You are currently viewing පොහොට්ටුවේ සෙලන්දිවා පූට්ටුව සහ විකුනොමික්ස්..

පොහොට්ටුවේ සෙලන්දිවා පූට්ටුව සහ විකුනොමික්ස්..

දේශපාලන නරි නාඩගම් සහ විලම්භීත හමුවේ ජනවරමක් රහිත රජයේ මුදල් අමාත්‍යවරයා වන ජනාධිපති වරයා තවත් අයවැයක් පසුගිය සතියේ ඉදිරිපත් කලේය. ආර්ථික වර්ධනය ඇති කරන උපායමාර්ග කිසිවක් ඒම ලේඛණයේ නොමැත. ඉතිරි ණය වාරික මූල්‍ය අරමුදලින් ලබා ගැනීම සඳහා රාජ්‍ය වියහියදම් ඉලක්කම් ලැයිස්තුගත කර ඇත්තේ ජනතාවට නුදුරු අනාගතයේ තමන් පත්වී ඇති අසහනකාරී ආර්ථික අර්බුදයෙන් කිසිම ගැලවිල්ලක සේයාවක් වත් ඇති නොවෙන තරමටය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කෝකටත් තෛලය වන භාණ්ඩ සහ සේවා මත පනවන බදු ඉහල දැමීමෙන් ජනතාවගේ ජීවන බර තවත් බැරෑරුම් අඩියකට වැටෙනු ඇත.

සම්ප්‍රදායික ඡන්ද ගුණ්ඩු කිහිපයක් ඔබ්බවා ඇත්තේ රජයේ සේවකයින්ගේ අනුකම්පාවෙන් සහ කොළඹ දිස්ත්‍රික්කයේ තට්ටු නිවාස ලාභීන්ගේ ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට අඩුම තරමින් පාර්ලිමේන්තුවට හෝ තේරීපත් විය හැකිවෙතයි යන විශ්වාසයෙන් විය හැක.

ඔවුන් ගෙනගිය ව්‍යාපාරයන් ජාති හිතෛෂී බව ඔප්පුකරවීමට ශේෂ්ඨාධිකරණය අති විශ්වශනීය තීන්දුවක් 2023 නොවැම්බර් මස 14 වැනිදින ප්‍රකාශ කලේ ශ්‍රී ලංකා ආර්ථිකය බංකොලොත් කල මහදැන මුත්තා සහ ගෝලබාලයෝ ටික නම්කරමින්ය. සෙස්සන් පරයා පුස්සන් බලගන්වන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳ වැටීම බොහෝ රටවලට අත්විදීමට සිදුව ඇති ඉරණමකි. පැහැදිලි දර්ශනයක් සහිත යම් උපායමාර්ගික වැඩපිලිවෙලක් ඉදිරිපත් කොට තම රටවල් මුහුණදී ඇති ආර්ථික, සමාජීය සහ දේශපාලන ගැටළු විසදාගත හැකි ක්‍රියාපිලිවෙලකට නායකත්වය දිය හැකි පාලන තන්ත්‍රයක් තෝරාපත් කරගැනීම වෙනුවට ඡන්ද දායකයින් නොමඟ හැර හුදු ජාතික-ජනප්‍රියත්වය තුලින් රාජ්‍ය බලය ලබාගෙන රටවැසියන් අන්ත අසරණ තත්වයකට පත්කොට මුළු ආර්ථිකයම ණය බරින් ගිල්ලවා බංකොලොත් කරවීමට වසර දෙකක් වත් ගතවුයේ නැත. මෙම අනතුර අවබෝධ කරගත් ජනහිතවාදී කණ්ඩායම් පාලකයින් පන්නාදැමීමට වීදි බැස අරගල කලේ මේනිසාය. ඒ අභීත අරගල කරුවන්ගේ කැපවීමට අධිකරණය නිසි වටිනාකමක් ලබා දී ඇත. කෛරාටිකව බලයට පත්වන්නන් සතු උඩඟු පාලන බලය ඔවුන් බලයට පත්කරන ජන බලවේගයන්ගෙන් සොච්චමක් බව ඔප්පුවී හමාරය. අරගල කරුවන්ට නොයෙක් අවලාද නැඟුවද බොරුව පරදා සත්‍ය හිස ඔසවන පරම සත්‍ය සාමකාමීව ශ්‍රී ලාංකේය අරගලකරුවන් ලෝකයා හමුවේ පසක් කර දුන්හ. 

කෝවිඩ් වසංගත තත්වයෙන් නොයෙකුත් සංචරණ සීමාවන්ට හසුවූ පාරිබෝගිකයින් තම දෛනික අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමට දැන් අන්තර්ජාල සහ ජංගම දුරකථන ඔස්සේ සීඝ්‍රයෙන් ව්‍යාප්තවන E-Commerce නොහොත් සංඛත වාණිජමය කටයුතු වලට හුරු වී හමාරය. මෙම තාක්ෂණික පරිනාමයන් තුල සාම්ප්‍රදායික බැංකු, මූල්‍ය, තැපැල්  සහ ආශ්‍රිත සේවාවන් සීඝ්‍රයෙන් වෙනස්වන නිසා මෙකී ආයතන වල ආදායම් සහ ලාභදායි තාව රැක ගැනීමට සිය සේවාවන් නව ක්ෂේ‍ත්‍ර වලට ව්‍යාප්ත නොකලහොත් සිදුවන්නේ ඩයිනෝසරස්ට සිදුවූ ඉරණමය.

තැපැල් දෙපාර්තමේන්තුවේ පෞරාණික වටිණාකම් සහිත දේපල විදේශීය හිතමිතුරු සමාගම් වලට විකිණීමට ඒරෙහිව තැපැල් සේවක වෘත්තීය සමිති රොඳබැදගෙන සිටින්නේ මේ නිසාය. තැපැල් සේවකයින්ගේ සටනට ආශිර්වාද කලයුතු මෙන්ම, ඒය විරෝධයකට පමණක් සීමා නොකොට සියළු දෙනාටම ඒකතුවී සිය දේපල සහ සම්පත් වලින් නව තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කරමින් පාරිබෝගිකයින්ට නව සේවාවන් සපයා දීමෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම් වැඩි කරගැනීමට ඉදිරිපත් විය යුතව ඇත.

සංචාරකයින් වැඩිදෙනෙක් ගැවෙසෙන නුවර, නුවරඑලිය, ගාල්ල සහ කොළඹ ඇති තැපැල් කන්තෝරු සහ ගොඩනැඟිලි නවීකරණය කොට, විදේශිකයින්ට ශ්‍රී ලාංකේය නිෂ්පාදන පහසුවෙන් ඇණවුම් කර ගෙන්වා ගැනීමේ   E Commerce සහ Logistics කටයුතු වලට යොදාගැනීම දේපල විකුණන විකුනොමික්ස් බංකොලොත් වැඩ පිලිවෙලට පැහැදිලි විකල්පයක් කරගත හැක. දේශීය වෙළදපල පමණක් ඉලක්ක කරගනිමින් නොව මුළු දකුණු ආසියා වෙළද පල හරිහැටි අවබෝධ කරගෙන කොළඹ වරාය වැදගත් උපායමාර්ගික වෙළද මධ්‍යස්ථානයක් කරගනිමින් ජාත්‍යන්තර වෙළදාමේ ප්‍රථිලාභ මතු පරම්පරාවට උරුමකර දිය හැක්කේ දූර දර්ශීව කටයුතු කලොත් පමණි. මෙම අනගි ව්‍යාපාරික අවස්තාවන් හොදින් වටහා ගෙන පාලකයින් රවටාගෙන දත කන්නේ ජාතියේ සම්පත් කුණු කොල්ලයට ගැනීමටය. මතු පරපුර වෙනුවෙන් මෙම සම්පත් බේරාගැනීමට සියළු දෙනාම කැපවිය යුත්තේ ඒ නිසාය.

Print Friendly, PDF & Email

Leave a Reply