You are currently viewing ‘වික්ටර් හාරා’ ඝාතනයට වසර 50 යි..!

‘වික්ටර් හාරා’ ඝාතනයට වසර 50 යි..!

ඔගස්ටෝ පිනෝෂේ [Augusto Pinochet]

1973 සැප්තැම්බර් මස CIA කුමන්ත්‍රණයකින් චිලියේ ජනාධිපති සැල්වදෝර් අයෙන්දේගේ පාලනය පෙරලා දමා අමෙරිකානු ගැති  පාලනයක් පිහිටුවන ලදි. මෙම ජුන්ටාවේ ජනාධිපති වූ ඔගස්ටෝ පිනෝෂේගේ කෲර පාලනය චිලී ජනතාව භීතියෙන් මුසපත් කළේය.

අයෙන්දේගේ ජයග්‍රහණයට සහයෝගය දුන් එරට ජනතාව මත භීෂණයේ රුදුරු සෙවනැලි පතිත විය. දස දහස් ගණන් ජනතාව ‘චිලී ස්ටේඩියම්’ නමැති ස්ථානය වෙත ගෙන එන ලදි. අයෙන්දේගේ ජයග්‍රහණයට උරදුන් ජනතාවගේ වධකාගාරය වූයේ මෙම ස්ථානයයි. අයෙන්දේ නායකත්වය දුන් පොපියුලර් යුනිටි පක්ෂයේ ජයග්‍රහණය සඳහා සංගීත ප්‍රසංගය පැවති ස්ථානයද මෙයයි.

සැල්වදෝර් අයෙන්දේ

අත් අඩංගුවට ගෙන වධ බන්ධනයට ලක්කරන ලද පුද්ගලයින් අතර චිලී රාජ්‍යයේ ප්‍රකට තවත් සුවිශේෂී පුද්ගලයෙකු විය. ඔහු ‘වික්ටර් හාරා’ නමැති ගායකයායි. චිලීයේ පොදු ජන ගායකයා ලෙස ප්‍රකට මෙම සොඳුරු මිනිසා දක්ෂ ගිටාර් වාදකයෙකි.චිලී ජනතාවගේ ජීවිතවල දුෂ්කර පසුබිම, පීඩාකාරිත්වය හා ඉන් මිදීමට ඔවුන් දරණ ප්‍රයත්නය වික්ටර් හාරාගේ ගීතවලින් හඬ නැගුණි.

වික්ටර් හාරා [Victor Jara]

චිලී රාජ්‍ය විශ්ව විද්‍යාලයේ සේවය කළ වික්ටර් හාරා, අත් අඩංගුවට ගැනීමෙන් පසු ක්‍රෘර වධ බන්ධනයට ලක්කර තිබුණි. ඔහුගේ දෑත්වල ඇඟිලි කඩා දමා තිබූ අතර ඇවිද යාමටද අපහසුවෙන් සිටි බව කියැවේ. 1973 වසරේ සැප්තැම්බර් 16 හෝ ඊට ආසන්න දිනකදී වික්ටර් හාරා ඝාතනය කරන ලද බව විශ්වාස කෙරේ. ඔහුගේ සිරුර ප්‍රදර්ශනය සඳහා, ඔහු රඳවා තබා සිටි චිලී ස්ටේඩියම්හි දොරටුව අසල තබන ලදි. පසුව, තවත් සිරකරුවන්ගේ සිරුරු තිබූ ස්ථානයකට වික්ටර් හාරාගේ සිරුරද ඇද දමා තිබුණි.

සමූහ මිනී වළක රහසිගතව වළ දැමීමට පෙර, ලැබුණු පණිවිඩයකින් එම ස්ථානයට පැමිණි වික්ටර් හාරාගේ බිරිඳ සාරා ටර්නර් විසින් ඔහුගේ සිරුර  හඳුනාගෙන ඇත.සිය ගණන් මළ සිරුරු අතර වික්ටර්ගේ  සිරුර ඉතාම අපහසුවෙන් හඳුනා ගත් බව ඇය පවසා තිබුණි.

වික්ටර් හාරාගේ ඝාතනයෙන්  වසර 40 කට පමණ පසු ඔහුගේ ඝාතනයට වගකිව යුතු හිටපු හමුදා  නිලධාරීන්ට විරුද්ධව අධිකරණ කටයුතු දියත්කර දඬුවම් පමුණුවන ලදි. ඔහු ඇතුලු නිර්දෝෂී පුද්ගලයින් රඳවා තබමින් අමානුෂික වධ බන්ධනයට ලක්කර මරා දමන ලද ක්‍රීඩාංගනය වික්ටර් හාරාට උපහාර පිණිස  ‘Estadio Victor Jara’ නමින් නම්කර ඇත.ඔහු මරා දමා වසර 50 ක් ගත වුවද, පීඩාකාරිත්වයට එරෙහිව ඔහු නැගූ හඬ නැවත නැවතත් අවදිවෙමින් තිබේ. 

Leave a Reply