ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් ඇමති ලෙස ඉදිරිපත් කළ දෙවන අයවැය ලේඛනය දැනටමත් බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්ව ඇත. දරා ගත නොහැකි ජීවන බරින් පෙළෙන ජනතාව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා සහනයක් බලා පොරොත්තු වූ අතර වෛද්‍යවරු සහ වෙනත් වෘත්තිකයෝ බදු සහන බලාපොරොත්තු වූහ. මෙම අයවැයෙන් අලුතින් බදු කිසිවක් පනවන්නේ නැති බව කලින්ම ප්‍රකාශ කර තිබුණ නිසා වෙළඳ ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් අයවැය තුළින් වෙනසක් බලාපොරොත්තු නොවන්නට ඇත.
මෙම අයවැයෙන් ඉදිරිපත් කළ පෙරළිකාර යෝජනාව වූයේ වතුකම්කරුවන් ගේ වැටුප රු.200කින් වැඩි කිරීම සහ පැමිණීමේ දිරි දීමනාවක් වශයෙන් භාණ්ඩාගාරයෙන් සහනාධාරයක් වශයෙන් ඔවුන්ට තවත් රු. 200 ක් ගෙවීම ය. ඒ අනුව වතු කම්කරුවන්ගේ වැටුප රු. 1350 සිට රු. 1550 දක්වා වැඩි වනු ඇත. විදෙස් විනිමය ඉපයීමේ දී ඓතිහාසිකව සුවිශාල මෙහෙවරක් කරන වතුකම්කරුවන්ට ජීවත්වීමට සරිලන වැටුපක් නොලැබෙන බව ද ඓතිහාසික කරුණකි. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේ සිටම වතුකම්කරුවන්ව ලැබුණේ යාන්තමින් පණනළ රැකගැනීමට සරිලන වැටුපකි. වතු ලයින් කාමරවලට සීමා වූ මෙම කම්කරුවන්ගේ ජීවන තත්වය ලංකාවේ සෙසු පීඩිත කොටස් සමග සැසඳීමේදී පවා පහත් මට්ටමක පැවතිණ. වතු සමාගම් රජයට පවරා ගැනීමෙන් වතුවල අයිතියේ වෙනසක් වුවද කම්කරුවන්ගේ ජීවන මට්ටමේ වෙනසක් සිදු වූයේ නැත.
අලුත්ම සංඛ්‍යා ලේඛන අනුව ලංකාවේ වැඩිම දරිද්‍රතාවයක් පවතින්නේ වැඩිම වතු ප්‍රමාණයක් ඇති නුවරඑළිය දිස්ත්‍රික්කයේ ය.
වතු කම්කරුවන් බහුලව සිටින වෙනත් ප්‍රදේශවල තත්වය ද නුවරඑළියෙන් වෙනස් නොවේ. එමනිසා වතු කම්කරුවන්ගේ වැටුප අද ජීවන වියදම හා සසඳන විට රු.200ක් වැනි සොච්චම් මුදලකින් හෝ වැඩි කිරීම කිසියම් සහනයකි. ( ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛන අනුව සිවු දෙනෙකුගෙන් යුත් පවුලකට උදේ ආහාරය සඳහා මසකට රු. 36000ක් අවශ්‍යය. දිවා ආහාරයට රු. 42000ක් අවශ්‍යය. මේවා වතු කම්කරුවෙකුට සිතා ගත නොහැකි තරම් මිල ගණන් ය.) එහෙත් මෙම රු. 200 ගෙවීම සඳහා භාණ්ඩාගාරයෙන් සහනාධාරයක් වශයෙන් මුදල් ලබා දීම සමහර අංශවල විවේචනයට ලක් විය. වතු ප්‍රදේශයක් නියෝජනය කරන මංත්‍රීවරියක් එම ගෙවීම හැඳින් වූයේ අල්ලසක් ලබා දිමක් සේය. එමනිසා ඇය මේ පිළිබඳව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කළාය. තවත් අය වතු අංශයේ සේවකයින්ට මෙවැනි මුදලක් ගෙවීම සාමාන්‍ය මුදල් ක්‍රියාපටිපාටිය යටතේ සාධාරණ කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළහ. පැමිණීමේ දිරි ගැන්වීමක් වශයෙන් හැඳින්වෙන මෙම ගෙවීමේ සෘජු ප්‍රතිලාභියා වන්නේ වතු සමාගම් ය. නිෂ්පාදනය වැඩිවීමෙන් වාසියක් අත්වන්නේ එම සමාගම්වලට ය. ඒ අනුව එම තර්කයේ කිසියම් සත්‍යයක් ඇති බවද පෙනේ.
අයවැය යෝජනාවේ සඳහන් වන ආකාරයට මෙම ගෙවීම සඳහා රු. දශලක්ෂ 5000ක් වෙන් කර ඇති නිසා එය වතුකම්කරුවන්ට ප්‍රතිලාභයක් වන අතරම ඒ තුළින් නිෂ්පාදනය වැඩිවීමේ ප්‍රතිලාභය හිමි වන්නේ වතු සමාගම්වලටය. එය ඔවුන්ගේ ශේෂ පත්‍රයේ ලාභය වැඩිවීමක් සේ දැක්වෙනු ඇත.
කෙසේ වුවත් මෙම අමුතු වර්ගයේ ගෙවීම නිසා ප්‍රශ්න කීපයක් මතුවේ. පළමු වැන්න වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිවීමක් ලබා දීමට වතු සමාගම් දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම නිසා වැඩ කරන ජනතාව නියෝජනය කරන ජාතික ජනබලවේගයේ ආණ්ඩුවට කම්කරුවන්ගේ අවශ්‍යතාවය ඉටු කිරීමට ආණ්ඩුවේ සාක්කුවෙන් මුදල් ලබා දිම හැර වෙනත් විකල්පයක් නොතිබුණේ ද යන්නයි. රටට විදේශ විනිමය උපයන ප්‍රධාන කර්මාන්තයක් වුවද එහි සේවකයන්ට විශේෂයෙන්ම කම්කරුවන්ට ජීවත්වීමට සරිලන වැටුපක් ගෙවීමට වතු පාලකයන්ට කිසිවිටෙක හැකියාවක් තිබුණේ නැත. පළමුවෙන්ම වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු. 1000ක් කළ යුතුයැයි කී විට වතු සමාගම් හඬා වැටුණේ වතු ආර්ථිකය සම්පුර්ණයෙන්ම කඩා වැටෙනු ඇතැයි යනුවෙනි. අවසානයේ දී බලවත් අකමැත්තෙන් රු. 1000ක් ගෙවීමට එකඟ වුවද ඒ වන විට ජීවන් වියදම තවත් සියයට 60කින් පමණ ඉහළ ගොස් තිබිණ. එමනිසා දෛනික වැටුප රු. 1350 දක්වා වැඩි කිරීමට මහත් අරගලයක් කිරීමට සිදු විය. මෙවැනි තත්වයක් යටතේ වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප තවත් රු. 200කින් වැඩි කිරීමට වතු සමාගම් කිසිසේත් එකඟකර ගත නොහැකි වනු ඇත. එමනිසා නිර්ධන පංති නියෝජනයක් ඇතැයි කියන ආණ්ඩුවට තිබු එකම විකල්පය තම සාක්කුවෙන් රු. 200ක් වතු සමාගම් හරහා කම්කරුවන්ට ලබා දීමය. අයවැයෙන් සිදු වූයේ එයයි.

වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප වැඩි කිරීම වතු සමාගම් සැබැවින්ම මූල්‍ය අර්බූදයකට හේතු වන්නේ ද යන්න විමසා බැලිය යුතුය. වතු සමාගම් පවසන ආකාරයට වැඩි වැටුපක් ගෙවිමට හැකි වන්නේ ඵලදායිතාවය වැඩි වන්නේනම් පමණි. ඵලදායිතාවය වැඩි කිරීමට නම් පොහොර රසායන වැනි යෙදවුම් වැඩි කළ යුතුය. එවිට නිෂ්පාදන පිරිවැය ඉහළ යනු ඇත. වතු සමාගම් පවසන ආකාරයට දැනටත් වැටුප් වශයෙන් නිෂ්පාදන පිරිවැයෙන් සියයට 65-75ත් අතර ප්‍රමාණයක් වැය වන නිසා වැටුප් වැඩි කිරීමකින් වතු සමාගම් බංකෙළොත් වනු ඇත.
මෙම වැටුප් ප්‍රතිශතයට කම්කරුවන්ට ගෙවන වැටුප් පමණක් නොව කර්මාන්තයේ සෙසු අයට ගෙවන වැටුප් ද අයත් බව අමුතුවෙන් පැවසිය යුතු නොවේ.
වතු සමාගම් පවසන ආකාරයට තේ නිෂ්පාදනය කි.ග්රෑ. දශලක්ෂ 250 ක් පමණය. දැනට තේ කි.ග්රෑ. එකකට ලැබෙන්නේ ඩොලර් 4ක් වැනි මුදලකි. (මෙම මිල ඉන්දියානු තේ සඳහා ලැබෙන මුදල මෙන් දෙගුණයක් බවද අමතක නොකළ යුතුය.) නිෂ්පාදනය වැඩි කිරීමට යෙදවුම් ද වැඩි කළ යුතුය. පවතින ආර්ථික තත්වය අනුව ඉන් පිරිවැය තවත් වැඩිවන නිසා එයද කළ නොහැකිය.
වෙනත් ව්‍යාපාරිකයන් මෙන්ම වතු සමාගම් ද තම ලාභයෙන් වැඩිම කොටස තමන්ට හිමි කර ගැනීමට සියලු උපක්‍රම යොදා ගනී. නිදසුනක් වහයෙන් 2021 මාර්තු මස තේ මිල ඉහළ යෑම නිසා වතු සමාගම්වල ලාභයද විශාල ප්‍රමාණයකින් ඉහළ ගියේය. ප්‍රකාශයට පත් කර ඇති ලේඛන අනුව තලවකැලේ වතු සමාගමේ ලාභය මෙම කාලය තුළ පෙර වසර හා සසඳන විට සියයට 13කින් ඉහළ ගොස් තිබිණ. මස්කෙළිය වතු සමාගමේ ලාභය 2020 වසර හා සසඳන විට සියයට 57.1කින් ඉහළ ගොස් තිබිණ. අනිත් වතු සමාගම්වල තත්වය ඊට වෙනස් විය නොහැකිය.
වතු සමාගම්වලට මෙම ලාභය අත් වූයේ ලෝක වෙළඳ පොළේ තේ සඳහා වූ මිල ඉහළ යෑම නිසාය. 2021 දී රු.587ක් වූ තේ කි.ග්රෑ. මිල 2022 දී රු. 1093 දක්වා සියයට 86.2කින් ඉහළ ගොස් තිබිණ. ඒ මිල අද දක්වාම වෙනස් නොවී පවතී. ගණන් බලා ඇති ආකාරයට මිල ඉහල යෑම නිසා වතු සමාගම්වලට අමතරව රු. බිලියන 13ක ආදායමක් ලැබී ඇත.
වැදගත්ම කාරණය වන්නේ වතු සමාගම් කිසිවක් ආදායම් වැඩි වීමත් සමග දරිද්‍රතාවයෙන් පෙළෙන වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීමට ඉදිරිපත් නොවීමයි. වෙනත් වචනයකින් බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේ මෙන් මෙම කර්මාන්තයේ ප්‍රධාන එහෙත් බලරහිත පුරුකය වන කම්කරුවන් සූරා කෑම දිගටම සිදු කිරීම ය. කම්කරුවන්ට වැටුප් වැඩි කිරීම හැම විටම දැක් වූයේ සමාගම්වලට දැරිය නොහැකි බරක් සේය.
මෙම වතු සමාගම් ඉදිරිපත් කරන තවත් තර්කයක් වන්නේ තමන් රජයේ වතු සමාගම්වලට වඩා හොඳින් වතු කළමනාකරණය කරන බවත් වතු කම්කරුවන්ගේ සේවක අර්ථ සාධක මුදල් රජයේ වතු සමාගම්වල මෙන් ප්‍රමාද කරන්නේ නැතිව ගෙවන බවත්ය. එහෙත් එය දුර්වල කළමනාකාරිත්වයේ වරදක් විනා සමාගම්වල අයිතිය නිසා සිදු වන්නක් නොව බව සඳහන් කිරීම දැනට ප්රමාණවත්ය.
මතුවන බරපතළ ප්රශ්නය වන්නේ වැවිලි කර්මාන්ත ඇමති හෝ මුදල් ඇමති වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක වතු සමාගම්වල ශේෂ පත්‍ර ගැන දැන නොසිටියේ ද යන්නයි. ඩිජිටල් ආර්ථිකයක් ගැන කතා කරන ආණ්ඩුව මෙම තොරතුරු දැන නොසිටියේයැයි කිව නොහැකිය.
ඉන් අපට බැසගත හැකි නිගමනය වතු කම්කරුවන්ගේ දෛනික වැටුපට ආණ්ඩු සාක්කුවෙන් රු.200ක් වනසේ වාර්ෂිකව රු. දශ පක්ෂ 5000ක් ගෙවීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවය. ප්‍රතිපත්තිය වන්නේ වතු සමාගම්වලට බරක් නොවන ආකාරයට වතු කම්කරුවන් පිනවීමට සොච්චම් මුදලක් හෝ ලබා දීමය. ලංකාවේ පහළම ජීවන තත්වයක් ඇති වතු කම්කරුවන්ට සොච්චම් සහන මුදලක් හෝ ලබා දීම අගය කළ යුතු වුවද ඒ යටින් ඇති ප්‍රතිපත්තිය මහත් හානි කරය. එනම් ආයෝජකයන් සහ ව්‍යාපාරිකයන් පිනවීම රජයේ මූලික ප්‍රතිපත්තිය බවට පත්වීමයි.

රටේ ආර්ථිකය නංවා ලීමට දේශීය සහ විදේශීය ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට ප්‍රතිපත්ති ක්‍රියා මාර්ග සැලසුම් කළ යුතු වුවද ඒවායේ පාරද්‍රශ්‍ය භාවයක් තිබිය යුතුය. වතු සමාගම් ආර්ථික අර්බූදයකට මුහුණ දී ඇත්නම් ඒවා මැනැවින් විමර්ශනය කොට පිළියම් යෙදීම ඕනෑම වගකිව යුතු රජයක වගකීමකි. එවැනි තීරණ ගත යුතු වන්නේ පැහැදිලි නිවැරදි තොරතුරු පදනම්වය. ඩිජිටල් ආර්ථිකයක වැදගත් වන්නේ එවැනි තොරතුරු කාලිනව නිවැරදිව ලබා දීමය. මෙහිදී එවැන්නක් සිදුව නැත. සිදුව ඇත්තේ ආණ්ඩුව වතු සමාගම්වල කීම පිළිගෙන භාණ්ඩාගාරයෙන් අරමුදල් ලබා දිමය.
මින් කියවෙන්නේ ආණ්ඩුව සේවකයන්ට, මෙහිදී කම්කරුවන්ට ජීවත් විමට සරිලන වැටුපක් ගෙවීමට හාම්පුතුන්ට බල කිරීමට සූදානම් නැත යන්නයි. ඒ එවැනි බල කිරීමක් ආයෝජකයන් ගෙන්වා ගැනීමට බාධාවක් වනු ඇතැයි බියට පත්ව ඇති නිසාය. ආයෝජකයන්ට නිදහසේ සේවකයන් සූරා කෑමට ඉඩ සැලසීමෙන් ආර්ථිකයේ ඉහළ වර්ධනයක් අත් කර ගත හැකි වුවද ඉන් ගොඩනැගෙන්නේ පොහොසත් ලස්සන රටක් නොව අසහනයෙන් පිරි වියවුල් රටක් බව තේරුම් ගත යුතුය.
- මංකොල්ලකාරී අධිරාජ්‍යවාදය නැවතත් ලෝක සමය බවට පත්වේ.. - March 4, 2026
- යළි උපන් අවතාර පැරණි හොල්මන්වලින් වෙනස්වන්නේ නැත.. - February 25, 2026
- දේශපාලනයේ දරිද්‍රතාවයට විසඳුම් අවශ්‍යයි.. - February 9, 2026