You are currently viewing ජනතා අයිතිය යටපත් කිරීමට එරෙහිව ‘මහජන කවුන්සිල’ බලගැන්විය යුතුයි..

ජනතා අයිතිය යටපත් කිරීමට එරෙහිව ‘මහජන කවුන්සිල’ බලගැන්විය යුතුයි..

‘රාජ්‍ය බලය අභ්‍යාස කිරීමේ මහජන කවුන්සිලවල උපාය මාර්ග’ මැයෙන් වූ මහජන කවුන්සිල නියෝජිත හමුවක් පසුගිය 16 වෙනි දින කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි දේවස්ථාන රැස්වීම් ශාලාවේදී පවත්වන ලදි. වත්මන් රජය මෙරට පොදු ජනතා අයිතිය තියුණු පරාජයකට ලක්කරමින් තිබෙන මොහොතක ඊට එරෙහිව නැගි සිටින සංවිධිත විකල්ප බලවේග සක්‍රීය කිරීමේ අවශ්‍යතාවය මෙහිදී ප්‍රකාශයට පත් කෙරුණි.මහජන කවුන්සිලය සඳහා වන ව්‍යාපාරය විසින් මෙම සමුලුව සංවිධානය කර තිබූ අතර දිවයිනේ ප්‍රාදේශීය මහජන කවුන්සිල සහ ශිෂ්‍ය සංවිධාන නියෝජිතයෝ මීට සහභාගී වූහ.

 “..රජය හා බද්ධවූ ආයතනවලින් පීඩාවට පත්ව සිටින ජනතාවගේ දුෂ්කරතාවයන්ට පිළිතුරු ලැබී නොමැත. මේ නිසා පොදු ජනතාව බලගැන්වීමේ ඵලදායී ක්‍රියාන්විතවල අවශ්‍යතාවය පහල වී ඇත. පවතින අනිකුත් ස්වෙච්ඡා සංවිධානවලට වඩා වෙනස් පරමාර්ථයන් හරහා මහජන කවුන්සිල ඉදිරියට යා යුතුය..” යනුවෙන් සිවිල් සංවිධාන නියෝජිත චන්නක ජයසිංහ සහෝදරයා සමුලුව ආරම්භ කරමින් ප්‍රකාශ කළේය.

මෙහිදී රැස්ව සිටි පිරිස අමතා අදහස් දැක්වූ බහුජන සංවිධාන ක්‍රියාකාරී විදර්ශන කන්නන්ගර සහෝදරයා “..මහජන කවුන්සිල පැන නැගීම අරගලයේම සක්‍රීය කොටසක්..” ලෙස හඳුන්වා දුනි. රාජ්‍ය බල අධිකාරියට එරෙහි වීම හා ධනේශ්වර රජයේ උපාය මාර්ග හමුවේ මහජන කවුන්සිලයන්හි ක්‍රියාකාරිත්වය කුමක්ද යන්න තවදුරටත් සාකච්ඡාවට බඳුන් විය යුතු බව ඔහු කියා සිටියේය.රාජ්‍ය මර්ධනය මගින් සිවිල් ජන බලය යටපත් කිරීමේදී ඊට ප්‍රතිවිරෝධී ශක්තිමත් ව්‍යූහයක අවශ්‍යතාවය මේ මොහොතේදී දැඩි ලෙස මතුව ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.

නීතිඥ ශ්‍රීනාත් පෙරේරා අදහස් දක්වමින්..

නීතිඥ ශ්‍රීනාත් පෙරේරා සහෝදරයා අදහස් දක්වමින් කියා සිටියේ අරගලය’ රාජ්‍ය බලයට අභියෝග කළ බවයි. රජයක් පැවතියදී කෙටි කාල සීමාවකට වුවද ඊට එරෙහි වූ බලයක් පවත්වාගෙන යාමට ජනතාවට හැකි වූ බව ඔහු පෙන්වා දුනි. මෙය ජනතාවගේ බලය අභ්‍යාස කිරීමක් යැයි ඔහු සඳහන් කළ අතර සූරාකෑමට ගොදුරුව සිටින බහුතර ජනතාව ඊට එරෙහිව නැගී සිටි අවස්ථාවක් මින් පෙනී ගිය බවද, මහජන කවුන්සිලයේ කාර්ය වන්නේ එම බලය ඉදිරියට ගෙන යාම බවද කියා සිටියේය.

නව ලිබරල්වාදය යටතේ ඇති, හැකි සෑම ක්‍රියා මාර්ගයක්ම මේ වන විට මෙරට ධනේශ්වරය විසින් අත්හදා බලා ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය කල්ප රාජපක්ෂ සහෝදරයා මෙම සභාව අමතමින් ප්‍රකාශ කළේය. විප්ලවය යන්න ඓතිහාසික අවශ්‍යතාවයක් බවත් මේ මොහොතේදී එය ප්‍රතික්ෂේප කළ නොහැකි බවත් ඔහු කියා සිටියේය.මහජන කවුන්සිලය සමාජ පරිවර්තනයක් වෙනුවෙන් ක්‍රියාත්මක යාත්‍රාව වන අතර ජනතා බලය රැක ගැනීමේ මාධ්‍යද එය බව ඔහු පෙන්වා දුන්නේය. ඉදිරියේදී ජනතාවගේ පීඩාකාරිත්වය තවදුරටත් වැඩිවීමේ ඉඩ කඩක් ඇතැයි කල්ප සහෝදරයා සඳහන් කළේය.

ආචාර්ය කල්ප රාජපක්ෂ අදහස් දක්වමින්..

ආර්ථික පීඩාකාරිත්වය තුලින් මතුවූ අරගලය,දේශපාලන අරමුණක් දක්වා ඉදිරියට ගිය ආකාරය පසුගිය අරගලයෙන් පැහැදිලි විය. එය අතර මග බිඳ වැටුණේ විවිධ සීමාකම් නිසා බව දුමින්ද නාගමුව සහෝදරයා අදහස් දක්වමින් කියා සිටියේය.නමුත් එහි ක්‍රියාකාරිත්වය නැවතී නැති අතර එහි කාර්ය භාරය මහජන කවුන්සිල සතු බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ය.

මෙම සමුලුව අවසානයේ පැවති සාකච්ඡාව සඳහා ජීවන්ත පීරිස් පියතුමා, බහුජන හා වෘත්තීය සංවිධාන නියෝජිත ජී.ඩී. දසනායක, නීතිඥ නුවන් බෝපගේ සහෝදරවරු සහභාගී වූහ. දිනෙන් දින ජනතාව මුහුණ දෙන පීඩාකාරිත්වය හා ප්‍රජාතන්ත්‍රීය ප්‍රවාහයේ හැකිලී යාම ඉදිරියේ ජනතා ව්‍යූහයන් නිර්මාණය කිරීම පමණක් නොව බලය ලබාගැනීමේ ඒකක වශයෙන් ක්‍රියාත්මක වීමේ හැකියාව මෙහි තිබේද යන්න විමසිල්ලට ලක්වීම වැදගත් කරුණකි.

සහභාගී වූ පිරිසෙන් කොටසක්..
Print Friendly, PDF & Email

Leave a Reply