යකා කියන තරම් කළු නැහැ යනුවෙන් ජනවහරේ කියමනක් ඇත. එය මදක් වෙනස් කොට කියන කරම් සුදක් නැතැයි අවට අලුත් පිරුළක් සකස් කර ගැනීමට කාලය පැමිණ ඇතැයි සිතේ. මා සුද යනුවෙන් අදහස් කෙළේ පාරිශුද්ධ භාවය, නිකැලැල්බව, නිදොස්බ, අහිංසකබ, යන අදහස් රැසකි. කළු යනුවෙන් අදහස් වන්නේ ඊට හාත්පසින්ම වෙනස් රුදු ගොරහැඩි, අපවිත්‍ර දුෂ්ට වැනි අදහස්ය. කෙටියෙන් යක්ෂයාගේ ගුණාංග ඉන් අදහස් කෙරේ.
මෙම පිරුළ වත්මන් තත්වයට ගලපන්නේ නම් ජාතික ජනබල වේගයේ ආණ්ඩුව තුළින් පෙර පැවති තත්වයෙන් වෙනස්ව නිකැලැල්, අපවිත්‍ර නොවු අවංක පාරද්‍රශ්‍ය තත්වයක් ජනතාව බලාපෙරොත්තු විය. දූෂණයෙන් වංචාවෙන් සහ හොරකමින් පිරුණු පැරණි පාලකයන් වචනාර්ථයෙන්ම කළු පැල්ලමකි. සුවිශාල ජනවරමක් ලත් ජාතික ජනබල වේගයේ ආණ්ඩුව සුදු පිරිවටයකින් සැරසී අලුත් ගමනක් අලුත් ක්‍රමයකට අරඹනු ඇතැයි යන විශ්වාසය මැතිවරණයට පෙර සිටම ජන සිත් සතන් තුළ රෝපණය කර තිබිණ. රටේ පැවති දේශපාලන සංස්කෘතිය සහ ආර්ථික රටාව එැනි තත්වයක අවශ්‍යතාවය ජනිත කර තිබිණ. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් මිදී ගතවූ වසර හැත්තෑව පරම්පරා දෙකක පමණ කාලයක් අපතේ යැවීමකි. එය යක්ෂයාගේ පාලනයකි.

එහෙත් ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක විධායක ජනාධිපති තනතුරට පත්ව වසරකට ආසන්න කාලයත් ගතවෙත්ම සුදු පිරුවට පැවසූ ආකාරයෙනම සුද නොවන බව පෙනේ. ජනාධිපතිවරණ තරගයේ දී අනුර කුමාර, බලයට පත් වූ වහාම ඉවත් කරන බවට සපථ කළ විධායක ජනාධිපති තනතුර භාර ගත් නමුත් ඔහුට වැඩ කිරීමට සිදු වූයේ තිදෙනෙකුගෙන් යුත් ඇමති මණ්ඩලයක් සමග නිසා පොරොන්දු වූ දේ කලින් අවධාරණය කළ කාල සටහන අනුවම කිරීමට නොහැකි වීම තේරුම් ගත හැකිය. නාමික වශයෙන් හෝ ඇමතිවරුන් හා නියෝජ්‍ය ඇමතිවරුන් හැට හැත්තෑවක් සමග කළ කාර්යන් විධායක ජනාධිපතිට සහ පෙර පළපුරුද්දක් නැති ඇමති තිදෙනෙකුගෙන් බලාපොරොත්තු වීම සැහසිකමකි. එහෙත් පසු ගිය නොවැම්බර් මස පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් තුනෙන් දෙකටත් වඩා වැඩි බලයක් ලැබීම ‘ඇරියර්ස් කවර්’ කිරීමට අවශ්‍ය පමණටත් වඩා වැඩි ශක්තියකි.
වඩාත් වැදගත් වන්නේ පැරණි යක්ෂයාගේ ක්‍රමයෙන් ඉවත්ව නිවැරදි නිකැලැල් ගමනක් යෑමට අවශ්‍ය මූලික පියවර ගැනීමය. එය පවතින පරිපාලනමය සහ නීතිමය රාමුව තුළ ද යම්තාක් දුරට කළ හැකිය. ඊට හොඳ නිදසුනක් වන්නේ අල්ලස් හෝ දූෂණ විමර්ශනය කිරීමේ කොමිසම ක්‍රියාත්මක වන ආකාරයයි. මෙම කොමිසම තවමත් ක්‍රියාත්මක වන්නේ පැවති ක්‍රියා පටිපාටිය තුළ ය. වෙනසකට වූයේ එහි ප්‍රධානියා වෙස්වීමය. අධ්‍යක්ෂක ජනරාල් තනතුරට මහාධිකරණ විනිසුරුවරයෙකු පත් කිරීමය. අනෙක් තනතුරුවල සමහර වෙනස්කම් සිදු වුවද නිලධාරීන්ගේ සහ ක්‍රියා පටිපාටියේ බරපතළ වෙසක් සිදු වූයේ නැත. එහෙත් එම කොමිසමේ නව පාලනය යටතේ ඉටු කර ඇති වැඩ කොටස සැබැවින්ම විස්මය ජනකය. වංචාව දූෂණය සහ වෙනත් අකටයුතු ක්‍රියාවලින් තාන්න මාන්න සහ වරප්‍රසාද ලබා මහා යෝධයින් පෙනී සිටි දේශපාලකයන් මීයන් සේ රිමාන්ඩ් භාරයට පත් විය. පසුගිය පාලන කාලයේ සිදු වූ අකටයුතු පිළිබඳ නීතිමය ක්‍රියා මාර්ග තවමත් අවසන් නොවුවද එය සැබැවින්ම විස්ම ජනක කටයුත්තකි.
හිටපු ජනාධිපතිවරයෙකු දූෂණ චෝදනා මත රක්ෂිත බන්ධනාගත කිරීම මීට පෙර සිතා ගැනීමට හෝ තරම් නොවන දෙයකි.
එහෙත් ජාතික ජනබලවේගයේ අනෙකුක් අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු ගැන එසේ කිව හැකිද? ජාතික ජනබල වේගය ආණ්ඩු බලය අපේක්ෂාවෙන් විපක්ෂයේ සිටිය දී දුන් වැදගත් හරවත් පොරොන්දුවක් වූයේ තම ආණ්ඩුවක් යටතේ පත් කෙරෙන ඇමති සංඛ්‍යාව සීමා කෙරෙන අතර ඒවායේ කාර්ය භාරයන් විද්‍යාත්මක පදනමක් අනුව සිදු කරන්නේය යන්නයි. එහෙත් අපට ලැබුණේ එවැනි ඇමති මණ්ඩලයක් නොවේ. සෞඛ්‍ය අමාත්‍යංශයත් ජන සන්නිවේදනයත් එකම ඇමතිවරයෙකු යටතට පත් කර ඇත්තේ කවර විද්‍යාත්මක පදනමක් යටතේ ද යන්න පැහැදිලි නැත. දැනට අධිකරණයේ විභාග වන නඩු ගණනාවකට මුහුණ දී සිටින කෙහෙළිය රඹුක්වැල්ල කලින් ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමති සහ කැබිනට් ප්‍රකාශක වූ නිසා වත්මන් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය ඇමති ද කැබිනට් ප්‍රකාශක වීම, බැහැර කිරීමට සපථ කළ පූර්වාදර්ශ අනුව සිදු වූවා විය හැකිය.

ඉන් පසුව සුදුු පිරුවට කිලිටි කළ තවත් පත්වීමක් වූයේ පාර්ලිමේන්තුවේ කතානායක පත් කිරීමේ දීය. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකටත් වැඩි බහුතරයක් තිබුණ නිසා ජාතික ජනබල වේගයෙන් නම් කරන මංත්‍රීවරයා හෝ මංත්රීවරිය අභියෝගයක් නැතිවම එම තනතුරට පත්වන බවට කිසිදු සැකයක් තිබුණේ නැත. එම තනතුරට ආචාර්ය අසෝක රන්වල ගේ නම ජාතික ජනබල වේගයෙන් යෝජනා කළ අතර විපක්ෂයෙන් අභියෝගයක් ඉදිරිපත් වූයේ නැත. එහෙත් තනතුරට පත් වහාම ඔහුට ඇත්ත වශයෙන්ම ආචාර්ය උපාධියක් තිබෙන්නේ ද යන්න උණුසුම් මාතෘකාවක් විය. කෙසේ වුවත් ප්රශ්නය වැඩි දුර යෑමට පෙර ඔහු කතානායක තනතුරෙන් ඉල්ලා අස් වූයේය. ඒ තමාට ජපානයේ විශ්ව විද්‍යාලයකින් පිරිනැමූ ආචාර්ය උපාධිය පිළිබඳ සහතිකය ඉදිරිපත් කොට නිර්දෝශී භාවය තහවුරු කිරීමේ පොරොන්දුව මතය. මාස නමයකටත් වැඩි කාලයක් ගත වුවද ආචාර්ය උපාධි සහතිකය ඉදිරිපත් කිරීමට ඔහුට හැකි වූයේ නැත. සිදු කළ වංචාව පිළිබඳව නිකැලැල් දේශපාලනයක් පොරොන්දු වූ ආණ්ඩුව තවම කිසිදු පියවරක් ගෙන නැත.
වැදගත් වන්නේ වසර හැත්තෑවකටත් අධික කාලයක් තිස්සේ පැවති ජරාජීර්ණ දේශපාලනය මහා ශ්‍රමදානයකින් ශුදුධ කිරීමෙන් පසුවත් ඒ අපකීර්තිමත් යුගයේ සිදු වූ දේ නැවත සිදු වීමය. කැබිනට් ඇමතිවරුන් පත් කිරීමේ දී විද්‍යාත්මක ක්‍රමයක් අනුගමනය නොකළ ආකාරයට ම ආණ්ඩුවේ අනෙකුත් පත්වීම් ද සිදු කරන බව පැහැදිලිය. විශ්වවිද්‍යාලයක ආචාර්ය මහාචාර්ය කෙනෙකුවීම හෝ හමුදාවේ හෝ පොලිසියේ උසස් තනතුරක් දැරීම විද්‍යාත්මක පදනමකින් ආණ්ඩුවේ පරිපාලනය කිරීමට සුදුසුකමක් කිසිම ආකාරයකින් ලැබෙන්නේ නැත. ආචාර්ය මර්වින් සිල්වා මෙන්ම මහාචාර්ය ජී ඇල් පීරිස් ද පසුගිය පාලන සමයන්හි ඇමති තනතුරු දැරූ බවත් ඔවුන්ගේ කාර්ය දර්ශනයත් අපට තවමත් මතකය.
නිදහසින් පසු යුගය සැලකිල්ලට ගැනීමේ දී කැපී පෙනෙන ලක්ෂණය වන්නේ බලයේ සිටින දේශපාලන පක්ෂය හෝ සන්ධානය ජන ජීවිතයේ සියලු කොටස් පාලනය කිරීමට ගත් උත්සාහයයි. මෙම අත්තනෝමතික ලක්ෂණය දේශපාලනයේ මෙන්ම ආර්ථිකයේත් දක්නට ලැබිණ. ආණ්ඩුවේ සම්පත් (අව)භාවිතා කිරීමේ දී තීරණාත්මක සාධකය වූයේ දේශපාලනයයි. රටේ සම්පත් හැසිරවීම මුදල් ඇමති තනතුර වෙනත් කිසිවෙකුටත් නොපවරා විධායකයා අතම තබා ගැනීම විමධ්‍යගත භාවය සහ බලය පැවරීම පැහැර හැරීමකි. වෙනත් වචනයකින් හැන්ද තමන් අතේ තබා ගැනීමය. එය ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යටතේ ද වෙනස්ව නැත. සියලු කටයුතු සිදු වන්නේ ජනාධිපති සහෝදරයාගේ උපදෙස් සහ මගපෙන්වීම යටතේය.

ඛේදය වන්නේ රාජ්‍ය පාලනයේ ජනතාව අපේක්ෂා කළ වෙනස සිදු කිරීමට පියවර ගැනීමට මෙතෙක් අපොහොසත් වූ ජනබල වේගයේ ආණ්ඩුව මරණාධාර සමිති පවා තම ග්‍රහණයට ගැනීමට සැලසුම් කිරීමය. මහජන සංවිධානවල බලය අත් කර ගැනීමට උත්සාහ කරන්නේ ඒවා ජනතාවාදී පාලනයකට පත් කිරීමට නොව තම අණසක යටතට පත් කර ගැනීමට ය. මේ නිසා ඉතාමත් හොඳ ආදර්ශ්මත් පාලනයක් පවතින ස්වේච්ඡා ආයතන ද ජනබල වේගයේ පාක්ෂිකයන් අතට පත් කිරීමට සැලසුම් කරන බව පෙනේ. යොවුන් සමිති මෙන්ම ගමේ සමුපකාරයේ ද බලය අත් තර ගැනීමට ගන්නා උත්සාහය පිළිකුල් සහගත ය.
සැබෑවටම ජනතාවාදී පාලන ක්‍රමයක් සඳහා ජනතා සංවිධාන දේශපාලන අතකොළු නොවී ස්වාධීන, ශක්තිමත් ආයතන විය යුතුය. ඒවා ක්‍රියාත්මක විය යුත්තේ බලහත්කාරය පදනම්ව නොව ප්‍රජාතන්ත්‍රවාදීව සියල්ලන් ඇතුළත් කර ගන්නා සාකච්ඡා සම්මන්ත්රණ තුළින් තීරණ ගන්නා සහ කිසිදු ආකාරයෙන් වෙනස් කිරීමකින් තොර සංවිධාන ව්‍යුහයන් මගිනි. චීනයේ කොමියුනිස්ට් පක්ෂය තුළ අධිපති ප්රවනතාවයන් ඉස්මතු වනු දුටු මාවෝ සේතුං දහසක් මල් පිපේවා යනුවෙන් අනුදැක්කේ ජනතාවගේ ස්වාධීන විවෘත ප්රජාතන්ත්රවාදී ක්‍රියා මාර්ගයි. එය ඒ ආකාරයෙන්ම සිදු නොවු නිසා චීනයේ අද කතිපයාධිකාරි පාලන ක්‍රමයක් ස්ථාවර වී ඇත. මෙම කතිපයාධිකාරී ක්‍රමය තුළින් චිනය අද ලොව දෙවන විශාල ආර්ථිකය බවට පත්ව ඇති නමුත් ඉන් කොමියුනිස්ට් පක්ෂය තුළ ඇති අත්තනොමතික භාවයත් පාලන ක්රමයේ ඇති දරදඬු භාවයත් යටපත් තළ නොහැකිය.
සැබැවින්ම සියලු ජන කොටස් අතර සාමය සහ සහෝදරත්වයත් ආර්ථික සමෘද්ධියත් තහවුරු කිරීමේ මූලික පදනම වන්නේ පාරද්‍රශ්‍ය, ජනතාවට වගවෙන සහ ජනතාවට සංවේදී පාලන ක්රමයකි. එහි දී පුද්ගල සාධකයත් වැදගත් බව කිව යුතුය. ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘවරයෙකු වන ආචාර්ය අම්බෙඩ්කාර් ගේ කියමනක් අපට සිහිපත් කළ හැකිය.
“..කොපමණ හොඳ ව්‍යවස්ථාවක් වුවද නරක පුද්ගලයෙතුට නරක ආකාරයෙන් යොදා ගත හැකිය. කෙතරම් නරක ව්‍යවස්ථාවක් වුවද හොඳ පුද්ගලයෙතුට හොඳින් යොදා ගත හැකිය..”
එමනිසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට පෙර සුදු පිරුවටයේ කැලැල් ඇති නොතිරීමට වග බලාගත යුතුය.
- මංකොල්ලකාරී අධිරාජ්‍යවාදය නැවතත් ලෝක සමය බවට පත්වේ.. - March 4, 2026
- යළි උපන් අවතාර පැරණි හොල්මන්වලින් වෙනස්වන්නේ නැත.. - February 25, 2026
- දේශපාලනයේ දරිද්‍රතාවයට විසඳුම් අවශ්‍යයි.. - February 9, 2026