You are currently viewing ගෙදර තියෙන මුව හමට තඩි බෑමෙන් විනාශයෙන් ගොඩ ආ හැකි ද?

ගෙදර තියෙන මුව හමට තඩි බෑමෙන් විනාශයෙන් ගොඩ ආ හැකි ද?

ගහක් වෙනුවට කැලය දැකීමත් කැලය වෙනුවට ගහක් දැකීමත් යථාර්ථය තේරුම් ගැනීමට ඉවහල් වන්නේ නැත. ගස්වලින් කැලය සෑදෙන නිසාම ගසක් දැකීමෙන් කැලය ගැන අවබෝධයක් ලබා ගත නොහැකිය. ඒ වෙනුවට ගසුත් කැලයත් දැකිමටත් එම තත්වය මනාව විශ්ලේෂණය කර ගැනීමත් අවශ්‍ය ය. නොඑසේව ගසක් පමණක් දැකීමෙන් හෝ කැලය පමණක් දැකීමෙන් ලබා ගන්නා අවබෝධය අසම්පූර්ණ පමණක් නොව නොමග යවන සුලූය.

පසුගියදා සිරකරුවන් පුනරුත්ථාපනය භාරව සිටි රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ මහතා විශේෂයෙන් සමාජ මධ්‍යයේ පළවු වාර්තා නිසා රජය අපහසුතාවයකට පත්වීමෙන් වැළැක්වීමට සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට ජනාධිපතිවරයාගේ අවසරය පැතුවේය. විය යුතු ආකාරයටම ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම භාර ගත් බව නිවේදනය විය. කැලෑව වෙනුවට ගසක් පමණක් දකින පුද්ගලයෙකු චෝදනා එල්ල වී ඇති රාජ්‍ය ඇමතිවරයාගේ ඉල්ලා අස්වීමෙන් ආණ්ඩුවට එල්ල වන දෝෂාරෝපනය දකින්නේ නැත. නොඑසේනම් තකන්නේ නැත.

සිරකරුවන්ගේ සුභ සාධනය සඳහා පත් කර සිටින රාජ්‍ය ඇමතිවරයෙකු හෝ වෙනත් පුද්ගලයෙකු බන්ධනාගාරවලට ගොස් සිරකරුවන්ට මරණීය තර්ජන කිරීම සාමාන්‍ය වරදක් නොව බරපතළ අපරාධයක් බව සිහි බුද්ධිය ඇති  ඕනෑම කෙනෙකු පිළිගන්නවා ඇත. සිරකරුවන්ගේ ආරක්ෂාව සහ සුභ සිද්ධිය සඳහා ශ‍්‍රී ලංකාව ද බැඳී සිටින ජාත්‍යන්තර සම්මුතීන් ද පවතී. ඒවා ගැන ජිනීවා හි මේ දිනවල පැවැත්වෙන මානව අයිතිවාසිකම් මණ්ඩලයේ රැස්වීමේ දී මෙන්ම වෙනත් වේදිකාවල ද සාකච්ඡා වනු ඇත. ඒවාට දක්ෂ විචක්ෂණ පිළිතුරු සැපයීමට රජයේ ඇමතිවරුන් මෙන්ම විශ්ව විද්‍යාලවල නීතිය පිළිබඳ මහාචාර්යවරු ද සිටිති. ඒවා පිළිගැනීම හෝ නොපිළි ගැනීම ජාත්‍යන්තරයේ දේශපාලන වුවමනාව මත තීරණය වනු ඇත.

එහෙත් මේ රටේ සියලූම ඡුන්ද දායකයන් ( හැට නම ලක්ෂය පමණක් නොවේ) මෙන්ම සියලූම පුරවැසියන් නැගිය යුතු ප‍්‍රශ්නය වන්නේ අපේ ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය ඇමතිවරුන් පමණක් නොව සියලූම ඇමතිවරුන් සහ උසස් නිලතල වලට පත්කිරීමේ දී අවම හෝ සුදුසුකම් මට්ටමක් නැති ද යන්නයි. මෙම සියලූම පත්වීම් කිරීමේ දී දේශපාලනය සුදුසුකම එකම නිර්ණායකය වීම ප‍්‍රමාණවත් ද?

බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී පාලන සමයේත් නිදහස් ලංකාවේ බොහෝ කලක් යන තෙක් රජයේ රැකියාවකට පිරිමියෙකු හෝ ගැහැනියකු බඳවා ගැනීමේ දී අන් සියලූ සුදුසුකම්වලට අමතරව පොලිස් සහතිකයක්ද ලබා ගැනිමේ පුරුද්දක් පැවතිණ. අයදුම්කරුවාගේ ආසන්න ඥාතියෙකු හෝ අපරාධයකට සම්බන්ධව සිටියේ නම් එය නුසුදුසු කමකි. මේ පිළිබඳව කණගාටුදායක එහෙත් ආදර්ශවත් සිද්ධියක් පසුගිය දා මුහුණු පොතේ පළ කර තිබිණ.

සිද්ධිය කෙටියෙන් මෙසේය. පොලිස් කොස්තාපල් තනතුරකට පත් වූ උගත් දක්ෂ තරුණයෙකු සිය සේවයේ දක්ෂතා නිසාත් අවශ්‍ය සියලූ සුදුසුකම් සපුරා ඇති නිසාත් උපපොලිස් පරීක්ෂක තනතුරක් ලැබීමට තෝරා ගත් නමුත් එම පත්වීම ලැබුණේ නැත. මේ ගැන කම්පාවට පත් එම පුද්ගලයා දිගින් දිගටම ඒ ගැන කරුණු විමසුවේය. අවසානයේ දී ඔහු සේවයෙන් පහකරනු ලැබිණ. හේතුව වූයේ ඔහුගේ ඥාතියෙකු අපරාධයක් සම්බන්ධයෙන් දඬුවම් ලබා සිටීමය. එම තරුණයාට උසස්වීම නොව දරමින් සිටි තනතුර පවා අහිමි විය. බැලූ බැල්මට එය සුදුසු කි‍්‍රයා පිළිවෙතක් නොවන නමුත් එය රජයේ සේවයේ විශ්ෂ්ටත්වය පවත්වා ගැනීමට ගත් පියවරකි.

මෙවැනි රටක රාජ්‍ය හෝ කුමන ඇමති තනතුරක් දීමේ දී පවුලේ ඥාතීන්ගේ නොව අදාල පුද්ගලයාගේ හෝ කැරැට්ටුව සොයා බැලිමට බලයේ සිටින අය උනන්දු නොවන්නේ ඇයි?. හිටපු ආරක්ෂක ඇමතිවරයෙකු වූ අනුරුද්ධ රත්වත්තේ මහතාගේ පුතෙකු වන ලොහාන් රත්වත්තේ මහතා පාර්ලිමේන්තු මංත‍්‍රී ධුරයකට මහජන වරමින් පත්වීමට පෙර ප‍්‍රකට මිනිස් ඝාතන සිද්ධීන් දෙකක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටියේය. උසාවියේ නඩුවකින් ඒවා ඔප්පු නොවු නමුත් මෙම පුද්ගලයාගේ දාමරික හැසිරීම අපූරු දෙයක් නොවේ. විශේෂයෙන් උඩුතලවින්න මිනිස් ඝාතන සිද්ධිය පිළිබඳ ව සංසරණය වූ තොරතුරු පහසුවෙන් බැහැර කළ නොහැකිය.

ප‍්‍රශ්නය වන්නේ අධිකරණයෙන් විනිශ්චය කර නොමැති වුවත් එවැනි චෝදනා එල්ල වී ඇති පුද්ගලයෙකුට රාජ්‍ය ඇමිති ධුරයක්, විශේෂයෙන්ම බන්ධනාගාර කටයුතු පිළිබඳ ඇමති ධුරයක් දීමේ දී ඔහුගේ කැරැට්ටුව සොයා නොබැලූවේ ඇයි ද යන්නයි. මෙම පත්වීම් ලබා දීමේ දී ජනාධිපතිවරයා ලොහාන් රත්වත්තේ පිළිබඳව මහජනයා දැන සිටි තොරතුරු දැන සිටියේ නැතැයි කිව නොහැකිය. ත‍්‍රස්තවාදීන් මර්දනය කළ ආකාරයට සිරකරුවන් මර්දනය කිරීමට සුදුසුම පුද්ගලයා ලොහාන් රත්වත්තේයැයි එතුමා සිතන්නට ඇත.

එවැනි සිතුවිල්ලක් අහඹු දෙයක් නොවන්නේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කර ඇති වෙනත් පත්වීම් ද සැලකිල්ලට ගැනීමේ දීය. ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටිය දී ඔහුගේ උපදේශකයෙකු මෙන්ම එවකට පාර්ලිමේන්තු මංත‍්‍රීවරයෙකු වූ දුමින්ද සිල්වා මහතා ප‍්‍රකට දේශපාලකයෙකු වූ භාරත පේ‍්‍රමචන්ද්‍ර මහතා මරා දැමීම සම්බන්ධයෙන් නඩු විභාගයෙන් පසුව පෝරකයට නියම වූයේය. එහෙත් දැනට පවතින නීතිය අනුව එල්ලා මැරීමක් සිදු නොවන නිසා ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම විය. ඉන් පසුව ඔහුට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අභයදානය ලබා දුන්නේය. ඉන් නොනැවතී දුමින්ද සිල්වා මහතාගේ ජම්පරය ගැලවීමටත් පෙර රටේ ප‍්‍රමුඛ ආයතනයක් වන නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති තනතුරට පත් කෙළේය. කලින් සඳහන් කළ පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් කි‍්‍රයාත්මක වූ නීතිය හෝ රීතිය දුමින්ද සිල්වා වෙනුවෙන් කි‍්‍රයාත්මක නොටූයේ ඔහු ජනාධිපති ගෝඨභය මහතාගේ සමීපතමයෙකු නිසා වන්නට ඇත.

හිත මිතුරන් වෙනුවෙන් නීතිය නැමීමට අමතරව නීතිය හෝ සම්ප‍්‍රදායන් නොසලකා කි‍්‍රයා කිරීම ද ගෝඨාභය පාලනයේ සලකුණකි. පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස තුනක් ඇතුළත මහා මැතිවරණයක් පවත්වා නව පාර්ලිමේන්තුව රැුස්වීමට නොහැකි වුවහොත් විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව ආපසු කැඳවීම ව්‍යවස්ථාමය අවශ්‍යතාවයක් වුවද ඔහු එය නොසලකා කි‍්‍රයා කෙළේය. ඒ පිළිබඳව අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම් කරුණු නොදක්වාම ප‍්‍රතික්ෂේප කෙරිණ. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට දිව්රුම් දුන් නමුත් රටේ පවතින සම්ප‍්‍රදායන් හෝ නොසලකා කටෙයුතු කිරීම ගෝඨාභය පාලනයේ ස්වභාවයයි.

මෙම පැහැදිලි කිරීමට තවත් නිදර්ශනයක් ගෙනහැර දැක්විය හැකිය. පසුගිය දා බාලදක්ෂ ප‍්‍රධාන කොමසාරිස් පත් කිරීම සම්බන්ධයෙන් එම පාලක මණ්ඩලයේ පිරිසක් මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළහ. ඔවුන් සඳහන් කරන ආකාරයට මෙතෙක් පැවති සම්ප‍්‍රදාය වූයේ ඉවත්ව යන ප‍්‍රධාන කොමසාරිස් නම් කරන හෝ එම පාලක මණ්ඩලය නම් කරන පුද්ගලයා ප‍්‍රධාන කොමසාරිස් තනතුරට පත් කිරීමයි. පත්වීම් බලධාරියා ජනාධිපති ය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බාලදක්ෂ පාලක මණ්ඩලයෙන් ඉදිරිපත් කළ නම නොසලකා ඔහුට කැමති පුද්ගලයෙකු ප‍්‍රධාන කොමසාරිස් ලෙස පත් කෙළේය. පාලන මණ්ඩලයට අධිකරණයට යෑමට සිදු වූයේ එම නිසා ය.

බාලදක්ෂ ව්‍යාපාරය යනු පාසල් ළමයින් ගේ බාහිර කි‍්‍රයාකාරකමක් වශයෙන් පවතින දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම බැහැර ස්වේච්ඡා කටයුත්තකි. එහි තනතුරක් දැරීමෙන් විශේෂ ආර්ථික වාසියක් හිමි වන්නේ ද නැත. ප‍්‍රධාන කොමසාරිස් රාජ්‍ය නායකයා විසින් පත් කිරීම සම්ප‍්‍රදායකි. එය විශේෂ වරප‍්‍රසාද හිමිවන තනතුරක් ද නොවේ. එවැනි තනතුරකට පවා එම ව්‍යාපාරයේ අභිවෘද්ධිය සඳහා ස්වේච්ඡාවෙන් කැප වී සිටින අය නම් කරන පුද්ගලයා සම්ප‍්‍රදායානුකූලව පත් නොකර ඊට වෙනස් පියවරක් ගන්නේ එක අතකින් නිතියට හෝ සම්ප‍්‍රදායට ගරු නොකිරීමේ අවශ්‍යතාවය නිසා ය. අනෙක් අතට තමා ජනාධිපති නිසා කැමැත්කත් කිරීමේ සුවිශේෂී වරමක් ලැබී ඇතැයි සිතන නිසා ය. චක‍්‍රලේඛ හෝ ලිඛිත නියෝග කිසිත් නොතකා තමා කියන දේ කිරීමට නිලධාරීන්ට නියෝග කෙළේ ද එම මානසිකත්වයෙනි.

එමනිසා වැලිකඩ සහ අනුරාධපුරය බන්ධනාගාර තුළට ගොස් කළායැයි කියන තර්ජන සහ වධ හිංසා පිළිබඳව වගකිව යුතු වන්නේ රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ පමණක් නොවේ. මහජනයාගේ බදු මුදලින් නඩත්තු කෙරෙන තනතුරුවලට නුසුදුසු පුද්ගලයන් පත් කිරීම් සම්බන්ධයෙන් නිසි බලධාරියා එනම් ජනාධිපති ද වගකිව යුතුය. කිසියම් දිනක වාර්තා වී ඇති සිද්ධීන් ගැන දඬුවමක් නියම වන්නේ නම් ජනාධිපති ද එහි පාර්ශ්වයක් විය යුතුය. ඒ ඔහු සිතාමතාම මෙම පත්වීම් තළ නිසා ය. ලොහාන් රත්වත්තේට පමණක් එහි වගකීම පැවරිය නොහැකිය.

නීතිය හෝ නීතියටත් වඩා ප‍්‍රබල සම්මතයක් වන සම්ප‍්‍රදායන් කඩ කිරීම රටේ සෞභාග්‍යයට මාවතක් නොවේ. එය අරාජිකත්වයටත් අත්තනොමතිකත්වයටත් යක කෙටි පාරකි. එහි අස්වැන්න වන්නේ විනාශයයි. අප අත්දකිමින් සිටින්නේ එම යථාර්ථයට යි. ලොහාන් රත්වත්තේ සිද්ධිය එහි අඩයාළමක් පමණි.

Print Friendly, PDF & Email

Leave a Reply