ශීතල නේපාලය නැවත වරක් ජන අරගලයෙන් උණුසුම් විය. නේපාලයේ අගනුවර කාත්මණ්ඩු හි වීදි නැවත වරක් විරෝධතා සටන්පාඨ වලින් නිංනාද වීය. එය මීට පෙර 1990 දි හටගත් ජන ආන්දෝලනය හෝ 2006 දී නැවත ඉස්මතු වූ ජන ආන්දෝලන 2ට වඩා වෙනස් ය. ඒ අවස්ථා දෙකේදීම විදි බැස උද්ඝෝෂණය කෙළේ දේශපාලන පක්ෂ විසින් මෙහෙය වූ සංවිධානය වූ පිරිස් ය. මෙවර වීදි බට දහ දහස් ගණන් ජනතාව දේශපාලන පක්ෂයක් හෝ වෙනත් ජනතා සංවිධානයක් විසින් මෙහෙය වූයේ නැත. බොහෝ නිරීක්ෂකයන් සඳහන් කරන ආකාරයට මෙම උද්ඝෝෂණයට එකතු වූයේ පාසල් දරු දැරියන් සහ යොවුන් වියේ පසුවන තරුණ තරුණියන් ය. ඔවුන් හැඳින් වූයේ Z පරම්පරාව යනුවෙනි. තරුණ උද්වේගයෙන් පිරි ඔවුන් හමුදාවේ සහ පොලීසියේ කඳුළු ගැස්වලින් හෝ වෙඩි උණ්ඩවලින් පසු බැස්සේ නැත.

යොවුන් වියේ පසු වූ මෙම පිරිස් පසුගිය සැප්තැම්බර් 8 වැනි දා කාත්මණ්ඩු අගනුවර සහ රටේ සෙසු ප්‍රධාන නගරවල වීදි බැස්සේ මූලික වශයෙන් අගමැති ෂර්මා ඔලි ගේ රජය යූ ටියුබ්, එක්ස් වැනි සමාජ මාධ්‍ය 26ක් තහනම් කිරීමට එරෙහිවය. සමාජ මාධ්‍ය තහනම් කිරීමේ පනත මීට වසර දෙකකට පමණ පෙර පාර්ලිමේන්තුවෙන් සම්මත වුවත් ක්‍රියාත්මක වූයේ නැත. ඊට මූලික හේතුව වූයේ සමාජ මාධ්‍ය භාවිතය රට පුරා සෑම වයස් කාණ්ඩයකම ජනතාව අතර තොරතුරු සංනිවේදනය කිරීමට බහුලව යොදා ගත් මාධ්‍යයක් වීම ය. වාර්තාවල සඳහන් වන ආකාරයට ජනතාවගෙන් සියයට 75ක් ජංගම දුර කතන භාවිතා කරන අතර අන්තර්ජාල සම්බන්ධතා ඇති පිරිස් සියයට 55 කි. මෙම මාධ්‍යයේ වැඩියෙන්ම සංනිවේදනය වූයේ ආණ්ඩුවේ දේශපාලකයන්ගේ මෙන්ම අධිකරණයේ සමහර නිලධාරීන්ගේ සහ ඔවුන්ගේ දූ පුතුන්ගේ සුඛෝපභෝගි ජීවන පැවැත්ම පිළිබඳ ප්‍රධාන ප්රවාහයේ මාධ්‍යවල සදහන් නොවන ප්‍රවෘත්තිය. එමනිසා එවැනි මාධ්‍යයක් තහනම් කිරීම විවිධ පීඩනයට ලක්ව සිටින ජනතාව අනිවාර්යෙන්ම වඩාත් ප්‍රකෝප කරවන්නකි. එහෙත් අවසානයේ අගමැති ෂර්මා ඔලිගේ නායකත්වයෙන් යුත් පාලක සභාගයට එය ක්‍රියාත්මක කිරීමට සිදු වූයේ පාලකයන්ට මුහුණ දිය නොහැති කරම් වූ අභියෝගයක් වූ නිසාය. මීට පෙර නේපාල කොංග්‍රසයේ සභාගය මහජන උද්ඝෝෂණවලට මුහුණ දුන් ආකාරයටම මෙවර ද විරෝධතාවය පහසුවෙන්ම යටපත් කිරීමට හැකි වනු ඇතැයි බලාපොරොත්තුවක් තිබෙන්නට ඇත.
එහෙත් වීදි බට යෞවනයන්ගේ විරෝධය යටපත් කළ නොහැකි විය. පළමු දිනයේ හට ගත් උද්ඝෝෂණවලින් 19ක් මිය ගොස් තවත් දහස් ගණනක් තුවාල ලැබුව ද ඔවුන් පසු බට වූයේ නැත. අගමැති ඔලි හමුදාව කැඳවා රට පුරා ඇඳිරි නීතිය පැන වුවද එය ක්‍රියාත්මක කිරීමට හමුදාව හෝ පොලීසිය ඉදිරිපත් වූයේ නැත. සඳුදා ඇති වු ගැටුම්වලින් පසුව අගමැති ඔලි සිය තනතුරෙන් ඉවත් වන බව ප්‍රකාශ කළ ද එය උද්ඝෝෂකයන් සන්සුන් කිරීමට ප්‍රමාණවත් වූයේ නැත. ආවේගකාරී තරුණ කණ්ඩායම් ආණ්ඩුවේ ප්‍රධාන මධ්‍යස්ථානය වන සිංහ දුර්බාර් මන්දිරය ගිනිබත් කළහ. ඒ සමගම ශ්‍රෙෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුව මෙන්ම දේශපාලකයන්ගේ නිවෙස්වලට ද පහර දුන්හ. හිටපු අගමැතිවරුන් දෙදෙනෙකු වන බහදූර් ඩියුබා ගේ සහ පුෂ්ප කුමාර් දහාල් ගේ නිවෙස්වලටද අරගලකරුවෝ කඩා වැදි අලාභ හානි සිදු කළහ. හිටපු විදේශ ඇමතිවරිය තම නිවස තුළම පිළිස්සී මිය ගිය බවද සඳහන් වේ. නේපාලයේ රාජ්‍ය යාන්ත්‍රණය දින දෙකක් ඇතුළත සම්පූර්ණයෙන්ම අකර්මණය විය.


තුන් වැනි දිනයේ ආරක්ෂක හමුදා වීදි බැස මුර සංචාරයේ යෙදුණ නිසා ප්රචණ්ඩ ක්‍රියා අඩු වුවද නේපාලයේ දේශපාලන තත්වය බෙහෙවින් අවිනිශ්චිත තත්වයක පවතී. පැරණි දේශපාලන පක්ෂ සහ නායකයින් සම්පූර්ණයෙන්ම අවලංගු වී ඇති නිසා ඔවුන්ට ජන සමාජයට නැවතත් නායකත්වයක් ලබා දීමට හැකි වන්නේ නැත. මේ නිසා නේපාල කොංග්‍රසයේ රජය ඉල්ලා අස් වුවද පාලනය භාර ගැනීමට කිසිවෙකු නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ බහුතරයක ගේ කැමැත්ත හිමි පක්ෂයකට රජයක් පිහිටුවීමට ආරාධනය කිරීමට ජනාධිපතිවරයාට බලය පැවරී ඇති නමුත් එය භාර ගැනිමට කිසිවෙකු නැත. මේ නිසා පවතින අරාජික තත්වය තත්වය යටතේ ගත හැකි එකම පියවර වන්නේ අන්තර්වාර රජයක් පත් කිරීමය. එය ද පවතින දේශපාලන පක්ෂවලට කළ නොහැකි නිසා පාර්ලිමේන්තුවෙන් බැහැර සමාජ පිළිගැනීමක් ඇති කණ්ඩායමක ගේ නායකත්වයෙන් අන්තර්වාර රජයක් පිහිටුවීම දැනට ඇති එකම විකල්පයයි.
මෙය වඩාත් දුෂ්කර කාර්යක් වන්නේ පැරණි දේශපාලකයන් පන්නා දැමීමට දිවි නොතකා අරගලයක් කළ යෞවනයන් අතර දේශපාලන සංවිධානයක් හෝ වෙනත් සාමුහික නායකත්වයක් දක්නට නොතිබීම ය. කාත්මණ්ඩු නගරයේත් රටේ සෙසු පුදේශවලත් හටගත් අරගලය සංවිධානයක් හෝ නයකත්වයක් නැතිව පවතින පාලනයට සහ පාලකයන්ට එරෙහිව හටගත් ප්රපංචයකි. එය 2022 දී ශ්‍රී ලංකවේත් ඉන් පසුව පසුගිය වසරේ බංග්ලා දේශයේත් හටගත් ජනතා නැගිටීම්වලට බෙහෙවින් සමානය. අරගලයේ ස්වභාවය මෙන්ම ඉල්ලීම් ද බෙහෙවින් සමානය. පසුගිය සඳුදා වීදි බට යෞවනයන්ගේ ප්‍රධාන ඉල්ලීමක් වූයේ පාලන ක්රමයේ පවතින දූෂණ තුරන් කිරීමය. ‘තහනම් කළ යුත්තේ සමාජ මාධ්‍යය නොව දූෂණයයි“ යන සටන් පාඨය සැම තැනකම දක්නට ලැබිණ.

වීදි බට බොහෝ යෞවයන්ට පුළුල් දේශපාලන අවබෝධයක් හෝ නායකත්වයක් නොතිබු නිසා අන්තර්වාර පාලනයේ ස්වභාවය කුමක් විය යුතුද යන්න ගැන එකඟතාවයක් නැත. පසුගිය සතියේ බදාදා ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර අන්තර්වාර පාලනයක් ගැන පැය හතරකට වැඩි කාලයක් පැවති සාකච්ඡාවල දී ඇති කර ගත් එකඟතාවය වූයේ හිටපු අගවිනිසුරුවරිය වන සුසිලා කර්කිට අන්තර්වාර පාලනයේ නායකත්වය පැවරිය යුතුය යන්නයි. මෙම එකඟතාවය ශ්‍රේෂ්ඨාධිකරණයේ නිතිඥ සංගමය යෝජනා කළ ද නිල වශයෙන් මෙතෙක් ප්රකායට පත්ව නැත.
තරුණයින් සමාජ මාධ්‍ය තහනමට එරෙහිව වීදි බට නමුත් ඔවුන්ගේ අරමුණ තහනම ඉවත් කර ගැනීමට වඩා පුළුල් එකක් බව ඉල්ලිම්වලින් පෙනේ. සමස්තයක් වශයෙන් නේපාලයේ සියලු දේශපාලන පක්ෂ ජනතා අප්‍රසාදයට පත්ව ඇති බව පැහැදිලිය. විරෝධතාකරුවන්ගේ ප්‍රහාර එල්ල වූයේ දක්ෂිණාංශික දේශපාලන පක්ෂවලට පමණක් නොවේ. නේපාලයේ මාවෝවාදී කොමියුනිස්ට් පක්ෂයේ නායක කලින් ප්රචණ්ඩ නමින් ද හැඳින් වූ පුෂ්ප කමාල් දහාල් ද විරෝධතාකරුවන් ගේ ඉලක්ක විය. එමනිසා නේපාලයේ දේශපාලන අනාගතය තීරණය වන්නේ සැබැවින්ම නව නායකත්වයක් සහ නව වැඩ පිළිවෙළක් යටතේය.

නේපාලයේ මෑත දේශපාලන ඉතිහාසය දෙස බලන විට දක්ෂිණාංශික මෙන්ම වාමාංශික දේශපාලන පක්ෂ සිය කාර්ය භාරය ඉටු කිරීමට කණගාටුදායක ලෙස අසමත් වූ බව පෙනේ. නේපාල කොංග්‍රසයේ නායක ෂර්මා ඔලි සිවු වතාවක් අගමැති තනතුරට පත් වූ අතර මාවෝවාදී කොමියුනිස්ට් පක්ෂයේ පුෂ්ප කමාල් දහාල් තෙවතාවත් අගමැති තනතුරට පත් වූයේය. එහෙත් ඒ කිසිම අවස්ථාවක ඔවුන්ට සිය නිල කාලය සම්පූර්ණ කිරීමට නොහැකි විය.
ආණ්ඩු පිළිබඳවත් දක්නට ඇත්තේ එවැනිම තත්වයකි. පසුගිය වසර 15ක කාලය ඇතුළත පැවති රජයන්ගේ සංඛ්‍යාව 14 කි. 2006 දී රාජාණ්ඩුව ඉවත් කිරීමෙන් පසුව රට තුළ පැවති දීර්ඝ සංවාදයකින් පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමෙන් 2015 දී නව පෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගත් නමුත් එය රටේ පවතින දේශපාලන සහ ආර්ථික ගැටලුවලට විසදුමක් වූයේ නැත. දේශපාලන අස්ථාවර භාවය දිගටම පැවිතිණ. විරෝධතාකරුවන් ප්‍රකාශ කළ ආකාරයට මෙම දේශපාලන පක්ෂ අතර පැවති එකම සහ ප්‍රබලම එකඟතාවය වූයේ මහජන සම්පත් රිසි සේ පරිහරණය කිරීමය. ලොව දුප්පත්ම රටවලින් එකක් වන නේපාලයේ ආර්ථිකය ගොඩ ගැනීමට සහ දේශපාලන ස්ථාවරත්වය තහවුරු කිරීමට මෙම නායකයන් කිසිවෙකුට හැකි වූයේ නැත.
සම්ප්‍රදායික දේශපාලකයන් ප්‍රතික්ෂේප කිරීමේ ප්රවනතාවය නේපාලයේ මෑතක සිට දක්නට ඇති ලක්ෂණයකි. නිදසුනක් වශයෙන් 2022 පැවති මහා මැතිවරණයෙන් සම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට 275ක් වන පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවෙන් 199ක් දිනා ගත හැකි වුවද එය ඊට පෙර මහා මැතිවරණය හා සසඳන විට පැහැදිලිවම පසු බෑමකි. කලින් පැවති මහා මැතිවරණයේ දී ප්‍රධාන දේශපාලන පක්ෂ තුනට ආසන 237ක් දිනා ගැනීමට හැකි විය. 2022 පැවති මහා මැතිවරණයේ දී නවතම දේශපාලන පක්ෂයක් වන රාෂ්ට්‍රීය ජනතා පක්ෂයට මුළු ඡන්ද සංඛ්‍යා වෙන් සියයට 11ක් ලබා ගත හැකි විය.එහි නායක රවි ලමිච්චනේ මූල්‍ය දූෂණ චෝදනා මත අත් අඩංගුවට ගෙන ඇත. විරෝධතාකරුවන් සිර ගෙදරට පහර දී ඔහු මුදා ගත් බව ද වාර්තා වේ.

නව නායකත්වයක් සොයා යෑමේ ප්රවනතාවයට තවත් නිදසුනක් වන්නේ කාත්මණ්ඩු නගරයේ පසුගිය දා පැවති නගරාධිපති වරණයෙන් 35 හැවිරිදි තරුණයෙකු ජය ගැනීමය. වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවරයෙකු වන ඔහු දූෂණය පිටු දැක මහජනයාට වඩාත් විවෘත පාලන ක්‍රමක් ගොඩ නැගීමට සැලසුම් කරයි. අරගලයේ දී ඔහුගේ නායකත්වය ද කැපී පෙනුන බව සමහර වාර්තාවල සඳහන් වේ අන්තර්වාර ආණ්ඩුවේ නායකත්වය හිටපු අග්රවිනිශ්චයකාරවරියට ලබා දිය යුතුයැයි ඔහු කියා සිටියේය.
නේපාලයේ දේශපාලන ඉතිහාසය දෙස බැලීමේ දී පසුගිය සතියේ යෞවනයන්ගේ අරගලයෙන් වැදගත් ජයග්‍රහණ අත් කර ගත් නමුත් ඒවා නව සමාජ නිර්මාණයක් බවට පත් කිරීමට තවත් අරගල රැසක් කිරීමට සිදු වනු ඇත. ඒවා පසුගිය සතියේ මෙන් ප්රචණ්ඩ නොවන නමුත් දේශපාලන ආකල්පයේ සහ ක්‍රියා මාර්ගවල නව ප්‍රවේශයක් විය යුතුය.
අනිත් අතට නේපාලයේ Z පරම්පරාව නමින් හැඳින් වූ දේශපාලන ප්‍රවාහය එරටට පමණක් සීමා වූවක් නොවේ. ලොව සියලුම රටවලම පාහේ බලයේ සිටින දේශපාලන නායකත්වය සහ ඔවුන්ගේ වැඩ පිළිවෙළ විශේෂයෙන් තරුණ පරම්පරාව අතර දැඩි විවේචනයට සහ නිරීක්ෂණයට ලක්ව ඇති බවද තේරුම් ගත යුතුය.

- අපි යන්නේ කොයි පාරේ – ඒ ගොල්ලත් ගිය පාරේ.. - April 3, 2026
- යුක්තිය සහ ගරුත්වය මිය ගොස් ඇති සමාජයක රජයන්නේ වංචාව සහ දූෂණයයි. - March 26, 2026
- මංකොල්ලකාරී අධිරාජ්‍යවාදය නැවතත් ලෝක සමය බවට පත්වේ.. - March 4, 2026