You are currently viewing ඉන්දියානු වන සංරක්ෂණයට චිප්කෝ..

ඉන්දියානු වන සංරක්ෂණයට චිප්කෝ..

චිප්කෝ ව්‍යාපාරය යනු ඉන්දියාවේ වනාන්තර සංරක්ෂණය කිරීමේ ප්‍රබලත ම ව්‍යාපාරයකි.

චිප්කෝ ව්‍යාපාරය නොහොත් චිප්කෝ ඇන්දෝලන් යනු ඉන්දියාවේ වන සංරක්ෂණ ව්‍යාපාරයකි. එය 1973 දී උත්තර ප්‍රදේශයේ (හිමාල කඳුවැටියේ) කොටසක් වූ උත්තරකාන්ඩ් හි ආරම්භ වූ අතර ලොව පුරා බොහෝ අනාගත පාරිසරික ව්‍යාපාර සඳහා පෙළ ගැසෙන ස්ථානයක් බවට පත්විය. එය ඉන්දියාවේ අවිහිංසාවාදී විරෝධතා ආරම්භ කිරීම සඳහා පූර්වාදර්ශයක් නිර්මාණය කළේය.

කෙසේ වෙතත්, ගාන්ධිවාදී ක්‍රියාකාරිකයෙකු වන සුන්දර්ලාල් බාහුගුනා විසින් මෙම ව්‍යාපාරයට නිසි මඟ පෙන්වීමක් ලබා දුන් අතර එහි සාර්ථකත්වය වූයේ, වේගවත් වනාන්තර විනාශය මන්දගාමී කිරීමට, නිත්‍යානුකූල අවශ්‍යතා හෙළි කිරීමට, සමාජ දැනුවත්භාවය වැඩි කිරීමට සහ ගස් බේරා ගැනීමේ අවශ්‍යතාව, පාරිසරික දැනුවත්භාවය වැඩි කිරීමට සහ මහජන බලයේ ශක්‍යතාව විදහා දැක්වීමට උදව් කිරීම මගින් එවැනි ම පරිසර කණ්ඩායම් බොහොමයක් දිරිගැන්වීමට තුඩු දුන් මෙම අවිහිංසාවාදී ව්‍යාපාරය වහා ම ලෝක අවධානයට ලක් වීමයි.

‘පරිසර විද්‍යාව ස්ථිර ආර්ථිකයයි’ යන සටන් පාඨය ඔහු භාවිතා කළේය. ගෝත්‍රික හා දුප්පත් ජනතාවගේ ප්‍රශ්න විසඳීමට පටන් ගත් මෙම ව්‍යාපාරය සියල්ලටමත් වඩා ඉන්දියාවේ සිවිල් සමාජය අවදිකාරීමට හේතු විය. මෙම ව්‍යාපාරයට සහයෝගය ලැබුණේ ප්‍රධාන වශයෙන් ස්ත්‍රී ප්‍රජාව වෙනි. චිප්කෝ ඇන්දෝලන් නොහොත් චිප්කෝ ව්‍යාපාරය යනු සත්‍යග්‍රහයේ ක්‍රමවේදයන් අනුගමනය කළ ව්‍යාපාරයක් වන අතර එහි දී ප්‍රධාන චරිත නිරූපණය කළ අය අතර ගෞරා දේවි, සුරක්ෂා දේවි, සුදේෂා දේවි, බච්නි දේවි සහ චන්දි ප්‍රසාද් භට්, විරුෂ්ක දේවි සහ තවත් අය ඇතුළු උත්තරකාන්ඩ් හි පුරුෂ හා ස්ත්‍රී ක්‍රියාකාරීහු වැදගත් කාර්යභාරයක් ඉටු කළහ.

අද වන විට පරිසර-සමාජවාදී පැහැයෙන් ඔබ්බට එය වැඩි වැඩියෙන් දක්නට ලැබෙන්නේ පරිසර ස්ත්‍රීවාදී ව්‍යාපාරයක් ලෙසය. එහි නායකයින්ගෙන් බොහෝ දෙනෙක් පුරුෂයින් වුවද, එහි කොඳු නාරටිය පමණක් නොව ප්‍රධානතම  කොටස ද ස්ත්‍රීහු වූහ. එසේ වුයේ දර සහ ආහාර මෙන් ම පානීය හා වාරිමාර්ග ජල හිඟය නිසා වැඩිපුරම පීඩාවට පත් වූයේ ඔවුන් නිසාය. වසර ගණනාවක් පුරා ඔවුන් චිප්කෝ ව්‍යාපාරය යටතේ සිදු වූ වන වගා කටයුතු වලින් බහුතරයක ප්‍රාථමික පාර්ශවකරුවන් බවට පත් හූහ.

1987 දී චිප්කෝ ව්‍යාපාරයට Right Livelihood Award නමැති ජාත්‍යන්තර සම්මානය පිරිනමන ලද්දේ, ඉන්දියාවේ ස්වාභාවික සම්පත් සංරක්ෂණය, ප්‍රතිෂ්ඨාපනය හා පාරිසරික යහපැවැත්ම උදෙසා භාවිතා කිරීම සඳහා වූ කැපවීම වෙනුවෙන්ය.

පසුබිම:

කුඩා කර්මාන්ත පිහිටුවීමේ අරමුනින් 1964 දී ජයප්‍රකාශ් නාරායන් සහ සර්වෝදය ව්‍යාපාරය විසින් දශෝලි ග්‍රාම් ස්වරාජ් සංගමය හෙවත් ගමේ ස්වයං පාලනය සඳහා වූ දශෝලි සමිතිය ආරම්භ කරන ලද්දේ ගාන්ධිවාදී සමාජ සේවක චන්දි ප්‍රසාද් භට් විසිනි. එහි අරමුණ වූයේ වනාන්තරයේ සම්පත් උපයෝගී කර ගනිමින් කුඩා කර්මාන්ත ආරම්භ කිරීමයි. ඔවුන්ගේ පළමු ව්‍යාපෘතිය වූයේ දේශීය භාවිතය සඳහා ගොවිපල මෙවලම් තනන කුඩා වැඩමුළුවකි. 1980 ගණන්වලදී දශෝලි ග්‍රාම් ස්වරාජ්‍ සංගමයේ නාමය DGSS යනුවෙන් වෙනස් කැරිණි.

මෙහි දී ඔවුන්ට වනාන්තරවලට තහංචි දමන ප්‍රතිපත්තිවලට මුහුණ දීමට සිදු විය. එය යටත් විජිත යුගයේ  සිට පවතින්නක් මෙන්ම ‘කොන්ත්‍රාත්කරුවන්ගේ ක්‍රමය’ ද විය. ඒ අනුව මෙම වනාන්තර ඉඩම් විශාල කොන්ත්‍රාත්කරුවන්ට වෙන්දේසි කරන ලදී.  ඔවුන් පහත්බිම්වල සිට, පුහුණු හා අර්ධ පුහුණු කම්කරුවන් රැගෙන ආවේය. කඳුකර ජනතාවට ඉතිරි කැරුණේ ගල් ඇදීම වැනි තුට්ටු දෙකේ සුළු රැකියා පමණි. අනෙක් අතට, කඳුකර ප්‍රදේශවලට පිටතින් වැඩි පිරිසක් පැමිණීම දක්නට ලැබුණු අතර, එය ඒ වන විටත් පීඩාවට පත්ව ඇති පාරිසරික සමතුලිතතාවය වැඩි කිරීමට පමණක් හේතු විය.

1970 ජූලි මාසයේ හට ගත් අලක්කන්ද ගඟ පිටාර ගැලීමේ හේතුවෙන් විශාල නායයෑමකින් ගඟ අවහිර වී බද්‍රිනාත් අසල පිහිටි හනුමන්චට්ටි සිට හරිද්වාර් දක්වා කිලෝමීටර් 320ක් පහලට ගම්මාන, පාලම් සහ මාර්ග ගසා ගෙන ගොස්  දුෂ්කරතා උග්‍ර වීමෙන් ඉතා ඉක්මනින් ම ගරවාල් හිමාලය, වන ආවරණ විනාශය පිළිබඳ පාරිසරික දැනුවත්භාවය සඳහා වූ කේන්ද්‍රස්ථානයක් බවට පත් විය. අනතුරුව සිවිල් ඉංජිනේරු ව්‍යාපෘතිවල ශීඝ්‍ර වර්ධනයක් සිදුවෙමින් පැවති ප්‍රදේශයක නාය යෑම් සහ ඉඩම් ගිලා බැසීම් බහුලව සිදුවිය.

ආරම්භය සහ සංවිධානය:

වැඩි කල් යන්නට මත්තෙන් ගම්වැසියන් හා ස්ත්‍රීහු කුඩා කණ්ඩායම් කිහිපයක් යටතේ සංවිධානය වීමට පටන් ගත් අතර, බලධාරීන්ට ප්‍රදේශයේ ගැටළු කියාපාමින්  ඔවුන්ගේ ජීවනෝපායන්ට තර්ජනයක් වූ වාණිජමය දැව ජවාරම්වලට එරෙහිව නැගී සිටියහ. 1971 ඔක්තෝම්බර් මාසයේදී සංගමයේ කම්කරුවන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්තිවලට විරෝධය දැක්වීම සඳහා ගෝපේශ්වාර් හි දී උද්ඝෝෂණයක් පැවැත්වීය. 1972 අග භාගයේදී තවත් රැස්වීම් සහ පෙළපාලි පැවැත්වූ නමුත් සෘජු ක්‍රියාමාර්ගයක් ගැනීමට තීරණයක් ගන්නා තෙක් එතරම් බලපෑමක් නොවී ය.

එවැනි සිද්ධියක් පළමු වරට සිදු වූයේ සංගමයේ වාර්ෂික ගොවි උපකරණ වැඩමුළුව සඳහා හික් ගස් දහයක් ලබා ගැනීම සඳහා කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කර, අලහබාද් හි ක්‍රීඩා භාණ්ඩ නිශ්පාදකයකු වන සයිමන් සමාගමට හික් ගස් 300ක කොන්ත්‍රාත්තුවක් ප්‍රදානය කිරීමට වනසංරක්ෂණ දේපාර්තමේන්තුව තීරණය කළ අවස්ථාවේ දීය.  1973 මාර්තු මාසයේදී, දැව කපන්නන් ගෝපේෂ්වාර් වෙත පැමිණි අතර, සති කිහිපයකට පසු, 1973 අප්‍රියෙල් 24 වන දින මන්ඩාල් ගමේ දී ගැටුමකට ඔවුන් මුහුණ දුන් අතර, එහි දී ගම්වාසීන් හා DGSS කම්කරුවෝ සියයක් පමණ බෙර ගසමින් සටන් පාඨ කියමින් සිටියහ. එමඟින් කොන්ත්‍රාත්කරුවන්ට සහ ඔවුන්ගේ දැව කපන්නන්ට පසුබැසීමට බල කෙරුණි.

මෙම ව්‍යාපාරයේ පළමු ගැටුම මෙය විය, අවසානයේ දී කොන්ත්‍රාත්තුව අවලංගු කර එය සංගමයට ප්‍රදානය කරන ලදී. මේ වන විට, හික් ගස්වලින් වාර්ෂිකව කෝටාවක් මිල දී ගැනීමෙන් ඔබ්බට ගැටළුව වර්ධනය වී ඇති අතර, ගම්වැසියන්ට අහිතකර ලෙස බල පෑ වාණිජමය දැව කැපීම සහ රජයේ වනාන්තර ප්‍රතිපත්තිය කෙරෙහි ඔවුගේ සැලකිල්ල වැඩි වැඩියෙන් යොමු විය. අවිහිංසාවාදී විරෝධතා මාර්ගයක් ලෙස ගස් වැළඳ ගැනීම හෙවත් චිප්කෝ වෙත යොමුවීමට සංගමය තීරණය කළේය.

ගෝපේශ්වාර් සිට කිලෝමීටර් 80ක්  ඈතින් පිහිටි ෆාටා වනාන්තරයෙන් තවත් හික් ගස් එම සමාගමට ප්‍රදානය කිරීම නිසා අරගලය බොහෝ දුරට අවසන් විය. 1973 ජුනි 20 වන දින සිට ප්‍රදේශයේ විරෝධය හේතුවෙන් කොන්ත්‍රාත්කරුවන් පසුබැස ගියේ දින කිහිපයක් පුරා පැවති ගැටුමකින් පසුවය. ඉන්පසුව, ෆාටා සහ තාර්සාලි ගම්වාසීන් සුපරීක්ෂාකාරී කණ්ඩායමක් පිහිටුවා ගත් අතර දෙසැම්බර් මාසය වන තෙක් ගස් දෙස බලා සිට, ඔවුන්ට සාර්ථකව නැගී සිටීමට අවස්ථාව ලද විට, ක්‍රියාකාරීන් නියමිත වේලාවට එම ස්ථානයට ළඟා විය. එවිට හික් ගස් පහක් කපා දමා දැව කපන්නන් පසුබැස ගියහ‍.

අවසාන ගැටුම ආරම්භ වූයේ මීට මාස කිහිපයකට පසුවය. 1974 ජනවාරියේදී රජය විසින් රක්නි ගම්මානය අසල ගස් 2,500 ක් විකිණීම සඳහා වෙන්දේසියක් ප්‍රකාශයට පත් කරන ලදී. භට් රෙනී ප්‍රදේශයේ ගම්මානවලට ගොස් ගස් වැලඳ ගෙන රජයේ ක්‍රියාමාර්ගවලට විරෝධය දැක්වීමට ගම්වැසියන් පෙළැඹුවේය. ඊළඟ සති කිහිපය තුළ රෙනී ප්‍රදේශයේ පෙළපාලි සහ රැස්වීම් දිගටම පැවතුනි.

ගස් කැපීමට නියමිත 1974 මාර්තු 25 වන දින, ප්‍රාන්ත රජය සහ කොන්ත්‍රාත්කරුවන් විසින් රෙනී ගම්මානයේ පුරුෂයින් සහ චමෝලි හි සිටි DGSS කම්කරුවන්, වන්දි ගෙවනවා යැයි මවා පෑ ස්ථානයකට යවන ලද අතර, දැව කපා පැටවීම සඳහා දැව කපන්නන් පිරිසක් ට්‍රක් රථයකින් පැමිණියහ.

ප්‍රාදේශීය ගැහැනු ළමයෙක් ඔවුන් දුටු විගස ආරංචිය දීමට රෙනී ගම්මානයේ මහිලා මංගල් දාල් ගමේ ප්‍රධානී ගෞරා දේවි වෙත දිවැ ගෙන ගියාය. (ලාටා ඇගේ මුතුන්මිත්තන්ගේ ගම වූ අතර රෙනී ඇය දරුකමට හදාගත් ගම විය). ගෞරා දේවි ගමේ ස්ත්‍රීන් 27 දෙනෙකු කැටුව එම ස්ථානයට ගොස්  දැව කපන්නන්ට මුහුණ දුන්නාය. සියලු කතා අසාර්ථක වූ විට, ගස් කපන්නෝ ස්ත්‍රීන්ට කෑගසමින් හා අතවර කිරීමට පටන් ගත් අතර, ඔවුන්ට තුවක්කු එල්ල කර තර්ජනය කළහ. එවිට ස්ත්‍රීහු ගස් කපා හෙළීම වැළැක්වීම සඳහා ගස් වැලඳ ගත්හ. මෙම ක්‍රියාව බොහෝ වේලාවක් ඉදිරියට ඇදී ගියේය. ගස් කපන්නන්ගෙන් කිහිපදෙනෙක් පැසුබැස ගමෙන් පිටවන තුරු ස්ත්‍රීහු ගස් ආරක්ෂා කරමින් මුළු රාත්‍රියේ ම සෝදිසියෙන් සිටියහ. ඊළඟ දවසේ, පුරුෂයින් සහ නායකයන් ආපසු පැමිණි විට, ව්‍යාපාරය පිළිබඳ පුවත අසල්වැසි ලාටා සහ හෙන්වාල්ගාටි ඇතුළු ගම්මාන වෙත පැතිර ගොස් තවත් පිරිසක් ඊට එක් වූහ. මෙසේ දින හතරක් ගස් කැපීම වළකා ගෙන සිටි විට අවසානයේ දී, කොන්ත්‍රාත්කරුවෝ ඉවත්ව ගියහ.

උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ හිටපු මහ ඇමති හෙම්වතී නන්දන් බහුගුන මහතා

දුරදිග යන බලපෑම:

මෙම පුවත ඉතා ඉක්මණින් ප්‍රාන්ත අගනුවරට ළඟා විය. එවකට ප්‍රාන්ත මහඇමති හෙම්වතී නන්දන් බහුගුන මහතා මේ පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කළ අතර තීන්දුව අවසානයේ ගම්වැසියන්ගේ වාසියට හේතු විය. මෙය කලාපයේ සහ ලොව පුරා පරිසර සංවර්ධන අරගල ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් බවට පත් විය.

අරගලය ඉතා ඉක්මනින් කලාපයේ බොහෝ ප්‍රදේශවලට ව්‍යාප්ත වූ අතර, ප්‍රාදේශීය ප්‍රජාව සහ දැව වෙළෙන්දන් අතර එවැනි ස්වයංසිද්ධ ගැටුම් ස්ථාන කිහිපයක දී ම සිදුවිය. කඳුකර ස්ත්‍රීහු අවිහිංසාවාදී ක්‍රියාකාරීන් ලෙස තම නව බලය පෙන්වූහ. ව්‍යාපාරය එහි නායකයින් යටතේ හැඩ ගැසෙද්දී, චිප්කෝ ව්‍යාපාරය යන නම ඔවුන්ගේ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ විය. චිප්කෝ ඉතිහාසඥයින්ට අනුව, භට් විසින් මුලින් භාවිතා කරන ලද්දේ ‘වැළඳ ගැනීම’ සඳහා ගාවාර්ලම භාෂාවෙන් ‘අංගල්වාල්තා’ යන වචනය වන අතර පසුව එම සංවිධානය ‘ඇලවීම’ නමැති තේරුම ඇති හින්දි වචනයක් වන ‘චිප්කෝ’ නාමය වැළඳ ගත්තේය.

ඊ ළඟ වසර පහ තුළ මෙම ව්‍යාපාරය කලාපයේ බොහෝ දිස්ත්‍රික්කවලට ව්‍යාප්ත වූ අතර දශකයක් ඇතුළත උත්තරකාන්ඩ් හිමාලය පුරා ව්‍යාප්ත විය. කලාපයේ පාරිසරික හා ආර්ථික සූරාකෑම පිළිබඳ විශාල ගැටළු මතු විය. වනාන්තර සූරාකෑමේ කොන්ත්‍රාත්තු පිටස්තරයින්ට ලබා නොදිය යුතු බවත්, ඉඩම්, ජලය සහ වනාන්තර වැනි ස්වාභාවික සම්පත් මත ප්‍රාදේශීය ප්‍රජාවන්ට ඵලදායී පාලනයක් තිබිය යුතු බවත් ගම්වාසීහු ඉල්ලා සිටියහ. ඔවුන්ට රජය මගින් කුඩා කර්මාන්ත සඳහා අඩු වියදම් අමුද්‍රව්‍ය සැපයීම සහ පාරිසරික සමතුලිතතාවයට බාධා නොකර කලාපයේ සංවර්ධනය සහතික කිරීම අවශ්‍ය විය. මෙම ව්‍යාපාරය විසින් ඉඩම් නොමැති වනාන්තර සේවකයින්ගේ ආර්ථික ගැටලු සැලකිල්ලට ගෙන අවම වැටුපක් සහතික කරන ලෙස ඉල්ලා සිටින ලදී. එතෙක් ධනවතුන්ගේ බූදලයක් ලෙස සැලකුණු පරිසරය දූප්පතුන්ගේ ජීවිතය හා මරණය පිළිබඳ කාරණයක් බවත්, පාරිසරික ඛේදවාචකයකින් නිතර විනාශයට පත් වන්නේ දුප්පතුන් බවත් චිප්කෝ ව්‍යාපාරය ලෝකයට නිරාවරණය කළේය.

ව්‍යාපාරයෙන් ඉක්බිතිව විද්වත් අධ්‍යයන කිහිපයක් සිදු කරන ලදී. 1977 දී තවත් ප්‍රදේශයක ස්ත්‍රීහු කැපීම සඳහා නියමිතව තිබූ ගස් වටා ‘රාඛි’ නමින් පූජනීය නූල් බැඳ තැබූහ. හින්දු සම්ප්‍රදායට අනුව රක්ෂා බන්ධන හෙවත් ‘රාඛි’ යන්නෙන් අදහස් කරන්නේ සහෝදර සහෝදරියන් අතර ඇති බැඳීමයි. ඔවුන්ගේ ජීවිත පූජා කර හෝ ගස් බේරා ගන්නා බවට ඔවුහු සපථ කළහ.

චිප්කෝ උද්ඝෝෂණවලට ස්ත්‍රීන්ගේ සහභාගීත්වය ව්‍යාපාරයේ නවතම අංගයක් විය. කලාපයේ වනාන්තර කොන්ත්‍රාත්කරුවන් පුරුෂයින්ට මත්පැන් සැපයීම සාමාන්‍යයෙන් දෙගුණයක් විය. පුරුෂයින්ගේ මත්පැන් පානය කිරීමේ පුරුද්දට එරෙහිව ස්ත්‍රීහු දිගින් දිගටම උද්ඝෝෂණ පැවැත්වූ අතර අනෙකුත් සමාජ ගැටලු ආවරණය කිරීම සඳහා ව්‍යාපාරයේ න්‍යාය පත්‍රය පුළුල් කළහ.

Sunderlal Bahuguna [1927-2021]

හරිත ආවරණය සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් වන තෙක් හිමාලයානු ප්‍රදේශවල ගස් කැපීම වසර පහළොවකට තහනම් කිරීමට 1980 දී එවකට අග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි විසින් තීරණය කිරීමත් සමඟ මෙම ව්‍යාපාරය ජයග්‍රහණයක් අත්කර ගත්තේය.

ප්‍රමුඛ පෙළේ චිප්කෝ නායකයෙකු වන ගාන්ධිවාදී සුන්දර්ලාල් බාහුගුනා 1981–83 කාල වකවානුව තුළ ට්‍රාන්ස් සිට හිමාලය දක්වා කිලෝමීටර් 5,000ක පා ගමනක් සංවිධානය කර චිප්කෝ පණිවිඩය ඊටත් වඩා විශාල ප්‍රදේශයකට ව්‍යාප්ත කළේය.

ක්‍රමයෙන් ස්ත්‍රීහු දේශීය වනාන්තර ආරක්ෂා කිරීම සඳහා සමුපකාර පිහිටුවා ගත් අතර දේශීය පරිසරයට හිතකර මිල ගණන් යටතේ ආහාර නිෂ්පාදනය ද සංවිධානය කළහ. ඊළඟට, ඔවුන් ආහාර එකතු කිරීම සඳහා ඉඩම් තට්ටුමාරු කිරීමේ යෝජනා ක්‍රමවලට සම්බන්ධ වී නිසරු වූ ඉඩම් නැවත වගා කිරීමට උදව් කළ අතර, ඔවුන් තෝරාගත් විශේෂ වගාවන් සහිත පැල තවාන් ස්ථාපිත කර පවත්වා ගෙන ගියහ.

සහභාගිවන්නෝ:

2021Oct22_[2]_Prema2
1974 දී රේනි ගම්මානයේ සිදු වූ පළමු කාන්තා චිප්කෝ ක්‍රියාවට සහභාගී වූවන්, වසර තිහකට පසු නැවත රැස් විය.

1974 දී රෙනී ගම්මානයේ පැවති පළමු ස්ත්‍රී චිප්කෝ ක්‍රියාව සඳහා සහභාගී වූවන් වසර තිහකට පසු නැවත රැස්විය. චිප්කෝ හි වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණයක් වූයේ ගම්වාසී සත්‍රීන්ගේ විශාල සහභාගීත්වයයි.

උත්තරඛාන්ඩ් හි ගොවිජන ආර්ථිකයේ කොඳු නාරටිය වූ ස්ත්‍රීන්ට බොහෝ සෙයින් සෘජුව ම බලපා ඇත්තේ පාරිසරික හායනය(පිරිහීම) හා වන විනාශයයි. චිප්කෝ දෘෂ්ටිවාදයෙන් මෙම ස්ත්‍රී සහභාගීත්වයට කෙතරම් බලපෑමක් හෝ  ලැබුණු දෙයක් තිබේ ද යන්න අධ්‍යයන කවයන් තුළ දැඩි ලෙස විවාදයට භාජනය වී ඇත.

එසේ තිබියදීත්, ගෞර දේවි, සුදේෂා දේවි, බච්නි දේවි, චන්දි ප්‍රසාද් භට්, සුන්දරලාල් බහුගුනා, ගෝවින්ද් සිං රාවට්, ධූම් සිං නෙජි, ෂම්ෂර් සිං බිෂ්ට් සහ තවමත් හිමාලියානු කලාපයේ ජනප්‍රියව පවතින ගී රචනා කළ චිප්කෝ කවියා වූ ඥානසියම් රතුරි ඇතුළු පුරුෂ සහ ස්ත්‍රී ක්‍රියාකාරීහු ව්‍යාපාරයේ වැදගත් කාර්යභාරයක් ඉටු කළහ. චන්දි ප්‍රසාද් භට් වෙත 1982 දී රාමන් මැග්සේසේ සම්මානය ප්‍රදානය කැරිණි. සුන්දර්ලාල් බාහුගුනා 2009 දී පද්ම විභූෂන් සම්මානයෙන් පිදුම් ලැබීය.

උරුමය:

1980 දශකයේ දී ටෙරි දිස්ත්‍රික්කයේ චිප්කෝ ක්‍රියාකාරීන් ඩූන් නිම්නයේ හුණුගල් කැණීමට විරෝධය දැක්වීමට යොමු වන්නේය. මෙම ව්‍යාපාරය ඩෙරාඩුන් දිස්ත්‍රික්කය පුරා ව්‍යාප්ත වූ අතර, ඊට පෙර එහි තිබුණු සත්ත්ව හා ශාඛ විශේෂ විශාල වශයෙන් අහිමි කිරීමට මග පෑදූ වන විනාශයක් සිදු කර ඇති බව දක්නට තිබුණි.

චිප්කෝ ක්‍රියාකාරීන් ගෙන ගිය වසර ගණනාවක උද්ඝෝෂණයකින් පසු අවසාන වශයෙන් හුණුගල් කැණීම තහනම් කැරිණි. වනාන්තර විනාශය වැළැක්වීම සඳහා විශාල මහජන ප්‍රයත්නයක් දරණ ලද අතර එය නිසි වේලාවට නිම්නය වටා පැතිර ගියේය.

බීජ් බචාවෝ ආන්ඩෝලාන් හෙවත් බීජ සුරකිමු ව්‍යාපාරය ආරම්භ කිරීමට පෙර 1980 දශකයේ දී බහුගුනා වැනි ක්‍රියාකාරීන් භගිරාති ගඟේ ටෙරි වේල්ල ඉදිකිරීමට විරෝධය පළ කළ අතර එය ඊ ළඟ දශක දෙක පුරා පැවතුණි.

කාලයාගේ ඇවෑමෙන්, එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන් වාර්තාවක සඳහන් වන පරිදි, “චිප්කෝ ක්‍රියාකාරීන් නගර මුල් කර ගත් නිශ්පාදන සඳහා වනාන්තර  විකිණීම ගැන පමණක් සැලකිලිමත් වන දුරස්ථ නිලධාරිවාදියකුගේ අතින් තම වන සම්පත් පාලනය තමන් අතට ගනිමින් සමාජ ආර්ථික විප්ලවයක් ආරම්භ කළහ.” චිප්කෝ ව්‍යාපාරය හිමාල ප්‍රදේශයේ, රාජස්ථාන් සහ බිහාර් ප්‍රාන්තයන් හි අනෙකුත් වනාන්තර ප්‍රදේශවල සමාජ-පාරිසරික ව්‍යාපාර සඳහා මිනුම්දණ්ඩක් බවට පත්විය. 1983 සැප්තැම්බරයේදී, චිප්කෝ එවැනි ම ව්‍යාපාරයක් වූ ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ ‘අප්පිකෝ’ බිහි කිරීම සඳහා උත්පත්තිජනකයක් ලබා දුන් අතර එහි දී බටහිර කඳුකරයේ සහ වින්ධ්‍යා වල ගස් කැපීම නතර විය.

කුමාඕන් කලාපයේ, චිප්කෝ වඩාත් රැඩිකල් ස්වරයක් ගත් අතර වෙන ම උත්තරකාන්ඩ් ප්‍රාන්තයක් සඳහා වූ පොදු ව්‍යාපාරය සමඟ ඒකාබද්ධ විය. අවසානයේ 2001 දී එම ඉල්ලීම සාක්ෂාත් කර ගන්නා ලදී. මෑත වසරවලදී, මෙම ව්‍යාපාරය ජල කළමනාකරණය, බලශක්ති සංරක්ෂණය, වන වගාව සහ ප්‍රතිචක්‍රීකරණය පිළිබඳ ප්‍රායෝගික වැඩසටහන් සඳහා වැඩ කිරීමට බොහෝ දෙනෙකුට ආස්වාදයක් ලබා දුන්නා පමණක් නොව, හිමාලය හා ඉන්දියාව පුරා පාරිසරික හායනය හා සංරක්ෂණ ක්‍රම පිළිබඳව අධ්‍යයනය කිරීම ආරම්භ කිරීමට විද්වතුන් දිරිමත් කළේය.

2004 මාර්තු 26 වන දින, නිති නිම්නයේ රෙනී, ලාටා සහ අනෙකුත් ගම්මාන චිප්කෝ ව්‍යාපාරයේ 30 වන සංවත්සරය සමරනු ලැබූ අතර,  ව්‍යාපාරය මූලාරම්භයේ දී සහභාගිවූවන්ගෙන් ජීවතුන් අතර ඉතිරිව සිටි සියල්ලෝ ම ඊට එක් වූහ. සැමරුම් ආරම්භ වූයේ ගෞරා දේවිගේ මුතුන්මිත්තන්ගේ නිවස වන ලාටාහිය. එහි දී චිප්කෝ නායක ගෝවින්ද් සිං රාවට්ගේ බිරිඳ පුෂ්පා දේවි, ධූම් සිං නෙගි, හෙන්වාල්ගාටි හි චිප්කෝ නායක ටෙරි ගාර්වාල් සහ තවත් අය සැමරූහ.

1974 මාර්තු 26 වන දින සැබෑ චිප්කෝ ක්‍රියාව සිදු වූ අසල්වැසි ගම්මානයක් වන රෙනී වෙත පෙරහැරක් ගියේය. මෙය වර්තමාන තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා ලෝක ව්‍යාප්ත ක්‍රමවේදයන්ගේ ආරම්භය සනිටුහන් කළේය. 

මෑත දී එනම් 2017 දී, බටහිර බෙංගාලයේ, උතුරු පර්ගානාස් දිස්ත්‍රික්කයේ, ජෙසෝරි පාරේ උඩු වියනක් අතුපතර විහිදී තිබුණු සියවසකට වඩා පැරණි ගස්වලට සිදු කරන්නට ගිය ක්ෂණික වන විනාසය නිසා ප්‍රාදේශීය ප්‍රජාව චිප්කෝ ව්‍යාපාරයේ උරුමය අනුගමනය කරමින් ගස් 4000ක් බේරා ගැනීමේ උද්ඝෝෂණයක ස්වරූපයේ දැවැන්ත ව්‍යාපාරයක් දියත් කර තිබේ.

Print Friendly, PDF & Email

Leave a Reply