You are currently viewing ලීනස් සහෝදරයාගේ ගුණ සැමරුම..

ලීනස් සහෝදරයාගේ ගුණ සැමරුම..

සමාජවාදී ජනතා සංසදයේ හා එක්සත් කම්කරු සම්මේලනයේ හිටපු සභාපති ලීනස් ජයතිලක සහෝදරයාගේ වර්ෂපූර්ණ ගුණ සැමරුම 2023.06.08 දින මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදී පවත්වන ලදි.ලාංකේය සමාජවාදී දේශපාලනයට හා වෘත්තීය සමිති ව්‍යාපාරයට ලීනස් සහෝදරයා විසින් ඉටුකරනලද මහගු මෙහෙවර මෙහිදී අගැයීමට ලක්විය.

ලීනස් සහෝදරයාට උපහාර වශයෙන් කෘෂිකර්මයේ අරගලය නමැති කෘතිය එළිදැක්වීම මහාචාර්ය සුමනසිරි ලියනගේ සහෝදරයා විසින් සිදු කෙරුණි. ලීනස් සහෝදරයා මෙරට ගැමි ගොවිජන ක්ෂේත්‍රයට කරනලද මහත් සේවාව වෙනුවෙන් මෙම කෘතිය ජනතාව හමුවට ගෙන ඒම සිදුකරන බව සුමනසිරි සහෝදරයා ප්‍රකාශ කළේය.

මෙම සැමරුම් උත්සවය ආචාර්ය කල්ප රාජපක්ෂ සහෝදරයා විසින් මෙහෙයවන ලදි. ජන හමුවේ විශේෂ දේශනවලදී ‘පාරිසරික කෘෂිකර්මයේ මූලයන් තුන,මාතෘකාව යටතේ බුද්ධි ජයසූරිය සහෝදරයා අදහස් ඉදිරිපත් කළ අතර ලීනස් සහෝදරයාද මෙම මූලධර්මයන් මහත් ඉහලින් අගය කළ බව සඳහන් කළේය.

කෘතිය මිලදී ගැනීම සඳහා විමසන්න: Marx School, No. 17, Barracks Lane, Colombo 2. Tel: 011 2 324053 | 077 2 680 009 | 071 8 759 530

කඳුකරයේ තේ වගාවටද නව භාවිතයන් හඳුන්වාදීමේ හා පාරිසරික කෘෂිකර්මාණ්තයක් වෙත ළගාවීමේ කාලය එළඹ ඇතැයිද මෙය ලීනස් සහෝදරයාගේ දැඩි අවධානයට යොමුවූවක් බවද බුද්ධි සහෝදරයා  කියා සිටියේය.පාරිසරික කෘෂිකර්මය යනු කාබනික පොහොර වෙත නැඹුරුවීම පමණක් නොවන බවද මෙහි පවත්නා මූලික සංකල්ප පිළිබඳ ගැඹුරු අවබෝධයක් හා හැදෑරීමක් ලීනස් සහෝදරයා විසින් කර තිබූ බව සිය මතකයේ සටහන්ව ඇතැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙහිදී චින්තක රාජපක්ෂ සහෝදරයා අදහස් ප්‍රකාශකරමින් ගැමි කෘෂි නිෂ්පාදන මාදිලියේ පැහැදිලි වෙනස්කම් සිදුකිරීම වෙනුවෙන් ලීනස් සහෝදරයා තීරණාත්මකව මැදිහත්ව කටයුතු කළ බව සඳහන් කළේය.වෙළඳපල තුල පවත්නා බෙදාහැරීම,මිල නියමකිරීම වැනි අත්‍යවශ්‍ය කරුණුවලද තියුණු වෙනස්කම් සිදුවිය යුතුයැයි එම සහෝදරයාගේ විශ්වාසයවූ බව චින්තක සහෝදරයා කියා සිටියේය.

ලීනස් සහෝදරයා කම්කරු ජනතාවගේ අයිතීන් සම්බන්ධයෙන් පමණක් නොව ගැමි ගොවි ජන අයිතීන් වෙනුවෙන්ද කැපවී සිටි නායකයෙකුයැයි රැස්ව සිටි සභාවේ අදහස් ප්‍රකාශකරමින් කරමින් ටෙරන්ස් ගාමිණී සහෝදරයා සඳහන් කළේය.මෙහිදී නිශාන්ත ගුණරත්න පියතුමා අදහස් ප්‍රකාශ කරමින් ලීනස් සහෝදරයා ජාතීන් අතර සංහිඳියාව ගොඩනැගීමේදී සුවිශේෂී කාර්ය භාරයක් ඉටුකළ බවත් ඔහු හා සමීපව ඇසුරුකළ අයෙකු වශයෙන් ලීනස් සහෝදරයා තුල පැවති මානව දයාව, තැන්පත්කම විශේෂයෙන් අගය කළයුතු බවත් පෙන්වා දුනි.

මෙරට ජනතාවගේ පීඩාකාරිත්වයට එරෙහි දීර්ඝ කාලීන අරගලය සමග ලීනස් සහෝදරයා බද්ධවී සිටියේය.සිය ජීවිත කාලයේදී මහත් කැපවීමෙන් ඉදිරියට ගෙන ගිය අරමුණ සපුරාලීමේ මහගු කර්තව්‍ය වෙනුවෙන් මැදිහත්වීම මෙරට වැඩකරන ජනතාවගේ වගකීමයි.

Leave a Reply