You are currently viewing බැරි නැත! දිනිය හැක!! ජනයාට අතට අහුවෙන වාම විකල්පයක්!

බැරි නැත! දිනිය හැක!! ජනයාට අතට අහුවෙන වාම විකල්පයක්!

ඡන්දයකින් ආසනයක් දිනා ගැන්මට තරම් ඡන්ද ප්‍රමාණයක් ගැන්මට අසමත් වූ එකෙකු ඡන්ද ක්‍රමයට ම එරෙහි වුවහොත් එය පුදුමයක් නොවේ. එහෙව් එකෙකු, ඡන්ද බලයෙන් රටක පත්විය ඉහළම පුටුවට ඔසවා තැබිය හැකි ව්‍යවස්ථාවක් රටක තිබේ නම් එය නියම වසල ව්‍යවස්ථාවක්ම විය යුතු වේ. කිසියම් රටක් එවන් වසල ව්‍යවස්ථාවක් යටතේ වසර හතලිස් පහක් පාලනය වී නම්, ඒ රටේ මහජනයා ගැනත් ටිකක් විපරම් කර බැලීම සුදුසු ය.

මේ රටේ පින් සහ ටින් ජනපතියා මේ වනවිට ඡන්ද දෙකක් කල්දමා ඇත. ඒ ප්‍රාදේශීය සභා සහ පලාත් සභා මැතිවරණයන් ය. ව්‍යවස්ථාව අනුව මේ මැතිවරණ කලට වෙලාවට පැවැත්වීම අනිවාර්ය නොවෙන හෙයින්, විධායකය විසින් විවිධ වෙට්ටු දමා ඒ මැතිවරණ කල් දැමින.

ව්‍යවස්ථා ප්‍රකාර ජනපතිවරණය එසේ කල් දැමිය නොහැක. එමෙන්ම, ජනපතිට අවශ්‍ය නම්, පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයක් තැබීමට ද දැන් ඉඩක් තිබේ. මේ නිසා මොකක් හෝ මැතිවරණයක් ඒ ය යන බලාපොරොත්තුව පෝෂණය වී ඇත්තේ ය. ජනපතිවරණය පැවැත්විය යුතු දින වකවානු පවා ගණන් බලා පැවසීමට හැකි වේ.

හෙත් එකක් අප අමතක නොකළයුතු වේ.

ඡන්දයකින් ආසනයක් දිනා ගැන්මට තරම් ඡන්ද ප්‍රමාණයක් ගැන්මට අසමත් වූ එකෙකු ඡන්ද ක්‍රමයටම එරෙහි වුවහොත් එය පුදුමයක් නොවේ.

ඡන්දයකින් තමනට බලයට ඒමට හොහැකියැ යි සිතේනම් මේකා මොන වෙට්ටුවක් හෝ දමා චන්ද නොපැවැත්වුවහොත් එ් ගැන පුදුම වියයුතු නොවේ. මෑතකදී ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ ප්‍රකාශන පෙන්වන්නේ මේකා ව්‍යවස්ථාව තුට්ටුවකටවත් ගණන් නොගන්නා බවකි.

ඒ නිසා අප විසින් බලගතු ලෙස ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ, ජනපතිවරණය තිබ්බොත් කෙසේ ක්‍රියා කරන්නේ ද යන්න නොව, ජනපතිවරණය නොතිබ්බොත් මහජනයා ක්‍රියා කළ යුත්තේ කෙසේද? යන්න ය.

නිදහස් දින ගෝල්ෆේස් එකට යන්න මහජනයාට නිදහසක් නැත. මෙය යළි මතුකරන අභියෝගය ගෝල්ෆේස් රටපුරාම ගොඩනගා ඒවා යළි අත්පත් කර ගැන්මට සූදානම් වීමෙන් පමණකි, මැතිවරණ දිනාගත හැක්කේ.

මෙයට වසර කිහිපයකට පෙර බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයේ නායකයන් දෙපොළ වූ කෝබින් සහ මැක්ඩොනල්ඩ් කදිම පූර්වාදර්ශයක් වාම දේශපාලන කාණ්ඩවලට ලබා දුන්නේ ය. ඒ තම රැඩිකල් වැඩ පිළිවෙල සඳහා මූල්‍ය සම්පාදනය කරගන්නේ කෙසේ දැයි පෙන්වීමෙනි.

වම පොරොන්දු වියයුත්තේ මොනවාද?

  1. පසුගිය වසරක පමණ කාලය තුළ පාර්ලිමේන්තුව සම්මත කළ සහ සම්මත කරන්න යන මහ බැංකු පනත, මාර්ගගත ආරක්ෂණ පනත, ත්‍රස්ත විරෝධී පනත, ක්ෂුද්‍ර ණය පනත, ධීවර පනත වැනි සියලු පනත් අහෝසි කළ යුතු වේ. (වියදමක් නැත.)
  2. VAT බද්ධ සියයට 10 දක්වා පහත හෙළිය යුතු ය. (බදු ආදායම් අඩුවීම වැළැක්වීමට බදු පැහැර හැර ඇති අයගේ ගේ බදු කැඳවිය යුතු ය)
  3. පදනම් භාණ්ඩ (base goods) වල, (එනම් විදුලිය, ඉන්ධන, වතුර වැනි) භාණ්ඩ මත පනවා ඇති රාජ්‍ය බදු සහ රාජ්‍යයට කරන ගෙවීම් සියයට 10 දක්වා අඩු කළ යුතු ය. (නැතිවන ආදායම අවම කිරීමට QR ක්‍රමයක් නැවත හඳුන්වා දිය යුතු ය. එමෙන්ම, අංක 2 යටතේ දැක්වූ විසඳුම මෙතනට ද ගැලපේ. එපමණක් නොවේ. පදනම් මිල අඩුවීම සමග ආර්ථිකයට විශාල උත්තේජනයක් ඇති වේ.)
  4. පහුගිය කාලය තුළ කෘෂිකාර්මික භාණ්ඩ මිල බෙහෙවින් වැඩිවිය. මෙයට කිසියම් ප්‍රමාණයකට ස්වාභාවික හේතු බල පෑ බව සැබවි. එහෙත් මෙම කෘෂිකාර්මික මිල ඉහළ යාමට ප්‍රධාන හේතුව කෘෂිකාර් මික යෙදවුම් මිල ඉහළ යාමය. මේ නිසා අඩු මිල යෙදවුම් මත ගොඩනගන කෘෂිකර්මයකට මාරුවීමට පදනම දැමිය යුතු ය. (අතිරේක වියදමක් නොවේ.)

බදු ආදායම් අඩුවීම ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පස්සේ යමින් කඳුලු සැලිය යුතු නොවේ. රාජ්‍යයකට බදු ප්‍රශ්නයක් නොවේ. අයවැය හිඟය රටකට ප්‍රශ්නයක් වන්නෙ, රාජ්‍ය වියදම්, රටේ අනෙක් හිඟයන්, (එනම් අධ්‍යාපනයේ හිඟය, ශ්‍රම වෙළදපොල හිඟය, සෞඛ්‍ය හිඟය වැනි හිඟයන්) පිරවීමට නොයොදන්නේ නම් පමණි.

අංක 3 සහ 4 නිසා පහළ මාලයේ ජනතාවගේ මූර්ත ජීවන තත්ත්වය ඉහළ යයි. ඒ නිසා සැලකිය යුතු කාලෙකට වැටුප් ගැන සමාජ සම්මුතියක් ඇතිකරගත හැකිවේ.

බියෙන් තොරව පළමුවෙනි දවස් 30තුළ මේ ටික කරන්නට සත්‍ය පොරොන්දුවක් දීමෙන් මැතිවරණය තිබ්බොත් වමට ජය ගැන්ම අපහසු නොවේ. මේ පොරොන්දු මත පහළ මාලය බලගැන්වීම හරහා ඡන්දය නොතිබ්බත් ඒකටත් උත්තර දිය හැක.

ජනයා “කෙහෙලිය ගෝ ගම්” සංවිධානය කරති. මෙය හොඳ ආරම්භයක්.

Print Friendly, PDF & Email

Leave a Reply