You are currently viewing ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට විරුද්ධ වෙමු! නිදහස් අධ්‍යාපනය අහෝසි කිරීමට විරුද්ධ වෙමු!

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට විරුද්ධ වෙමු! නිදහස් අධ්‍යාපනය අහෝසි කිරීමට විරුද්ධ වෙමු!

අප ඉන්නේ පැවැත්ම පවා තර්ජනයට ලක්වන ආකාරයේ ආර්ථික අර්බුදයක් මැදය. දිනෙන් දින වැඩිවන ණය බර මධ්‍යයේ අවිනිශ්චිත අනාගතයක් පිළිබඳ සැක සංකා හා බැඳුණු සමාජ-දේශපාලනික ව්‍යසන සමඟ අප දිගටම පොර බදන්නෙමු. පසුගිය වසර කිහිපය තුළ අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කරන ලද යෝජනා තුළින් අධ්‍යාපනය සමාජමය දේපළක් හැටියට දැකීමේ මෙරට භාවිතය වෙනස් කරන්නට අර ඇදීම පිළිබඳ ව විශ්ව විද්‍යාල කථිකාචාර්යවරු වශයෙන් අප සැලකිළිමත් වන්නෙමු.  

රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය අපකීර්තියට පත් කිරීමේ ව්‍යාපෘතිය සමඟ මෙම ප්‍රතිසංස්කරණ යෝජනා බැඳී පවතින බව අප පෙන්වා දෙන්නේ කෝපයෙන් යුතුවය. රාජ්‍ය විශ්ව විද්‍යාල වලට වෙන්කරන අරමුදල් කප්පාදු කරන අතරේ සියළු විරෝධතා ප්‍රචණ්ඩකාරී ලෙස මර්දනය කිරීමද රජය සිදු කරයි. බදු ගෙවන ජනතාවගේ මුදල් අපතේ හරිමින් විරෝධතා ව්‍යාපාර වල නිමග්න වන බව පැවසෙන විශ්ව විද්‍යාල සිසුන්ගේ ඡායාරූප මාධ්‍ය පුරා සැරිසරයි. ඉහළ මට්ටමේ දේශපාලකයින් රාජ්‍ය විශ්ව විද්‍යාල වල සිසුන් සේවා නියුක්තියට නුසුදුසු බව චෝදනා කරන්නේ ඔවුන් අවශෝෂණය කර ගැනීම සඳහා ප්‍රමාණවත් රැකියා වෙළඳපොළක් නොමැති බව කිසිදු සඳහනක් නොකොටය. මේ ආඛ්‍යාන නිසා මෙම ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව පමණක් නොව, ගත හැකි එකම ක්‍රියාමාර්ගය බවටද මතයක් සමාජයේ සමහර කොටස් අතර මුල්බැස ගනිමින් පවතී. එහෙත් මෙවැනි ප්‍රතිසංස්කරණ නිසා ඇමෙරිකාව හා එක්සත් රාජධානිය වැනි රටවල උසස් අධ්‍යාපනයට සිදුව ඇති හානිය අරබයා ඇති සාක්ෂි පිළිබඳ එහිදී සාකච්ඡා නොවේ. 

මෙහි නවතම යෝජිත ප්‍රතිසංස්කරණය වන්නේ ළඟදීම පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට නියමිත ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවයි. මෙය කිසිදු ආකාර අදහස් විමසීමකින් තොරව, අදහස් සඳහා විවෘත ආරාධනයක් පමණක් නිකුත් කරන ලදුව ආරම්භ කළ ක්‍රියාවලියකි. මෙමඟින් ප්‍රාථමික, ද්විතීයික හා තෘතීයික අධ්‍යාපනයේ සිදුකිරීමට නියමිත වෙනස්කම් තුළින් මෙරට ජනතාවගේ හදවත් වලට සමීප නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියේ පදනම තර්ජනයට ලක්කරයි. යෝජිත ප්‍රතිසංස්කරණ වලින් පාසල් අධ්‍යාපනය සම්බන්ධ බොහෝ වෙනස්කම් ද යෝජනා කොට තිබුණත්, මෙම ප්‍රකාශයේ අරමුණ වන්නේ තෘතීයික අධ්‍යාපනය අරබයා යෝජනා කරන වෙනස්කම් වලට අවධානය යොමු කිරීමයි.    

මෙම යෝජනා වලට අනුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙනුවට ජාතික උසස් අධ්‍යාපන කොමිසමක් ස්ථාපනය කෙරෙනු ඇත. ඒ ඔස්සේ රාජ්‍ය හා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන සියල්ල එක් අධිකාරියක් යටතට ගෙන එනු ඇති අතර, එතුළ පෞද්ගලික අංශයට සැළකිය යුතු බලයක් හිමිවනු ඇත. මේ ප්‍රතිපත්ති රාමුව තුළ රාජ්‍ය අනුග්‍රහයෙන් පවත්වාගෙන යනු ලබන අධ්‍යාපන පද්ධතිය පුළුල් කිරීම සඳහා කිසිදු කැපවීමක් දක්නට නොලැබේ. එහෙත් පෞද්ගලික අංශයට වෙන්කෙරෙන අරමුදල් සහ ලබාදෙන සහන පිළිබඳව එහි පැහැදිලිව දක්වා තිබේ. දැනටමත් හිඟ තත්වයේ පවතින රාජ්‍ය අංශයේ සම්පත්, ලාභය මූලික කරගත් පෞද්ගලික තෘතීයික අධ්‍යාපනයට හැරවීමේ ක්‍රමයකි මෙය. ඇත්තෙන්ම මෙම ප්‍රතිපත්ති රාමුවේ මූලිකම අරමුණ,

උසස් අධ්‍යාපනයෙහි ලා පෞද්ගලික අංශයේ භූමිකාව ප්‍රසාරණය කිරීමයි.  

වත්මනේ තෘතීයික අධ්‍යාපනය වෙත ප්‍රවිෂ්ට ය ලබාගන්නා සිසුන් සංඛ්‍යාව ඉතා අඩු බවට දුක්වන රජය (යෝජිත ප්‍රතිපත්ති රාමුවේ එය උසස් පෙළට මුහුණ දෙන සිසුන්ගෙන් 8.9% ක ප්‍රමාණයක් බවට සාවද්‍ය ප්‍රකාශයක්ද සිදුකරයි). 2022 වසරේදී අධ්‍යාපනයට වෙන්කොට ඇත්තේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 1.2% ක් පමණක් බව ලෝක බැංකු වාර්තා වලට අනුව පෙනේ. එය ලෝකයෙන්ම අධ්‍යාපනයට වෙන්කොට ඇති දෙවැනි අඩුම ප්‍රතිශතයයි. මෙම ආයෝජනය සඳහා රජයට අවශ්‍යතාවයක් ඇති බව පෙනෙන්නට නැත. ඒ වෙනුවට මෙම ප්‍රතිපත්ති රාමුව තුළ රජය යෝජනා කරන්නේ

යන ක්‍රම ඔස්සේ එම ආයෝජන අවස්ථා සාධනය කරගැනීමයි. 

මෙම ප්‍රතිපත්ති රාමුවෙහි යෝජනා කොට ඇති අරමුදල් සම්පාදනය කිරීමේ ක්‍රමය රජයේ විශ්ව විද්‍යාල වල වත්මනෙහි පවතින ක්‍රමය සම්පූර්ණයෙන්ම පෙරලා දැමීමකි. ඊට අනුව රාජ්‍ය විශ්ව විද්‍යාල සඳහා අරමුදල් තුන් ආකාරයකින් සම්පාදනය වනු ඇත: රජයෙන් ලැබෙන ප්‍රතිපාදන, පාඨමාලා ගාස්තු ආදිය තුළින් සිසුන් දක්වන දායකත්වය සහ විශ්ව විද්‍යාලයෙන් සම්පාදනය කරගන්නා අරමුදල් යන ඒවාය. තනි තනි පාඨමාලා සඳහා වෙන්වන අරමුදල් ප්‍රමාණය තීරණය වනු ඇත්තේ ඒවාට බැඳෙන සිසුන්ගේ ප්‍රමාණය මතය. මෙම මාදිලිය තුළ රාජ්‍ය සහ පෞද්ගලික විශ්ව විද්‍යාල සියල්ලටම සිය පැවැත්ම සහ අරමුදල් සඳහා තරඟ වැදීමට සිදුවනු ඇත. 

ඓතිහාසිකව, ද්විතීයික හා තෘතීයික මට්ටමේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය නිසා විෂමතා අඩුවීම මෙන්ම දරිද්‍රතාවයෙන් බැටකන ජනතාවට ඉන් මිදීමේ මාර්ගයක් විවර වීමද සිදුවිනි. මේ තුළින් මධ්‍යම පාන්තික බොහෝ දෙනා ප්‍රයෝජන ලබා තිබේ. සමහර අධ්‍යයන පාඨමාලා වල පවත්වා ගන්නා දිස්ත්‍රික් කෝටා මෙන්ම වෙනත් එවැනි ව්‍යුහාත්මක වෙනස්කම් වලට සංවේදී ප්‍රතිපත්ති නිසා ස්ත්‍රී-පුරුෂ භාවය, පන්තිය, කුලය, ප්‍රාදේශීය අනන්‍යතාවය වැනි සාධක වල බලපෑමෙන් තොරව විශ්ව විද්‍යාල අධ්‍යාපනයට ප්‍රවේශය ලබාගැනීමේ හැකියාව සිසුන්ට ලැබී ඇත. එය රටේ සමාජ යුක්තිය ප්‍රවර්ධනයෙහිලා ඉතා වැදගත් භූමිකාවක් ඉටු කරයි. නිදහස් සෞඛ්‍ය ප්‍රතිපත්තියේ පැවැත්ම සඳහාද නිදහස් අධ්‍යාපනය වැදගත් වන්නේ එමඟින් සෞඛ්‍ය සේවයට අවශ්‍ය වෘත්තිකයන් අඩු මිලකට නිර්මාණය කරන හෙයිනි.

සිය අරමුදල් ස්වයංව සම්පාදනය කරගැනීම නව ප්‍රතිපත්තියට අනුව විශ්ව විද්‍යාල වල වගකීමක් බවට පත්වන නිසා, යම් දෙන ලද අවස්ථාවක විශ්ව විද්‍යාලයක් මඟින් ලබාදෙන පාඨමාලා එම මොහොතේ වඩාත්ම ඉල්ලුමක් ඇති පාඨමාලා බවට පත්වනු ඇත. ඒවාට ඇදී එන සිසුන්ද නාගරික ඉහළ මධ්‍යම පාන්තික සිසුන් වනු ඇත්තේ, රැකියා වෙළඳපොල තුළ වැඩි වාසියක් ඇති ඔවුන්ට විශ්ව විද්‍යාල වලට බඳවා ගැනීම් වලදී වැඩි ප්‍රමුඛතාවයක් ලැබෙනු ඇති නිසාය. යෝජිත ජාතික උසස් අධ්‍යාපන කොමිසම විසින් විදෙස් සිසුන් ආකර්ෂණය කරගැනීම සඳහා වීසා බලපත්‍ර නිකුත් කිරීමත්, උපාධිය ලබාගැනීමෙන් පසු ලංකාව තුළ රැකියා අවස්ථා සම්පාදනය කිරීමත් අරමුණු කිරීම තුළ මෙම ගැටළුව තවදුරටත් තීව්‍ර වනු ඇති බව පෙනී යයි (පිටුව 26) 

විශේෂ අවශ්‍යතා ඇති සිසුන් සම්බන්ධයෙන් හැරෙන්නට, මෙම ප්‍රතිපත්ති රාමුව තුළ සමාජ විෂමතා ආමන්ත්‍රණය කිරීමේ ක්‍රමවේදයක් දක්වා නොමැත. අධ්‍යාපනය සඳහා අරමුදල් සම්පාදනය කරගැනීම සිසුන්ගේ වගකීමක් බවට පත්වූ විට, ඒ සඳහා රජයේ දායකත්වය එන්න එන්නටම අඩුවනු ඇත. ඉහළ යන අධ්‍යාපන වියදම් වල තේරුම වන්නේ කාලයක් යනවිට ධනවත් පවුල් වලින් පැමිණෙන සිසුන් අධ්‍යාපනයට වැඩි ප්‍රවේශයක් ලබාගනු ඇති බවයි. ඒ තුළින් පවතින සමාජ අසමානතා තවදුරටත් තීව්‍ර වේ.

මෙවැනි ප්‍රතිපත්තියකින් දැවැන්ත ප්‍රතිවිපාක ඇති වේ. අප දන්නා නිදහස් අධ්‍යාපනය වියැකී යනු ඇත. අධ්‍යාපනයට ඇති සමාන ප්‍රවේශය අහිමි වූ විට සමාජයේ ආන්තික කණ්ඩායම් වලට ප්‍රගමනය සඳහා පවතින ස්වල්පයක් මාර්ග වලින් එකක්ද වැසී යනු ඇත. මෙම ප්‍රතිපත්ති රාමුවෙන් නාගරික ඉහළ මධ්‍යම පාන්තික, දැනටමත් වෙනත් විකල්ප පවතින කණ්ඩායම් වලට බලපෑමක් නොවේ. සමාජ ස්ථායිතාව වෙනුවෙන් කරදර වන පිරිස, නිදහස් අධ්‍යාපනය වියැකී යන්නට හැරීමෙන් ඇතිවන දැවැන්ත අස්ථාවරත්වය අවබෝධ කරගත යුතුය.

යෝජිත ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට අප තදින් විරුද්ධ වියයුතු අතර, අධ්‍යාපනය සම්බන්ධ කිසිදු ප්‍රතිසංස්කරණයක් යෝජනා හෝ ක්‍රියාත්මක කිරීමට පෙර පුළුල් වශයෙන් අදහස් විමසීම් සිදුකළ යුතු බවට අවධාරණයද කළයුතු වේ.

Print Friendly, PDF & Email

Leave a Reply