You are currently viewing ‘මගේ රතු සහෝදරයාගේ’ දේශපාලනය..

‘මගේ රතු සහෝදරයාගේ’ දේශපාලනය..

My red comrade (මගේ රතු සහෝදරයා) චිත්‍රපටයේ අධ්‍යෂක, සුදත් මහදිවුල්වැව

තරුණියක් පොලීස් අත්අඩංගුවට පත්වීම මග හරිමින් දිවයන දසුනකින් My red comrade (මගේ රතු සහෝදරයා) චිත්‍රපටය ආරම්භ වෙයි. ඇය අගුලු නොදැමූ ලැලි මුඩුක්කුවක දොරක් තල්ලු කර ගෙන මුඩුක්කු නිවසට ඇතුළු වෙයි. එම නිවසේ සිටින පුද්ගලයා ඇයව බේරා ගැනීමට ඉදිරිපත් වීමත් සමග රූපමය සත්කාය මගින් චිත්‍රපටයේ කතාව දිග හැරෙයි.

මගේ රතු සහෝදරයා’ නැමති චිත්‍රපටය වාමාංශික දේශපාලනයේ පැති දෙක වන පංති අරගල මාවත සහ සන්නද්ධ අරගල මාවත වටා ගෙතී තිබේ. පංති අරගල මවතේ ගමන් කළ තරුණියක් වටා සහ ආයුධ සන්නද්ධ අරගල මාවත තුළ ගමන් කළ පුද්ගලයෙක් (සහෝදරයෙක්) වටා කථාව ගෙතී ඇත. තරුණිය පංති අරගල මාවත නියෝජනය කළ වාමාංශික ධාරාවේ පවුලකින් පැවත එන කෙනෙකි. ඇය තම වාමාංශික ආභාෂය ලබාගෙන තිබුණේ තම පියාගෙනි. පියා පංති අරගල මාවත නියෝජනය කළ වාමාංශිකයෙකි. 88-89 සන්නද්ධ අරගල කණ්ඩායමක් විසින් අයගේ පියාව මරා දැමූ විට ඇය අතරමන් වුවත් ජීවිතය රැක ගන්නේ රංගන ශිල්පිනියක් (performing artists) ලෙසය. ඒවගේම 88-89 සන්නද්ධ අරගල වාමාංශය නියෝජනය කළ සහෝදරයා තම ජීවිතය බේරා ගන්නේ මරා දැමීමට ගෙන යන මොහොතකින් අහඹු ලෙස දිවි ගලවා ගැනීමෙනි. ඉන්පසු මේ සහෝදරයා තම ජීවිතය රැකගෙන ඇත්තේ ව්‍යාජ නමකින් පෙනී සිටි ආණ්ඩු විරෝධී මාධ්‍යවේදියෙක් ලෙසය. දෙදෙනාගේ වාමාංශික මතවාදී පරාසයේ පරස්පරතාවය මේ චිත්‍රපටය තුළ මානාව ස්ථාන ගත කර ඇත. නමුත් දෙදෙනාගේම මතවාදී පරස්පරතාවය තිබුණත් ජීවත්වීමට ඇති ආශාව හා අභිලාෂය ‘මගේ රතු සහෝදරයා’ චිත්‍රපටය තුළින් අපූර්වට විදහා දක්වන්නේය.

මේ චිත්‍රපටයේ 88-89 සිද්ධි දෙකකට මුහුණ දුන් දෙදෙනාගේම වාමාංශික දෘෂ්ටිමය පරිකල්පනය හමුවෙයි.  ඒ දෘෂ්ටිමය පරිකල්පනය වටහා ගන්නට අවුරුදු 60 පමණ කාලයක් පැවිති ආයුධ සන්නද්ධ අරගල ක්‍රියාකාරීත්වය දෙස විමසිලිමත්ව බැලීම වැදගත්ය. ලංකාවේ ආයුධ සන්නධ අරගල ආකෘතීන් තුනක් පසුගිය අවුරුදු 60 ඇතුළත දියත් විය. පළමුව 1971දී ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල, දෙවනුව 88, 89දී දේශප්‍රේමී කැරැල්ල සහ තුන්වෙනුව 2009දී අවසන්වූ එල්.ටී.ටී.ඊ. ආයුධ සන්නධ කැරැල්ල හඳුනා ගත හැකිය. මේ ආයුධ සන්නද්ධ කැරලි තුළ පැවතියේ සමාජ ප්‍රශ්න සන්නද්ධ අරගලයට සම්බන්ධ කරමින් භීතිය වැපිරීම සඳහාය. නමුත් මේ කැරලි තුනම ධනේශ්වරය විසින් රාජ්‍ය ත්‍රස්තවාදය පාවිච්චි කර පොඩි පට්ටම් කර දැම්මේ බලහත්කාරී ලෙසය. ආයුධ සන්නද්ධ මාවත මාක්ස්වාදී අරගලකාරී මාවත නොවේ. නමුත් ආයුධ සන්නද්ධ මාවතට මාක්ස්වාදී සාහිත්‍ය සහ දාර්ශනික විග්‍රහයන් පටලවා ගත්තේ පීඩිතයන්ගේ සහභාගිත්වය මගින් රාජ්‍ය බලය ලබා ගැනීමට කෙටි කාලීන ජයග්‍රහණය හිමි සන්නද්ධ අරගල ව්‍යාපාරයක් ලෝකයේ පැවති නිසාය.

විට ආයුධ සන්නද්ධ අරගලය පීඩිතයන්ගෙන් සැදුම්ලත් පිරිසකගේ රුඩිකල් ක්‍රියාකාරීත්වයක් ලෙස පිළිගත්තත් වැඩකරන ජනතාවගේ විප්ලවවාදී අරගලයේ කොටසක් නොවන්නේය. එක පැත්තකින් ජන අරගලය මගින් ඇති කළ යුතු සමාජ පෙරළිය” ආයුධ සන්නද්ධ පිරිසක් විසින් ආදේශ වී කරන ත්‍රස්ත සටන් මගින් බලය ලබාගත හැකි වුවත් පංති අරගලය මගින් සිදු කරන සමාජ විප්ලවයක් සිදු නොවන්නේය. සමස්ත සමාජයේ පීඩිතයන්ගේ පංති අරගලය මගින් ලැබෙන විප්ලවකාරී මැදිහත්වීම සන්නද්ධ සටන්වලින් නොලැබෙන නිසා විකෘතියක් බවට පත් වන්නේය. එවිට සන්නද්ධ ක්‍රියාකාරීත්වයේ මෙහෙයුමට සියල්ල නතුකර ගෙන මතවාදී මෙහෙයුම ආයුධ ත්‍රස්ත මෙහෙයුමක් බවට පත් කර ගනියි. ආයුධය යනු බලහත්කාරී අවියකි. එය සමාජ මූල නොසොයන අතර කැමති-අකමැති කොටස් දෙක මත තීන්දු ගනියි.

1917 ජූලි මාසයේදී රුසියාවේ පෙට්‍රොග්‍රෑඩ්හි තාවකාලික ආන්ඩුවට එරෙහිව උද්ඝෝෂණයක්..
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පලා යාමෙන් පසු, විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රය තුළ විරෝධතාවයක නිරතවෙමින්.. (2022 ජූලි 9,කොළඹ )

පංති අරගලයේ මූලික කාර්යභාරය වන්නේ පීඩනයට එරෙහි ව සමස්තය ඒකාබද්ධ කිරීමය. එය මානව පරිණාමයේ වැදගත් සංඝටකයක් ලෙස මාක්ස්වාදය පෙන්වා දෙයි. එහි වැදගත්කම පෙන්වන්නේ ලෝකයේ පංති අරගලය මගින් පාලකයන් එලවා දැමූ අවස්ථා වලිනි. ඒ 1872 ප්‍රංශ ආණ්ඩුව එළවා ප්‍රංශ කොමියුනය බලය අත්පත් කර ගැනීම, 1917 රුසියාවේ අප්‍රේල් ජන නැගිටීම මගින් සාර්ව එලවා දැමීම, සහ ලංකාවේදී 2022 ගෝඨාභය එලවා දැමීමේ අවස්ථා තුන මගින් ලෝකයේ ජන අරගලය තහවුරු වූ අවස්තා තුනයි. එවිට ලංකාවේ ආයුධ සන්නද්ධ කැරලි තුනම අසාර්ථක කැරලි බව ‘මගේ රතු සහෝදරයා’ චිත්‍රපටයේ චරිත දෙක ගෙන එන සංවාදය තුළින් පසක් වන්නේය. මේ චිත්‍රපටයේ ගෙන එන පංති අරගලය සහ සන්නද්ධ අරගලය යන දේශපාලන තේමාව ඉතා ප්‍රශංසනීය තේමාවක් වන්නේ ඒ නිසාය.

ලාංකික සමාජය තුළ තවත් පරිකල්පනීය දැක්මක් සහිත සංවාදයක් නිර්මාණය කිරීමට හැකියාව මේ චිත්‍රපටය මගින් ලබා දෙයි. මොකද” වාමාංශික දේශපාලන ගමන්මගේ ව්‍යුහය වන පංති අරගල මාවත නැවත සක්‍රීය වීම ලංකාවේ 2022දී ජන අරගලය සාධකයක් වුණි. එවන් දේශපාලන දැක්ම දෙකක් සහිත දෙදෙනෙකුගේ ප්‍රේමණීය ආකර්ශනය ලාංකික සිනමා ප්‍රේක්ෂකයාට ලබා දීම ප්‍රශංසනීය උත්සාහයකි ‘මගේ රතු සහෝදරයා’ චිත්‍රපටය.

‘මගේ රතු සහෝදරයා’ චිත්‍රපටයේ රූගත කිරීම් දින හතරකින් අවසන් කිරීම යනු පැහැදිලි සැලැස්මකි. ඒ අඩු මුදලට සිනමා නිර්මාණයක් එළි දැක්වීමට ගත් උත්සාහය විශිෂ්ට වැඩකි (පට්ට වැඩකි). මොකද, ලංකාවේ වත්මනේ සමස්ත පරිහානියේ පැති කීපයක් වන ආර්ථිකය, දේශපාලනය සහ සමාජය යන සමස්තය කඩා වැටුණු මොහොතක සිනමා නිර්මාණකරණයට ගත් පියවර යනු අතිවිශාල ඉදිරි පියවරකි. අඩු මුදලකින් සිනමා නිර්මාණයක් කිරීමට ගත් උත්සාහය අතිවිශිෂ්ට පියවරක් වන්නේ අර්බුදය පසෙක දමා නිර්මාණාත්මක වපසරිය දියත් කිරීමට මේ සිනමා කෘතිය හරහා මතු කර ගත් බැවිණි. සුගත් මහදිවුල්වැව අධ්‍යක්ෂකවරයාට හදපිරි සතුට පිරිනමන්නේ මේ චිත්‍රපටය හරහා ගත් දෘෂ්ටිමය ප්‍රයත්නය අතිවිශිෂ්ට නිසාවෙනි.

Print Friendly, PDF & Email

Leave a Reply