You are currently viewing වර්තමානය ගෝලීය ධනේශ්වරයේ හතරවෙනි අදියර, නවලිබරල්වාදයේ ගොම්මන් යාමය!

වර්තමානය ගෝලීය ධනේශ්වරයේ හතරවෙනි අදියර, නවලිබරල්වාදයේ ගොම්මන් යාමය!

වසර 88 ක් පිරෙන ලංකා සමසමාජ පක්ෂය අතීතයේ පක්ෂයක් වෙතින් වර්තමානයේ සහ අනාගතයේ පක්ෂයක් බවට පරිවර්තනය කිරීමට නම් අප වර්තමානය නිවැරදිව කියවා ගැන්මට සහ අනාගත ප්‍රවණතා දැකගැන්මට ඊට හැකිවිය යුතු ය. අප අද ජීවත්වන යුගය ගෝලීය ධනේශ්වර ක්‍රමයේ හතරවෙනි අදියරේ – එනම්, නවලිබරල්වාදයේ- ගොම්මන් යාමය ලෙස හැඳින්විය හැක.

අර්නස්ට් මැන්ඩෙල් තම Late Capitalism නැමති විශිෂ්ඨ කෘතියෙහි යෝජනා කරන්නේ 1820 ලෝක ධනේශ්වර වෙළදපොලෙහි ආරම්භක ලක්ෂය ලෙස ගැන්මට ය. ධනේශ්වර ක්‍රමයෙහි උපයෝජ්‍යතා හැකියාව (adaptability) අඩු ලන්සුවෙන් ගතයුතු නොවේ.

අර්නස්ට් මැන්ඩෙල් | Ernest Mandel

පළමුවෙනි ලෝක යුද්ධය, රුසියානු විප්ලවය සහ පශ්චාත් යුද ආර්ථික අර්බුදය, ඒකාධිකාරි ධනවාදයේ අර්බුදය මොනවට ප්‍රදර්ශනය කළේ ය. එහි අවසානය සලකුණු කළේ 1929- 31 මහා පරිහානිය (the Great Depression) යි. ඒ සමග ධනේශ්වර ක්‍රමය එහි තෙවෙනි අදියරට සම්ප්‍රාප්ත වූයේ එතෙක් ආර්ථික විද්‍යාව පිළිගත් ප්‍රධාන ප්‍රස්තූතයන් ප්‍රතික්ෂේප කරමිනි. ඊනියා අදෘශ්‍යමාන හස්තය ආර්ථික සමතුලිතතාවය ඇති නොකරයි. ඒ නිසා රජය සක්‍රීයව මැදිහත් විය යුතු ය. ජෝන් මේනාඩ් කේන්ස් යෝජනා කළේ රාජ්‍ය වියදම් මගින් ඉල්ලුමේ ඌනතාවය මග හැර ආර්ථිකයේ පූර්ණ සේවා නියුක්තිය පිහිටවිය හැකි බවයි. මේ අදියර ධනේශ්වරයේ ස්වර්ණමය අදියර ලෙස බොහෝවිට හැඳින්වේ.

කේන්ස් යෝජනා කළ විසඳුම ධනේශ්වර ක්‍රමයේ දැවැන්ත ප්‍රසාරණයක් ඇති කළ ද, ඒ නිසා උද්ධමනය වැඩි කෙරින. ඩොලරයේ රන් පරිවර් තිතාවය ඇමරිකා එක්සත් ජනපදය විසින් 1971 දී අත්හැර දැමිණ. ඔපෙක් රටවල් විසින් තෙල් මිල ඉහළ දැමීම ගෝලීය ආර්ථිකයට නරක ලෙස බලපෑවේය. මේ සමග ලාභ අනුපාතිකය පහත වැටීම සමග වෙනත් මගකට ගමන් ගැනීමේ අවශ්‍යතාවය ගැන ව්‍යාපාරික සමාගම් වෙතින් තෙරපීමක් ඇතිවින.

මහා අවපාතය අතරතුර, රැකියා විරහිතයන් පාන් හා ආහාර සඳහා පෝලිම් ගැසී සිටියහ..

නව ලිබරල්වාදී අදියර (neoliberalism) ඇරඹෙන්නේ මේ සන්දර්භය තුලයි. එය මුලින්ම අත්හදා බැලෙන්නේ පිනොචෙගේ ආඥාදායකත්වය යටතේ චිලි රටෙහි ය. දෙවනුව, නාමික ප්‍රජාතන්ත්‍රවාදය පැවතුන ශ්‍රී ලංකාවේ ය. එයින් පසු ගෝලීය උතුරේ වර්ධිත රටවල් ද නව ලිබරල්වාදී ප්‍රතිපත්ති ක්‍රියාවට දැම්මේ ය.

නව ලිබරල්වාදයේ උපත ගැන කෙටියෙන් සාකච්ඡා කරමු.  මධු සමය සලකුනු කරන්නේ 1980 සහ 1990 ගණන් ය. බර්ලින් තාප්පය බිඳ දැමීමත් සෝවියට් කඳවුර බිඳවැටීමත් සමග 1917 දී ලෝක ධනේශ්වරයට නැති වූ විශාල කලාපයක් නැවත අල්ලා ගැනීමට හැකිවිය. එසේ වුවද, තෙවන සහස්‍රය ආරම්භ වනවිට නව ලිබරල්වාදය  අර්බුදය ට යාමේ නැඹුරුවක් දක්නට ලැබින. 2008 දී ඇමරිකා එක්සත් ජනපදයේ විශාල මූල්‍ය සමාගම් කිහිපයක් බිඳ වැටින. මූල්‍ය හා බැංකු අර්බුදය යුරෝපාකරයට ද පැතිරින. මූල්‍ය අර්බුදය මගින් ප්‍රදර්ශනය කළේ ධනේශ්වරයේ, එහි නව ලිබරල්වාදී අදියරේ අර්බුදය ය. 2020 වනවිට නව ලිබරල්වාදයට වසර පනහක් ගෙවී ගොස් තිබින. අපි නැවත වතාවක් ධනේශ්වර ක්‍රමයේ අර්බුද හරහා ගමන් කරමින් සිටිමු.

නව ලිබරල්වාදය ශ්‍රී ලංකාව ගිලගත්තේ 1970 ගණන්වල මැද  භාගයේදී ය. සමගි පෙරමුණ ආණ්ඩුව ලිහුනේ මෙහි ප්‍රතිඵලයක් ලෙස ය. අද ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින්නේ ද නව ලිබරල්වාදයේ අර්බුදයට ය. මෙම ව්‍යුහාත්මක අර්බුදය 2021 දී එලියට ආවේ අනිශ්චිත අර්බුදයක් (contingent crisis) ලෙස ය. ණය අර්බුදයක් ලෙස ය. මෙම ණය අර්බුදය නිවැරදි ප්‍රතිපත්ති මගින් විසඳාගනු වෙනුවට ආණ්ඩුව හා මහ බැංකුව කළේ ඔවුනට පෙනෙන එකම විකල්පයට රට ගෙන යාමය. එනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විසඳුම පිළිගැන්ම ය. 2021 දීත් ධන ආර්ථික වෘද්ධියක් අත්කරගත් ශ්‍රී ලංකාව 2022 සෘණ වෘද්ධි වේගයක් ඇති රටක් බවට පත්වීම ය. 2023 දීත් ඇතිවිය හැක්කේ එවැනිම සෘණ වෘද්ධි වේගයකි.

මෙම ආර්ථික අර්බුදය හා සමාන්තරව දේශපාලන සහ සමාජ අර්බුදයක් හරහා ද අද ශ්‍රී ලංකාව ගමන් කරමින් සිටී. වර්තමාන පාලකයින්ගේ සුජාතභාවය අද ජනතාව ප්‍රශ්න කරති. අරගලය පෙන්වන්නේ සමාජය පුරාවට සිසාරාගිය මේ අර්‍බුදය ය.

එහෙත් එක් කරුණක් අප සිහිපත් කර ගත යුතු වේ. ආර්ථික සමාජ සහ දේශපාලන අර්බුදයන් ආ පමණින් රටක කැළඹිලි සහ කැරලි ඇතිවිය හැකි වුවද, ඒ නිසා අනීවාර්යයෙන්ම සමාජ පරිවර්තනයක් ඇති නොවේ.

අන්තෝනියෝ ග්‍රැම්ස්කි | Antonio Gramsci

සමාජ පහළ මාලයේ සැකැස්ම තේරුම් ගනිමු. දෙවන ඉනිමේ දී පළමු ඉනිමේ වැරදි නිවැරදි කර ගනිමු.

අපි, ලංකා සමසමාජ පක්ෂය, 1964 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ආණ්ඩු පෙරමුණකට යාමෙන් ආනන්තරීය පාප කර්මයකට හසුවීමු. ලියොන් ට්‍රොට්ස්කි තම මුලු ජීවිත කාලය තුළම අවධාරණය කළ එක් මූලධර්මයක් අපි මෙතනදී සිහිපත් කර ගත යුතු වෙමු.

පහළ මාලය සහ ඉහළ මාලය අතර සම්බන්ධතා අපි 1964 දී පටලවා ගත්තෙමු. දෙවන ලෝක යුද්ධයෙන් පසු ධනේශ්වර උත්පාතය සමග ගෝලීය දකුණේ රටවලට අධිරාජ්‍යවාදයෙන් සාපේක්ෂ ස්වාධීන වැඩ පිළිවෙලක් වෙනුවෙන් පෙනී සිටින ජනතාවාදී දේශපාලන ධාරාවන් පැන නැගින. එකී දේශපාලන ධාරාවෝ බොහෝවිට සෝවියට් කලාපය හා ආසන්න සම්බන්ධකම් ද ඇතිකර ගත් හ.

ලියොන් ට්‍රොට්ස්කි | Leon Trotsky

පක්ෂය ගොඩනැගීමේ ප්‍රශ්නය දැවැන්ත හා බාරදූර කාර්යයකි. එතනදී, අප අපේම ඉතිහාසය නැවත විවේචනාත්මකව කියවා ගත යුතු වේ. සිරිමා බණ්ඩාරනායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ මහින්ද රාජපක්ෂ සමග අපි කිසිදු හිරිකිතයක් නැතුව,  නැවත පෙරමුණු වලට ගියෙමු. මුලින් කිසියම් බලයක් ඇතුව පෙරමුණු තුළ කටයුතු කළ ද, පහුවෙන කොට අප උන්ගේ හැම ජරා වැඩකම කොටස් කරුවන් වීමු. මේ දේශපාලනයෙන් නිශ්චිතව බිඳ දමමින් අපේ ස්වාධීන දේශපාලනයක් අපි යළි ගොඩනඟා ගමු.

Print Friendly, PDF & Email

Leave a Reply