You are currently viewing නීතිඥ සාමූහිකය පොදු ජන සටනට..

නීතිඥ සාමූහිකය පොදු ජන සටනට..

සිය අයිතීන් වෙනුවෙන් නැගී සිටින ජනතාව අමානුෂික මර්ධනීය ප්‍රවාහයකට ලක්කිරීමට රජය මේ වන විට ඉදිරිපත් ව සිටී.මීට එරෙහිව නීතිඥ සාමූහිකය, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන සමග ඒකාබද්ධ වූ  සම්මන්ත්‍රණයක් පසුගිය 06 වෙනි දින කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පවත්වන ලදි.

මෙම සම්මන්ත්‍රණයේ පිළිගැනීමේ කතාව කරමින්, නීතියේ බලය විධායකයේ ගල් රෝලට යටපත් කිරීමට විරුද්ධව මෙම ජන හමුව පවත්වන බව මාධ්‍යවේදී නීතිඥ කේ.ඩබ්.ජනරංජන නීතිඥවරයා සඳහන් කළේය. මාර්ගගත ආරක්ෂාව, මාධ්‍ය වාරණ පනත් ගෙන එමින් ජනතාවගේ ප්‍රකාශන අයිතිය උදුරා ගැනීමට රජය උත්සාහ කළද,  මෙරට වත්මන් පරපුර ඊට ඉඩ දීමට සූදානම් නොමැති බවද ඔහු කියා සිටියේය.

වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් කප්පාදු කරමින් IMF කොන්දේසි මත රජය විසින් ගෙන එනු ලබන නීති රීති ප්‍රජාතන්ත්‍රීය අයිතියටත් රටේ නීතියටත් පටහැනියැ යි මෙහි ආරම්භක දේශනය කරමින් මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර ප්‍රකාශ කළාය. ආර්ථික අර්බුදයට විසදුම් ලෙස ගෙන ඒමට සැළසුම් කරන මෙම ක්‍රියාකාරිත්වය රටේ පුරවැසි අයිතියට හා යුක්තියට පූර්ණ වශයෙන්ම පටහැනියැ යි ඇය පෙන්වා දුන්නාය.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සභාව අමතමින්, මේ රටේ සිදුවන දූෂණ වංචා සියල්ලට එරෙහි වීම නැවැත්වීමේ අභිලාෂය මෙම මර්ධන නීති ගෙන ඒමේ ක්‍රියා මාර්ගවල ඇතුළත්ව ඇතැයි කියා සිටියේය. කීප දෙනෙකු හෝ එකතු වී දක්වන විරෝධයකට, පෙළපාලියකට පවා විශාල පොලිස් හා හමුදා බල ඇණි යොදවා මර්ධනය කිරීම shut up and sit down යටතේ ගෙන යාමට උත්සාහ දරන පාලනය තීව්‍ර ලෙස සමාජය මතු පිටට පැමිණීමක් ලෙස හැඳින්විය හැකි බව ප්‍රකාශ කළේය.

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් සහෝදරයා මෙහිදී ප්‍රකාශ කළේ මේ රටේ පැන නගින ජනතා අරගලය මර්ධනය කිරීම මෙම සියලු පනත් ගෙන ඒමට හේතුවූ බවයි. මේ වනවිට මෙරට දුගී භාවය සීඝ්‍ර වර්ධනයකට පත් වී ඇත. ඒ අතර ලක්ෂ හතක ජනතාවකගේ විදුලිය විසන්ධි කර තිබේ. පීඩාවට හසුවන ජනතාව මර්ධනය කිරීමේ සැළසුම් මෙම ක්‍රියාන්විතයන්හි ඇතැයි ඔහු සඳහන් කළේය.

මෙම සමුලුව අමතා පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්.ඒ. සුමන්තිරන්, ශ්‍රී ලංකා තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු ශාලිත විමලසේන, නීතිඥ උපුල් කුමාරප්පෙරුම, ට්‍රාන්ස්පේරන්සීස් ඉන්ටර් නැෂනල් ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා නීතිඥ නදීෂානි පෙරේරා අදහස් දැක්වූහ. සභාවේ ප්‍රශ්න මතුකිරීමේ අවස්ථාවේ මෙහෙයවීම නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සහෝදරයා විසින් මෙහෙයවන ලදි.

දිගින් දිගටම රජය ගෙන යන අත්තනෝමතික ප්‍රතිපත්තියට විරුද්ධව නීතිඥ සාමූහිකය මෙරට වැඩකරන ජනතාව සහ පීඩාවට පත්වන පොදු ජනතාව සමග ඉදිරියට පැමිණීමේ සාකච්ඡාව මෙම සම්මන්ත්‍රණයෙන් මතුවීම වැදගත් කරුණකි. එය මේ මොහොතේ අවශ්‍යම කර්තව්‍යයක් ද වී ඇත.

Print Friendly, PDF & Email

Leave a Reply