You are currently viewing මහජන කවුන්සිල ව්‍යාපාරය පළමු සංවත්සරය සමරයි..

මහජන කවුන්සිල ව්‍යාපාරය පළමු සංවත්සරය සමරයි..

“මෙරට ජන අරගලයේ ඍජු අත්දැකීමක් හැටියට බිහි වූ මහජන කවුන්සිලය අද සිය ප්‍රථම සංවත්සරය සමරනු ලබනවා. වසරක කෙටි කාලසීමාවකදී වුවත් මෙම ව්‍යාපාරය පවතින පාලන ක්‍රමයට විරුද්ධව සැලකිය යුතු ජන බලයක් ගොඩනැගීමට ඉදිරියට පැමිණ සිටින බව කිව යුතුයි..”

විදර්ශන කන්නන්ගර

මහජන කවුන්සිල ව්‍යාපාරයේ සංවත්සර සභාවේ පිළිගැනීමේ කතාව කරමින් සමාජ ක්‍රියාකාරී විදර්ශන කන්නන්ගර සහෝදරයා මෙසේ ප්‍රකාශ කළේය. මෙම සංවත්සර රැස්වීම පසුගිය 01දින කොළඹ මහජන පුස්තකාල රැස්වීම් ශාලාවේදී පවත්වන ලදි. මහජන කවුන්සිලය සඳහා ව්‍යාපාරයේ හා දිවයිනේ විවිධ ප්‍රදේශවල මහජන කවුන්සිල නියෝජිතයෝ මෙම අවස්ථාවට සහභාගී වූහ.

ජනතාව සඳහා ජනතාවාදී පාලනයක අවශ්‍යතාවය ගෝල්පේස් අරගල භූමියේදී සම්මුතිගත වුනා.මහජන කවුන්සිලය එහි තවත් දිගුවක්.එය ජාති, ආගම්,කුල භේදයෙන් තොරව එකම ශ්‍රී ලාංකීය ජාතියක් හැටියට එකම අරමුණක එකට ගොනු වී අඛණ්ඩ ක්‍රියාකාරිත්වයකට ගමන් කරමින් සිටින බව සභාවේ ආරම්භක දේශනය කරමින් ජීවන්ත පීරිස් පියතුමා ප්‍රකාශ කර සිටියේය.

ජීවන්ත පීරිස් පියතුමා

දිවයිනේ විවිධ ප්‍රදේශවල මහජන කවුන්සිලයන්හි ක්‍රියාකාරිත්වයන් සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මහජන කවුන්සිලය ව්‍යාපාරය විසින් ප්‍රකාශයට පත්කරන ලද ‘ජන බලයද?රාජ්‍ය බලයද?’ කෘතිය ජනගත කිරීම මෙම සංවත්සර සභාවේදී සිදු කෙරුණි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය කල්ප රාජපක්ෂ සහෝදරයා අදහස් දක්වමින් කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ නව කතිකාවතක් ඇතිකරගැනීමේ සාකච්ඡාව වර්ථමානයේ මතුවී තිබෙන බවයි.එහිදී ලෙනින් සහෝදරයාගේ අදහසක් උපුටා දක්වමින් ඔහු පෙන්වා දුන්නේ ‘ ප්‍රජාතන්ත්‍රවාදයේ දියුණුම භාවිතයන් ඇතැයි සළකනු ලබන පාලනයක් වුවද රජය යනු මර්ධනයේ යාන්ත්‍රණයක්’ බවයි.

ආචාර්ය කල්ප රාජපක්ෂ

රනිල් රාජපක්ෂගේ පාලනයට එරෙහිව ව්‍යූහාත්මක පරිවර්තනයක අවශ්‍යතාවය මතුවී තිබෙන බව කල්ප සහෝදරයා පෙන්වා දුන්නේය.වත්මන් රජය විසින් ගොඩනගමින් තිබෙන ජන සභාවලට එරෙහිව සටන් වදින බලවේගය ලෙස මහජන කවුන්සිල හැඩගැන්විය යුතුව ඇතැයි ඔහු කියා සිටියේය.

ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරී කමිටු සභික වසන්ත මුදලිගේ සහෝදරයා සභාව අමතා කියා සිටියේ, දිගින් දිගටම ක්‍රියාත්මක වූ මහජන නැගිටීම් කීපයක උච්චතම අවස්ථාව ගෝල්පේස් අරගල භූමියෙන් ප්‍රකාශ වූ බවයි. එය මහජන බලයේ සංකේතාත්මක ප්‍රකාශනයක් පමණක් වූ අතර ඉදිරි ක්‍රියාන්විතයන්හි විශාල වගකීමක් හා කාර්ය භාරයක් මහජන කවුන්සිල සතුව ඇතැයි ඔහු වැඩිදුරටත්  ප්‍රකාශ කරසිටියේය. එක්සත් කම්කරු සම්මේලනයේ සභාපතිනි නීතිඥ ස්වස්තික ආරුලිංගම්, කථිකාචාර්ය නිකොලා පෙරේරා සහෝදරියෝ ද මෙහිදී අදහස් දැක්වූහ.

සහභාගී වූ පිරිසෙන් කොටසක්..

විවිධ ප්‍රදේශවල මහජන කවුන්සිලයන්හි ක්‍රියාකාරකම් හා අත්දැකීම් එකම ස්ථානයකදී හදුනාගත හැකි වීම මෙම සංවත්සර සභාවේ දී සිදුවිය. එය පාලන බලය අභ්‍යාස කිරීමක් දක්වා ගමන් කරන්නේ කෙසේද? යන්න මෙම පළමු සංවත්සරයේදී සාකච්ඡාවට ලක්වීම වැදගත් කරුණකි.

මෙම කෘතිය ආචාර්ය කල්ප රාජපක්ෂ, විදර්ශන කන්නන්ගර, නීතිඥ ශ්‍රීනාත් පෙරේරා, දුමින්ද නාගමුව, ජී.ඩී.දසනායක, පී.ඩී.සරණපාල, බ්‍රිටෝ ප්‍රනාන්දු යන සහෝදරවරුන් වෙත මහජන කවුන්සිල ව්‍යාපාරයේ නියෝජිතයින් විසින් පිරිනමන ලදි.

Print Friendly, PDF & Email

Leave a Reply