You are currently viewing රත්මලාන ජන අරගල සභාව පිහිටුවයි..!

රත්මලාන ජන අරගල සභාව පිහිටුවයි..!

2023.06.26 දින රත්මලාන ජන අරගල සභාව පිහිටුවීමේ මූලික සාකච්ඡාව ඇරඹුණි.මෙරට වාම ව්‍යාපාරයේ දීර්ඝ කාලීන සටන්කාමී කඳවුරක් වූ රත්මලාන ප්‍රදේශයේ මෙම ව්‍යාපාරය බලගැන්වීම සුවිශේෂී අවස්ථාවක් ලෙස හැඳින්විය හැක.

දුමින්ද නාගමුව සහෝදරයා මෙහි ආරාධිතයා වශයෙන් සහභාගී වූ අතර ප්‍රදේශයේ වාම ක්‍රියාකාරීන් කීප දෙනෙක්ම මෙම අවස්ථාවට සහභාගී වූහ.පවත්නා ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේ මුවාවෙන් ජනතාවගේ ප්‍ජාතන්ත්රීය පිවිසුම වසාදැමීමට රජය ගන්නා ක්‍රියාමාර්ගයන්ට එරෙහිව ක්‍රියාත්මකවීම මෙම සභාවේ අරමුණ විය.

වත්මන් පාලනය,රාජ්‍ය දේපල විකුණමින් ජනතාවගේ සුභ සාධන කප්පාදු කරමින් I.M.F. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර වැඩකරන ජනතාවගේ වෘත්තීය අයිතීන් කප්පාදුව තවදුරටත් අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් සිටින අන්දම දුමින්ද සහෝදරයා අදහස් දක්වමින් පැහැදිලි කළේය.

මේ වන විට ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය බිඳ දැමීමට විවිධ ක්‍රමෝපායන් රජය විසින් දියත් කරමින් සිටින බව ඔහු කියා සිටියේය. ‘ජන අරගලය’ යන සංකල්පයට මෙරට දේශපාලනයේ දීර්ඝ ඉතිහාසයක් ඇතැයිද, නව සමසමාජ පක්ෂය මෙම අදහස තියුණු ලෙස මතුකළ බවද ඔහු සඳහන් කළේය.

මෙම සභාව පිහිටුවීමේ මූලික කාර්ය භාරයක් ඉටුකළ දුලිප් පෙරේරා සහෝදරයා,මෙම ව්යාප්රුතිය සඳහා  ඉදිරි වැඩ සටහනක් සකස්කර ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දුනි. කාර්මික නගරයක් වූ රත්මලාන ප්‍රදේශයේ වැඩකරන ජනතාව සමග එක්ව පවත්නා පීඩාකාරිත්වයට එරෙහිව නැගී සිටීමේ වැදගත්කම ඔහු පැහැදිලි කළේය.

ඒ අනුව දැනට සාකච්ඡාවට ලක්වන කම්කරු අණ පනත් පිළිබඳව වැඩ කරන ජනතාව දැනුවත් කිරීම හා ඊට එරෙහිව කම්කරු ජනතාව එක්සත් කිරීම ප්‍රමුඛ කරුණක් වී ඇතැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ආසන්න ප්‍රදේශවල දැනට ක්‍රියාත්මකවන මහජන සංවිධාන සමග එක්ව ක්‍රියාත්මකවීමේ අවශ්‍යතාවය මෙහිදී සාකච්ඡාවට ලක්වුණි.මේ අවස්ථාවේදී මොරටුව මහජන කවුන්සිලය හා රත්මලාන වෘත්තීය සභාව සමගද එක්ව, පීඩාවට පත්වන ජනතාවගේ ගැටලු වෙනුවෙන් මැදිහත්වීම හා ක්‍රියාත්මකවීම සභාව විසින් ඒකමතිකව සම්මත කර ගන්නා ලදි.

දැනට පවතින සමාජ ආර්ථික ගැටළුවලට විසඳුම් සෙවීම පමණක් නොව පීඩාවට පත්වන ජනතාවගේ දේශපාලන අවශ්‍යතාවයන් වෙනුවෙන් එක්වීමද මෙහිදී දැඩි අවධාරණයට ලක් විය.

Leave a Reply