You are currently viewing වැල්ලේ හිස ඔබා ගෙන ජෙරමි ප්‍රනාන්දු දඬු කඳේ ගසන සමාජයක්..

වැල්ලේ හිස ඔබා ගෙන ජෙරමි ප්‍රනාන්දු දඬු කඳේ ගසන සමාජයක්..

අඬන්න ඉන්න එකාගෙ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ අවස්ථාවක් පවතින දේශපාලනයේ පව් සෝදා ගැනිමට වලිකමින් සිටි දේශපාලකයන්ට ලැබිණ. ඒ ජෙරොමි ප්‍රනාන්දු නම් පූජකයෙකු බුද්ධාගමට අපහාස වන ප්‍රකාශයක් කර ඇතැයි යන්න මුල් කර ගෙන ය. මෙම ප්‍රකාශයත් සමග වසර දෙදහස් පන්සියකට අධික කාලයක් පැවති බුද්ධාගම විනාශ වන්නේයැයි කෝපයට පත් භික්ෂූන් වහන්සේලාත් සිංහල බෞද්ධකම නිසා දේශපාලන බලය ලබාගත් දේශපාලකයෝත් ආගමේ ආරක්ෂාවත් මිථ්‍යාදෘෂ්ටිකයා ගේ විනාශයත් පතා ඉදිරියට පැමිණ ඇත්තේ පුදුම සහගත ආගම් භක්තියෙනි. නිතරම ජනතාව ගැන අධිසංවේදීතාවයක් දක්වන  ප්‍රධාන ප්‍රවාහයේ ජනමාධ්‍යය ද අනෙකුත් සියලු ප්‍රශ්න අමතක කර දමා ජෙරමි ප්‍රනාන්දු දඬු කඳේ ගැසීමට ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් ව සිටිති.

ආගම් ධර්මයේ කුමක් සඳහන් වුවත් ඒ ඒ ආගම් අදහන අය තුළ ඇත්තේ භක්තියකි. නැතිනම් ඇදහීමකි. පරම්පරා ගණනාවක් තිස්සේ පැවත එන එම භක්තිය නැතිනම් ඇදහීම වෙනස් කිරිම අසීරු දෙයකි. මධ්‍යකාලීන යුගයේ යුද්ධ මගින් ආගම් භක්තිය පැතිරීමට උත්සාහ කෙළේ දේශපාලන බලය තහවුරු කර ගැනීමට සහ එම පාලකයන්ට අවනත පිරිසක් බිහි කිරීම සඳහා ය. කෙසේ වුවත් ආගම බලහත්කාරයෙන් පැටවීම හැම විටම සාර්ථක වන්නේ නැත. ලංකාවේ පෘතුගීසි, ලන්දේසි සහ බ්‍රිතාන්‍ය පාලන සමයේ එවැනි උත්සාහ ගත් නමුත් ඒවා සාර්ථක වූයේ අඩ වශයෙනි. ආර්ථික සහ දේශපාලන වාසි නිසා ආගම් මාරු කළ සමහර සිංහල අය පවා පාලන ක්‍රමයේ වෙනසත් සමග නැවත බුද්ධාගම වැළඳ ගත් බවට මෑත ඉතිහාසයේ සාක්ෂි ඇත. කෙසේ වුවත් වැදගත් වන්නේ කුමන තර්ජන පැමිණියත් ආගමක් සම්පූර්ණයෙන් අතු ගා දැමීම කිසි විටෙක සාර්ථක නොවන බව ඉතිහාසයෙන් කියවෙන පාඩමයි.

එවැනි පසුබිමක ජෙරමි ප්‍රනාන්දුගේ ප්‍රකාශයක් ගැන රටම කැළඹීමට පත් කිරීමට උත්සාහ ගැනීම තුළ නොකියවෙන කතා ද ඇති බම අනුමාන කළ හැකිය. යථාර්ථවාදීව බලන විට එම ප්‍රකාශයෙන් ආගම් භක්තිකයන්ට කිසියම් සිත් රිදවිමක් හෝ වේදනාවක් ඇති වුවත් එය ආගම අත්හැර දැමීමට හෝ විශේෂයෙන්ම බුද්ධාගමේ ඉගැන්වෙන කරුණාව, මෛත්‍රිය සහ උපේක්ෂාව අත්හැර දමා වෛරය ක්‍රෝධය හා ද්වේෂය වඩවා ගැනීමට හේතුවක් වන්නේ නැත. බුදුන් වහන්සේගේ කාලයේ පවා මෙවැනි නින්දා අපහාස සිදු වුවත් උනවහන්සේ ඉන් සැලුනේ නැත. එවැනි අවස්ථාවල කරුණාව මෛත්‍රිය වඩා එවැනි පුද්ගලයන් දමනය කෙළේ කායිකව පීඩාවට ලක් කොට නොව දැනුම සහ බුද්ධිය වඩවා එය තේරුම් කර දීමෙනි. ඉන් පැහැදිලි වන්නේ තමන් දේශනා කරන ධර්මය කෙරේ උන්වහන්සේ ගේ ඇති විශ්වාසය යි.

එවැනි දහමක් පිළිපැදීමට සපථ කර සිටින ඒ වෙනුවෙන් ජීවිතය කැප කර සිටින ඇතැම් භික්ෂූන් වහන්සේලා ගේ ප්‍රකාශ සහ ක්‍රියා වඩාත් ගැලපෙන්නේ කරුණාව මෛත්‍රිය මුල් කර ගත් ආගමකට නොවේ.

මිථ්‍යාදෘෂ්ටිකයා ඉන් මුදා ගත හැක්කේ සම්‍යක්දෘෂ්ටියෙන් පමණක් බව බුදුන් වහන්සේම දක්වා ඇති මාර්ගයයි.

එහෙත් සමහර භික්ෂූන් වහන්සේලා සහ ඔවුන්ගේ අනුග්‍රහයෙන් වැජඹෙන දේශපාලකයන් ජෙරමි ප්‍රනාන්දුගේ ප්‍රකාශය උපයෝගි කර ගෙන ඇත්තේ ඔවුන්ගේ පෞද්ගලික පරමාර්ථ සහ අපේක්ෂාවන් ඉටු කර ගැනීමටය. ආගම වෙනුවෙන්ම පිහිටුවා ගෙන ඇති එක්තරා සංගමයක නායක වහන්සේගේ යෝජනාව වූයේ මෙවැනි ප්‍රකාශන කරන අයට දඬුවම් ලබා දීම සඳහා දැඩි නීති පැනවිය යුතුය යන්නයි. එය අසා සිටින පුහුදුනෙකුට දැනට පසු පසට දමා සිටින ප්‍රතිත්‍රස්ත පනත වහාම සම්මත කර ගැනීමේ අවශ්‍යතාවයක් ඇතැයි සිතෙනු ඇත. දැනට එක්සත් ජාතීන්ගේ සංගමයෙන් සම්මත කර ශ්‍රී ලංකාව අපරානුමත කර ඉන් පසුව එහි මුල් සන්ධානයේ අරමුණු විකෘතිවන ආකාරයෙන් පාර්ලිමේන්තුවෙන් සම්මත කර ඇති අන්තර්ජාතික සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සන්ධාන පනත ( ICCPR පනත ) යටතේ ගත හැකි නීති පියවර ප්‍රමාණවත් නොවන බව එම ප්‍රකාශයෙන් හැඟේ. එම පනත යටතේ සාහිත්‍ය නිර්මාණයක් පවා වරදක්යැයි සලකා වසර ගණනාවක් පුද්ගලයෙකු සිරකර ගත කොට තැබිය හැකි බව පොලීසියෙන් උගන්වා ඇති පාඩම් ප්‍රමාණවත් නොවේ.

ජෙරොමි ප්‍රනාන්දු

මේ සමගම ප්‍රකාශයක් කළ හිටපු ජනාධිපතිවරයෙකු වූ මෛත්‍රිපාල සිරිසේන බුද්ධාගමේ තිරශ්චිතය සඳහා දිවි කැප කිරීමට පවා සූදානම්යැයි අනතුරු හැඟවූයේය. මෙම පුද්ගලයා ජනාධිපති තනතුරේ සිටිය දී ක්‍රිස්තියානි ආගමේ සිද්ධස්ථාන ඉලක්ක කර ගෙන පාස්කු ඉරිදා ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුම් දැන සිටියත් ඒවා වැළැක්වීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කොට වන්දියක් ගෙවීමට ද නියම කර සිටින අයෙකු බව සිහිපත් කළ යුතුය. ඔහුගේ ආගම් භක්තිය උද්දීපනය වන්නේ බුද්ධාගම සම්බන්ධයෙන් පමණක් නම් එය ද බරපතළ කරුණකි. ප්‍රාණ ඝාතනය නොකිරීම බුද්ධාගමේ පළමු ශික්ෂා පදය බව අමතක කළ අයෙකි.

මෙම අවුල මධ්‍යයේ මහනුවරට ගොස් අස්ගිරි මල්වතු දෙපාර්හ්වයේම නායක හිමිවරුන් හමු වූ ජනවරමක් නොලත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි දිනක තමා ගේ සංචාරයේ දී ථේරවාදී බුදු දහම ඉගැන්වීමට විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීමට ජපානයේ සහාය යදින බව කීවේය. මෙම යැදීමත් ජෙරමි ප්‍රනාන්දු සිද්ධියත් අතර සෘජු සම්බන්ධතාවයක් නැති නමුත් එකම සිද්ධි දාමයක පුරුකක් බව තේරුම් ගැනීම අපහසු නොවේ. දැනටමත් බුද්ධාගමේ මුල්ම ඉගැන්වීම් පවතින පාලි භාෂාව සහ බුද්ධාගම ඉගැන්වීම සඳහා ම විශ්ව විද්‍යාලයක් පවතින බව අමතක කළ යුතු නැත. රනිල්ට අවශ්‍ය වන්නේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය පුළුල් කිරීමට වඩා භික්ෂූන් වහන්සේලාගේ හොඳ හිත දිනා ගැනීම බව සැඟවිය හැකි දෙයක් නොවේ.

මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් එකිනෙක කඩ කරමින් නීතිය නොසලකා බලහත්කාරය සහ ප්‍රචණ්ඩත්වය රජ කරවීමට උත්සාහ ගන්නා සමාජයක ජෙරමි ප්‍රනාන්දු වැන්නන් කුමන හෝ ආගමක නාමයෙන් ජනතාව මුළා කිරීමටත් එය තමන්ගේම ආත්ම ලාභය සඳහා යොදා ගැනීමත් සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. ආගමේ නාමයෙන් දේශපාලන බලය ලබා ගත් බොහෝ දෙනෙකු ජෙරමි ප්‍රනාන්දුගේ ප්‍රකාශයෙන් ආගමට සිදු කරන්නේයැයි කියන හානියට වඩා සිය දහස් ගුණයකින් විශාල හානි ආර්ථිකයට කර ඇත. මෙහි උත්සන්නම අවස්ථාව රටම බංකොළොත්වීමය. ජනතාවගේ ධනය කොල්ල කෑ බවට පැහැදිලි සාක්ෂි තිබිය දීත් ඔවුන්ට නීතියෙන් දඬුවම් කිරීමට නිසි පියවර ගෙන නැත. මහ බැංකු මංකොල්ලය, සීනි ජාවාරම සහ අලුත්ම සිද්ධිය වන එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වන්දි ලබා ගැනීම වැනි කරුණු ගැන මහජනයාගෙන් නැගෙන විරෝධය ජෙරමි ප්‍රනාන්දුගේ ප්‍රකාශය තරම් වැදගත් නැත. හාස්‍යයට කරුණ වන්නේ අයථා මාර්ගවලින් දේශපාලන කඩතුරාව හරහා කෝටි ප්‍රකෝටි ගණන් මුදල් උපයා ගත් අය පවා ජෙරමි ප්‍රනාන්දුට දඬුවම් කළ යුතුය යන සරුවපිත්තල පෙළපාලියේ ඉදිරයෙන්ම ගමන් කිරීම ය. ඒ අයම ජෙරමි ප්‍රනාන්දු උපයා ගෙන ඇති ධනය කළු සල්ලි සේ හංවඩු ගසා ඒ ගැන පරීක්ෂණ කරන මෙන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.

ජෙරමි ප්‍රනාන්දු වැනි අය බිහි වන්නේ අහම්බයෙන් නොවේ. එය ආගමකට පමණක් සීමා වන්නේ නැත. දිගනින් මතු වූ වඳපෙති කතාවද එවැන්නකි. කුරුණෑගල රෝහලේ වන්ධ්‍යකරණය ද තවත් එවැනිම සිද්ධියකි. මේ සියල්ලේම අවසාන ප්‍රතිඵලය වූයේ ජනතාව අතර වෛරය සහ ක්‍රෝධය වපුරා ආර්ථිකයත් සමග සදාචාරය විනාශ කිරීම ය. ඉන් සිදු වූ හානිය කොවිඩ් 19න් සිදු වූ හානියට වඩා බරපතළ වන්නේ ජන සිත් සතන් තුළ වෛරය ක්‍රෝධය සහ භීතිය රෝපණය කිරීම නිසා ය.

රටේ නීතිය පිරිහීම ආගම් භක්තියෙන් පමණක් ගොඩ ගත හැකි විනාශයක් නොවේ. පාලකයන් වේදිකාවලින් මොර දෙන ආකාරයට නිතිය උස් මිටිකම් හෝ රුපියල් ශත නොබලා කියාත්මක වන්නේනම් රටේ සාමය අනිවාර්යෙන්ම තහවුරු වනු ඇත. දේශපාලකයන් නීතිය ක්‍රියාත්මකවීම තමාගේ අනුමැතියට යටත් කර ගැනීම නිසා ජෙරමි ප්‍රනාන්දුත් වෙනත් චංචාකරුවනුත් සහාය පතන්කේ දේශපාලකයන්ගෙනි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග ජෙරමි ප්‍රනාන්දුට ඡායාරූපයක් ගැනීමට අවශ්‍ය වන්නේ දේශපාලන අනුග්‍රහය තමාට පවතින බව පෙන්වීමට ය. එය ඔහුගේ ආගම් විරෝධී කටයුතු නීතියෙන් ආවරණය කිරීමට ගත් උත්සාහයකි. එය සාර්ථක වූ බව ඔහු උපයා ගත්තේයැයි කියන ධනයෙන් සහ ඔහුගේ සුඛෝපභෝගී ජීවන ශෛලියෙන් තහවුරු කරයි.

එමනිසා ජෙරමි ප්‍රනාන්දු දඬු කඳේ ගැසීමට ඉදිරිපත් වන සියලු දෙනාට ආගමත් සමාජයත් ගැන කිසියම් හෝ කැක්කුමක් ඇතිනම් කළ යුත්තේ පාලකයන්ට තෝරා ගත් සිද්ධි පිළිබඳව පමණක් නොව සමාජයේ සියලු අකටයුතුකම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට බලපෑම් කිරීමය. වෙනත් වචනයකින් නීතියේ ආධිපත්‍යය පිළිපැදීම සහ ඊට ගරු කිරීමය. නීතිය පිලිපැදීම යනු අපරාධ නීති සංග්‍රහයේ ඇති ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීම පමණක් නොවේ. මැතිවරණ නීතිය ඇතුළත් සෙසු නීති ක්‍රියාත්මක කිරීමද ඊට ඇතුළත්ය.

එවැනි සන්දර්භයක පාලකයන් නීතිය නොසලකා කටයුතු කිරීම ජෙරමි ප්‍රනාන්දුගේ ආගම් විවේචනයට දෙවැනි වන්නේ නැත.   

Print Friendly, PDF & Email

Leave a Reply