You are currently viewing ශ්‍රේෂ්ඨාධිකරණයට නොව ජනතා අධිකරණයට කැඳවිය යුතු රාජපක්ෂලා..

ශ්‍රේෂ්ඨාධිකරණයට නොව ජනතා අධිකරණයට කැඳවිය යුතු රාජපක්ෂලා..

ගැරඬින්ට මතුරා පලක් නැතැයි කියමනක් ඇත. ඒ මන්ත්‍ර ජප කිරීමෙන් නාගයින් පලවා හැරිය හැකියැයි මිථ්‍යා විශ්වාසයක් ජනවහරේ පවතින නිසා ය. ඒ කියමන වත්මන් දේශපාලකයන්ට ද පහසුවෙන්ම අදාල කර ගත හැකිය. මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ ඇතුළත් එවකට ඔවුන්ගේ ආණ්ඩුවේ ඉහළ තනතුරු දැරු නිලධාරීන් අට දෙනෙකු මූලික අයිතිවාසිකම් කඩ කිරීමේ චෝදනාවට වැරදි කරුවන් බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ ද ඔවුන් මන්ත්‍රවලින් පලවා හැරිය නොහැකි ගැරඬින් මෙන් දේශපාලනයෙන් ඉවත් නොවන නිසා ය.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ ඇති ජාතික වැදගත්කම නිසා එය විනිශ්චය කෙළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකරුවන් පස්දෙනකුගේ මණ්ඩලයකිනි. පෙත්සම්කරුවන් දක්වා ඇති ආකාරයට ඉහත සඳහන් පුද්ගලයන් මූලික අයිතිවාසිකම් කඩ කළ බව විනිශ්චයකරුවන් සිව් දෙනෙකු තීන්දු කළ අතර එක් විනිසුරුවරයෙකු ඊට වෙනස් තින්දුවක් දුන්නේය.

විශේෂයෙන් 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තනතුරට පත්වීමෙන් පසුව ගත් අපරික්ෂාකාරී අමනෝඥ තීරණ නිසා රටේ ආර්ථිකය කඩා වැටීම වේගවත් වී අවසානයේ දී බංකොළොත් විය. ඉන්ධන ලබා ගැනීමට, ජන ජීවිතය පවත්වා ගැනීමේ මූලික අවශ්‍යතා ලබා ගැනීමට ජනතාවට දින ගණන් පෝලිම්වල රැඳෙන්නට විය. ඉන්ධන පෝලිම්වල දින ගණන් ගත කිරීමෙන් ජීවිත හානි ගණනාවක් සිදු විය. ගාහස්ථ ගෑස්වල සංයුතිය හිතුවක්කාර ලෙස වෙනස් කිරීම නිසා ගෑස් සිලින්ඩර කුස්සියේ පිපිරී යෑමෙන් ජීවිත හානි මෙන් දේපොළ හානි ද සිදු විය. ඒ සමගම ගෑස් හිගයක් ද ඇති විය. මේ සියල්ල 27 වැනි ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට මෙහෙයුම් මූලධර්ම සහ යුතුකම් ඉටු කිරීමක් නොව ඒවා පැහැදිලිවම නිර්දය ලෙස කඩ කිරීමකි. ඉවක් බවක් නැතිව අධික පොලී අනුපාත යටතේ ලබා ගත් ණය ඵලදායි ආයෝජනවල නොයෙදවීම නිසා ණය සහ පොලී ආපසු ගෙවිමට නොහැකිවීමෙන් විදෙස් මුදල අර්බුදයක්ද ඇති විය. ඉන්ධන සහ අනෙකුත් අවශ්‍යතා ආනයනය සඳහා මුදල් නැති විය. සැතපුම් ගණන් දිග ඉන්ධන සහ ගෑස් පෝලිම් ඇති වූයේ එම නිසා ය.

මෙම කරුණ ඉදිරිපත් කෙළේ අපේ පාලකයන් සහ ඔවුන්ට උපදෙස් දෙන ඉහළ නිලධාරීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 වැනි ව්‍යවස්ථාව නොසලකා කටයුතු කිරීම දිගු කලක් තිස්සේ කළ බව දැක්වීමට පමණි. මෙම පෙත්සමට අදාල වූයේ 2019 දී ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වීමෙන් පසු කාලය යි. එම කාල පරිච්ඡේදය තුළ කරන ලද අයිතිවාසිකම් කඩකිරීම සඳහා පෙත්සම්කරුවන් වන්දියක් ඉල්ලුම් නොකළ නිසා නාමික වශයෙන් පමණක් වන්දි මුදලක් ගෙවීමට වගඋත්තකරුවන්ට නියම විය. පෙත්සම්කරුවන්ගේ ප්‍රකාශිත සහ අප්‍රකාශිත සම්පත් අනුව මෙම වන්දිය සොච්චම් මුදලකි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට පාස්කු ඉදිරිදා ප්‍රහාරය වැළැක්වීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියම කළ දඩ මුදල ඔහු මෙතෙක් සම්පුර්ණයෙන් ගෙවා නැති බව අධිකරණ ඇමති පසුගිය දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කෙළේය.

තවත් වැදගත් කාරණයක් වන්නේ අධිකරණය වරින් වර පාලකයන්ගේ අවිචාරී අවිධිමත් ක්‍රියා පටිපාටි සම්බන්ධයෙන් තීන්දු ලබා දුන් නමුත් පාලකයන් ඒවා සැලකිල්ලට නොගැනීම ය. නිදසුනක් වශයෙන් මෙම නඩුවේ ද වැරදිකරුවෙකු වූ පී බී ජයසුන්දර ගැන මීට පෙර ද අධිකරණයෙන් තින්දුවක් ලබා දී තිබිණ. එහි දි ඔහුට රු. 500,000 ක දඩයක් නියම වූ අතර නැවත කිසි දිනක රාජ්‍ය සේවයට පත් කර නොකළ යුතුයැයි කොන්දේසියක් ද පැනවිය. එහෙත් රාජපක්ෂ පාලනයේ හුරතලෙකු වූ මෙම පුද්ගලයා රාජපක්ෂ සමාගමෙන් නැවත රාජ්‍ය සේවයට බඳවා ගත්තේය. ඒ මුලින් අධිකරණ විනිශ්චය ලබා දුන් අගවිනිසුරුවරයා සේවයෙන් විශ්‍රාම යෑමෙන් පසුව එම තනතුරට පත් වු නව අගවිනිසුරුවරයා ලවා වෙනස් තින්දුවක් ලබා ගැනීමෙනි. පි බී ජයසුන්දර රාජපක්ෂ සමාගම බලයේ සිටිය තාක් රාජ්‍ය සේවයේ යෙදීමට අවස්ථාව සලසා ගත්තේ ඒ ආකාරයෙනි.

එවැනි පසුබිමක් තුළ මෙම ශ්‍රේෂ්ඨාධිකරණ තින්දුව ඉදිරියේ කිසියම් දිනක වෙනස් නොවන්නේයැයි කිසිවෙකුට සහතිකයක් නැත. කලින් ලබා දුන් විනිශ්චයන් පූර්වාදර්ශ සේ සැලකීමේ භාවිතයක් අප අතර නැත. අධිකරණයට සැබැවින්ම ගරු කරන්නේ නම් එම සම්ප්‍රදායන් රැකිය යුතුය. අපේ රටේ අධිකරණයෙන් දඬුවම් නියම වී අභියාචනා ඉදිරිපත් කරන සිටින දේශපාලකයන් ට පෙර සේ කිසිදු බාධාවකින් තොරව රාජ්‍ය පාලනයේ යෙදිය හැකිය. අඩුම වශයෙන් අභියාචනයේ තින්දුව ලැබෙන තෙක් හෝ ප්‍රතිපත්ති සම්පාදනයෙන් බැහැර කිරීමේ භාවිතයක් නැත.

රාජපක්ෂ සහෝදර සමාගම සහ ඔවුන්ගේ අනුගාමික නිලධාරි පැලැන්තිය මූලික අයිතිවාසිකම් කඩ කළ බව තීරණය කොට ඒ සඳහා දඩ මුදලක් අධිකරණයෙන් නියම කළ ද ඔවුන්ට පෙර පරිදි දේශපාලනයේ යෙදීමටත් ජනාතව මුලා කිරීමටත් කිසිම බාධකයක් පැන වෙන්නේ නැත. මූලික අයිතිවාසිකම් රැකීම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික යුතුකමක් සහ වගකීමක් වුවද පාලකයන් එය තකන්නේ නැත. දිවි හිමියන් බලයේ රැඳී සිටීම ඔවුන්ගේ පරම අවශ්‍යතාවයයි. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් තීන්දුව තමා ප්‍රතික්ෂේප කරන බව මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කෙළේ එම නියායෙනි.

ඇත්තෙන්ම මෙම දේශපාලකයන් සියල්ලම ජනතාව පිළිගන්නේ නැති බව පසුගිය දා එක්සත් ජාතින්ගේ සංවර්ධන අරමුදල කළ සමීක්ෂණයක දී හෙළි විය. ඒ අනුව ජනතාවගෙන් සියයට 78ක්ම මෙම දේශපාලකයන් විශ්වාස කරන්නේ නැත. එමනිසා ජනතා අධිකරණයෙන් ද රාජපක්ෂ සහෝදරයින් මෙන්ම අනෙකුත් දේශපාලකයන් ද 27 වැනි ව්‍යවස්ථාව කඩ කළ බව තීන්දු කළ යුතුය. එහෙත් එවිට ජනතාවට නියම කළ හැකි වන්නේ දඩයක් නොව ශාපයකි.

Print Friendly, PDF & Email

Leave a Reply