You are currently viewing ඩොනල්ඩ් ට්‍රම්ප් ගාසා තීරයට පනවන දින හැටේ සටන් විරාමය මහත් විනාශයක පෙරහුරුවක්..

ඩොනල්ඩ් ට්‍රම්ප් ගාසා තීරයට පනවන දින හැටේ සටන් විරාමය මහත් විනාශයක පෙරහුරුවක්..

පසුගිය සඳුදා (ජුලි 07) ඊශ්‍රායෙල් අගමැති බෙන්ජමින්යාහු මෙම වසරේ තුන්වැනි වරටත් වොෂින්ටනය බලා ගිය අතර ඔහුගේ රජයේ තවත් නියෝජිත කණ්ඩායමක් කටාර් බලා පිටත් වූහ. බෙන්ජමින් නෙතන්යාහුගේ ගමනේ අරමුණ දින දොළහේ ඉරාන යුද්ධයේ දී අවසන් වූ අවි ආයුධ තොග නැවත අලුත් කර ගැනීම සහ එක්සත් ජනපදය සමග පවතින ආරක්ෂක තොරතුරු හුවමාරු කර ගැනීමේ වැඩ පිළිවෙළ  වඩාත් ශක්තිමත් කර ගැනීම යැයි පැවසේ.

ගාසා තීරයේ කූඩාරම් කඳවුරු වල සිටින අවතැන් වූ පලස්තීනුවන්..

දින හැටක සටන් විරාමයකින් ඊශ්‍රායෙලය සහ එක්සත් ජනපදය අපේක්ෂා කරන්නේ තවමත් හමාස් අත් අඩංගුවේ පසුවන ඊශ්‍රායෙල් සහ ඇමරිකානු ප්‍රාණ ඇපකරුවන් 50ක් නිදහස් කර ගැනීම සහ නිරායුධ වන හමාස් සංවිධානය ගාසා තීරයෙන් පිටුවහල් වීම ය. මෙම ප්‍රාණ ඇපකරුවන්ගෙන් තවමත් කී දෙනෙකු ජීවතුන් අතර සිටින්නේ ද යන්න නිශ්චිත නැත.

හමාස් සංවිධානය සටන් විරාමයකට එකඟවන අතර එය දින හැටකට සීමා නොවී යුද්ධය අවසන් කිරීමේ දීර්ඝ කාලීන වැඩ පිළිවෙළක් විය යුතු බව අවධාරණය කරයි. පසුගිය ජනවාරි මස ඇති කර ගත් සටන් විරාම ගිවිසුම යටතේ ද යුද්ධය අවසන් කිරීමට සහ ඊශ්‍රායෙල් හමුදා ගාසා තීරයෙන් ඉවත් කර ගැනීම සඳහා සාකච්ඡා කළ යුතු වුවද මාර්තු මස ඊශ්‍රායෙලය සටන් විරාම ගිවිසුමෙන් ඉවත් වී ගාසා තීරයේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය කිරීමට පියවර ගත්තේය. ඒ අනුව ගාසා තිරයට ආහාර, ජලය සහ විදුලිය සැපයීම සම්පූර්ණයෙන්ම නතර කළේ මහා සාගතයක් නිර්මාණය කොට ගාසා තීරයේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අකා මකා දැමීමට ය.

මෙම අලුත් සම්බාධකවලට එරෙහිව ජාත්‍යන්තරව නැගුණ විරෝධය නිසා ඊශ්‍රායෙල් හමුදා පාලනය යටතේ ආහාර සුළු වශයෙන් බෙදා හැරීම ඇරඹුණත් එය අහිංසක පලස්තීනුවන් මරා දැමීමේ තවත් උපක්‍රමයක් විය. සති ගණන් නිරාහාරව සිටින ජනතාව ආහාර ලබා ආහාර බෙදා දීමේ මධ්‍යස්ථාන වලට රොක් වූ විට ඇතිවන කලබලකාරී තත්වය පාලනය කිරීමට ඊශ්‍රායෙල් හමුදාව කරන්නේ වෙඩි තැබීම ය. ආහාර බෙදා දීමේ මධ්‍යස්ථානවල දී වෙඩි තැබීමෙන් මිය ගිය පලස්තීනුවන්ගේ සංඛ්‍යාව 500කට අධික ය.

එක්සත් ජනපදයේ මුල පිරීමෙන් ආරම්භ වූ ගාසා මානුෂීය පදනම නම් ආයතනය ආහාර බෙදා දීම සියතට ගත් අතර එය නුසුදුසු ක්‍රියා මාර්ගයක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. පලස්තීන ප්‍රදේශයේ සහන කටයුතු සඳහා පිහිටුවන ලද UNWRA ආයතනය 1948 සිට එම කාර්ය සංවිධානාත්මකව සිදු කළද පසුගිය දා ඊශ්‍රායෙල් රජය පලස්තීන ප්‍රදේශයේ එම ආයතනයේ ක්‍රියාකාරිත්වය සම්පූර්ණයෙන්ම නවතා දැමුවේය. ඒ ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කිරීම සඳහා ය.

මෙවැනි පසුබිමක් තුළ දින හැටක සටන් විරාමයක් යනු කිසිසේත් ගාසා තීරයට සාමය උදා කිරීම සඳහායැයි කිව නොහැකිය. මීට පෙර ඇති කර ගත් සටන් විරාම ඊශ්‍රායෙලය ඒක පාක්ෂිකව කඩා දැමුවේ ජන ඝාතන යුද්ධය වඩාත් උත්සන්න කිරීමට ය. හමාස් සංවිධානය දීර්ඝ කාලීන සටන් විරාමයක් සහ ගාසා තීරයෙන් ඊශ්‍රායෙල් හමුදා ඉවත් කර ගත යුතුයැයි ඉල්ලා සිටින්නේ සීමිත කාලයක් සඳහා ඇති කරගන්නා සටන් විරාම ගිවිසුම්වලින් මෙතෙක් සාර්ථක ප්‍රතිඵලයක් අත් නොවු නිසාය. සටන් විරාමයකින් පසුව හැම විටම ජනඝාතන යුද්ධය වඩාත් තිව්‍ර විය. එමනිසා කටාර් හි පැවැත්වෙන සාකච්ඡාවලින් ගාසා ජනඝාතන යුද්ධය කිසි විටෙකත් අවසන් කිරීමේ පියවරක් වනු ඇතැයි කිව නොහැකිය. එය පැහැදිලිවම කුරිරු යුද්ධය තවත් දිග්ගැසීම සඳහා වන විරාමයකි.

ගාසා නගරයේ පිහිටි හානියට පත් එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ කටයුතු පිළිබඳ නියෝජිතායතනයේ (UNRWA) ගොඩනැගිල්ලක්..

මෙවැනි නිගමනයකට එළඹීමට හැකි වන්නේ මීට පෙර නෙතන්යාහු ජනාධිපති ට්‍රම්ප් හමුවීමෙන් පසුව හැමවිටම යුද්ධය වඩාත් උත්සන්න වූ නිසාය. දින 12 යුද්ධය අවසන් වූ වහාම එක්සත් ජනපදය ඩොලර් දශ ලක්ෂ 510 ක මිසයිල සහ තවත් යුධෝපකරණ ඊශ්‍රායෙලයට ලබා දුන්නේය. 

ඇමරිකානු සී අයි ඒ සංවිධානයේ හිටපු ප්‍රධානියෙතු වන ස්කොට් රිටර් ඇතුළු නිරීක්ෂකයින් පෙන්වා දෙන ආකාරයට ඊශ්‍රායෙල් අගමැති නෙතන්යාහු ගේ මෙම ඇමරිකානු සංචාරයේ සැඟවුන අරමුණු කීපයක් පවතී. ඉන් මූලික වන්නේ යුද්ධයේ ඊළඟ පියවරයි. ඊශ්‍රායෙලය ඉරානයට එරෙහිව ප්‍රහාර එල්ල කෙළේ තම සුපිරි ප්‍රහාරක ශක්තිය යොදා දින කීපයකින් ඉරානය විනාශ කර දැමීමට ය. ඊශ්‍රායෙලය ඉරානයට එරෙහිව සාර්ථක මිසයිල ප්‍රහාර එල්ල කළ ද ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිළිවෙළ විනාශ කිරීමට ප්‍රමාණවත් වූයේ නැත. එමෙන්ම ඉරානය එල්ල කළ ප්‍රතිප්‍රහාර වැළැක්වීමට ඊශ්‍රායෙල් ගුවන් ආරක්ෂක වැඩ පිළිවෙළට නෙහැකි විය. ඉරානයට ඊශ්‍රායෙලයේ ටෙල් අවිව්, බෙයර්ෂීබා සහ හයිෆා වැනි ප්‍රධාන නගරවල හමුදා මධ්‍යස්ථාන ගණනාවකට නිවැරදිව ප්‍රහාර එල්ල කිරීමට හැකි විය. යුද්ධය දිග ඇදෙන විට ඊශ්‍රායෙලයේ අවි තොගද සීඝ්‍රයෙන් පහත වැටුණ අතර ප්‍රහාර එල්ල කිරීමට වඩා ආරක්ෂාව ගැන සිත් යොමු කිරීමට ඔවුන්ට සිදු විය. ඩොනල්ඩ් ට්‍රම්ප්ට යුද්ධයට මැදිහත්විමට සිදු වූයේ එමනිසාය. ඔහු වහසි බස් දෙඩුවද එම ප්‍රහාරවලින් හෝ ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිළිවෙල සම්පූර්ණයෙන් විනාශ කිරීමට හැකිව නැත. බොහෝ නිරීක්ෂකයන් පෙන්වා දෙන ආකාරයට එම ප්‍රහාර නිසා න්‍යෂ්ටික වැඩ පිළිවෙළ යම් පසුබෑමකට ලක් වුවද සමහර විට මාස කීපයකින් එය නැවත ඇරඹිිය හැකිය.

දින 12 යුද්ධය නතර කිරීමට සිදු වූයේ මූලික අරමුණු එකක් හෝ ඉටු කර ගැනීමට නොහැකිවය. එය ඊශ්‍රායෙලයේ සහ ඇමරිකාවේ මැද පෙරදිග ප්‍රතිපත්තියේ දැඩි පසුබෑමකි. ඉරානයේ ඉස්ලාමීය ජනරජය දිගටම පැවතීම ඇමරිකානු ආධිපත්‍යයට පැහැදිලිවම අභියා්ගයකි. ඊශ්‍රායෙල් ප්‍රහාර සමග ඉරානය තුළ ජනතා නැගිටීමක් සිදු වී ඉස්ලාමීය පාලනය අවසන් වනු ඇතැයි අපේක්ෂා කළ ද එය සිදු වූයේත් නැත. ඒ වෙනුවට ජනරජය ආරක්ෂා කිරීමට දහස් ගණන් ජනතාව වීදි බැස පෙළපාලි ගියහ.

ගාසා තීරයේ ජන ඝාතනය කිරීමෙන් එහි බලය තහවුරු කර ගැනීමත් ඉරානයේ තමන්ට හිතවත් පාලනයක් ඇති කිරීමත් සම්ප්‍රදායික යුද්ධයෙන් කළ නොහැකි බව ඊශ්‍රායෙලය මෙන්ම ඇමරිකාවද තේරුම් ගෙන ඇති බව නිසැකය. එසේනම් ඉතිරිව ඇත්තේ න්‍යෂ්ටික අවි යොදා පහර දීම පමණි. ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ ප්‍රහාරය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවන ලෝක යුද්ධයේ අවසාන භාගයේ දී ජපානයේ නාගසාකි සහ හිරෝෂිමාවට එල්ල කළ න්‍යෂ්ටික ප්‍රහාරයට සමාන කෙළේය. න්‍යෂ්ටික ප්‍රහාරයකින් ඉරානයටත් මැද පෙරදිග අනෙක් රටවලටත් සිදු විය හැකි විනාශය නෙතන්යාහු හෝ ඩොනල්ඩ් ට්‍රම්ප් සැලකිල්ලට ගනු ඇතැයි කිව නොහැකිය. ඔවුන් පසුගිය වසර දෙකකට ආසන්න කාලය තුළ ක්‍රියාකර ඇත්තේ මිනිස් ජීවිත හෝ ජාත්‍යන්තර නීතිය නොසලකාය.

මානව සංහතියටම මහත් භයානක ප්‍රතිඵල අත්විය හැකි මෙම විනාශකාරී යුද්ධය නතර කළ හැකි වන්නේ ප්‍රබල ජනමතයක් ගොඩ නැගීමෙන් පමණි. අන්තවාදී හෝ යුදවාදී නොවන බටහිර ජනතාව යුද්ධයට එරෙහිව වීදි බැසීම දැනටමත් පටන් ගෙන ඇත. එමනිසා ඇමරිකානු ඊශ්‍රායෙල් යුද්ධයට සහාය දීමට නම් මෙම ගොඩ නැගෙමින් පවතින ජනතා විරෝධය මර්දනය කළ යුතුය. මෙම රටවල් ගාසා ජනඝාතනයව විරුද්ධවීම ත්‍රස්තවාදයක් සේ හඳුන්වන්නේ එමනිසාය.

මේ අනුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගාසා තීරයට දින හැටක සටන් විරාමයක් පැනවීමට උත්සාහ ගන්නේ මැද පෙරදිගටත් සමස්ත ලෝකයටමත් බරපතළ හානියක් සිදු කරන පියවරක් ගැනීමට පෙර සූදානමක් වශයෙන් බව තේරුම් ගැනීම වැදගත් ය.

Leave a Reply