You are currently viewing ඡන්දය මංකොල්ලයක් වීම වැළැක්වීමට පියවර නොගන්නේ ඇයි?

ඡන්දය මංකොල්ලයක් වීම වැළැක්වීමට පියවර නොගන්නේ ඇයි?

පළමුවෙන් ආවේ කිකිළිය ද බිත්තරය ද මෙන් පළමුවෙන් පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය ද මහා මැතිවරණය ද යන්න අද වැඩියෙන්ම කතා බහ වෙන කාරණයකි. මේ දෙකින් කුමන එක පැවැත් වුවද  ජනතාවට ගත හැකි තීරණ දෙකක් ඇත. ඒ ඡන්දය දෙනවාද නැද්ද සහ ඡන්දය දෙන්නේ නම් ඒ කුමන පක්ෂයට ද නැතිනම් කවර පුද්ගලයාට ද යන්න තීරණය කිරීම ය. සාමාන්‍යයෙන් ලංකාවේ 87/-88 භීෂණ සමයේ පැවති ඡන්ද විමසීම්වලදී හැර අනෙක් සෑම අවස්ථාවකම ලියා පදිංචි ඡන්ද දායකයන්ගෙන් සියයට 70ත් 80ත් අතර ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කිරීමේ ඉතිහාසයක් පවතී. එමනිසා ඡන්ද දෙනවාද යන්න තීරණාත්මක ප්‍රශ්නයක් නොවනු ඇත. ජන අරගලයේ මතක තවමත් අවදියෙන් පවතින නිසා මෙවර කුමන ඡන්ද විමසීම පැවැත් වුවත් ඡන්දදායකයන්ගේ උනන්දුවේ කිසිම අඩුවක් විය නොහැකිය. මෙතෙක් පැවති සෑම ඡන්ද විමසීමකදී ම පක්ෂයක් සහ පුද්ගලයන් තේරීමේ දී දක්වා ඇති උනන්දුව සහ විචක්ෂණ භාවය ද මෙවරත් නොවෙනස්වනු ඇතැයි අනුමානය කළ හැකිය.

එමනිසා වැදගත්ම කාරණය වන්නේ ජනතා අපේක්ෂාව ඉටු කර ගත හැකි වටපිටාවක් ගොඩ නැගී ඇත්තේ ද යන්න යි. ඡන්දය ලබා ගැනීමට ඉදිරිපත් වන පක්ෂ සහ පුද්ගලයන් විචිත්‍රවත් ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරන නමුත් ජනතාව ඒවා ප්‍රමාණවත් ආකාරයෙන් විශ්ලේෂණය කිරීමක් හෝ සංවාදයට ලක් කිරීමක් කර ඇත්ද යන්නත් සැකයකි. බොහෝ විට සිදු වන්නේ බලයේ සිටින පක්ෂය හෝ පුද්ගලයා ප්‍රතික්ෂේප කර තරග බිමේ ඉදිරියෙන්ම සිටින අනෙකා ට ඡන්ද ප්‍රකාශ කිරීමකි. පසුගිය කාල සීමාවේ සිදුව ඇත්තේ විරෝධය ප්‍රකාශ කිරීම ය. බලය ලබා ගැනීමට දෙන පොරොන්දු ඉටු කළ හැකි ඒවාද ඒ සඳහා කැපවීමක් තිබේද යන්න ගැන ගැඹුරු හැදෑරීමක් බොහෝ විට සිදු වන්නේ නැත. මැතිවරණ පොරොන්දු බොහෝ විට ඡන්ද විමසීමත් සමග හිස් ආකාශයේ පාව යනු ඇත. එම අත්දැකීම පෙර කවදාටත් වඩා අද වැදගත් වන්නේ ජනතා ප්‍රශ්න වෙන කවදාටත් වඩා තීව්‍ර වී ඇති නිසාය. 69 ලක්ෂයක ජනවරමක් ලත් පුද්ගලයා රජගෙදර පිටුපස්සා දොරින් පැන ගියේ පොරොන්දු කඩ කිරීමේ වරද නිසා ය. ඒ කුමන්ත්‍රණයක් නිසාද නැත්ද යන්නට වඩා වැදගත් වන්නේ ජනවරම ලබා ගත් පුද්ගලයා ජන ජීවිතය යහපත් කිරීමට කිසිදු පියවරක් ගැනිමට අපොහොසත්වීම ය. එම අසාර්ථක භාවය ලෝකයටම දිස් වූයේ රටේ බංකොළොත් භාවය ප්‍රකාශ කොට හිඟමනට පත් වීමෙනි.

එම තර්කයේ සාධාරණකම හෝ අසාධාරණකම පසෙක දැමුවත් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීම ජනතාව මත පැටවෙන තවත් බරක් යන්න පැහැදිලි කර ගැනීමට ප්‍රමාණවත් ය.

මෙම සැසඳීමේ දී පසුගිය දා පැවති පාකිස්ථානු මහා මැතිවරණයේ සිදුව ඇතැයි කියන වංචා සහ දූෂණ සැලකිල්ලට ගත යුතු නැත. පාකිස්ථානයේ මැතිවරණ ක්‍රියා වලියේ කෙතරම් අඩුපාඩු තිබුණත් මුදල් නාස්තිය සිදුව ඇත්තේ අඩුවෙන් බව සැලකිල්ලට ගැනීම ප්‍රමාණවත් ය. එහි ඡන්ද විමසීමේ පැවැත් වූයේ පිරිහීගිය ආරක්ෂක තත්වයක් යටතේ වුවද එහි වියදම ඉතාමත් අඩු මට්ටමක තිබී ඇත.

ලංකාවේ මැතිවරණ පැවැත්වීම සඳහා මෙතරම් විශාල මුදලක් වැය වන්නේ ඇයි? අපගේ ඡන්ද විමසීම්වලින් තේරී පත්වන නියෝජිතයන් ගේ ගුණාත්මක භාවය පාකිස්ථානයේ අයට වඩා වැඩි නම් අධික පිරිවැයක් දැරීම බරපතළ ප්‍රශ්නයක් නොවේයැයි බැහැර කළ හැකිය. එහෙත් අපේ මහජන නියෝජිතයන්ගේ හැසිරීම පාකිස්ථානයේත් අසල්වැසි සෙසු රටවල අයටත් වඩා වෙනස් වන්නේ නැත. කෙටියෙන් සියල්ලන්ම එක වල්ලේ පොල් ය.

මැතිවරණ වියදම් ගැන කතා කිරීමේ දී තවත් ප්‍රසිද්ධ කාරණයක් නැවත සිහිපත් කළ යුතුය. ඒ 2014 වසර අවසානයේ පැවති ජනාධිපතිවරණයේදි අපේක්ෂකයන්ට ලැබුණු දේශීය සහ විදේශීය මුදල් පරිත්‍යාගයයි. අපේ රටේ මැතිවරණ නීතිය අනුව අපේක්ෂකයෙකුට හෝ අපේක්ෂිකාවකට මැතිවරණ වියදම් සඳහා ලබා දෙන පරිත්‍යාග හෙළි කිරීමේ අවශ්‍යතාවයක් නැත. අඩුම වශයෙන් ආදායම් බදු දෙපාර්තමේන්තුව හෝ එම මුදල් ලැබුණු ආකාරය හෝ වියදම් කළ ආකාරය විමසන්නේ නැත.

මෙම කරුණුවලින් පැහැදිලි වන්නේ මැතිවරණ පැවැත්වීමත් ඊට තරග කිරීමත් මහා ධන කොල්ලයක් බවට පත්ව තිබීම ය. අබ වපුරා තල අස්වැන්නක් බලාපොරොත්තු විය නොහැකි ආකාරයෙන්ම මෙවැනි ඡන්දවලින් මහජන අභිලාෂයන් ඉටු වන්නේ නැත. පසුගිය වසර හැත්තෑපහකට අධික මැතිවරණ ඉතිහාසයෙන් පෙන්නුම් කරන්නේ එයයි.

අද ලාංකික ජනතාව ඉදිරියේ ඇති අභියෝගය වන්නේ අලුත් ජනාධිපතිවරයෙකු සහ පාර්ලිමේන්තුවක් පත් කර ගැනීමට අමතරව මෙම ක්‍රියාවලියේ ඇති බරපතළ අඩුපාඩු නිවැරදි කර ගැනීම ය. ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට ප්‍රමාණවත් කාලයක් නැති බව සැබවි. නීති තිබුණත් ඒවා ක්‍රියාත්මක කිරීමට උනන්දුවක් නැති තත්වයක් යටතේ නව නීති හඳුන්වාදීමෙන් පමණක් ප්‍රශ්නයට විසඳුම් ලැබෙන්නේ නැත. කළ යුත්තේ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් මෙම ක්‍රියාවලියේ පාරද්‍රශ්‍ය භාවය ඉල්ලා සිටීම ය. මැතිවරණ දින ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වන්නේ ද යන්න නිරීක්ෂණය කිරීම වැදගත් වුවත් සම්පූර්ණ ක්‍රියාවලියම දූෂණය වී ඇති තත්වයක් යටතේ නිරීක්ෂණයෙන් පමණක් ප්‍රශ්නයට විසඳුම් ලැබෙන්නේ නැත.

එමනිසා ඡන්ද විමසීම් පැවැත්වෙන කාල සීමාව තුළ අපේක්ෂකයන් සහ තරගයට ඉදිරිපත්ව සිටින දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වැය කරන මුදල් සහ ඒවා ලැබුණ ආකාරය ගැන ජනතාව දැනුවත් කිරීම ඡන්දය ලබා ගැනීමේ කොන්දේසියක් බවට පත් කළ යුතුය. එවැනි තොරතුරු ලබා දීමට අපොහොසත් වන අපේක්ෂකයන් සහ දේශපාලන පක්ෂ හෙළිදරව් කිරීම මහජන යහපත අපේක්ෂා කරන සියලු දෙනාගේ වගකීම විය යුතුය. ප්‍රතිපත්ති ප්‍රකාශන මෙන්ම ඡන්දය සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල ද ජනතාවට දැනුම් දිය යුතුය. තේරීම් කිරීමේ දී ජනතාවට ඒ කරුණු දෙකම එකසේ වැදගත් ය.

මෙය අත්‍යවශ්‍ය වන්නේ මැතිවරණ වියදම් දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන් ආයෝජනයක් සේ සලකන නිසාය. සමාගමක කොටස් මිලදී ගැනීමේ දී අවශ්‍ය සියලු විස්තර හෙළි කළ යුතු ආකාරයෙන්ම ඡන්දය ඉල්ලා සිටීමේ දී පොරොන්දුවලට අමතරව විමර්ශනය කළ හැකි ආකාරයන් තමන්ගේ සද්භාවය ද ප්‍රකාශයට පත් කළ යුතුය. එවැන්නක් නොමැතිව පැවැත්වීමට නියමිත ඡන්ද විමසීම් පෙර පැවති ඒවායින් වෙනස් වන්නේ නැත.   

Print Friendly, PDF & Email

Leave a Reply