You are currently viewing ගිනි ගත් රැවුලෙන් සුරුට්ටු දල්වා ගෙන ඩුබායි ගිය රනිල්..

ගිනි ගත් රැවුලෙන් සුරුට්ටු දල්වා ගෙන ඩුබායි ගිය රනිල්..

ජනවරමත් නැතිව ජනාධිපති තනතුරට පත් රනිල් වික්‍රමසිංහ රාජ්‍ය විචාරණය කරන්නේ ද කිසිවෙකුගෙන් ඇසීමක් බැලිමක් නැතිව තමාගේම කෙටි කාලීන දේශපාලන පැවැත්ම සඳහා ය. රටේ නීතිය හා සාමය රැකීමේ දී අතිශයෙන් වැදගත් වන පොලිස්පති තනතුරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව තමාට අවශ්‍ය පුද්ගලයා පත් කිරීමට අපොහොසත් වූ ඔහු එවැනි තනතුරක වගකීම් ඉටු කිරීමට අපොහොසත් බව හොඳින් තහවුරු කළ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කෙළේ තමාට රිසි දෙයක් කිරීමට පසුබට නොවන බව නැවතත් තහවුරු කරමිනි.

ඉන් සතියක් ඉක්මීමටත් පෙර ඩුබායි හි පැවැත්වෙන දේශගුණික විපර්යාසය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවට 80ක නියෝජිත පිරිසක් සමග පිටත්ව ගියේ ගිනස් වාර්තාවක් තබමිනි. ක්‍රියාවට වඩා කතාවට සීමා වූ මෙම සමුළුව ට මෙතෙක් දේශගුණික විපර්යාසය නැවැත්වීම ට කිසිම අර්ථාන්විත පියවරක් ගැනීමට සමත්ව නැත. වර්ධනය වන යුද උණුසුම යටතේ ඉදිරියේ දී හෝ එවැනි පියවරක් ගැනීමේ හැකියාවක් හෝ වුවමනාවක් පවතී ද යන්න ගැන කිසිවෙකුගේ විශ්වාසයක් නැත. එවැනි සමුළුවකට මෙතරම් විශාල පිරිසක් සමග සහභාගිවීමේ අරමුණ තම ගැත්තන්ට විනෝද සවාරියක් ලබා දීමට වඩා වැඩි දෙයක් නොවේ. ඒ විනෝද සංචාරය සඳහා විපක්ෂයේ මංත්‍රීන් දෙපොළක්ද එක් කර ගෙන ඇත්තේ කෙටි විදේශ සංචාරයක් හෝ ලැබීම භාග්‍යයක් කොට සැලකීම සියලු දේශපාලකයන්ගේ සිරිතක් නිසා විය හැකිය.

රනිල් වික්‍රමසිංහ එක අතකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් යෝජනා කර ඇති ආකාරයට රජයේ ආදායම් වැඩි කර ගැනීම සඳහා විවිධාකාරයේ බදුවලින් ජනතාව පෙළා ලබා ගන්නා මුදල් වැය කරන්නේ ලබා ගත් ණය ආපසු ගෙවිමට හෝ කඩා වැටී ඇති ආර්ථිකය ගොඩ ගැනිමට නොවේ. ඔහුගේ දේශපාලන පැවැත්ම තහවුරු කර ගැනීමට ය. විවිධ විදේශ සංචාරවලට විශාල නඩ එකතු කර ගන්නේ ආසන්න වශයෙන් පාර්ලිමේන්තුව තුළ ඔහුට අවශ්‍ය බහුතරයක් පවත්වා ගැනීමට ය. ජනතාව මත කිසිසේත් සාධාරණය කළ නොහැකි බදු පැනවීමට පාර්ලිමේන්තුවේ සහාය ලබා ගැනීමේ එකම මාර්ගය එය වන නිසා ය. දේශීය ණය ප්‍රශස්තකරණයට බැංකු ඇතුළත් සමාජයේ ඉහළ කොටස්වලට සහන ලබා දෙන අතර සේවක අර්ථ සාධක අරමුදලෙන් මුදල් කොල්ල කෑමට පාර්ලිමේනතුවේ සහාය ලබා ගත හැකි වන්නේ අවනත වූ ව්‍යවස්ථාදායකයක් පැවතීමෙනි. රනිල් වික්‍රමසිංහ තේරුම් කරන ආකාරයට මහජන විශ්වාසය යනු පාර්ලිමේන්තුවේ මංත්‍රීන්ගේ විශ්වාසයයි. එම විශ්වාසය කවර ආකාරයෙන් හෝ ලැබෙනතාක් ඔහුගේ පාලනය ප්‍රජාතන්ත්‍රවාදී ය.

එහෙත් රටේ ජනතාව තුළ මෙවැනි පාලකයන් කෙරේ කිසිම විශ්වාසයක් නැති බව පසුගිය වසරේ අරගලයේ ව්‍යාප්තිය සමග තහවුරු වී ඇති කාරනයකි. සර්ව බලධාරි විධායකයාට පස්සා දොරෙන් පැන යෑමට සිදු වූයේ ඔහු කෙරේ ජනතා විශ්වාසය බිඳී ඇති බව කෝපයට පත් ජනතාව වීදි බැස ප්‍රකාශ කළ නිසාය. එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ අනුග්‍රහය ඇතිව පවත්වන ලද ජනමත විමසුමක දී සියයට 78ක් තුළ දේශපාලන පක්ෂ කෙරේ විහ්වාසයක් නැති බව හෙළි වී ඇත්තේ මෙවැනි පසුබිමක ය.

ඉතාමත් සරල ආකාරයට මෙම ආර්ථික අර්බූදයෙන් ගොඩ ඒමට ගත යුතු කඩිනම් පියවර වන්නේ රජයේ ආදායමට සරිලන ආකාරයට වියදම සැලසුම් කිරීමය. පසුගිය කාල පරිච්ඡේදය පුරාම දක්නට ලැබුණේ රාජ්‍ය වියදම වැඩි වන අතර ආදායම ක්‍රම ක්‍රමයෙන් පහත වැටීමේ ප්‍රවනතාවයකි. රාජ්‍ය ආදායම් පහත වැටීමට මූලික හේතුව වැරදි ආර්ථික කළමනාකරණය බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් ද පිළි ගෙන තිබිණ. එහෙත් ඩුබායි ගමන වැනි වියදම්වලින් පෙනී යන්නේ ආර්ථික කළමනාකරණයට වඩා දේශපාලන පැවැත්ම පාලකයන්ට වැදගත් ය යන්නයි. වියදම් අඩු කිරීමට 2022 දී බංකොළොත් භාවය ප්‍රකාශ කිරීමෙන් පසුව හෝ කිසිම පියවරක් ගෙන නැත.

අයවැය පරතරය පියවා ගැනීමට සහ ආර්ථික අර්බූදයෙන් ගොඩ ඒමට ජනතාව මත බදුබර තව තවත් පැටවීම සහ රටේ සම්පත් විකුණා දැමීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල්වල උපදෙස් අනුව දුප්පත් රටවල් බොහොමයක්ම අනුමනය කළ සුපුරුදු ක්‍රියා මාර්ගයකි. ලතින් ඇමරිකානු සහ අප්‍රිකානු රටවල් මෙම උපදෙස් පිළිපැද ඇති නමුත් ආර්ථිකයේ වර්ධනයක් වූයේ නැත. එම වැඩ පිළිවෙළ තුළින් දූෂිත දේශපාලකයන්ගේ මඩි තරවීම පමණක් සිදු විය. ජනතාවගේ ජීවන බර තව තවත් වැඩි විය.

ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන අනුදක්නා මෙම වැඩ පිළිවෙළ තුළින් ආර්ථික වර්ධනයක් හෝ ජනතාවගේ ජීවන තත්වයේ වර්ධනයක් නොවන බව මෑත ඉතිහාසයේ යථාර්ථය යි. රටේ ප්‍රතිපත්ති තීරණය කරන පාලකයන්ට එම යථාර්ථය ජය ගැනීමට වැඩ පිළිවෙළක් නැති බව දිගින් දිගටම ඔප්පු කර ඇත. ඔවුන් දන්නේ දේශපාලන සන්තෝෂම් මාර්ගයෙන් බලයේ රැඳී සිටීම පමණි. පවතින දේශපාලන පක්ෂ කෙරේ ජනතා විශ්වාසය බිඳී ඇත්තේ එම නිසා ය. 245 ම එපායැයි ගොරෝසු ආකාරයට කියන්නේ එම සත්‍යයයි.

ර්බූදය ඇත්තේ ආර්ථිකයේ පමණක් නොවේ. දේශපාලනයත් සංස්කෘතියත් පුරා පැතිර ඇති පිළිකාවකි. පිළිකාව නිට්ඨාවට සුව කිරීම අපහසු වුවත් රෝගියා ගලවා ගැනීමට ජනතාවට වේදනාකාරී තීන්දු ගැනීමට සිදු වනු ඇත. රෝගය හඳුනා ගත් ජනතා පෙළ ගැස්මක් නැතිව  ඉදිරියේ එළඹෙන ඡන්ද විමසීම්වලින් පමණක් කළ හැකි ද යන්න සැක සහිතය.

Print Friendly, PDF & Email

Leave a Reply