You are currently viewing 53′ හර්තාලය  ආපසු හැරී බැලීමක්. ධනේශ්වර ආණ්ඩුවකට එරෙහිව පළමු පොදු ජන නැගිටීම.
ඇන්. ඇම්. පෙරේරා කොළඹ ගාලු මුවදොර පිටියේ අවසන් හර්තාල් රැළිය අමතයි. (දකුණු පස මූලාසනයේ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක)

53′ හර්තාලය  ආපසු හැරී බැලීමක්. ධනේශ්වර ආණ්ඩුවකට එරෙහිව පළමු පොදු ජන නැගිටීම.

මැතිවරණ පොරොන්දු කඩකරමින්,  සහන කප්පාදු කළ ආණ්ඩුවට එරෙහිව  කම්කරුවන්ගේ ඓතිහාසික නැගිටීමට  හැත්තෑ දෙක වසරක් ඉක්ම ගොසිනි. 53 හර්තාලය ලෙස චිර ප්‍රසිද්ධ මෙම නැගිටීමේ විශේෂත්වය වනුයේ  මෙරට පළමු වරට ධනේශ්වර ආණ්ඩුවකට එරෙහිව වාමාංශික හා කම්කරුවන්ගේ සටන්කාමිත්වය පෙන්නුම් කිරීමය. ඒ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් පිරිනැමුණු ‘නිදහස’ ලැබී වසර පහක් ඉක්මවූ පසුවය.  1953 අගෝස්තු 12  පැවති හර්තාලයට  72 වසරක් සැපිරීම මේ මොහොතේ වැදගත් වන්නේ ‘වාමාංශික’ ජාතික ජනබලවේග ආණ්ඩුවක් යටතේ එය සැමරීමත්, මැතිවරණ පොරොන්දු ඉටු නොකළ බවට ඔවුන්ට එල්ලවන විවේචන අභිමුඛවය.

අගමැති මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායකයා වූ ඩි.එස්. සේනානායක 1951 මාර්තුවේ දී හදිසි වියෝවත් සමගින් ඔහුගේ පුත්‍රයා වූ ඩඩ්ලි සේනානායක අගමැතිධුරයට කැඳවන ලද්දේ  පෙර සැලසුමකට අනුවය. අගමැතිකම හා පක්‍ෂ නායකත්වය අපේක්ෂාවෙන් සිටී එවකට සභානායක එස්.ඩබලිව්.ආර්.දී. බණ්ඩාරනායක මේ සම්බන්ධයෙන් උරණව ආණ්ඩුවෙන් ඉල්ලා අස්වී  වෙනත් පක්‍ෂයක් ගොඩ නැගීය. 1952 මැයි  පැවති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂය ජයග්‍රහණය කරමින් ඩඩ්ලි අගමැති වූ අතර  විපක්‍ෂ නායකයා වුයේ ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය නම් අංකුර පක්ෂයෙන් තරඟ කළ බණ්ඩාරනායක ය.

නාවලපිටියේ දී හර්තාලයට එක් වූ වතු කම්කරුවන් අමතන ලංකා වතු කම්කරු සංගමයේ ජේන් හෝබන් මුණසිංහ

තම ආණ්ඩුව පවතින තුරු  හාල් සලාකය ශත 25 ට ලබා දෙන බවට එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ පොරොන්දු අතර ඉහළින්ම තිබිණි. සහනාධාර කිසිවක් කප්පාදු නොකරන බවට වූ  පොරොන්දු එකිනෙක බිඳ වැටෙන්නට වුයේ  නව ආණ්හර්තාලයට සහාය පළකරමින් වසා දැමූ කඩසාප්පු බලහත්කාරයෙන් විවෘත කරන පොලිස් භටයින්ඩුව පත්ව මාස කිහිපයක් ඉක්ම යාමෙන් අනතුරුවය. 1953 අයවැය ඉදිරිපත් කිරීමට ආසන්නව  ආණ්ඩුව ජල විදුලි ව්‍යාපෘති වෙනුවෙන්   ලෝක බැංකුවෙන් රුපියල් මිලියන අසූවක ණයක් ලබා ගෙන තිබිණි.  ජාතික ආදායම ඉහළ නැංවීම වෙනුවෙන්  සංවර්ධන ව්‍යාපෘති කෙරෙහි  අවධානය යොමු කිරීමට  අවශ්‍ය වන හෙයින් ආහාර සඳහා වන සහනාධාරයේ අධික වියදම්   බරින්  නිදහස් වීමට ආණ්ඩුව තීරණය කළ බවට  එවකට රාජ්‍ය සභාවේදී ප්‍රකාශ කෙරිණි.  ආණ්ඩුව මුල්‍ය ණය ලබා ගන්නා ජාත්‍යන්තර මුල්‍ය ආයතනවල කොන්දේසිවලට අනුව   සහල්, සිනි, පිටි සළාක මිල ඉහල දැමිණි. දුම්රිය,තැපැල් ගාස්තු ඉහල දැමිණි, පාසැල් ළමුන්ගේ දිවා ආහාරය ලෙස නොමිලේ සැපයුණු බනිස් ලබා දීම පවා නතර කෙරිණි. පාසල් දරුවන් 750,000ක් නොමිලේ ලබා දුන් දිවා ආහාරය සඳහා වාර්ෂිකව වැය කෙරුණු මුදල  රුපියල් මිලියන දහඅටකි.එය සංවර්ධන ව්‍යාපෘති වෙනුවෙන් යෙදවීම ආණ්ඩුවේ අරමුණ විය. මෙහිදී ජනතාවට දැනුනු බරපතළම කප්පාදුව වුයේ  සහල් සලාකය ශත 25 සිට ශත 70 දක්වා ඉහල දැමීමය.

සහන කප්පාදු ඇතුළු ආණ්ඩුවේ යෝජනා ඇතුලත් අයවැය මුදල් ඇමැති ජේ.ආර්. ජයවර්ධන විසින් රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරන්නට සුදානම් වෙමින් සිටියදී   ඊට එරෙහිව ලංකා සමසමාජ පක්‍ෂය විසින්  ජනතා පෙත්සමක් අත්සන් කෙරිණි. ආණ්ඩුවේ සහන කප්පාදුවට එරෙහිව ගාල්ල සහ යාපන මහනගර සභාවලත්, මොරටුව, පානදුර සහ බේරුවල නගර සභාවලත්, ආඬිඅම්බලම ගම් සභාවේත් යෝජනා ඉදිරිපත් කරමින්  පළමු වටයේම  විරෝධතා පළ කරන්නට විය. කොළඹ, පයාගල, කළුතර, මහනුවර, සීදුව, කෝපායි, චුන්නාකම්, රුවන්වැල්ල වැනි  ප්‍රදේශවල විරෝධතා ජනහමු සංවිධානය කෙරුනේ වාමාංශික පක්‍ෂ හා වෘත්තීය සමිතිවල මැදිහත් වීමෙනි.

ඊළඟ ආණ්ඩුවක් පිහිටුවීමේ අපේක්ෂාවෙන් සිටී එස්.ඩබ්ලිව්.ආර්.ඩි. බණ්ඩාරනායකට මුලසුන පිරිනමමින්  ආණ්ඩුවේ සහන කප්පාදුවට එරෙහිව  දැවැන්ත රැළියක්  ගාලු මුවදොර පිටියේ දී පැවැත්විණි. එස්.ජි.වී. චෙල්වනායගම් ගේ  ෆෙඩරල් පක්‍ෂය ද මීට එක්විය.

කොළඹ වරායේ 12,000ක පමණ කම්කරු බල ඇණියක්  බලකායක් දියත් කළ පැය තුනක සංකේත වර්ජනයත් සමගින්  බලපිටිය සහ අම්බලන්ගොඩ අතර  පිහිටි රන්දොඹේ ස්ත්‍රීහු විදී බැස  වාහන ගමනාගමනය අවහිර කරමින් මහා මාර්ගයේ ආහාර පිසුහ. තර්ජනයෙන් ඔවුන්ව විසුරුවා හැරීමට පොලීසියට නොහැකි විය. මෙම විරෝධතාව ආසන්නයේ වූ  මාදම්පේ, අකුරණ, තොටගමුව, දුම්රිය මාර්ගය මොරටුවේදී රේල්පීලි දමා උද්ඝෝෂණකරුවන් විසින් හරස්කර තිබු අන්දමබලපිටිය, කරන්දෙණිය, ඌරගහ සහ අහුන්ගල්ල දක්වා ද පැතිර ගියේය. වැල්ලවත්ත රෙදි මෝලේ කම්කරුවෝ ජූලි 23 වන දින කොළඹ නගරයේ දී වරුවක සංකේත වැඩ වර්ජනයක නිරත වූහ.

දුම්රිය මාර්ගය මොරටුවේදී රේල්පීලි දමා උද්ඝෝෂණකරුවන් විසින් හරස්කර තිබු අන්දම

ආණ්ඩුව කල්පනා කරනු ලැබුවේ  නැගී එමින් තිබු ජන විරෝධය පොලිසිය මගින් පාලනය කළ හැකි බවකි.ඒ අනුව  අම්බලන්ගොඩ, බලපිටිය ප්‍රදේශවල සහ කොළඹ තත්ත්වය පාලනය කිරීමට මෙම රාජ්‍ය මර්දන  යාන්ත්‍ර‍ණය භාවිත කළේය.  විරෝධතා පළ කිරීමට රැස් වූ ජනතාව විසුරුවා හැරීමට බැටන් පොලු පහර දෙමින් කදුළු ගෑස් ද එල්ල කළහ. පොලිස් පහරදීම් වලට ජනතාව සාමුහිකව ප්‍රතිචාර දැක්වීම මෙම අරගලයේ  විශේෂ ලක්ෂණයකි.  පොලිසිය, ප්‍රහාර එල්ලකරමින් අපේක්ෂා කළ ආකාරයට ජනතාව පසුබැස්සීමට නොහැකි වුනු අතර  ඔවුහු බලයට බලයෙන් ම ප්‍ර‍තිචාර දැක්වූහ. අතට අසුවූ සෑම දෙකින්ම සන්නද්ධ හමුදා සමඟ සටන් කළහ.

මාර්ග බාධක යොදා ගනිමින් පාර අවහිර කරගෙන සිටින විරෝධතා කරුවන්ට කළුතරදී පහරදී පලවා හරින අයුරු.

වැඩ වර්ජනය හා  හර්තාලය ගැන වූ  අදහසට ශ්‍රීලනිප මූලධාර්මිකව කිසිඳු විරෝධතාවක් නොදැක්වූ ද එම පක්‍ෂය  ඉතාමත් අවස්ථාවාදී අයුරින් ඊට ප්‍රායෝගිකව සහභාගිත්වයක් පෙන්නුම් නොකළේය. ලංකා- ඉන්දියානු කොංග්‍රසය [ අද ලංකා කම්කරු කොංග්‍රසය ] ද එදින වැඩ වර්ජන දියත් කරනවාට වඩා කැමැත්තක් දැක්වුයේ හැකි තරම් මහජන රැස්වීම් පැවැත්වීමටය.

මෙම වටපිටාව මැද  ලංකා සම සමාජ පක්ෂය, ලංකා කොමියුනිස්ට් පක්ෂය, විප්ලවවාදී සම සමාජ පක්ෂය[පිලිප් ගුණවර්ධන] යන වාමාංශික පක්ෂ මෙන්ම ලංකා කම්කරු සමිති සම්මේලනය, ලංකා වෘත්තීය සමිති සම්මේලනය, ලංකා කම්කරු සංගමය ( ලංකා කම්කරු පක්ෂයේ ඒ.ඊ. ගුණසිංහ), ලංකා වෙළෙද සේවක සංගමය (ලසසපයේ  බාලා තම්පෝ ) සහ වරාය සහ තටාක සේවක සංගමය යන වෘත්තීය සංගම් පහ ද එක්ව 1953 අගෝස්තු 12 වන දින මහා වැඩවර්ජනය සහ හර්තාලය කැඳවනු ලැබිණි.

හර්තාලයට සහාය පළකරමින් වසා දැමූ කඩසාප්පු බලහත්කාරයෙන් විවෘත කරන පොලිස් භටයින්

නැගී එමින් තිබෙන විරෝධය සමනය කරමින්, ජනතාව බිය වැද්දීමේ ආණ්ඩුවේ අරමුණට  විජේවර්ධන පවුලේ හා ටයිම්ස් සමාගමේ පුවත්පත් සිය උපරිම සහාය ලබා දුනි. වැඩ වර්ජනයට එක්වන වෘත්තීය සමිති ක්‍රියාධරයන් හා කම්කරුවන් සේවයෙන් දොට්ට දමන බවටත්, හර්තාල් දිනයේ කඩ සාප්පු වසා දමන වෙළඳ සැල් හිමියන්ගේ බලපත්‍ර අහෝසි කරන බවටත් ආණ්ඩුව විසින් රතු එළි දල්වා තිබිණි. සාමන්‍ය ජනයා බියපත් කිරීමේ මුවාවෙන් කැඳවා තිබු  සන්නද්ධ හමුදා කණ්ඩායම් විදී වල ඔබ මොබ විදී සරන්නට විය. ආණ්ඩුවේ මේ ක්‍රියා මාර්ගය යම් සාර්ථකත්වයක් ලැබුවේ රජයේ ලිපිකරු සේවා සංගමයේ [GCSU] සහ ලංකා වෙළඳ සේවක සංගමයේ [CMU] ශාඛා සමිති කිහිපයක් වර්ජනයට එක් නොවීමට ගත් තීරණයත් සමගින්ය. එම වෘත්තීය සමිති සාමාජිකයන් අතර යම් බෙදීමක් ඇති වූ ද බහුතර සාමාජිකයෝ   කළු පටි පැළඳමින්   වර්ජනයට හා හර්තාලයට සහාය පළ කළෝය.

පේරාදෙණිය සරසවි මණ්ඩපයේ  දේශන ශාලාවලට සමීපයෙන්  බලය ප්‍රදර්ශනය කරමින් ඉහල පහළ ගමන් කළ හමුදා ඒකක  සිසුන්ගේ අප්‍රසාදයට හේතුවිය. සිසු විරෝධය කෙතරම් උත්සන්න වුවද  කිවහොත්,  හර්තාලය සැලසුම් කළ දිනට පෙර එනම් අගෝස්තු 11 වැනිදා සවස  ඔව්හු   මහනුවර නගරයේ විදී පුරා පෙළපාලි පැවැත්වුහ.

හර්තාල සටන්කාමියෙකු පහරදී පොලිස් අත්අඩංගුවට ගත් අවස්ථාවක්

සරසවියේ මුළු සිසු පිරිසෙන් 50%කට වැඩි පිරිසක් සරසවි උයන දුම්රිය ස්ථානයෙන් දුම්රියේ නැඟී මහනුවරට පැමිණ වෝඩ් වීදිය, ත්‍රිකුණාමල වීදීය, කොළඹ වීදිය ඔස්සේ පෙළපාලියෙන් ගමන් කළහ. ඔවුන් ආපසු සරසවියට යාමට  පේරාදෙණිය පාරට හැරෙමින් සිටින විටම  පොලීසිය බැටන් පොලු ප්‍ර‍හාර එල්ල කළේය. ඉන්පසුව සිසුන් බස්රථවල එල්ලී  විශ්විද්‍යාල මණ්පයට පැමිණි අතර  ජීප්  රථවලින් සිසුන් පසුපස හඹා ආ පොලිසිය රාත්‍රිය උදාවීමත් සමඟ නැවතත් විශ්වවිද්‍යාල මණ්ඩපය තුළ දී සිසුන් සමඟ ගැටීමක් ඇති කර ගත්තේය.  මෙහි දී ගල්, බෝතල්, කැඩුණු කොන්ක්‍රීට් ස්ලැබ් කැබලි සහ හෙල්ලක් වැනි අතට හසුවුණු හැම දෙයකින්ම පහර දීමට පටන් ගත් සිසුන් අතින් පොලිසිය දැඩි පීඩාවට පත්වූහ. මේ  සිසුවකු අතින් මහනුවර පොලිසියේ සැරයන්වරයෙකුගේ  හිසට දරුණු තුවාල සිදු විය. මොර්ලි නමැති මේ සැරයන්වරයා, ජයතිලක ශාලාවේ පටු පඩිපෙළක් දක්වා මේ සිසුවා පසුපස හඹා යමින් සිටි අතර සිසුවා ආපසු හැරුණු විට ඔහු අත තිබුණු එකම  ආයුධය වූ කැඩුණු කොන්ක්‍රිට් ස්ලැබ් කැබැල්ලෙන් සැරයන්වරයාට පහර දුන්නේය.

පේරාදෙණිය සරසවියට පොලිසිය  ඇතුළුවීමට විරෝධතාවය  දක්වමින් අගෝස්තු 12 වන දිනසියලුම සිසුහු පංති වර්ජනයේ නිරතවූහ. නිස්කලංකව සිටී උඩරට ගොවි ජනයා අවදි කරන්නමින්,   මහනුවර දී හර්තාලය සාර්ථක කරගන්නට ඉවහල්වුයේ  මේ සරසවි සිසුන්ගේ මැදිහත් වීමය. මහනුවර, පේරාදෙණිය සහ අවට ප්‍රදේශවල කඩසාප්පු සහ වැඩබිම් 12 වැනි දින වසා දමනු ලැබීය.

බස්නාහිර බස්රථ  සේවකයෝ සහ  මරදාන දුම්රිය ධාවන සේවකයෝ 11 වැනිදා රාත්‍රිය වන විට වැඩවර්ජනයට එක්වීමෙන්   ගමනාගමනය අඩාල කර දැමීය. කොළඹ වරාය, රත්මලාන දුම්රිය වැඩපළ, කොලෙන්නාව රජයේ කර්මාන්තශාලාව, වැල්ලවත්ත රෙදි මෝල, වෝකර් සහ සමාගම, ගිනිපෙට්ටි කර්මාන්ත ශාලාව, ටකර් සහ සමාගම, ඇතුළු තවත් වැඩබිම් ගණනාවක් වෙත  වර්ජනය රැල්ල  වේගයෙන් පැතිර ගියේය.

පිටකොටුව සිට රත්මලාන දක්වා, පිටකොටුව සිට ග්‍රෑන්ඩ්පාස් දක්වා, ග්‍රෑන්ඩ්පාස් සිට බොරැල්ල දක්වා සහ බොරැල්ල සිට පාමංකඩ දක්වා සියලු සිල්ලර වෙළෙඳසල් වසා දැමිණි. පෙරවරු 10 වන විට මාර්ගවල එක බස්රථයක්වත් දැක ගත නොහැකි තරම් විය. කරත්ත සහ රික්ෂෝ පවා දැකගත නොහැකි විය.

සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සේවකයන් හැර සියලුම මහනගර සභා සේවකයෝ වර්ජනයේ නිරතව සිටියහ. මොරටුව නගර සභාවම හර්තාලයට එක්ව සිටියහ. බෞද්ධ සංඝයා වහන්සේලා කොළඹ නගර භූමියේ උපවාස කරමින් සිටියහ.

උදෑසන සාමකාමී පැවති විරෝධතාව දහවල ඉක්ම වෙනවාත් සමග  වෙනස් වන්නට වුයේ  පිටකොටුව ගෑස් පහ හන්දියේ දී  විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිස් බැටන් පොලු ප්‍රහාරයත් සමගින්ය. පොලිසියට විරෝධතාකරුවන්ගෙන්  ප්‍රතිචාර ලෙස ගල් මුල් ප්‍රහාර එල්ලවූ  අතර දී  පොලිසිය විසින්   ඇඩ්වින් නම් තරුණ කම්කරුවෙකුට වෙඩි තබා මරා දැමිණි. ඉන් කෝපාවිෂ්ඨ වූ  විරෝධතාකරුවෝ  පොලිසිය සිය බැරැක්ක වලට පසු බසින තෙක් එළව එලවා පහර දුන් බවට  හර්තාලයේ  නායකයෙකු වූ රෙජි මෙන්ඩිස්  පසු කලෙක මාධ්‍යවෙත  පවසා තිබිණි.

හමුදා වෙඩි පහරට ලක්ව හර්තාලයේදී මියගිය පිටකොටුවේ කේ. ඇඩ්වින්ගේ දේහය අවසන් ගෞරවය සඳහා තබා තිබූ අයුරු.

ඇඩ්වින් ගේ මරණයත් සමගින්  යම් ප්‍රචණ්ඩත්වයක්  නිර්මාණය වුනු අතර එහි ප්‍රතිපලයක් ලෙස වොල්කර්ට් සහෝදරයෝ සමාගමට, මැනිං වෙළෙදපොළ සහ වෝකර්ස්හි මුහුදුබඩ ඉංජිනේරු අංශයට ගිනි තැබිණි. විදුලි සංදේශ පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවැටී වැටිණි.

බස්නාහිර සහ දකුණු පළාත්වල මුහුදුබඩ තීරයේ ද කොළඹ සිට අවිස්සාවේල්ල හරහා රත්නපුර දක්වා කැලණිවැලි මාර්ගයේ ද උතුරු පළාතේ ද හර්තාලය සම්පූර්ණයෙන් ම සාර්ථක විය. එජාප ආණ්ඩුව පෙර නොවූ විරූ පරාජයකට මුහුණ දුන්නේය. භීතියෙන් සලිත වූ ආණ්ඩුව එදින  කැබිනට් මණ්ඩලය හමුවුයේ  කොළඔ වරායේ නැංගුරම් ලා තිබූ “එච්.එම්.එස්. නිව්ෆවුන්ඩ්ලන්ඩ්“ නමැති බ්‍රිතාන්‍ය යුද නෞකාවේදී ය.

දොම්පේ, මෝදර, කිරුලපන, පිටකොටුව, ඌරාගහ, රත්මලාන ආදී ස්ථාන ගණනාවක දී පොලීසිය වෙඩි තබා විරෝධතාකරුවන් නව දෙනෙකු  මරා දමා තිබිණි. මොරටුව එගොඩ උයනේ දී දුම්රියක් නවත්වනු ලැබුවේ  ස්ත්‍රීන්ගේ  මැදිහත් වීමෙනි. පානදුර දුම්රිය ස්ථානයේ දී දුම්රිය මැදිරි දෙකක් ගිනි තබනු ලැබීය. බොරලැස්ගමුවේ දී බස් රථයකට ගිනි තබනු ලැබීය. දොම්පේ දී පොලිස් වෑන් රථයක් සම්පූර්ණයෙන් ම විනාශ කරනු ලැබීය. මහරගම, හෝමාගම, කිරුලපන, වස්කඩුව සහ බෝකුන්දර ආදී ප්‍රදේශන කිහිපයකම පාලන බලය ජනතාව සතුවිය..

හර්තාලයේ අවස්ථාවක්

මහජන ආරක්ෂක පනත යටතේ  අගෝස්තු 12 වැනිදා සවස හදිසි නීතිය ප්‍ර‍කාශයට පත් කරමින්,  රාත්‍රියේ සිට අලුයම දක්වා ඇඳිරි නීතිය පනවනු ලැබීය. හර්තාලයට සම්බන්ධ වූ සටන්කාමීන් සහ ක්‍රියාකාරිකයන් මෙම රෙගුලාසි යටතේ සාමුහිකව දඩයම් කරන්නට විය. මෙම අත්අඩංගුවට ගැනීම්වලදී එජාප ආධාරකරුවන් පොලීසිය සමඟ ක්‍රියාකාරි ලෙස ලෙස සහයෝගයෙන් කටයුතු කළේය

යම් ප්‍රදේශවල 13 වැනි දිනත් සිදුවීම් පැවතුණ අතර ඌරාගහ, බෝකුන්දර, අම්බලන්ගොඩ, කිරුළපන සහ ගංගොඩවිල ප්‍ර‍ධාන මධ්‍යස්ථාන විය. පොලිසිය සමඟ මේ සිදුවීම් වූයේ අත්අඩංගුවට ගනු ලැබූ පිරිස් නිදහස් කර ගැනීමේ දී ය. ලසසප හා කොමියුනිස්ට් පක්‍ෂමුද්‍ර‍ණාලවලට සීල් තැබිණි. පොලිසිය සැකකාර ක්‍රියාකාරිකයන්ගේ නිවෙස්වලට වෙඩි තැබූ සහ දේපළ විනාශ කළ අවස්ථා කිහිපයක් ම විය.

සම්පූර්ණයෙන් ම හර්තාලයට එක් වූ කොළඹ මහ නගර සභාව සහ මොරටුව නගර සභාව විසුරුවා හැර විශේෂ කොමසාරිස්වරුන් පත් කෙරිණි. මහජන රැස්වීම් තහනම් කෙරිණි. එහා මෙහා ගමන් කිරීම සිමා කෙරිණි.  වාමාංශික පක්ෂවල සියලුම පක්ෂ හා වෘත්තීය සංගම් කාර්යාල නැවත නැවතත් පරීක්ෂාවට ලක් විය. හර්තාලයෙන් පැනනැඟුණු සිද්ධිවලට සම්බන්ධ නඩු 970කට වැඩි ප්‍ර‍මාණයක් දිවයිනේ විවිධ ප්‍රදේශවල අධිකරණවල ගොනු කෙරිණි.  ඒ නඩු වෙනුවෙන් සහාය ලබා දුන්නේ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වාගේ මූලිකත්වයෙන් යුත් නීතිඥ මඩුල්ලකි.

එකල ආණ්ඩු බලය වෙත කැස කවමින්, විකල්ප ධනේශ්වර  පක්‍ෂය බවට පත්වීමට පෙරුම්පුරමින්  සිටී ශ්‍රීලංකා නිදහස් පක්‍ෂය  හර්තාලයේදී   ජනතාව ලද ජයග්‍රහණය උදුරා ගත්තේය. ඊට ප්‍රධාන හේතුව  විප්ලවීය මාවතේ  වැනි වැනි දෙගිඩියාවෙන් සිටී  සමසමාජ පක්‍ෂ නායකත්වය ධනේශ්වරයට පංති සහජීවනතාව දැක්වීමේ මාවතට ප්‍රධාන හේතුව වේ. 1953 ජුලි 23 වැනිදා  කොළඹ ගෝල්ෆේස් පිටියේ පැවති ඒකාබද්ධ විපක්‍ෂ රැලියේ මුලසුන දැරුවේ බන්ඩාරනායකය. එය අහම්බයක් වුවද  ඉන් පෙන්නුම් කරන්නේ ඔහුගේ අවස්ථාවාදී  දේශපාලනය මෙන්ම සමසමාජ පක්ෂ – කොමියුනිස්ට් නායකත්වයේ මධ්‍යම පන්තික වැනෙන සුළු බව විදහා පෑමකි.

මේ ගැන සදහන් කරන රෙජි මෙන්ඩිස් පවසනුයේ;

හර්තාල් ව්‍යාපාරය නැගී එද්දී  ඉන් දුරස්ථව කට්ටි පනිමින් සිටී බණ්ඩාරනායකට මේ අවස්තාව සිය දේශපාලන එල නෙළා ගැනීමට මහඟු අවස්තාවක් විය.

අගෝස්තු 13, එනම් හර්තාල් දිනට පසු දිනය සටනට සුදුසු බව , තමන්ට වැටහුණු බවද  රෙජි මෙන්ඩිස් පවසයි.

යැයි  ඔහු සඳහන් කරන්නේ සටන්කාමි ජනතාවකගේ ස්වයං විනය සිහිපත් කරවමිනි.

 සමසමාජ පක්‍ෂ නායකත්වය වෙසෙසින්ම කොළඹ  හර්තාල් සටන නවතා දැමීමට උපදෙස් දී ඇත්තේ ඔවුන් කලින් ප්‍රකාශයට පත්කර තිබුණු පැය 24 ක විරෝධතා කාලය පවා ගතවීමට පෙර 12 වැනිදා පස්වරු 1.30 ට  පමණ ය.  ඒ වන විට විශාල ජනතාවක්  ‘ලේක්හවුසිය’ අල්ලා  ගැනීම සඳහා එදෙසට ගමන් කර තිබිණි. රෙජි මෙන්ඩිස් පවසන  අන්දමට එම වෙලාවේ පැවති සටන්කාමිත්වය අනුව ‘ලේක්හවුසිය’ පමණක් නොව ඒ අවට තිබු ප්‍රධාන තැපැල් කාර්යාලය වැනි මධ්‍යස්ථාන පවා එම ජනතාව අතට පත්වීමට ඉඩ තිබිණි.  සමසමාජ පක්ෂයේ නායකයෙකු වූ ඔස්මන්ඩ් ජයරත්නට දුරකතනයෙන්  කතා කළ විට රෙජි මෙන්ඩිස්ට උපදෙස් ලැබී ඇත්තේ ‘..පක්‍ෂය ගත් තීරණය අනුව සියලු දෙනාම ගෙදර යන ලෙස දැන්වීමටය..’

ජනතාව එම  උපදෙස් පිළිපදින්නට  එකඟ නොවූ තත්වයක් හමුවේ එහි පැමිණි ලෙස්ලි ගුණවර්ධන හා රොබට් ගුණවර්ධන පක්ෂයේ එම තීන්දුව දැනුම් දුන්නේය. රැස්ව සිටී සටන්කාමි ජනයා අදිමදි කරමින්  එකා දෙන්නා විසිර යන්නට වුයේ  ඉන් අනතුරුවය. සම සමාජ පක්ෂයේ බොරලැස්ගමුව තරුණ සංවිධානයේ  එවකට සාමාජිකයෙකු වූ, පසුව ලංකා වෙළඳ,කාර්මික හා පොදු කම්කරු සංගමයේ [CMU] සමිති නායකයෙකුවූ  ටි. ඇන් පෙරේරා ප්‍රකාශ කර තිබුනේ  හර්තාලය අත්හැරීමේ  තීරණය තම  ප්‍රදේශයේ ජනතාවට දැනුම් දුන්නේ  වෙනත් කිසිවෙක් නොව, අගෝස්තු  12 වැනිදා පස්වරුවේ එහි පැමිණි කොල්වින් ආර් ද සිල්වා ය.

පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ හරහා දියත් කෙරුණු ආණ්ඩුවේ ත්‍රස්තවාදයට මුහුණ දී ඊට ප්‍රතිපහාර දීමට ජනතාව සුදානම්ව සිටී මුත්, කලින්  පැය 24 කට සිමා කර තිබු  හර්තාලය සමසමාජ පක්‍ෂ නායකත්වය විසින් පැය 12 ක් ගතවෙත්ම නතර කර දමනු ලැබිණි.

එයින් නොනැවතුණු එම වාමාංශික නායකයෝ හර්තාලය අවසන් බවට ධනේශ්වර ආණ්ඩුවට ප්‍රතිඥා දුන්හ.

ඇන්.ඇම්. පෙරේරා හා ජේ. ආර්. ජයවර්ධන

යැයි ආචාර්ය ඇන්.ඇම් පෙරේරා 17 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.  කොමියුනිස්ට් පක්ෂයේ නායකයෙකු වූ පීටර් කෙනමන් ඊටත් වඩා දුරට යමින්, නැවතත් අගෝස්තු 21 හර්තාලයක් ඇති වීමේ රාවයක් නිසා ධනපති ආණ්ඩුව තුල පැවති බිය තුරන් කරනු සඳහා මෙසේ කිය;

පසුව විපක්ෂය විසින් එජාප ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාස භංග යෝජනාවෙන්  ආණ්ඩුව වැඩි ජන්දයෙන් ජය ගත්තද, 1953 සැප්තැම්බරය එළඹීමත් සමගින්  අගමැති ඩඩ්ලි සේනානායක සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේ  සෞඛ්‍ය හේතු ඉදිරිපත් කරමින්ය. ශත 70 වට ඉහළ දැමූ සහල් සලාකය ශත 55 දක්වා පහල දැමීමත් ජනතාව ලැබූ ජයක් ලෙස සටහන් වේ.

ඇමෙරිකානු අධිපතිවාදය, ලෝක බැංකු හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ  අණසක යටතේ ‘ගෝලීයකරණයට හසු කරනු ලැබූ පවතින සමාජ ක්‍රමය වෙනුවට වෙනත් සමාජ ක්‍රමයක් බිහි කිරීමද, සියලු ව්‍යසනයන්ගෙන් පසු ඉතිරි වන ජනතාව මත පැවරෙන කාර්යභාරයයි. එබැවින් කම්කරු ජනයා පෙරටු කරගත්  පොදු ජන අරගලයක ඓතිහාසික පාඩමක්  ලෙස  1953 හර්තාලය අදටත් වැදගත් වනු ඇත.

[ මුලාශ්‍ර:  ’53’ හර්තාලය` –  සිඩ්නි වනසිංහ / ‘53 හර්තාලයට අඩසියවසක්’- එච්.ඒ .සෙනෙවිරත්න ]

Leave a Reply