You are currently viewing ‘ජාතික ගැටලුවට’ විසඳුමක් නැති සාකච්ඡා..

‘ජාතික ගැටලුවට’ විසඳුමක් නැති සාකච්ඡා..

පසුගිය සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති’ජාතික සංහිඳියා හා උතුරු නැගෙනහිර සංවර්ධන සැළසුම් සඳහා වන සර්ව පාක්ෂික සමුලුව’ අවසන් එකඟතාවයකින් තොරව නිමා වූ බව මාධ්‍යයේ සඳහන් වේ. යුද්ධය අවසන්වී වසර 14 ක් ගත වුවද උතුරු නැගෙනහිර සංහිඳියා හා සංවර්ධන වැඩ සටහන් බලාපොරොත්තු සහගත ඉලක්කයන් වෙත මේවන විටද ලඟා වී නොමැත.

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම මහජන නියෝජිතයන්ගේ ප්‍රබල ඉල්ලීමක් ලෙස මෙහිදී ඉදිරිපත් වී ඇති අතර ඒ සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රකාශනයක්ද සමුළුවෙන්  මතුවී නොමැත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පළාත් සභාවලට තරගකර එහි නියෝජනය ලබා ගැනීමේ හා පළාත් සභා මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු නියෝජනය ලබාගැනීමේ හැකියාව ඇතිකිරීම සම්බන්ධයෙන් නීති සම්පාදනය කිරීම ගැන මෙම සමුලුවේදී ජනාධිපතිවරයාගේ වැඩි අවධානය යොමුවී තිබේ.

ජනාධිපතිවරයා මේ පිළිබඳව වැඩි අවධාරණයකින් කරුණු ඉදිරිපත් කළද, රැස්ව සිටි මහජන නියෝජිතයින්ගේ සැළකිය යුතු  අවධානයක් ඒ වෙත යොමුවී නොමැත.මේ සම්බන්ධයෙන්  විවිධාකාර විවේචන ජන සමාජයේ මතුවෙමින් තිබේ. පවත්නා ගැටලු නිරාකරණය කිරීම වෙනුවට තවත් ගැටලු රාශියක් මේ යටතේ නිර්මාණ වෙනු ඇතැයි යන්න සංවාදයට ලක්වෙමින් පවතී.සමුලුවට සහභාගී වූ මන්ත්‍රීවරුන් වැඩි පිරිසකගේ අදහස වී ඇත්තේ දැනට අක්‍රීය වී ඇති පළාත් සභා පණ ගැන්වීමට කඩිනමින් මැතිවරණයක් පැවැත්වීම සුදුසුම ප්‍රතිකර්මය බවයි. ජාතික ගැටලුව විසදීම සම්බන්ධයෙන් පැහැදිලි අදහසක් ද ජනාධිපතිවරයා වෙතින් ඉදිරිපත් නොවීමද සැළකිය යුතු කරුණකි.

ඉකුත් අප්‍රේල් මස ජනාධිපතිවරයා හා ද්‍රවිඩ ජාතික මන්ත්‍රීවරුන් අතර පැවති සාකච්ඡාවේදී නව ව්‍යවස්ථාවක් පිළිබඳ ඉල්ලීම දැඩි ලෙස මතු කෙරුණි. පළාත් සභා මැතිවරණය වහාම පැවැත්වීම, දෙමළ රැඳවියන් නිදහස්කර ගැනීම එම ඉල්ලීම් අතර විය. ඉඩම් ගැටලුව විසදීම,බලය බෙදා හැරීම වැනි කරුණුද මෙහිදී සාකච්ඡාවට ලක්වූ බව ද්‍රවිඩ ජාතික පක්ෂ නියෝජිතයෝ මාධ්‍යට පවසා සිටියහ.

ජනතාව අරගල කරන ලද්දේ මුලුමනින්ම වෙනසක් ඉල්ලමින් යැයිද නමුත් ඊට ප්‍රතිවිරුද්ධ ක්‍රියාන්විතයන් දියත් වූ බවද මෙම සාකච්ඡා සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම්.එස්.සුමන්තිරන් මන්ත්‍රීවරයා මාධ්‍යට ප්‍රකාශයට කළේය.උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමේ අදහස් මෙහිදී නැවතත් මතුව තිබුණි.එම දෙපළාත එකතු කිරීම ද්‍රවිඩ ජාතික ගැටලුව විසඳීමේ පියවරයන් අතර ප්‍රධානවන බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු මේ අවස්ථාවේදී පෙන්වා දුන්හ.

ජාතික ගැටලුව සඳහා විසඳුමකට එළඹීමේ ඇති මාර්ගය ක්‍රමයෙන් මගහැරෙමින් තිබෙන බවට විවිධාකාර විවේචන ජන සමාජයේ මතුවෙමින් පවතී. ‘ජාතික ගැටලුව වහාම නිරාකරණය කළ යුතු බවට ජනාධිපතිවරයා විවිධ අවස්ථාවලදී කියා සිටියද, ඒ සඳහා නිශ්චිත ක්‍රියා මාර්ගයට ප්‍රවේශ නොවන්නේ ඇයිද යන්න ජන සමාජයේ සාකච්ඡාවට ලක්වෙමින් තිබේ. අක්‍රීයව ඇති පළාත් සභා පණගැන්වීමට ආණ්ඩුකාරවරයාට බලතල පැවරීමේ හා ඒ සඳහා උපදේශක කමිටු පත්කිරීමේ යෝජනා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන ලදි. නමුත් ජාතික ගැටලුව විසඳීමේ පැහැදිලි පණිවිඩයක් මෙහිදී ද ඉදරිපත් නොවුණි.

Leave a Reply