You are currently viewing එගොඩ ගොඩෙත් රත්තරං මෙගොඩ ගොඩෙත් රත්තරං..

එගොඩ ගොඩෙත් රත්තරං මෙගොඩ ගොඩෙත් රත්තරං..

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රී අලි සබ්‍රි රහීම් රුපියල් දශලක්ෂ 70ක් වටිනා රන් සහ රන් භාණ්ඩ කි. ග්‍රෑම් 3.5ක් කටුනායක ගුවන් තොටුපොළේ විශේෂ අමුත්තන් සඳහා වෙන් කළ පර්යන්තයෙන් පිටතට ගෙන ඒන අවස්ථාවේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගැනීම උත්තරිතර පාර්ලිමේන්තුවේ දී කතා බහට ලක් විය. සමහරුන්ගේ අදහස වූයේ එම මංත්‍රී හොර වංචාවක් පිළිබඳව අත් අඩංගුවට ගෙන ඇති නිසා පාර්ලිමේන්තුවෙන් නෙරපා හැරිය යුතුය යන්නයි. තව දුරටත් කරුණු පැහැදිලි කළ ගරු මංත්‍රීන්ගේ තර්කය වූයේ එවැනි වංචාවක් සම්බන්ධයෙන් ගරු මංත්‍රීවරයෙකු අත් අඩංගුවට ගැනිම අනෙකුත් මංත්‍රීන්ගේ ගෞරවයට සහ කීර්තියට හානියකි.  එය ආරක්ෂා කර ගැනීම සඳහා ඔහු පාර්ලිමෙන්තුවෙන් ඉවත් කිරීමට අනිවාර්යෙන්ම පියවර ගත යුතුය යනුවෙනි.

කෙසේ වුවත් රේගුවෙන් නියම කළ දඩය රුපියල් ලක්ෂ 75 ගෙවූ ඔහු පසු දා උත්තරීතර පාර්ලිමේන්තුවට පැමිණ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඉවත් කිරීමට ගෙන ආ යෝජනාවට විරුද්ධව ඡන්දය දීමෙන් තමා තෝරා පත් කළ ජනතාව වෙනුවෙන් යුතුකම ඉටු කෙළේය. මෙය විශේෂයෙන් වැදගත් වන්නේ ඔහු ද අයත්වන ආණ්ඩුපක්ෂයේ අන් සියලුම මංත්‍රීන් එම යෝජනාවට පක්ෂව ඡන්දය දුන් අවස්ථාවක ඔහු ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම ය. සමහර විට ආණ්ඩු පක්ෂය ඒ වෙනුවෙන් ඔහුට විරුද්ධව විනයානුකූලව කටයුතු කිරීමට ද ඉඩ ඇත. ගරු මංත්‍රිවරයා ඒ කිසිත් නොතකා යෝජනාවට විරුද්ධව ඡන්ද දෙන්නට ඇත්තේ හෘද සාක්ෂිය අනුව කටයුතු කිරීම නිසා විය හැකිය.

ඔහුගේ හෘද සාක්ෂිය වන්නේ විදුලි බිල වැඩි කිරීම නිසා රට පුරා ඇති ජනතා විරෝධයට සවන් දීම නොවේ. ප්‍රකාශ නොකර රන් සහ රන් භාණ්ඩ (ඊට අමතරව ස්මාර්ට් පෝන්) ගෙන ඒම නිසා අත් අඩංගුවට පත් අවස්ථාවේ දී ඉන් ගලවා ගැනීමට ජනාධිපති සහ අගමැති ඔහු වෙනුවෙන් ඉදිරිපත් නොවිම ය. අනිත් කාරණය මෙම රන් ඔහුගේ නොවීම නිසා ද අත් අඩංගුවට ගැනීමත් රේගුවේ නිති රීති අනුව උපරිම දඩයක් ගෙවීමට නියම කිරීමත් අනුන්ගේ පව්වලට කර දීමකි. ඔහු මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ඉවත් කිරීමේ යෝජනාවට ආණ්ඩු පක්ෂයේ තීරණයට එරෙහිව ඡන්ද ප්‍රකාශ කර ඇත්තේ අනුන්ගේ පව්වලට කර ගැසිමට සිදුවීම නිසා විය හැකිය. ඔහුගේ ඡන්දය නැති වුවද ආණ්ඩුව ගෙන ආ යෝජනාව පහසුවෙන්ම ජය ගත්තේය.

මීට පෙර ගරු මංත්‍රීන්ලා හොර බඩු ගෙන ඒම නොකළේයැයි  අනුමානය කළ නොහැකිය. එකම දේ අත් අඩංගුවට පත් නොවිම පමණි. අත් අඩංගුවට පත්ව ඇත්තේ විවිධ හේතු නිසා විය හැකිය. අත් අඩංගුවට පත් වුවත් අගමැතිට හෝ ජනාධිපතිට දන්වා ඉන් ගැලවිය හැකියැයි විශ්වාසයක් ඔවුන් තුල තිබෙන්නට ඇත. අලි සබ්‍රි ගේ කෝපයට හේතු වූයේ එම පුද්ගලයන් දෙදෙනා තමන් වෙනුවෙන් මැදිහත් නොවීමය. එවැනි මැදිහත්විම් මීට පෙර තිබෙන්නට ඇත. ව්‍යාජ ගමන් බල පත්‍රයකින් පැමිණි පුද්ගලයෙකුට රටට ඇතුළුවීමට හැකිවූයේ නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ තුණ්ඩුවකිනි.

කෙසේ වුවත් අලි සබ්‍රි සිද්ධියෙන් නැවතත් කියවෙන්නේ මේ රටේ නිති පද්ධතිය ක්‍රියාත්මක වන්නේ පුද්ගලයාගේ තත්වය, දේශපාලන සම්බන්ධතා සහ බලයේ සිටින අයගේ වුවමනාව මතය යන්නයි. සාමාන්‍ය මතය උසාවියෙන් වැරදිකරුවෙකු සේ නම් කරන තෙක් මංත්‍රී කෙනෙකු හෝ වෙනත් පුද්ගලයෙකු නිර්දෝෂි ලෙස පිළිගැනීම යි. එහෙත් නීතිය ක්‍රියාත්මක කරන බලධරයන්ට අවශ්‍යනම් උසාවි තීරණය ලැබීමට පෙරම කිසිවෙකු වැරදිකරු කළ හැකිය. ඒ සමහර විට අවුරුදු ගණන් රැඳවුම් බන්ධනාගාර ගත කිරීමෙනි. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරුව සිටි වසන්ත මුදලිගේ දින දෙසියකට ආසන්න කාලයක් රඳවා ගත්තේ කිසිසේත් අදාල නොවන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය. තවත් එවැනි අවස්ථා අපමණ ඇති නමුත් ඒ එකින් එක දැක්වීම අනවශ්‍ය ය. වැදගත් වන්නේ බලධාරීන්ගේ කැමැත්ත අනුව කෙනෙකුට දඬුවම් පැමිණවීමේ හැකියාවක් පවතින්නේය යන්නයි.

ඒ ආකාරයටම උසාවියෙන් වැරදිකරුයැයි විනිශ්චය කළ විට ද බලධාරීන්ට අවශ්‍ය නම් එම පුද්ගලයා ට නියම වූ සිර දඬුවමට හෝ වෙනත් දඩයකට ලක් නොවී සිටීමට අවස්ථා ද සැලසිය හැකිය. නිදසුනක් වශයෙන් දැනට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග ට සිර දඬුවමක් සහ දඩ මුදලක් අධිකරණයෙන් නියම වුවද ඔහුට ඒ කිසිවකට ලක් නොවී ඇමතිකම් දැරීමටත් පාර්ලිමේන්තු කටයුතුවලටත් සහභාගිවීමට හැකිය. එහිදී ඔහුට පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී ඕනෑම දෙයක් කිව හැකිය. ඒ ඔහු අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබීම නිසා එම තීරණය ලැබෙන තෙක් නිර්දෝෂී සේ සැලකීමේ භාවිතය නිසාය. සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර ගමන් බලපත් පමණක් නොව පාර්ලිමේන්තු මංත්‍රී තනතුරු ලබා ගැනීම ද අධිකරණ තීන්දු ලැබෙන තෙක් සාධාරණ සේ සැලකීමේ භාවිතයක් පවති.

මූලික අයිතිවාසිකම් කඩ කිරීමේ චෝදනාව මත ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වන්දි ගෙවීමට නියමිත වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මංත්‍රීකමත් පක්ෂයේ නායකකමත් දරන්නේ නීතිය ගැන කිසිම තැකීමක් නැතිවය.

මෙහි දී අපට අසල්වැසි ඉන්දියාවේ භාවිතයක් ගැන සිහිපත් කිරීම වැදගත් ය. ඉන්දියානු කොංග්‍රසයේ නායකයෙකු මෙන්ම නේරු පරම්පරාවේ උරුමක්කාරයෙකු ද වන රාහුල් ගාන්ධි වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදි ට අපහාසයක් කරන ලදැයි අධිකරණයෙන් විනිශ්චය කළ වහාම ලෝක් සභාවෙන් නෙරපා හැරීමට එරට පාර්ලිමේන්තුව ක්‍රියා කර ඇත. රාහුල් ගාන්ධි අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබීම මංත්‍රී ධුරයේ රැඳී සිටීමට සාධකයක් වූයේ නැත. ඉන්දියාවෙන් ගෙන ආ බුද්ධාගම රාජ්‍ය ආගම වී ඇති අපේ රටේ පාර්ලිමේන්තුව ක්‍රියා කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් ආකාරයට ය

ඇත්තෙන්ම අලි සබ්‍රි මංත්‍රීවරයා ගේ සිදුධිය හුදකලා එකක් නොවේ. එය දිනපතාම රටේ සෑම තැනකමත් සෑම මට්ටමකත් සිදු වන අපමණ සිද්ධීන්ගෙන් වෙනස් වන්නේ නැත. එකම දේ එය මාධ්‍යයේ ප්‍රචාරය වීම පමණි. සමාජ මාධ්‍ය ජාලවලත් පුවත් පත්වලත් පළ වීම නිසා පාර්ලිමේන්තුවටත් මග හැරීමට නොහැකි සිද්ධියක් විය. තමන් සුදනාවීමේ න්‍යාය අනුව නොයෙකුත් පාර්ලිමේන්තු මංත්‍රීන්ට ඒ ගැන කතා කළ හැකිය. ප්‍රකාශ නිකුත් කළ හැකිය. ඒ කිසිවකින් මෙවැනි අකටයුතු නිතිපතා සිදුවීම වැළැක්විමටත් වැරදිකරුවන්ට දඬුවම් දීමටත් වැඩ පිළිවෙළක් සැකසෙන්නේ නැත. එම උනන්දුව සෝඩා බෝතලයක පෙණ නැගෙන ආකාරයට මතුවී කෙටි කලකින් නැතිව යනු ඇත. පාලකයන්ට හිතවත් පක්ෂපාතී අය වෙනුවෙන් ක්‍රියාත්මක වන මුක්තිය රටේ පවතින අන් සියලු නිතිවලට වඩා ප්‍රබල ය. එය යොදා ගන්නේ කන්න හිතුණාම කබර ගොයාත් තලගොයාය යන නියමයෙනි.

මෙවැනි අමන ප්‍රතිපත්තියක් නැති කළ හැකි වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පොරොන්දු වී ඇති ආකාරයට දූෂණ වංචා වැළැක්වීමට තව තවත් නීති ගෙන ඒමෙන් නොවේ. දූෂණ හා වංචා වැළැක්වීමට අවංකවම අවශ්‍යතාවයක් ඇත්තේනම් දැනට පවතින නීති ඊට හොඳටම ප්‍රමාණවත් ය. ඒවා ක්‍රියාත්මක නොවන්නේ පාලකයා ඊට අකමැතිවීම නිසාය. නීතිය ක්‍රියාත්මක කිරීම වැළැක්වීම පාලකයාගේ අවශ්‍යතාවය වන නිසාය.

උත්ප්‍රාසය වන්නේ අලි සබ්‍රි ගේ සිද්ධිය පාරිභෝගකයාගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා පිහිටුවා ඇති ස්වාධීන කොමිෂන් සභාවක සභාපති ඉවත් කිරීමට ආණ්ඩු පක්ෂයෙන්ම යෝජනාවක් ගෙන ආ දිනයේම සිදුවීම ය. ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමේ අවශ්‍යතාවය පැන නැගුනේ පාලකයන් ජනතාවගේ වුවමනාවන් නොසලකා ඒවාට හානිකර ආකාරයෙන් ක්‍රියාත්මක වන නිසාය. එහෙත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙන ආ ආකාරයත් එහිදී මංත්‍රීන් කරුණු ඉදිරිපත් කළ ආකාරයත් සැබැවින්ම ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාත්මකවීම ආණ්ඩුවේ කැමැත්ත නොවන බව පැහැදිලිය.

හිටපු සභාපතිවරයාට එරෙහිව නැගුණු එක චෝදනාවක් වූයේ එය දේශපාලන පත්වීමකි යන්නය. මෙවැනි ප්‍රකාශ ගැන සිනා විය යුතුද මහ හඬින් හැඬිය යුතුද යන්න දේශපාලන පිල්වල ඔබ සිටින පැත්ත අනුව තිරණය වන්නකි. කෙසේ වුවත් වැදගත් වන්නේ දේශපාලන පත්විම් පාර්ලිමේන්තුවේ කතානායකගේ සභාපතිත්වයෙන් යුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයෙන්ම කර ඇති ඒවා වීමය. ඊට නම් ඉදිරිපත් කරන්නේ තවත් දේශපාලකයෙකු වන ජනාධිපති විසිනි. දැනට සිටින ජනාධිපති ට ජනවරමක් හෝ නොමැති නිසා සම්පුර්ණයෙන්ම ඔහුගේ කැමැත්ත අනුව සිදුවන පත්වීම් ය. එවිට දේශපාලන පත්වීම්වලට විරුද්ධව මේ මැති ඇමතීන් අවංකවම පියවර ගැනිමට සූදානම් ද යන්න ඇසිය යුතුය. ගත වූ දශත හතක කාලය තුළ පැහැදිලිවම දක්නට ලැබුණේ සියලුම පත්විම්වලදී දේශපාලනය ප්‍රමුඛත්වයට පත්වීම ය. එය වෙනස් කිරීමට මෙතෙක් සාධනීය පියවර කිසිත් ගෙන නැත. මහජන බලපෑම නිසා සහ සමාජයේ අවශ්‍යතාවයක් නිසා 1975 අංක 1 පනතින් වත්කම් හා වගකීම් ප්‍රකාශ කිරීමේ නීතියක් සම්මත කර ගත් නමුත් එහි කිසිදු සමාජයිය බලපෑමක් නැත. ප්‍රකාශ කරන තොරතුරු පරමාධිපති බලය ඇතැයි කියන ජනතාවට දැන ගැනීමේ අවස්ථාව භාවිතයෙන් වළක්වා ඇත. අඩුම වශයෙන් මෙම ව්‍යවස්ථා සම්පාදකයන්ගේ අධ්‍යාපන සුදුසුකම් හෝ ප්‍රකාශ කිරීමට ඔවුන් සූදානම් නැත.

එමනිසා අලි සබ්‍රි රහීම් ගේ සිදධිිය අහඹුවක් කර දැක්වීම පාලකයන්ටත් පාලන බලය අපේක්ෂා කරන අයටත් ප්‍රයෝජනවත් දේශපාලන තුරුම්පුවකි. එහෙත් ඉන් යුක්තිය හා සාධාරණත්වය ඉටු වන්නේයැයි කිසිසේත් අපේක්ෂා කළ නොහැකිය.      

Leave a Reply