You are currently viewing නැන්සි පෙලොසිගේ තායිවාන් සංචාරයෙන් පසු කතාව නිම වේද?

නැන්සි පෙලොසිගේ තායිවාන් සංචාරයෙන් පසු කතාව නිම වේද?

ඇමරිකා එක්සත් ජනපදයේ කොංග්‍රස් මණ්ඩලයේ කතානායිකා නැන්සි පෙලොසි මහජන චීනයේ දැඩි විරෝධය නොතකා තායිවානයට පැමිණ එහි නියෝජිත මංත‍්‍රී මණ්ඩලය ඇමතීමෙන් පසුව ජනාධිපතිනිය ට්සායි ඉන්ග්-වෙන් හමුව ආපසු ගියා ය. පෙලොසි තායිවානයේ ගත කෙළේ දිනක් වැනි කෙටි කාලයක් වුවද ලොවම පසුවූයේ දැඩි අවිනිශ්චිත තත්වයකිනි. තායිවානයට ස්වාධීනත්වය ප්‍රකාශ කිරීමට කුමන තත්වයක් යටතේ වුවද ඉඩ නොදෙන බවට සහතික වූ චීනය මෙම සංචාරය වැළැක්වීමට කුමන පියවරක් ගන්නේ ද යන්න බොහෝ දෙනාගේ දැඩි සැකයට ලක්ව තිබිණ. එමනිසා එක්සත් ජනපදය එහි රාජ්‍ය ධූරාවලියේ තුන්වැනි තැන හිමිවන කතානායිකාව ආරක්ෂා කිරීමට උපරිම යුද ශක්තිය යොදවා තිබිණ. චීනය ද තායිවාන් සමුද්‍රසන්ධියේ සහ බටහිර සහ නිරිත දිග මුහුදු ප්‍රදේශයේ සජීවී ප්‍රහාරක අවි යොදා ගත් හමුදා අභ්‍යාසයක් පැවැත් වීය. කිසියම් අතපසුවීමකින් මහා පරිමාණයේ යුද්ධයක් ඇතිවීමේ ඉඩකඩ බෙහෙවින් තිබිණ.

අත්තනෝමතික පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ ඇමරිකානු ප්‍රතිපත්තිය තහවුරු කිරීම සඳහා මෙම සංචාරය කළ බව පැවසු පෙලොසි ඉන් ඇමරිකාව සහ තායිවානය අතර ඇති සුහද සබඳතා තවත් ශක්තිමත් වනු ඇතැයි සහතික වූවාය.

‘මෙම සංචාරය තායිවානයට පැමිණෙන කොංග්‍රස් නියෝජිත කණ්ඩායම්වලින් එකක් පමණි. එහෙත් එය කිසිම ආකාරයකින් 1979 තායිවාන් සම්බන්ධතා පිළිබඳ පනත, එක්සත් ජනපද- චීන ඒකාබද්ධ ප්‍රකාශය සහ සහතික කිරීම් හයෙන් මගපෙන්වන එක්සත් ජනපද ප්‍රතිපත්තියෙන් බැහැර වන්නේ නැත’’. 

ෂැංහයි ප්‍රකාශය නමින් ද හැඳින්වෙන එක්සත් ජනපද චීන ඒකාබද්ධ ප්‍රකාශය අනුව ඇමරිකා එක්සත් ජනපදය, තායිවානය චීනයට අයත් ප්‍රදේශයක් ලෙස පිළිගත් අතර ඒ අනුව එතෙක් තායිවානය සමග පවත්වා ගත් තානාපති සබඳතා පවා අත් හැරියේ ය. එවිට එක්සත් ජනපදයට අවශ්‍ය වූයේ චීනයේ මානව අයිතිවාසිකම් තහවුරු කිරීම නොව ප්‍රධාන සතුරා වූ සෝවියට් දේශයට එරෙහිව චීනයේ සහාය ඇතිව පෙරමුණක් ගොඩ නැගීම ය. එහි දි වැදගත් වූයේ කුඩා තායිවානය නොව සෝවියට් දේශයේ නැගෙනහිර දේශ සීමාව පුරාම පාහේ පැතිර ඇති මහජන චීන සමූහාණ්ඩුවයි. එම සබඳතාවය ගෝලීය  උපක්‍රමික වැදගත්කමකින් යුත් ය. එම අරමුණෙන් චීනයේ මහජන හමුදාව පුරුදු පුහුණු කිරීමට සහ අවි ආයුධ සැපයීමට පවා එක්සත් ජනපදයේ හමුදා මූලස්ථානය වූ පෙන්ටගනය ඉදිරිපත් විය.

එහෙත් ආර්ථික වශයෙන් ප්‍රබල වූ චීනය ලොව දෙවන විශාල ආර්ථිකය බවට පත්ව ලෝක වෙළඳාමේ ප්‍රමුඛ තැනක් අත් කර ගැනීමත් සමග ආසියානු කලාපයේ බල තුලනයේ වෙනසක් සිදු වන බව එක්සත් ජනපදය තේරුම් ගත්තේ ය. ඒ අනුව චීනය සමග පැවැත් වූ සහයෝගිතාවය උපාය මාර්ගික අභියෝගයක් බවට පත්විය. චීනය ද එක්සත් ජනපදය සමග පැවැත් වූ වෙළඳ සහ ආර්ථික කටයුතු උපාය මාර්ගික අවශ්‍යතා නිසාම ලොව වෙනත් ප්‍රදේශවලට යොමු කර ගැනීමට සැලසුම් කෙළේය. පැරණි සේද මාවත සිහිපත් කරමින් මාර්ගය සහ කලාප මුල්පිරුම ( BRI ) එම වැඩ පිළිවෙළේ මූලික අංගයකි.

කොංග්‍රස් මණ්ඩලයේ කතානායිකා නැන්සි පෙලොසි [Nancy Pelosi] (වමේ) තායිවානයේ ජනාධිපති ජනාධිපතිනිය ට්සායි ඉන්ග්-වෙන් [Tsai Ing-wen] (දකුණ)

එක්සත් ජනපදයේ හවුල්කරුවෙකු වූ ආසියාන් කලාපය චීනයේ ප්‍රධාන වෙළඳ ගනුදෙනුකරුවා බවට පත් විය. එවිට එක්සත් ජනපදයට බලවත් ම අභියෝගය වූයේ සෝවියට් පාලනය බිඳ වැටීමෙන් පසුව ගොඩ නැගුණු රුසියානු පෙඩරේෂණය චීනය සමග ආර්ථික වාණිජ සහ හමුදා ක්ෂේත්‍රවල සබඳතා ගොඩ නගා ගැනීමයි. රුසියාව සහ චීනය බොහෝ අන්තර්ජාතික ගැටලුවල දී එකම ස්ථාවරයක් ගැනීම එක්සත් ජනපදයට සිය ආධිපත්‍යය පවත්වා ගැනීමට අපහසුවක් බව පෙනිණ. බරාක් ඔබාමා ගේ පාලන සමයේ දී පැසිෆික් කලාපයට නැවත යොමුවීමේ ප්‍රතිපත්තියට පදනම් වැටුණේ මෙවැනි පසුබිමක ය.

ආර්ථික වශයෙන් ලොව ප්‍රමුඛ තැනක් රුසියාවට හිමි නොවන නමුත් භූමි ප්‍රදේශය සහ ස්වාභාවික සම්පත් විශේෂයෙන් ඛනිජ තෙල් සම්පත් අතින් ලොව ඉහළම තැනක් ගනී. මෙම සම්පත් උකහා ගැනීමේ තාක්ෂණ සහ විද්‍යාත්මක දැනුම චීනය අත්කර ගෙන තිබීම ද කණසල්ලට කරුණකි. දකුණු චීන මුහුදේ නාවික ගමනා ගමනයේ නිදහස සහ තායිවානයේ ප්‍රජාතන්ත්‍රවාදය වැදගත් වන්නේ මෙවැනි පසුබිමක ය.

ඒ අනුව තායිවානයට නවීන යුද අවි සැපයීම සහ දේශපාලන සබඳතා තර කර ගැනීම උපාය මාර්ගික ප්‍රතිපත්තියක් බවට පත් විය. තායිවානයේ කුවොමින්තාන් පක්ෂය යටපත් කර දේශීය ජනතා පදනමක් ඇති ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය බලය දිනා ගැනීම මෙම නැඹුරුව වඩාත් ශක්තිමත් කිරීමට හේතුවක් විය. 2019 දී බලයට පත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායිකා ට්සායි ඉන්ග්-වෙන් 1992 දී චීන සමූහාණ්ඩුවේ (තායිවානයේ) ජාතික ඒකාබද්ධ කිරීමේ මණ්ඩලයෙන් ඇති කර ගත් එකඟතාවය සම්පුර්ණයෙන්ම බැහැර කළාය. එම එකඟතාවය අනුව තායිවානය ස්වාධීන නොවී චීන සමූහාණ්ඩුව ලෙසින් පෙනි සිටීමට තීරණය කෙරිණ. එය ප්‍රතික්ෂේප කිරීමෙන් අදහස් වන්නේ තායිවානය මහජන චීන සමූහාණ්ඩුවෙන් වෙන්ව ස්වාධින රාජ්‍යයක් වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමේ සූදානම යි. මෙම ස්ථාවරය ඇමරිකාවේ ආරක්ෂක සැලැස්ම හා කදිමට ගැළපින.

නැන්සි පෙලොසිගේ කලින් ප්‍රකාශයට පත් නොකළ මෙම සංචාරය වැදගත් වන්නේ මෙවැනි පසුබිමක ය. තායිවානය ස්වාධීන රටක් වශයෙන් පිළිනොගන්නා නමුත් චීනය සමග ඇති භූ දේශපාලන ගැටුමේ දී ඉත්තෙකු කර ගැනීමට ප‍්‍රමාණවත් ය. ඒ අනුව ආරක්ෂක හමුදාවල දැඩි රැකවරණය යටතේ පෙලොසි තායිවානයට යෑම පෙන්ටගනයේ යුද සැලසුම්වලට අනුකූල ය. ඇත්තෙන්ම රුසියාව යුද්ධයකට කොටු කිරීමට යුක්‍රේනය යොදා ගත් ආකාරයට චීනය ද විනාශකාරී යුද්ධයකට පොළඹවා ගැනීමට අවස්ථාවකි.

කෙසේ වුවත් චීනය එම උගුලට අසුවූයේ නැත. පෙලොසිගේ සංචාරය අතිශයෙන් ප‍්‍රකෝපකාරී වුවද බලය යොදා එය වැළැක්වීමට චීනය ඉදිරිපත් වූයේ නැත. එම පියවර ආසියානු කලාපයේත් යුරෝපයේ මෙන් යුද කලාපයක් බිහිවීම වැළැක්වීමට හේතු විය. පෙලොසි යුද්ධයකින් පිළිතුරු දීමට තරම් නොවන්නේයැයි චීන උපාය මාර්ගික විශේෂඥයන් සිතන්නට ඇත.

2022Aug5[2]_chinese _helicopters
චීන මිලිටරි හෙලිකොප්ටර් යාන්ත්රණකරුවන් චීන-තායිවාන් ආසන්නයේ පිටහිටි පිංටාන් දූපතට ඉහළින් පියාසර කරයි..

එහෙත් මෙම සංචාරය තායිවානය සහ චීනය අතර මෙතෙක් පැවති සම්බන්ධතාවල ගුණාත්මක වෙනසක් ඇති කිරීමට හේතු වන බව පැහැදිලි ය. ඉන් පළමු වැන්න ආර්ථික පියවරකි. මෙම සංචාරයත් සමග චීනය තායිවානයෙන් කෙරෙන පලතුරු ඇතුළත් සමහර ආනයන සම්පුර්ණයෙන් ම නතර කෙළේය. ඒ සමගම තායිවානයේ ඉදි කිරීමේ කර්මාන්තයට අවශ්‍ය වැලි අපනයනය ද නතර කර ඇත. මෙම හදිසි පියවරට අමතරව තායිවානයේ ආර්ථිකය දුර්වල කිරීමේ තවත් අවස්ථා චීනය සතුව පවතී.

දෙවැනි පියවර වූයේ පෙලොසි තායිවානයෙන් පිටව යෑමත් සමග තායිවානය අවට මුහුදේ ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක වේගයෙන් යන නවීනතම අවි යොදා ගනිමින් දින තුනක මහා පරිමාණයේ හමුදා අභ්‍යාසයක් පැවැත්වීමය. ජීව අවි යොදා ගනිමින් කෙරෙන මෙම අභ්‍යාසය තායිවානයේ සමුද්‍ර සීමාව වන කි.මී. 12 නොසලකා පැවැත්වෙන බවද වාර්තා වේ. තායිවානයේ ආරක්ෂක අංශ එය හැඳින් වූයේ මුහුද හරහා පිවිසීම සම්පූර්ණයෙන්ම වසා දැමීමක් සේය. තායිවානයේ ගුවන් කලාපය ද නො සලකා චීන ප‍්‍රහාරක ජෙට් යානා පියාසර කරනු ඇත. සරලව තායිවානය සන්නද්ධ බලයෙන් යටපත් කර ගැනීමේ හැකියාව ප්‍රදර්ශනය කිරීමකි.

තායිවානය අගය කළ යුතු තරම් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප‍්‍රදායන් රකින රටක් නොවන නමුත් කාර්මික ක්ෂේත්‍රයේ සමහර අංශවල විශිෂ්ටත්වයට පත් ව ඇත. නිදසුනක් වශයෙන් ඩිජිටල් උපකරණ නිෂ්පාදනයට අවශ්‍ය අර්ධ සන්නායක නිෂ්පාදනයෙන් සියයට 90ක්ම ලැබෙන්නේ තායිවානයෙනි.  චීනයේ තායිවාන් ආයෝජන ප්‍රමාණය සැලකිය යුතු තරම් ය. චිනය ද තායිවාන ආයෝජන දිරි ගන්වයි. පුළුල් අර්ථයෙන් දෙරටම ධනවාදී ආර්ථික ක්‍රමය ප්‍රවර්ධනය කරන නිසා එහි ගැටලුවක් ද නැත.

2022Aug5[2]_map

1948 දී චීනය කොමියුනිස්ට් පක්ෂයේ පාලනය යටතට පත්වීමත් සමග ඇමරිකාවේ සහාය ඇතිව තායිවානයට පලා ආ චියාංග් කායිෂෙක් ගේ ජාතික කුවෝමින්තාන් කණ්ඩායම එහි පාලන බලය අත්පත් කර ගැනීමත් ඊට ඇමරිකාවේ පූර්ණ සහාය ලැබීමත් දේශීය ජන කොටස එක්තරා ආකාරයෙන් යටපත් කිරීමක් විය. දේශීය ජන පදනමක් ඇති ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය 2019 දී බලයට පත්වීමත් සමග එහි නායිකා ට්සායි ඉන්ග්-වෙන් කුවොමින්තාන් ප‍්‍රතිපත්තිය වෙනස් කොට තායිවානය ස්වාධීන රාජ්‍යයක් බවට ප්‍රකාශ කිරීම අරමුණ කර ගත්තාය. චීනයේ අදහස වූයේ හොංකොං සම්බන්ධයෙන් අනුගමනය කළ එක රටක් ක්‍රම දෙකක් පදනම යටතේ තායිවානය එකතුතර ගැනීම විනා සම්පූර්ණයෙන්ම යටපත් කිරීම නොවේ. එහෙත් තායිවානයයේ වත්මන් පාලනය එවැන්නකට සූදානම් නැත.

ඇමරිකාවේ උපාය මාර්ගික අවශ්‍යතාවයේ ඉත්තෙකු බවට පත්ව ඇති තායිවානය ස්වාධීනත්වයෙන් තොර විසඳුමකට එකඟ නොවනු ඇත. එකඟතාවයක් තිබුණත් ඇමරිකාව යුක්‍රේනයේ දී කළ ආකාරයකට එවැන්නකට ඉඩ නොදෙනු ඇත. න්‍යෂ්ටික අවි යොදා කෙරෙන යුද්ධයක තත්වයට පත් වන සෘජු අවි ගැටුමකට තුඩු දිය හැකි තත්වයක් වහාම නොවන නමුත් එය සම්පූර්ණයෙන්ම බැහැර කළ නොහැකිය. ඇමරිකාවට අවශ්‍ය අවි ගැටුමකට නොගොස් වෙනත් ආකාරයෙන් යුද උණුසුම පවත්වා ගැනීමේ අන්තරාදායක සෙල්ලමක යෙදීම ය. එහෙත් එවැනි ක්‍රියා මාර්ගයක රතු ඉරි මායිම් පවතින බව අමතක නොකළ යුතුය. එවැනි සීමාවක දී රුසියාව යුක්‍රේනය සම්බන්ධයෙන් අනුගමනය කළ පිළිවෙත චීනය බැහැර කරනු ඇතැයි ද සිතිය නොහැකිය. කෙසේ වුවත් යුද උපාය මාර්ග පදනම්ව ලෝකයම තම අනසකට යටත් කර ගැනීමේ දේශපාලන සහ ආර්ථික වුවමනාවෙන් ඇමරිකාව කටයුතු කිරීම ලෝකය වඩාත් අනතුරුදායක තත්වයකට පත් කොට සියල්ලන් අනාරක්ෂිත කරන බව අමතක නොකළ යුතුය.     

Print Friendly, PDF & Email

Leave a Reply