ජනවරමත් නැතිව ජනාධිපති තනතුරට පත් රනිල් වික්‍රමසිංහ රාජ්‍ය විචාරණය කරන්නේ ද කිසිවෙකුගෙන් ඇසීමක් බැලිමක් නැතිව තමාගේම කෙටි කාලීන දේශපාලන පැවැත්ම සඳහා ය. රටේ නීතිය හා සාමය රැකීමේ දී අතිශයෙන් වැදගත් වන පොලිස්පති තනතුරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව තමාට අවශ්‍ය පුද්ගලයා පත් කිරීමට අපොහොසත් වූ ඔහු එවැනි තනතුරක වගකීම් ඉටු කිරීමට අපොහොසත් බව හොඳින් තහවුරු කළ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කෙළේ තමාට රිසි දෙයක් කිරීමට පසුබට නොවන බව නැවතත් තහවුරු කරමිනි.
ගාළු මුවදොර අරගලය පැවති සමයේ දේශපාලන බලපෑම් නිසා නීතිය හා සාමය ආරක්ෂා කිරීමට අපොහොසත් වූ දේශබන්දු තෙන්නකෝන් ජනාධිපති මන්දිරයට කඩා වැදුන තරුණයන් අත් අඩංගුවට ගෙන පොලීසියට භාර දුන් රුපියල් දශ ලක්ෂ 19 කට ආසන්න මුදලක් නීතිමය පියවර ගැනීමට උසාවියට ඉදිරිපත් නොකර ආරක්ෂක ඇමතිට භාර දීමට පොලිසියට නියෝග කෙළේය. ඊට අමතරව පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් මෙම පොලිස් නිලධාරියාට එරෙහිව බරපතළ චෝදනා එල්ල වී ඇත. එම චෝදනා ගැන පරීක්ෂණ කටයුතු නිම කිරීම පසෙක තබා එම නිලධාරියා පොලිස්පති තනතුරට පත් කෙළේ මහජන මතයට මායිම් නොකරන බව පෙන්වීමට ය.
ඉන් සතියක් ඉක්මීමටත් පෙර ඩුබායි හි පැවැත්වෙන දේශගුණික විපර්යාසය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවට 80ක නියෝජිත පිරිසක් සමග පිටත්ව ගියේ ගිනස් වාර්තාවක් තබමිනි. ක්‍රියාවට වඩා කතාවට සීමා වූ මෙම සමුළුව ට මෙතෙක් දේශගුණික විපර්යාසය නැවැත්වීම ට කිසිම අර්ථාන්විත පියවරක් ගැනීමට සමත්ව නැත. වර්ධනය වන යුද උණුසුම යටතේ ඉදිරියේ දී හෝ එවැනි පියවරක් ගැනීමේ හැකියාවක් හෝ වුවමනාවක් පවතී ද යන්න ගැන කිසිවෙකුගේ විශ්වාසයක් නැත. එවැනි සමුළුවකට මෙතරම් විශාල පිරිසක් සමග සහභාගිවීමේ අරමුණ තම ගැත්තන්ට විනෝද සවාරියක් ලබා දීමට වඩා වැඩි දෙයක් නොවේ. ඒ විනෝද සංචාරය සඳහා විපක්ෂයේ මංත්‍රීන් දෙපොළක්ද එක් කර ගෙන ඇත්තේ කෙටි විදේශ සංචාරයක් හෝ ලැබීම භාග්‍යයක් කොට සැලකීම සියලු දේශපාලකයන්ගේ සිරිතක් නිසා විය හැකිය.
රට බංකොළොත් භාවයට පත්වීමට බලයේ සිටි දේශපාලකයන් වගවිය යුතු බවට අධිකරණයෙන් තීරණයක් ලබා දී ඇති අවස්ථාවක මෙවැනි විශාල පිරිසක් ඩුබායි යෑමට එක් කර ගත හැක්කේ නීතිය හෝ සදාචාරය ගැන කිසිම තැකීමක් නැති පාලකයන්ට පමණි. පාලකයන්ගේ අදූරදර්ශී අමනෝඥ ප්‍රතිපත්ති රටේ බංකොළොත් භාවයට මූලික හේතුව බවට තවත් සාක්ෂි ඉදිරිපත් කිරීම අනවශ්‍ය ය. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව වැරදිකරුවෙකු වූ මහින්ද රාජපක්ෂ තම නිර්දෝෂී භාවය ජනතාවට ඒත්තු ගැන්වීමට පළ කළ ලිපියෙන් පැහැදිලි වන ආකාරයට මෙම තත්වයට මෙතෙක් සිටි සියලු පාලකයන් වගකිව යුතුය. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණය කර ඇත්තේ ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් නම් කර ඇති දේශපාලකයන් සහ ඔවුන්ගේ ගැති නිලධාරීන් සම්බන්ධයෙන් පමණි. අනෙකුත් අය නම් නොකිරීම වැරදිකරු වූවන්ට නිදහසට කරුණක් නොවේ.
රනිල් වික්‍රමසිංහ එක අතකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් යෝජනා කර ඇති ආකාරයට රජයේ ආදායම් වැඩි කර ගැනීම සඳහා විවිධාකාරයේ බදුවලින් ජනතාව පෙළා ලබා ගන්නා මුදල් වැය කරන්නේ ලබා ගත් ණය ආපසු ගෙවිමට හෝ කඩා වැටී ඇති ආර්ථිකය ගොඩ ගැනිමට නොවේ. ඔහුගේ දේශපාලන පැවැත්ම තහවුරු කර ගැනීමට ය. විවිධ විදේශ සංචාරවලට විශාල නඩ එකතු කර ගන්නේ ආසන්න වශයෙන් පාර්ලිමේන්තුව තුළ ඔහුට අවශ්‍ය බහුතරයක් පවත්වා ගැනීමට ය. ජනතාව මත කිසිසේත් සාධාරණය කළ නොහැකි බදු පැනවීමට පාර්ලිමේන්තුවේ සහාය ලබා ගැනීමේ එකම මාර්ගය එය වන නිසා ය. දේශීය ණය ප්‍රශස්තකරණයට බැංකු ඇතුළත් සමාජයේ ඉහළ කොටස්වලට සහන ලබා දෙන අතර සේවක අර්ථ සාධක අරමුදලෙන් මුදල් කොල්ල කෑමට පාර්ලිමේනතුවේ සහාය ලබා ගත හැකි වන්නේ අවනත වූ ව්‍යවස්ථාදායකයක් පැවතීමෙනි. රනිල් වික්‍රමසිංහ තේරුම් කරන ආකාරයට මහජන විශ්වාසය යනු පාර්ලිමේන්තුවේ මංත්‍රීන්ගේ විශ්වාසයයි. එම විශ්වාසය කවර ආකාරයෙන් හෝ ලැබෙනතාක් ඔහුගේ පාලනය ප්‍රජාතන්ත්‍රවාදී ය.
එහෙත් රටේ ජනතාව තුළ මෙවැනි පාලකයන් කෙරේ කිසිම විශ්වාසයක් නැති බව පසුගිය වසරේ අරගලයේ ව්‍යාප්තිය සමග තහවුරු වී ඇති කාරනයකි. සර්ව බලධාරි විධායකයාට පස්සා දොරෙන් පැන යෑමට සිදු වූයේ ඔහු කෙරේ ජනතා විශ්වාසය බිඳී ඇති බව කෝපයට පත් ජනතාව වීදි බැස ප්‍රකාශ කළ නිසාය. එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ අනුග්‍රහය ඇතිව පවත්වන ලද ජනමත විමසුමක දී සියයට 78ක් තුළ දේශපාලන පක්ෂ කෙරේ විහ්වාසයක් නැති බව හෙළි වී ඇත්තේ මෙවැනි පසුබිමක ය.
රට ආර්ථික සහ දේශපාලන අර්බූදයකට පත් කළ පාලකයන් රැවුල ගිනි ගත් ජනතාවගෙන් සුරුට්ටු පත්තු කර ගැනීමට උත්සාහ කරන්නේ ගිනි නිවන බවක් පෙන්වමිනි. ඔවුන් උත්සාහ ගන්නේ රට මෙතෙක් ප්රපාතය කරා ගෙන ගිය ප්‍රතිපත්ති සහ ක්‍රියා මාර්ග වෙනත් සාටෝපවත් වචනවලින් දවටා ජනතාවට නැවත ඉදිරිපත් කිරීමෙනි. කඩා වැටී ඇති ජන ජීවිතය ගොඩ නැගීමට ඉදිරිපත් කර ඇති අස්වැසුම මීට පෙර ජනසවිය හා සමෘද්ධිය වැනි නම්වලින් හැඳින් වූ මුදල් සහන බෙදීමේ වැඩ සටහන ට වෙනස් වන්නේ නැත. සොච්චම් මුදලක් ලබා දීම දරිද්‍රතාවයට විසඳුමක් නොවන බව මෙම පාලකයන්ට තේරුම් ගත නොහැකිය. රටේ ජනතාවගෙන් සියයට 70කට ආසන්න සංඛ්‍යාවකගේ ජීවනෝපාය වන කෘෂිකර්මය ගොඩ ගැනීමට තවම යොදා ගන්නේ පැරකුම් යුගයේ උපාය මාර්ග ය. කර්මාන්ත සංවර්ධනයට යොදා ගන්නේ ආයෝජකයන්ට බදු සහන සැලසීමේ යල්පිනු උපාය මාර්ග ය. දේශපාලන බලය පවත්වා ගැනීමට යොදා ගන්නේ ද සන්තෝෂම් ලබා දීමේ පැරණි උපාය මාර්ග යි. ඩුබායි සමුළුවට විශාල නඩයක් කැටුව යෑම තේරුම් ගත හැක්කේ ඒ ආකාරයෙනි.
ඉතාමත් සරල ආකාරයට මෙම ආර්ථික අර්බූදයෙන් ගොඩ ඒමට ගත යුතු කඩිනම් පියවර වන්නේ රජයේ ආදායමට සරිලන ආකාරයට වියදම සැලසුම් කිරීමය. පසුගිය කාල පරිච්ඡේදය පුරාම දක්නට ලැබුණේ රාජ්‍ය වියදම වැඩි වන අතර ආදායම ක්‍රම ක්‍රමයෙන් පහත වැටීමේ ප්‍රවනතාවයකි. රාජ්‍ය ආදායම් පහත වැටීමට මූලික හේතුව වැරදි ආර්ථික කළමනාකරණය බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් ද පිළි ගෙන තිබිණ. එහෙත් ඩුබායි ගමන වැනි වියදම්වලින් පෙනී යන්නේ ආර්ථික කළමනාකරණයට වඩා දේශපාලන පැවැත්ම පාලකයන්ට වැදගත් ය යන්නයි. වියදම් අඩු කිරීමට 2022 දී බංකොළොත් භාවය ප්‍රකාශ කිරීමෙන් පසුව හෝ කිසිම පියවරක් ගෙන නැත.
දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අයවැය ලේඛනය අනුව 2024 වසරේ දී රු. බිලියන 5253 ක් බදු ආදායම් වශයෙන් බලාපොරොත්තු වන අතර වියදම රු. බිලියන 6978 කි. කලින් වසර හා සසඳන විට සියයට 32ක වැඩිවීමකි. ඊට ලබා ගත් ණය සඳහා ගෙවිය යුතු පොලි මුදල රජයේ ආදායමෙන් සියයට 90 කි. එය ලොව ඕනෑම රටක් ගෙවන පොලි ප්රතිහතයකට වඩා වැඩිය. තත්වය එසේ තිබිය දී රාජ්‍ය අංශයේ වියදම්වලින් සියයට 45ක්ම ආරක්ෂක පිරිවැය සඳහා වෙන් වේ. පසුගිය වසර කීපය තුළම සංවර්ධනය සඳහායැයි කිසිදු මුදලක් වැය කිරීමට හැකියාවක් තිබුනේ නැත. අයවැයෙන් සංවර්ධන ආයෝජනය සඳහා මුදල් වෙන් කර තිබුණ ද ඒවා වැය කිරීමට හැකියාවක් තිබුනෙ නැත. අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ණය ලැබෙන්නේ ගෙවුම් ශේෂයේ හිගය පිරිමසා ගැනීමට සහාය වීමට විනා ආයෝජනය සඳහා නොවේ. ආයෝජනය කළ හැකි වන්නේ තවත් ණය ගැනීමෙන් හෝ රටේ තිබෙන සම්පත් පෞද්ගලික ආයෝජකයන්ට විකිනීමෙනි.
අයවැය පරතරය පියවා ගැනීමට සහ ආර්ථික අර්බූදයෙන් ගොඩ ඒමට ජනතාව මත බදුබර තව තවත් පැටවීම සහ රටේ සම්පත් විකුණා දැමීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල්වල උපදෙස් අනුව දුප්පත් රටවල් බොහොමයක්ම අනුමනය කළ සුපුරුදු ක්‍රියා මාර්ගයකි. ලතින් ඇමරිකානු සහ අප්‍රිකානු රටවල් මෙම උපදෙස් පිළිපැද ඇති නමුත් ආර්ථිකයේ වර්ධනයක් වූයේ නැත. එම වැඩ පිළිවෙළ තුළින් දූෂිත දේශපාලකයන්ගේ මඩි තරවීම පමණක් සිදු විය. ජනතාවගේ ජීවන බර තව තවත් වැඩි විය.
ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන අනුදක්නා මෙම වැඩ පිළිවෙළ තුළින් ආර්ථික වර්ධනයක් හෝ ජනතාවගේ ජීවන තත්වයේ වර්ධනයක් නොවන බව මෑත ඉතිහාසයේ යථාර්ථය යි. රටේ ප්‍රතිපත්ති තීරණය කරන පාලකයන්ට එම යථාර්ථය ජය ගැනීමට වැඩ පිළිවෙළක් නැති බව දිගින් දිගටම ඔප්පු කර ඇත. ඔවුන් දන්නේ දේශපාලන සන්තෝෂම් මාර්ගයෙන් බලයේ රැඳී සිටීම පමණි. පවතින දේශපාලන පක්ෂ කෙරේ ජනතා විශ්වාසය බිඳී ඇත්තේ එම නිසා ය. 245 ම එපායැයි ගොරෝසු ආකාරයට කියන්නේ එම සත්‍යයයි.
අර්බූදය ඇත්තේ ආර්ථිකයේ පමණක් නොවේ. දේශපාලනයත් සංස්කෘතියත් පුරා පැතිර ඇති පිළිකාවකි. පිළිකාව නිට්ඨාවට සුව කිරීම අපහසු වුවත් රෝගියා ගලවා ගැනීමට ජනතාවට වේදනාකාරී තීන්දු ගැනීමට සිදු වනු ඇත. රෝගය හඳුනා ගත් ජනතා පෙළ ගැස්මක් නැතිව ඉදිරියේ එළඹෙන ඡන්ද විමසීම්වලින් පමණක් කළ හැකි ද යන්න සැක සහිතය.
- රටේ අනාගතය තීරණය වන දේශපාලන හැරවුම් ලක්ෂ්‍යය කොතැන ද? - November 19, 2024
- සමාජ පෙරළිය හිසරදයට කොට්ට මාරු කිරීමක් නොවිය යුතුය.. - November 4, 2024
- කැනඩා ඉන්දියානු තානාපති අර්බූදය ලෝක ආධිපත්‍යය සඳහා කරන අරගලයේම කොටසක්.. - October 24, 2024