්ද ප්‍රධාන වශයෙන් ශාස්ත්‍රඥයන් සමඟ කෙරෙන සම්මුඛ සාකච්ඡා ආකාරයෙන් ප්‍රකාශයට පත් වන බව මෙයට එකතු කළ යුතුය.
වාම දේශපාලන දෘෂ්ඨියෙන් ආණ්ඩුව විවේචන කිරීම
මෙම සේදීමේ කටයුත්තේ හරය වශයෙන් ප්‍රකාශයට පත් වී ඇත්තේ වත්මන් ආණ්ඩුව පිළිබඳ වාම දේශපාලන දෘෂ්ඨියෙන් විවේචන කිරීමේදී පළමුව,ඉන් වාසි සැළසන්නේ කාටද? යන්න සිතා බැලිය යුතු බවට නයායික සූත්‍රගත කිරීමක ස්වරූපයෙන් ඉදිරිපත් වී තිබෙන අදහස යි. මෙයින් කියැවෙන අදහස නම් වත්මන් ආණ්ඩුව වාම දෘෂ්ඨියෙන් විවේචනය කළහොත් එහි ප්‍රථිඵලය විය හැක්කේ එය දෙවැනි අරගලයකට හේතු විය හැකි බවයි,දැනට බලයෙන් පහ කොට සිටින පිරිස් යළි බලයට ඒමට ඉන් මඟ පෑදිය හැකි බවයි.ඒ හා සමගාමීව විවේචකයන්ගෙන් නිතර අසනු ලැබෙන ප්‍රශ්නයක් නම් වත්මන් ආණ්ඩුව වෙනුවට පත්කර ගත හැකි ආණ්ඩුවක නායකයන් ලෙස විවේචකයන් දකින්නේ කවුරුන්ද? යන්නයි. එය හරියට,පුරවැසියන් තමන්ගේ ජීවිතවලට බලපාන ආණ්ඩුවක් විවේචනය කළ යුත්තේ ඒ වෙනුවට බලයට පත්කර ගැනීමට වෙනත් පැහැදිළි විකල්පයක් තමන්ට ඇත්නම් පමණක් මෙනි.විවේචනය යමක් නිවැරදි කරගැනීමේ අදහසින් කළ නොහැකි දෙයක් මෙනි. විවේචනය,විකල්පයක් සංවංර්ධනය කරගැනීමේ මාවතක් විය නොහැකි දෙයකි මෙනි.
මෙම තර්කය සම්ප්‍රධායිකව බූර්ෂුවා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ලිබරල් දේශපාලන විද්‍යා තර්කයව පැවැති නියමිත කලට මැතිවරණ පවත්වා ආණ්ඩු බලයට පත්කිරීම සහ අවශ්‍ය විට බලයේ සිටින ආණ්ඩු වෙනස් කිරීම සාධනීය ලෙසින් සැළකීම තුළ බලයේ සිටින ආණ්ඩුව පිළිබඳ විචාරය සම්පාදනය කිරීම සාධනීය ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප කරයි. මේ අනුව වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීම උදෙසා ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද බල කණ්ඩායම් නැවත බලයට පත්වීම වැළැක්වීම සඳහා වත්මන් ආණ්ඩුව කෙසේ හෝ දිගින් දිගටම බලයේ තබා ගත යුතු යැයි ඉන් කියැවෙයි.වාම දෘෂ්ඨියෙන් විචාරය නවතා ලිය යුතු ඒ සඳහා ය. මෙය නම් අරුම පුදුම ප්‍රජාතන්ත්‍රවාදය කි. එය පැහැදිළිවම අප මෙතෙක් දැන සිටි බූර්ෂුවා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය නොවේ.එසේනම් එය කුමන ප්‍රජාතන්ත්‍රවාදයක් ද? සමහරුන් පුරුදු වී සිටින පරිදි, ප්‍රජාතන්ත්‍රවාදයේ පරමාදර්ශය නාමයෙන් විචාරයක් ගොඩ නඟනවා කරනවා වෙනුවට, වෙනස් වන තත්ත්වයන්ට සරිලන සේ අපට එම පදය දිගින් දිගටම සුළු වෙනස් කම් වලට ලක් කරමින් සිටිය හැකිය. එසේ නම්, නව පාලන තන්ත්‍රය යටතේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් කරන දේ සඳහා නව යෙදුම කුමක්ද? නැතහොත් අප පශ්චාත්-ප්‍රජාතන්ත්‍රවාදී යුගයකට පැමිණ ඇතැයි ඔවුන් සිතනවාද?
සම්ප්‍රධායිකව බුද්ධිමතුන්ගේ සහ බුද්ධිජීවීන්ගේ කාර්යභාරය වශයෙන් පිළිගැනුනේ සමාජයට අවශ්‍ය කෙරෙන විචාරශීලී චින්තනය සම්පාදනය කිරීම යි. නමුත් සේදීමේ නිරත බුද්ධිමතුන් කියා සිටින්නේ ආණ්ඩුව රැකෙනු වස් වම තම විචාරශීලීත්වය නිහඬ කළ යුතු බවයි, එවිට සියල්ල හොඳින් සිදුවනු ඇත.
සේදීම අගයන සමහරුන් ඉදිරිපත් කරන තර්කයක් වී ඇත්තේ වාමාංශිකයන් කළ යුත්තේ වත්මන් ආණ්ඩුව විවේචනය කිරීම නොව එය තවත් වමට තල්ලු කිරීම බවයි.ඔවුන් ඉන් අදහස් කරන බව පෙනෙන්ෙන් දැනටමත් මෙම ආණ්ඩුව වමේ ආණ්ඩුවක් බවයි.මෙම තර්කය, ආණ්ඩුව පිළිබඳ වාමාංශික විවේචන නොසලකා හරිමින් ආණ්ඩුව වාමාංශික එකක් ලෙස උපකල්පනය කරන අතර, ඔවුන් සැළකිල්ලට නොගන්නා කරුණක් නම් ආණ්ඩුවට සමාජ මාධ්‍ය මර්ධන බලකායයන් සහ සෝදන්නන් අවශ්‍ය වීමට එක් හේතුවක් වී ඇත්තේ වමට තල්ලු කිරීමට කෙරෙන විවේචන ආණ්ඩුව නොඉවසීම යන්නයි.
ජාජබ ආණ්ඩුව බලයට පත් වූයේ ජවිපෙ සාමාජිකත්වයට පිටින් ලිබරල්, ප්‍රගතිශීලී, වාම, රැඩිකල් යනාදී අර්ථයන්ගෙන් තමන් නාමකරණය කරගන්නා සංවිධාන සහ පුද්ගලයන් ජාජබ වටා ඒක රාශී කරගනිමිනි.
මොවුන් අතර සිටින බුද්ධිමතුන් ලෙස හැඳින්විය හැකි පිරිස ජාතික ජනබලවේගය ගොඩ නැඟීමේ කටයුත්තට දායකවෙමින් ප්‍රතිපත්ති සම්පාදනයට දායකත්වය සැපයීමෙන් පටන් ගෙන අදාළ කමිටුවල නායකත්වය විවිධ මට්ටමින් ගනිමින් ප්‍රසිද්ධියේ ජාජබ යේ මහජන සිදුවීම් හමුවේ, මැතිවරණ වේදිකාෙව් පවා පෙනී සිටිමින් ජාජබ සමඟ අනන්‍ය වූහ. ඔවුන්ගෙන් ඇතැමෙකු තම අනන්‍යතා පාදක කොට ගත් ඡන්ද කුට්ට් මතින් මැතිවරණය දිනා හෝ නැතහොත් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීවරුන් ලෙස පත්ව ඇමැති ධුර පවා ලැබූහ. සෙසු අය
බොහෝ දෙනෙකු මැතිවරණ ජයහග්‍රහණයෙන් පසුව සම්ප්‍රධායිකව සිදුවන්නාක් මෙන් වහ වහාම හෝ පසුව හෝ ආණ්ඩුවේ නිලධාරි තන්ත්‍රයේ සහ අධ්‍යක්ෂ යනාදී අනෙක් විවිධ තනතුරු වලට පත් වූහ.එසේ පත් වූ හෝ පත් නොවූ ඇතැමුන් ඊට පෙර තමන් සමාජයේ ඉටු කරමින් සිටි විචාරශීලී භූමිකාව අත් හැර නිහඬ වූහ. ඔවුන්ගෙන් සමහරක් දෙනා තමන් වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒම දක්වා මහජන තලයේ කළ ක්‍රම විපර්යාසමය න්‍යායික මැදිහත්වීම් ආරක්ෂිත සාහිත්‍යයික හෝ වෙනත් මාතෘකා වෙනුවෙන් නවතා දමා ඇත්තේ ඒ විචාර සියල්ල ඉලක්ක කළ විපර්යාසයන් වත්මන් ආණ්ඩුව බලයට පත්වීමත් සමඟින් ඉටුවී ඇත්තාක් මෙනි. තවත් සමහරු වත්මන් පාලක රෙජිමයේ නිලධාරී තනතුරු හොබවන අතරම සේදීමේ කටයුත්තට පිවිසියහ. සේදීමේ කටයුත්ෙත් යෙදෙන සියල්ලන්ම එසේ තනතුරු ලැබූවන් නොවෙතත්, තනතුරු නොලබා සේදීමේ කටයුත්ෙත් යෙදෙන්නන්ගෙන් සමහරු එසේ කරන්නේ මුදල් ගෙවීම් ලබා යැයි කෙරෙන චෝදනාවක් ද මතු වී තිබේ. මේ පිරිස් අතර ස්වාධීන මාධ්‍යවේදයේ පැවැත්මට බරපතළ අභියෝගයක් එල්ල කරමින්, මාධ්‍යවේදීන් ලෙස සම්ප්‍රධායිකව හැඳින්වුණු වත්මනෙහි වැඩිපුරම අන්තර්ගත සහ හෝ ඩිජිටල් නිර්මාපකයන් ලෙසින් හැඳින්වෙන පිරිස් ද වෙති.
ලංකාවේ වාමාංශික ආණ්ඩුවක් බලයට පත්වීමේ අවසාන අවස්ථාව මෙය වනු ඇතැයි තක්සේරුවක සිටින ඇතැම් වාමවාදීන් එහෙයින් මෙම ආණ්ඩුවට එකතු වී ජනතාව වෙනුවෙන් ලබා ගත හැකි උපරිම යහපත සාක්ෂාත් කරගත යුතු යැයි විශ්වාස කරමින් ආණ්ඩුවට එකතු වී සිටින්නේ ඉතිහාසය අවසන් වී ඇතැයි සිතන්නාක් මෙනි.
නිගමනය: ජනතාවාදය සහ බුද්ධිමතුන්ගේ ‘ද්‍රෝහීත්වය’
නිගමනයක් වශයෙන්, මෙම ලිපියට පසුබිම සැපයූ ජනතාවාදයේ දෘෂ්ටිවාදය වෙත නැවත හැරීමේදී, අදාළ සාහිත්‍යය තුළ හඳුනාගෙන ඇති ජනතාවාදයේ සමහර ප්‍රධාන ලක්ෂණ, වත්මන් ජවිපෙ/ජාජබ ආණ්ඩුව අනුමත කරන ප්‍රතිපත්ති පිළිබඳ විවේචකයන්ගේ විග්‍රහයන් සමඟ කෙතරම් දුරට ගැළපෙන්නේද යන්න සලකා බැලීම වැදගත් වේ.
ජනතාවාදී දෘෂ්ටිවාදයේ හරය වන්නේ, “පිරිසිදු”, පරමාදර්ශී ජනතාව පිළිබඳ සංකල්පය සහ “දූෂිත” ප්‍රභූන් අතර පවතින ද්වෛතයයි. එය දේශපාලනය දූෂණයට එරෙහි සදාචාරාත්මක අරගලයක් ලෙස රාමු කරන අතර, දේශපාලනයේ සාම්ප්‍රදායික පන්ති පදනම විස්ථාපනය කිරීමට උත්සාහ කරයි. ආයතන විරෝධී ස්ථාවරයක දැඩිව පිහිටා සිටින ජනතාවාදය, විශේෂඥ සහ ශාස්ත්‍රීය දැනුම ප්‍රභූවාදී දේ ලෙස සලකා බැහැර කරයි.
මිතුරා -එරෙහිව – හතුරා යන කාල් ෂ්මිට්ගේ දේශපාලන තර්කනය මත පදනම් වෙමින්, ජනතාවාදී නායකයන් සහ බුද්ධිජීවීන් උත්සාහ කරන්නේ සාම්ප්‍රදායික ප්‍රභූන් විස්ථාපනය කිරීමටය. ඔවුන්ගේ අරමුණ වන්නේ තමන් නව ප්‍රභූන් ලෙස පත් කර ගැනීමේ අදහසින් සාම්ප්‍රදායික ප්‍රභූන් දේශපාලන, ශාස්ත්‍රාලීය සහ සංස්කෘතින ක්ෂේත්‍රයන්ගෙන් අතුගා දැමීමයි.
ජනතාවාදය ජනතාවගේ නාමයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය ප්‍රතික්ෂේප කරයි. දේශපාලන න්‍යායවේදිනී වෙන්ඩි බ්‍රවුන් පෙන්වා දෙන්නේ, ජනතාවාදය ඒ වෙනුවට ආක්‍රමණශීලී නීතිය සහ පර්යාය, රාජ්‍යවාදය සහ නිදහස පිළිබඳ ප්‍රජාතන්ත්‍රවාදී නොවන දැක්මක් කෙරෙහි අවධානය යොමු කරන බවයි.එහිදී අධිකාරිය විසින් පාලනය කරනු ලැබෙන අතරම, පුද්ගලයෝ ලිබර්ටේරියන් නිදහසක් ඉල්ලා සිටිති.
ගෝලීය වශයෙන් ගත් කල, ජනතාවාදය විසින් විධායක අංශය වෙත බලය කේන්ද්‍රගත කරන, විනිසුරුවරුන්ගේ ස්වාධීනත්වය උදුරා ගන්නා සහ තේරී පත් වූ පාර්ලිමේන්තු හුදු රබර් මුද්‍රා බවට පත් කරන ඒකාධිකාරවාදී නායකයන් බිහි කිරීමට නැඹුරුතාවක් දක්වයි. බලයේ රැඳී සිටීම සඳහා, ජනතාවාදී ව්‍යාපාර ක්‍රමානුකූලව ආයතන අතර පවතින සංවරණ සහ තුලන, නිදහස් මාධ්‍ය සහ විශ්වවිද්‍යාල ඉලක්ක කර ගන්නා අතර, ඒවා ජනවරමට එරෙහි බාධක ලෙස හංවඩු ගසයි. මෙම පාලන තන්ත්‍රයන් බලය අත්පත් කරගත් පසු, විපක්ෂ දේශපාලන පක්ෂ මර්දනය කිරීමට සහ තමන් දිගටම බලයේ රැඳී සිටීම සහතික කරනු පිණිස ප්‍රජාතන්ත්‍රවාදය අඩපණ කිරීමට නීතියේ පවතින අපැහදිළි කලාපයන් භාවිතා කරයි.
බුද්ධිමතුන්ගේ ද්‍රෝහීත්වය
මගේ ලිපියේ මාතෘකාව සඳහා, මම ප්‍රංශ ජාතික දාර්ශනිකයෙකු සහ රචනා සම්පාදකයෙකු වූ ජූලියන් බෙන්ඩාගේ ‘බුද්ධිමතුන්ගේ ද්‍රෝහීත්වය’ (The Treason of the Intellectuals – 1927) නමැති සුප්‍රකට කෘතියේ මාතෘකාව ණයට ගත්තෙමි. මීට වසර සියයකට පමණ පෙර, බෙන්ඩා විසින් බුද්ධිජීවීන් විසින් බුද්ධිමතුන් ලෙස වන තමන්ගේ වෘත්තීය වගකීම පාවා දීම විවේචනය කළේ, විශ්වීය මානවීයත්වය පිළිබඳ ප්‍රබුද්ධත්ව යුගයේ පරමාදර්ශය ඔවුන් විසින් අත්හැර දැමීම කෙරෙහි අවධානය යොමු කරමිනි. අපගේ වත්මන් තත්ත්වය තුළ මම තර්ක කරන්නේ, බුද්ධිමතුන් තමන් පෙනී සිටිනවා යැයි කියන “පුනරුද” සහ “ප්‍රබුද්ධත්වයේ” පරමාදර්ශයන්හි — නැතහොත් පුනරුදයේ — නාමයෙන්ම තමන් තෝරාගත් වෘත්තීයේ වගකීම අත්හැර දමා ඇති බවත්, බුද්ධිමය වෘත්තිය පිළිබඳ ඔවුන්ගේම වැටහීම තීරණය කිරීමට තම දේශපාලන පක්ෂපාතීත්වයට ඉඩ දී ඇති බවත්ය.
දේශපාලන න්‍යායවේදිනී වෙන්ඩි බ්‍රවුන් ඇගේ ‘ශුන්‍යතාවාදී යුගය’ ( Nihilistic Times, 2023) නමැති පොතේ තර්ක කරන්නේ අප ජීවත් වන්නේ දැඩි ශුන්‍යතාවාදී යුගයක බවයි. මෙම ශුන්‍යතාවාදයේ නැගීම අපගේ වත්මන් දේශපාලන අර්බුදයේ කේන්ද්‍රස්ථානය ලෙස තබමින් ඇය අනතුරු අඟවන්නේ, එය දේශපාලන මෙන්ම ශාස්ත්‍රාලීය ජීවිතයද පිරිහීමට හා ව්‍යාකූලත්වයට පත් කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාකාරීව විනාශ කරන බවයි. බ්‍රවුන්ගේ දැක්මට අනුව, ශුන්‍යතාවාදය දැනුම සහ දේශපාලන වගකීම යන දෙකෙහිම අගය බිඳවැටීමට හේතු වේ. මෙම අර්බුදය විශේෂයෙන්ම ශාස්ත්‍රීය ක්ෂේත්‍රය තුළ පැහැදිලිව දක්නට ලැබේ. ඇය තර්ක කරන්නේ බුද්ධිමතුන් ප්‍රජාතන්ත්‍රවාදය, පොදු යහපත සහ වාස්තවික සත්‍යය සෙවීම අත්හැර දමා ඇති බවයි; ඒ වෙනුවට ඔවුන් තෝරාගෙන ඇත්තේ පක්ෂග්‍රාහී හෝ ඒකාධිපති අරමුණු ඉටු කර ගැනීම සඳහා දේශපාලන හෝ සංස්කෘතික බලය දරන ඕනෑම අයෙකු සමඟ පෙළ ගැසීමයි. අවසාන වශයෙන්, බ්‍රවුන් තර්ක කරන්නේ මහජන බුද්ධිමතුන් දේශපාලනඥයන්ගේ ප්‍රසාදය දිනා ගැනීමට උත්සාහ කරනවා වෙනුවට, ඔවුන්ව වගවීම්වලට යටත් කරන අවංක, කල්පනාකාරී විශ්ලේෂකයන් ලෙස කටයුතු කළ යුතු බවයි. අවසාන වශයෙන්, ඇය වාමාංශික බුද්ධිමතුන්ට සැබෑ විචාරාතමක චින්තනය සඳහා වන ඔවුන්ගේ මූලික කැපවීම ඉටු කරන ලෙස සෘජු අභියෝගයක් එල්ල කරයි.

ආචාර්ය කූමුදු කුසුම් කුමාර
(මෙම ලිපිය ‘Aragalaya betrayed?: ‘The treason of the intellectuals’ in the age of populism’ යන මැයෙන් The Island පුවත් පතෙහි 2026. 05. 25 දින සිට කොටස් තුනකින්( https://island.lk/aragalaya-betrayed/ , https://island.lk/undermining-the-democratic-political-framework/, https://island.lk/jvp-npp-government-and-social-media/ ) පළ කරනු ලෑබූ ලිපියේ සිංහල පරිවර්ථනයයි.එම ලිපිය තනි ලිපියක් ලෙස kathika.lk වෙබ් අඩවියෙහි 05.27.2026 දින පළකරනු ලැබීය. )