You are currently viewing ඇමරිකාවේ මුල පිරුමෙන් තායිවානයේ ආසියානු යුද ගිනි පුපුරක්..

ඇමරිකාවේ මුල පිරුමෙන් තායිවානයේ ආසියානු යුද ගිනි පුපුරක්..

යුරෝපයේ දී යුක්‍රේනය බළල් අතක් සේ යොදවා රුසියාවට එරෙහි යුද්ධයක යෙදී සිටින ඇමරිකාව නැගෙහිර ආසියාවේ ද තවත් එවැනි ම යුද්ධයකට අර අඳිමින් සිටී. ඒ තායිවානය සහ ලොව දෙවන විශාල ආර්ථිකය වන චීනය අතර ගැටුමකට පසුබිම සකස් කිරීමෙනි. යුක්‍රේනය සෝවියට් දේශයෙන් බිඳී ගිය රටත් වන සේම තායිවානය ද චීනයෙන් බිඳී ගිය රටක් වුවද 1949 දී පිහිට වූ මහජන චීන සමූහාණ්ඩුව තායිවානයේ ස්වාධීනත්වය කිසි විටෙක පිළිගත්තේ නැත. 1972 දී චීනය සහ එක්සත් ජනපදය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ඇති කර ගැනීම සඳහා නිකුත් තළ ෂැංහයි ප්‍රකාශයේ මූලික කරුණක් වූයේ එක චීනයක් යන ප්‍රතිපත්තිය පිළිගැනීම යි. එනම් තායිවානය ද චීනයේම කොටසක් බව ඇමරිකාව පිළිගැනීමය. එම පදනම යටතේ චීනයේ මහජන විමුක්ති හමුදාවට පහසුකම් සහ පුහුණුව ලබා දීමට ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව ඉදිරිපත් විය. ඊට අමතරව අවි ආයුධ නිෂ්පාදනය සඳහා චීනය සහ ඇමරිකාව අතර ඒකාබද්ධ සමාගම් ද පිහිටුවන ලදී.

එහෙත් ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් යටතේ තත්වය වෙනස් විය. චීනයේ ආර්ථික ශක්තිය වැඩිවත්ම ඇමරිකාව චීනය සමග ඇති කර ගත් උපාය මාර්ගික සබඳතාවය ද කෙමෙන් වෙනස් විය. අද ඇමරිකාව චීනය සලකන්නේ උපාය මාර්ගික අභියෝගයක් සේය. වඩාත් සරලව ආසියාවේ ප්‍රධාන ප‍්‍රතිවාදියා සේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් දකුණු චීන මුහුදේ නාවික ගමනාගමනයේ නිදහස මෙන්ම තායිවානයේ ආරක්ෂාව ගැන ද දෙරට අතර ගැටුම්කාරී තත්වයක් නිර්මාණය වී ඇත. චීන ‘‘ආක්‍රමණයකට එරෙහිව තායිවානයේ ප්‍රහාරක යුද ශක්තිය වැඩි කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම’’ ද තම ආසියානු ප‍්‍රතිපත්තියේ ප‍්‍රමුඛතාවය කර ගත්තේය. වත්මන් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් තායිවානයට අවස්ථා හතරකදී අවි ආයුධ විකිණීමට අනුමැතිය ලබු දුන් අතර දැන් ඩොලර් දශ ලක්ෂ 108ක අවි සැපයීමට කොංග්‍රස් අනුමැතිය අපේක්ෂා කරයි.

බරාක් ඔබාමාගේ පාලන සමයේ ‘පැසිපික් කලාපයට නැවත යොමුවීම’ නමින් ආරම්භ වූ මෙම ප‍්‍රතිපත්තිය දැන් 1972 දී නිකුත් කළ ෂැංහයි ප‍්‍රකාශය නොසලකා තායිවානය රාජ්‍ය තාන්ත්‍රික ව පිළිගැනීමේ තත්වයක් දක්වා වර්ධනය වෙමින් පවතී. චීනයේ විරෝධය නොතකා තායිවානයේ රාජ්‍ය නායකයන්ට එක්සත් ජනපදයේ සංචාරවලට ඉඩ ලැබුණ අතර එක්සත් ජනපදයේ උසස් නිලධාරීන් ඇතුළු වෙනත් නායකයෝ ද තායිවානයට සහයෝගය දැක්වීමට තායිවානයේ සංචාරය කරති.

කොංග‍්‍රස් කතානායිකාව නැන්සි පෙලොසි [Nancy Pelosi]

මෙවැනි සබඳතාවලට චීනයෙන් ඉදිරිපත් වූ විරෝධතා ගැන එක්සත් ජනපදය වැඩි තැකීමක් කෙළේ නැත. පහළ මට්ටමේ නිලධාරීන්ගේ සංචාරවලින් ආරම්භ වූ මෙම සබඳතාවල උච්චතම අවස්ථාව වන්නේ ඇමරිකානු කොංග‍්‍රසයේ කතානායිකාව නැන්සි පෙලොසි තායිවානයේ සංචාරයකට සූදානම් වීමය. ඇමරිකානු රාජ්‍ය ධූරාවලියේ තුන්වැනි ස්ථානය හිමි කතානායිකාවගේ සංචාරය අනියම් වශයෙන් දෙරට අතර සබඳතාවලට පදනම් වූ ෂැංහයි ප‍්‍රකාශය නොසලකා තායිවානයට රාජ්‍ය පිළිගැනීමේ තත්වයක් ලබා දීමේ උත්සාහයකි. ඇය හමුදාවේ C 130 ප‍්‍රවාහන ගුවන යානයක් මෙම ගමනට යොදා ගනු ඇත.

මුලින්ම පසුගිය අප්‍රේල් මාසයේ මෙම සංචාරයට පෙලොසි සූදානම් වුවද කොරෝනා රෝගයට ගොදුරුවීම නිසා එය කල් දැමිණ. දැන් ලබන මස එම සංචාරය කිරීමට සැලසුම් කරන බව ඇමරිකානු ජනමාධ්‍ය වාර්තා කරයි. පෙලොසිගේ මෙම සංචාරය සැලසුම් කර ඇත්තේ යුරෝපා සංගමයේ උප සභාපති නිකොලා බියර්ගේ සංචාරයකට අනතුරුවය. නිකොලාගේ තායිවාන සංචාරයෙන් පසුව යුරෝපා සංගමය චීනය සමග ඊට මාස කීපයකට පෙර ඇති කර ගත් ආයෝජන පිළිබඳ සවිස්තරාත්මක ගිවිසුම ( EU-China Comprehensive Agreement on Investment) ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට එම පාර්ලිමේන්තුව තීරණය කළාය. එම තිරණයට ඇමරිකානු බලපෑම ද බෙහෙවින් ඉවහල් වන්නට ඇත.

තායිවානයේ ස්වාධීනත්වය අනියමින් පිළිගැනීමක් වන පෙලොසි ගේ සංචාරය චීනය බරපතළ කරුණක් සේ සලකන බව දක්නට ඇත. මෙම සංචාරය පිළිබඳ තොරතුරු පළ වීමත් සමග ප්‍රතිචාර දැක් වූ චීන විදේශ අමාත්‍යංශයේ ප‍්‍රකාශකයෙකු වන ෂාවෝ ලිජියන් ‘තම ජාතික ස්වෛරීත්වය ආරක්ෂා කිරීමට චීනය බලවත් පියවර ගනු ඇතැ’ යි අනතුරු හැඟවීමක් කෙළේය.

චීන විරෝධය නොතකා පෙලොසි තායිවානයේ සංචාරයට පැමිණෙන්නේ නම් එම ගුවන් යානය ආවරණය කිරීමට චීනය ප්‍රහාරක ගුවන් යානා යෙදවිමට හා ඒ සමගම තායිවානයේ ගුවන් තොටුපොළ හරහා චීන ගුවන් යානා පියාසර කරවීමේ සූදානමක් ගැනද වාර්තා වේ. මෙවැනි පියවරක් පැහැදිලිව ම තායිවානයේ ගුවන් කලාපය සහ භූමි ප්‍රදේශය උල්ලංඝණය කිරීමකි.

චීන විදේශ අමාත්‍යංශයේ ප‍්‍රකාශකයෙකු වන ෂාවෝ ලිජියන් [Zhao Lijian]

චීනයේ මෙම සූදානම ගැන වාර්තා පළ වීමත් සමග ඇමරිකානු ආරක්ෂක හමුදා පෙලොසි ගමන් කරන ගුවන් යානයට ආරක්ෂාව සැපයීමට ගුවන් යානා ප්‍රහාරක නැවක් සහ ප‍්‍රහාරක ගුවන් යානා යෙදවීමට සැලසුම් කර ඇති බව වොෂින්ටන් පුවත් පත වාර්තා කරයි. එවැනි මෙහෙයුමක් බොහෝ දුරට ඇමරිකානු ප‍්‍රහාරක ගුවන් යානා සහ චීන ගුවන් යානා අතර ගැටුමකට තුඩු දෙන බව නිසැකය. ඔබාමාගේ පාලන සමයේ ධවල මන්දිරයේ සේවය කළ ආරක්ෂක උපදේශකයෙකු ජනමාධ්‍යයට පවසා ඇති ආකාරයට එවැනි ගැටුමක් බොහෝ දුරට චීනය සහ ඇමරිකාව අතර න්‍යෂ්ටික යුද්ධයක් දක්වා වර්ධනය විය හැකි තත්වයකි.

කොංග‍්‍රසයේ කතානායිකා පෙලොසි ගේ චීන සංචාරය මෙම අවස්ථාවේ සිදු කිරීම ගැන ජනාධිපති ජෝ බයිඩන් සිය කණස්සල්ල ප‍්‍රකාශ කර ඇති නමුත් එය වැළැක්වීමට සූදානමක් දක්නට නැත. අනිත් අතට පෙන්ටගනය වඩාත් උනන්දු වන්නේ ඇයට සංචාරය තුළ දී ආරක්ෂාව ලබා දෙන ආකාරයගැනය. පෙලොසි ගමන් කරන්නේ ගුවන් හමුදාවේ යානයකින් නිසා එහි ආරක්ෂාව ගුවන් හමුදාවේ මෙන්ම අනෙකුත් හමුදාවලද වගකීමකි.

මේ අතර රිපබ්ලිකන් පාක්ෂිකයන්ගේ අදහස වන්නේ චීනයේ තර්ජනය හමුවේ පෙලොසිගේ චාරිකාව අවලංගු කළ හොත් එය නිසැකයෙන්ම චීනයේ ජයග‍්‍රහණයක් වන නිසා එවැනි පියවරක් ගැනීම කිසිසේත්ම අනුමත කළ නොහැකිය යන්නයි. කෙසේ වුවත් නැන්සි පෙලොසි සිය චාරිකාව ගැන මෙතෙක් කිසිත් ප්‍රකාශ කර නොමැත. මෙම අවස්ථාවේ දී තම මිතුරා වන තායිවානය කිසිසේත් හුදකලා කල නොහැකි බව ඇමරිකානු ස්ථාවරය බව පැහැදිලි ය. ජනාධිපති බයිඩන් මෙම චාරිකාව ගැන කණස්සල්ල පළ කළ ද එය නුසුදුසු හෝ නොකළ යුතු බවක් පවසන්නේ නැත.

චීනය ද තායිවානයේ ස්වාධීනත්වය පිළිබඳව කිසිම ආකාරයක සම්මුතියකට පැමිණීමට සූදානම් නැති බව අවධාරණය කරන්නේ තම ස්වෛරීත්වය පිළිබඳ කරුණක් සේ සලකන නිසා ය. පසුගියදා ආසියාවේ ආරක්ෂාව පිළිබඳව සිංගප්පූරුවේ පැවති 19 වැනි ෂැංග්‍රිලා සංවාදයේ දී අදහස් දැක් වූ චීන ආරක්ෂක ඇමති වෙයි ෆෙන්ග් තායිවානය වෙනම රාජ්‍යයක් බවට ප‍්‍රකාශ කිරීමට ගන්නා උත්සාහය සිය උපරිම ශක්තිය යොදා වළකන බව පැවසුවේය. එය චීන රජයේ පමණක් නොව රටේ ද මතය බව ඓතිහාසික ව තහවුරු වන්නකි.

මේ අනුව තායිවානය මුල් කර ගෙන චීනය සහ ඇමරිකාව අතර සමහර විට න්‍යෂ්ටික යුද්ධයක් දක්වා පුළුල් විය හැකි අවි ගැටුමකට පසුබිම සකස් වෙමින් පවතින බව පෙනේ. ලෝකයේ එකම බලවතා ලෙස හැඳින්වෙන ඇමරිකා එක්සත් ජනපදය සිය ආධිපත්‍යය කිසිම ආකාරයෙන් අභියෝගයට ලක් වීමට ඉඩ දීමට සූදානම් නැත. යුක්‍රේනයේ යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට ගත හැකිව තිබු පියවර රැසක් තිබුණ ද ඇමරිකාව ඒ ගැන සැලකිල්ලක් දැක් වූයේ නැත. ප‍්‍රංශය, ජර්මනිය සහ රුසියාව අතර ඇති කර ගත් මින්ස්ක් ගිවිසුම යුක්‍රේනයට කල් පවත්නා සාමය උදා කිරීමට කදිම අවස්ථාවක් වුවද ඇමරිකාව එය ක්‍රියාත්මකවීම වැළැක් වූයේය. එම ගිවිසුම ක්‍රියාත්මක වීමට වඩා ඇමරිකාව උනන්දු වූයේ යුක්‍රේන හමුදාවේ ප්‍රහාරක ශක්තිය වැඩි කිරීමට උසස් තාක්ෂණයෙන් යුත් අවි ආයුධ මෙන්ම පුහුණුව ලබා දීම ය. කෙසේ හෝ රුසියානු හමුදා යුක්‍රේනය ආක්‍රමණය කොට නැගෙනහිර ඩොනෙට්ස් ප්‍රදේශයේ බලය තහවුරු කර ගැනීමට සමත්වීම ඇමරිකානු උපාය මාර්ගය අසාර්ථක වීමකි.

එහෙත් ඇමරිකාව එය දකින්නේ තව තවත් යුද්ධය තීව්‍ර කිරීමේ අවස්ථාවක් සේය. ලොව දෙවන විශාල න්‍යෂ්ටික අවි තොගයක් ඇති රුසියාව කිසියම් මොහොතක ඒවා යොදා ගැනීමෙන් සමස්ත ලෝකයම විකිරණ අනතුරකට ලක්වීකිරීමේ අනතුරක් තිබුණ ද ඇමරිකාව එය සැලකිල්ලට ගන්නේ නැත. ඒ වෙනුවට න්‍යෂ්ටික ප‍්‍රහාරයකින් ආරක්ෂා වීමට හැකියැයි අන්ධ විශ්වාසයක් සමාජ ගත කිරීමට උත්සාහ දරයි. පසුගිය දා නිව්යෝර්ක් නගරයේ න්‍යෂ්ටික ප‍්‍රහාරයකින් ආරක්ෂා වීමේ පෙරහුරුවක් පැවැත් වූයේ ද එම අරමුණෙනි.

යුරෝපයේ යුක්‍රේනය සම්බන්ධයෙන් න්‍යෂ්ටික යුද්ධයක් පවා ඇතිවීමේ අනතුර පැවතිය දී චීනය සමග ද එවැනිම ගැටුමකට සූදානම් වන්නේ සියලු අනතුරු හැඟවීම් නොසලකා ය. රුසියාවට එරෙහිව යුරෝපයේ පෙරමුණක් ගොඩ නගා ඇති ආකාරයටම ආසියාවේ ද චිනයට එරෙහි පෙරමුණක් ඇති කිරීමට උත්සාහ ගන්නේ තායිවානයේ ස්වාධීනත්වයට වඩා තම ආධිපත්‍යය පවත්වා ගැනීමේ වුවමනාව නිසාය.

තම ආධිපත්‍යය පවත්වා ගැනීමට ඇමරිකාව කුමන හෝ පියවරක් ගැනීමට පසු බට නොවන බව එහි ඉතිහාසය පුරාම දැකිය හැකි ලක්ෂණයකි. මෙම ලිපියේ මුලින් සඳහන් කළ ආකාරයට චීනය සමග ආර්ථික සහ හමුදාමය සබඳතා ඇති කර ගත්තේ  එවකට අභියෝගයක් වූ සෝවියට් දේශයට එරෙහිව ය. චීනයට තාක්ෂණික් සහ විද්‍යාත්මක දැනුම ලබා දුන්නේ ද ඒ සඳහා ය. සෝවියට් දේශය බිඳ වැටුණ ද   ධනවාදි මගට පිවිසි චීනය ද අභියෝගයක් බවට පත්විය. තායිවානය රැක ගැනීමට ඉදිරිපත් වන්නේ ද සෝවියට් සංගමය මෙන් ආර්ථික මෙන්ම හමුදාමය බලවතෙකු වූ චීනය, ඇතිවිය හැකි අනිටු ප්‍රතිඵල නොසලකා විනාශ කිරීමේ අරමුණෙනි. එහෙත් එය අවසන් වන්නේ ජයග‍්‍රාහයෙකු නැති විනාශයකින් බව ඇමරිකානු යුද සැලසුම්කරුවන් දකින්නේ නැත. 

Print Friendly, PDF & Email

Leave a Reply