ආණ්ඩුව ව්‍යවස්ථා සභාවේ ව්‍යුහාත්මක වෙනස්කම් කිරීමට සූදානම් වන බව පසුගියදා පුවත් පත්වල (ජුනි 21 ලංකාදිප) පළ විය. එම වාර්තාවේ සඳහන් වන ආකාරයට ව්‍යවස්ථා සභාවට ව්‍යුහාත්මක වෙනස්කම් කිරීමට සිදුව ඇත්තේ නව ආණ්ඩුවක් බලයට පත් වූ විට කලින් පැවති ව්‍යවස්ථා සභාවෙන් කරන ලද පත්වීම් වෙනස් කළ යුතු නිසාය. නිදසුනක් වශයෙන් අලුතින් ආණ්ඩුවක් පත් වු නමුත් පොලිස් කොමිසමේ සාමාජිකයන් වෙනස් කිරීමට හැකියාවක් නැත. නිල කාලය අවසන් වන තෙක් ඔවුන්ට එම තනතුරු දැරිය හැකිය. වාර්තාවේ සඳහන් කරන ආකාරයට එය යහපත් තත්වයක් නොවේ.
නිල වශයෙන් මෙවැනි යෝජනාවක් ඉදිරිපත් කර නොමැති වුවද ව්‍යවස්ථා සභාව සහ එහි පත් කිරීම් පිළිබඳව ආණ්ඩුව තුළ පවතින්නේ සුභවාදී දැක්මක් ද යන්න ප්‍රශ්න කළ යුතුය. තොරතුරු දැන ගැනීමේ කොමිසමට සභාපතිවරයෙකු පත් කිරීමට මාස ගණනාවක් ගත විය. අවසානයේදී ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමෙන් පසු, සභාපති කෙනෙකු පත්කෙරිණි.

ලංකාදීප පුවත් පතේ සහ ඊට පෙර දින සන්ඩේ ටයිම්ස් පුවත් පතේ ඉහතින් සඳහන් කළ වාර්තාව පළ වූයේ මෙවැනි වාතාවරණයක් මැද ය. එමනිසා ව්‍යවස්ථා සභාව ගැන ආණ්ඩුව මෙතෙක් ප්‍රකාශයට පත් නොකළ කිසිවකට සූදානම් බව අනුමාන කළ හැකිය.
ආණ්ඩුවේ උසස් තනතුරුවලට පත් කිරීම් සිදු කරන විට බලයේ සිටින දේශපාලන පක්ෂයේ වුවමනාව අනුව නොව ජනතා අපේක්ෂා තහවුරුවන ආකාරයට සිදු විය යුතුය යන්න ගැන සමාජ කතිකාවක් ආරම්භ කෙළේ ජනතා විමුක්ති පෙරමුණයි. ඔවුන් තර්ක කළ ආකාරයට ආණ්ඩුවේ උසස් තනතුරුවලට පත්වීම් කළ යුත්තේ බලයේ සිටින දේශපාලන පක්ෂයේ වුවමනාව මත නොව ජනතා සුභ සිද්ධිය ඉටු වන ආකාරයට ය. 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එනු ලැබුවේ ඒ අනුවය. එම සංශෝධනය සම්මත කිරීමේ දී ජනතා විමුක්ති පෙරමුණේ සහාය තීරණාත්මක විය.
කෙසේ වුවත් 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවෙන් සම්මත කිරීමේ දී ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂා කළ ආකාරයටම සිදු වූයේ නැත. ඔවුන්ගේ යෝජනාව අනුව ව්‍යවස්ථා සභාවේ බහුතරය විය යුත්තේ සෘජුවම දේශපාලන සම්බන්ධතාවයක් නැති සමාජයේ කීර්තිමත් පිළිගැනීමක් ඇති කෘතහස්ත පුද්ගලයින් ය. ඔවුන්ට ආණ්ඩුවේ උසස් තනතුරුවලට වඩාත් සුදුසු පරිණත බුද්ධියක් ඇති අය නම් කිරීමට හැකියාවක් සහ පරිචයක් ඇත යන්න මෙම තර්කයේ පදනමයි. එහෙත් සුපුරුදු පරිදි අවසානයේ ජය ගත්තේ පටු දේශපාලන වුවමනාවයි. ව්‍යවස්ථා සභාව තුළ වූයේ පාර්ලිමේන්තුවේ දේශපාලන නියෝජනයයි. ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් සියල්ලන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල අයයි. එම තත්වය ජනතා විමුක්ති පෙරමුණ අදහස් කළ ආකාරයට ප්රශස්ත නොවන නමුත් පැවති තත්වයට වඩා යහපත් ය. උසස් තනතුරුවලට පත් කිරීමේ දී විධායක ජනාධිපතිට අන් සියල්ල නොසලකා තම කැමැත්ත අනුව ක්‍රියාත්මක වීම අපහසු විය.
කෙසේ වුවත් ව්‍යවස්ථා සභාවත් පත්වීම් කරන බලධාරියා වන විධායක ජනාධිපතිත් අතර සම්බන්ධතාවය හැම විටම යහපත් වූයේ නැත. ව්‍යවස්ථා සභාවෙන් පත්වීම් සඳහා කරන නිර්දේශ විධායක ජනාධිපති හැම විටම අනුමත කෙළේ නැත.
ව්‍යවස්ථා සභාවේ නිර්දේශ තිබුණ ද විධායක ජනාධිපති අකමැති පත්වීම් නොකර සිටීමට හැකියාවක් තිබිණ. තම නිර්දේශ පිළිනොගැනීම ගැන ව්‍යවස්ථා සභාවට ගත හැකි පියවරක් තිබුනේ ද නැත. පළමුවෙන්ම මෙම අර්බූදය මතු වූයේ මැතිවරණ කොමිසමට පත් කිරීම් පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමේ දීය. පසුව ගෙන එන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනවලින් මෙම තත්වය යම් ප්‍රමාණයකින් වෙනස් වුවද ව්‍යවස්ථා මුළින්ම අදහස් කළ ආකාරයේ ස්වාධීන ආයතනයක් වූයේ නැත.

ඇත්තෙන්ම සංවරණ සහ තුලන ක්‍රමයක් සඳහා ව්‍යවස්ථා සභාවේ සංයුතියේ වෙනසක් සිදු විය යුතුය. දැන් පවතින ආකාරයට එය සම්පූර්ණයෙන්ම දේශපාලනීය වූ ආයතනයකි. ව්‍යුහාත්මක හෝ වඩාත් පුළුල් වෙනසක් සඳහා ව්‍යවස්ථා සභාවේ සංයුතියේ වෙනසක් අවශ්‍ය බව අවිවාදිත වුවත් පුවත් වාර්තාවේ සඳහන් වන ආකාරයට වෙනස සිදු කිරීමට අදහස් කරන්නේ පාර්ලිමේන්තුවේ සංයුතියේ වෙනස්වීමට ගැලපෙන ආකාරයට ය. පාර්ලිමේන්තුවේ බල හුවමාරුවකින් පසුව අගමැති කතානායක සහ විරුද්ධ පක්ෂයේ නායක තනතුරුවල වෙනසක් සිදුවීමට බොහෝ විට අවකාශයක් පවතී එහෙත් එම තනතුරු වෙනස්වීම සමග කලින් පැවති ව්‍යවස්ථා සභාවෙන් කරන ලද පත්වීම් ද වෙනස් විය යුතුය යන තර්කය එවැනි සභාවක් යෝජනා කිරීමේ අරමුණු සහ පරමාර්ථවලට කිසිසේත් ගැලපෙන්නේ නැත. ඉන් සරලව අදහස් වන්නේ ආණ්ඩු බලය මාරු වන ආකාරයට උසස් තනතුරුවලට කරන ලද පත්වීම් ද වෙනස් විය යුතුය යන්නයි. එය ව්‍යවස්ථා සභාව හඳුන්වා දීමට පෙර පැවති තත්වයට වඩා වෙනස් වන්නේ නැත.
ව්‍යවස්ථා සභාවක් යෝජනා කිරීමෙන් ජනතා විමුක්ති පෙරමුණත් සිවිල් සමාජයත් අපේක්ෂා කෙළේ ජන ජීවිතයට සෘජුවම බලපාන ආයතනවල මෙහෙයවීම සහ අධීක්ෂණය හැකිතාක් දුරට දේශපාලන බලපෑමෙන් ඉවත් කිරීම ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ VII පරිච්ඡ්දයේ 1 වැනි උපලේඛනයෙන් සහ 2 වැනි උපලේඛනයෙන් දක්වා ඇති තනතුරුවලට සහ ආයතනවලට පත්වීම් කිරීමේ දී ව්‍යවස්ථා සභාවේ අනුමැතිය අවශ්‍ය ය. ඒ සියල්ල යහපාලනයක් පවත්වා ගැනීමට සහ රජයේ වගවීමට තීරණාත්මකව බලපාන ආයතනයි. රටක ජනතාව යනු එහි සියලු පුරවැසියන් ය. දේශපාලන පක්ෂ වශයෙන් බෙදීම් තිබුණ ද සමස්ත ජනතාවගේම අයිතිවාසිකම් ආරක්ෂා වන ආකාරයට ප්‍රතිපත්ති සම්පාදනය සහ පරිපාලනය සිදු විය යුතුය. එය එසේ සිදු වන්නේද යන්න අධීක්ෂණය කිරීමේ වගකීම සහ වගවීම පවතින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉහතින් සඳහන් කළ ව්‍යවස්ථාවලින් නම් කරන ලද ආයතන සහ තනතුරු මතය. ඒ අතරින් තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ කොමිසම අතිශයෙන් වැදගත් ය.
ජන වරමින් ආණ්ඩු බලය ලබා ගත් නියෝජිතයන් ගේ පරිපාලනමය සහ විධායක පියවර ගැන ජනතාවට වගවීමට බැඳෙන්නේ තොරතුරු ලබා ගැනීමේ අයිතිය හරහා ය. එසේ ලබා ගන්නා තොරතුරුවලින් ආණ්ඩුවේ ක්‍රියා පටිපාටිය හෙළිවීමට අමතරව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ක්‍රියා මාර්ග ගැන ජනතාව අතර කතිකාවක් ගොඩ නැගිමට ද ඉවහල් වේ. සංවරණ සහ තුලන පාලන ක්‍රමයක් පවත්වා ගැනීමේ දී එවැනි කතිකාවක් පැවතීම ප්රජාතන්ත්රවාදය ශක්තිමත් වීමකි.
මෙවැනි පසුබිමක තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ කොමිසමට සභාපතිවරයෙකු පත් කිරීම ප්‍රමාද කිරීමෙන් පෙනී යන්නේ ආණ්ඩුව වගවීම නොසලකා හැරීමකි. එම වගකීම ඉටු නොකර ව්‍යවස්ථාවේ සභාවේ සංයුතිය වෙනස් කිරීමක් ගැන කතිකාවක් ඉස්මතුවීම බරපතළ තත්වයති.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්ම අවධාරණය කරන ආකාරයට අද රට ප්‍රපාතයකට වැටී ඇත්තේ ආර්ථික සහ දේශපාලන වශයෙන් පමණක් නොවේ. සදාචාරමය වශයෙන් පිරිහීම ද ආර්ථික සහ දේශපාලන පිරීහීමට මූලික හේතුවකි. මෙම පිරිහීමට කදිම නිදසුනක් පසුගිය දා උත්තරීතර පාර්ලිමේන්තු සභා ගර්භය තුළම සිදු විය. කිසියම් කරුණක් ගැන ප්‍රශ්නයක් ඇසිමට නැගී සිටි ජ්‍යෙෂ්ඨ මංත්‍රිවරියක් ප්රශ්නය ඇසීමට අදාලත්වයක් නැති කරුණක් දිගින් කතා කිරීමේ දී එය නතර කිරීමට කතානායකවරයා ඉදිරිපත් වූයේය. එය නොරිස්සූ මංත්රීවරිය ඊට පිළිතුරු දුන්නේ කතානයකට කට වසා ගැන්නා ලෙස උදහසින් පැවසීමෙනි.
මෙම මංත්රීවරිය ඊට පසුව දා තම ප්‍රකාශය ගැන සමාව යැදිය ද සිද්ධියේ බරපතළකම හෑල්ලු වන්නේ නැත. වචනාර්ථයෙන් ගත් විට පාර්ලිමේන්තුවේ කතා කරන්නේ එහි මුලසුන දරන මංත්රීවරිය හෝ මංත්රීවරයාටය. බ්‍රිතාන්‍ය සම්ප්රදාය අනුව ඔහු හැඳින්වෙන්නේ Speaker නැතිනම් කතා කරන්නා යනුවෙනි. මහජන නියෝජිතයන් කතා කරන්නේ ඔහුටය. සෑම මහජන නියෝජිතයෙකුම කතාවෙන් ආමන්ත්‍රණය කරන්නේ ගරු කතානායකටය. එවැනි තනතුරකට කට වසා ගැනීමට කිව හැක්කේ කාටද? මහජන නියෝජිතයෙකු වුවද පාර්ලිමේන්තු සම්ප්රදාය නොදත් අයෙකුට පමණි.
මෙම සිද්ධිය වැදගත් වන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් අවධාරණය කිරීමට පමණක් නොවේ. දේශපාලන පක්ෂ අනුව බෙදී සිටින ව්‍යවස්ථාදායකයට යුක්තිය සහ සාධාරණත්වය ඉටු කිරීමට අපහසු වන බලවත් හේතු පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය තුළ පවතී යන්න හෙළි කිරීමට ය. මේ ගැන අපමණ නිදසුන් මෑත ඉතිහාසයෙන් ගෙනහැර දැක්විය හැකිය.
මෙවැනි තත්වයක් තුළ පාර්ලිමේන්තුවේ සංයුතිය වෙනස්වීමත් සමග ව්‍යවස්ථාදායක සභාවේ ව්‍යුහාත්මක වෙනස්කම් කිරීමට යෝජනා කිරීම විචාර බුද්ධියට නිගාවකි.
එමනිසා ව්‍යවස්ථා සභාවේ ව්‍යුහාත්මක වෙනස්කම් කිරීමට අදහස් කරන්නේ නම් සිදුවිය යුත්තේ පක්ෂ දේශපාලන බලපෑම සම්පූර්ණයෙන් ඉවත් කර ජනතාවට වගවෙන ආයතනයක් බවට පත් කිරීමට ය. එසේ නැතිව වෙනස් වන දේශපාලන බලය සුරක්ෂිත කිරීම සඳහානම් එය නිසැකව ජනතාවගේත් කලින් ජනතා විමුක්ති පෙරමුණේත් තිබු අපේක්ෂා බිඳ දැමීමකි.
- මංකොල්ලකාරී අධිරාජ්‍යවාදය නැවතත් ලෝක සමය බවට පත්වේ.. - March 4, 2026
- යළි උපන් අවතාර පැරණි හොල්මන්වලින් වෙනස්වන්නේ නැත.. - February 25, 2026
- දේශපාලනයේ දරිද්‍රතාවයට විසඳුම් අවශ්‍යයි.. - February 9, 2026