You are currently viewing ජන වරමක් නැතිව රට පාලනය කිරීමට වලි කන රනිල් වික්‍රමසිංහ..

ජන වරමක් නැතිව රට පාලනය කිරීමට වලි කන රනිල් වික්‍රමසිංහ..

අනුප්‍රාප්තික ජනාධිපති තනතුරට පත් රනිල් වික්‍රමසිංහ පසුගිය සති අන්තයේ නුවරඑළියේ පැවති ශ්‍රී ලංකාවේ ජාතික නීති සමුළු රැස්වීමේ දී අපූරු හෙළිදරව්වක් කෙළේය. ඇත්තෙන්ම ඔහුට අපූරුවක් වුවත් ලංකාවේ ජනතාවට නම් එය අපූරු දෙයක් නොවේ. ඔහු උගත් නීතිඥයන් අමතමින් ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ එකට එක් කළත් ජනතාවගෙන් සියයට පනහක හෝ කැමැත්තක් ඔවුන්ට නැතැයි ප්‍රකාශ කෙළේය. එම ප්‍රකාශය අපූරුවක් වන්නේ පැහැදිලිව ම රටේ ජනතාවගේ බහුතරයකගේ කැමැත්තක් නැතිව රට පාලනය කිරීමට රනිල් වික්‍රමසිංහ ඇතුළත් කැබිනට් මණ්ඩලයට හැකි වීමෙනි. එම හැකියාව ලැබෙන්නේ මහජන කැමැත්ත කුමක් වුවත් පාර්ලිමේන්තුවේ බහුතර ඡන්ද ප්‍රමාණයක් තිබීම රට පාලනය කිරීමට වරමක් වීම නිසා ය.

ඇත්තෙන්ම රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් පමණක් වුව ද ඔහුට පාර්ලිමේන්තුවේ මංත්‍රීධුරයක් ලැබීමට මහජනතාව කැමැත්ත ලබා දි නැත. 2020 පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ දී ඔහු කොළඹ දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙකු ලෙස ජනවරමක් ලබා ගැනීමට ඉදිරිපත් වුවද ජනතාව පැහැදිලිවම ඔහුත් ඔහුගේ පක්ෂයත් කොළඹ දිස්ත්‍රික්කයෙන් පලවා හැරියහ. ඔහු නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂයට සමස්ත කොළඹ දිස්ත්‍රික්කයෙන් ම ලබා ගත හැකි වූයේ ඡන්ද 30878 කි. දිවයිනෙන්ම ඔහුගේ පක්ෂයට දිස්ත්‍රික්ක මට්ටමෙන් එක ආසනයක් හෝ දිනා ගැනීමට හැකියාවත් තිබුනේ නැත. ඉන් පසුව වෙන් කරන ලද ( ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැඳින්වෙන ආකාරයට) ආසනයක් හෝ ලැබීමට රනිල්ට සුදුසුකමක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ලැබෙන්නේ නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (අ) ව්‍යවස්ථාවේ පැහැදිලිවම සඳහන් වන්නේ මැතිවරණය පැවැත්වීමට පෙර මැතිවරණ කොමසාරිස් වෙත බාර දී ඇති ලැයිස්තුවේ සඳහන් පුද්ගලයෙකු පත් කිරීමය. රනිල් වික්‍රමසිංහගේ නම එම ලැයිස්තුවට ඇතුලත් නොවීම නිසා ඔහුට වෙන් කළ ආසනයක් ලැබීමට සුදුසුකමක් නැත. එහෙත් භාවිතයේ දී එය වෙනස්ව ඇති නමුත් ඊට අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මෙතෙක් කර නැත. නීතිමය ආවරණයක් ලැබෙන්නේ ඡන්ද විමසීමට අදාල වෙනත් අණ පනත් වලිනි. කෙසේ වුවත් වැදගත් වන්නේ රනිල් වික්‍රමසිංහට පවා පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ජනතා කැමැත්තක් ලබා දී නැතිවීම ය.

මංත්‍රී ධුරයටත් ඉන් පසුව අගමැති ධුරයටත් ජනාධිපති තනතුරටත් ඔහු පත් වූ ආකාරය නැවත සිහිපත් කිරීමට අවශ්‍ය නොවන මෑත සිදුවීම්ය. අනුප්‍රාප්තික ජනාධිපති තනතුර තහවුරු වූයේ ඔහුම සඳහන් කරන ආකාරයට ජනතාවගේ බහුතරයක කැමැත්ත දැනට නැති දේශපාලන පක්ෂයක් වන පොහොට්ටුවේ ආධාරයෙනි. ඒ අනුව ඔහුට ජනතාව නියෝජනය කිරීමට කිසිම ආකාරයක ජනවරමක් නැති බව ඔහුගේම තර්කය අනුව පැහැදිලි ය.

රනිල් වික්‍රමසිංහ මෙම හෙළිදරව්ව උගත් නීතිඥයන්ගේ රැස්වීමක දී ප්‍රකාශ කිරීමේ අරමුණු පැහැදිලි නැති වුවත් නීතියේ කුමක් සඳහන් වුවද කෙසේ හෝ බලයට පත් වුවහොත් පාලනය කිරීමට හැකියාවක් ඇති බව පෙන්වීමට විය හැකිය. ජනතාවගේ කැමැත්ත ඇත් ද නැත් ද යන්න වැදගත් නොවේ. ඔහුගේ අභිමතයට යටත් පාර්ලිමේන්තුවක් පවතින තාක් බාධාවකින් තොරව පාලනය කළ හැකිය.

මෙය ප්‍රජාතන්ත්‍රීය පාලන ක්‍රමයක් ලෙස සුජාත භාවයක් ලබා ගන්නේ කෙසේද?

දැනට පවතින එකම කඩතුරාව පාර්ලිමේන්තුවේ බහුතරයකින් ඔහු කරන කියන දේ අනුමත කිරීම පමණය. ඔහු ඇති කර ගන්නා ගිවිසුම් පාර්ලිමේන්තුවෙන් අනුමත කරන නිසා ඊට වලංගු භාවයක් හිමි වේ. මෑතක දී අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් ගිවිසුම ව්‍යවස්ථානුකූල වන්නේ පාර්ලිමේන්තුවේ බහුතරයකින් එය සම්මතවීම නිසාය. එම සම්මතවීම තමාට ජන වරමක් පවතින බව ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ පැවසීමටත් අවස්ථාවක් හිමි වේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන ආකාරයට රාජ්‍යය පිළිබඳ පරමාධිපති බලය ජනතාව සතු වුවත් එය නොසලකා කටයුතු කිරීමට පාලකයන්ට හැකි වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින සමහර අඩු පාඩු නිසා ය. රටේ ජනතාවගෙන් සියයට පනහක හෝ කැමැත්තක් නැතිව පාලන කිරීමට හැකි වන්නේ 2020 පැවති මහා මැතිවරණයේ ප්‍රතිඵල අනුවය. ඉන් පසු කාලයේ දී ජනතාවගේ කැමැත්ත වෙනස් වුවත් පාර්ලිමේන්තුවේ බහුතරයක් පවතින නිසා බලයේ සිටින තැනැත්තාට පාලනය කැමති ආකාරයට ගෙන යා හැකිය. එය වෙනස් කිරීමේ අවස්ථාද පවතින බව රනිල් වික්‍රමසිංහ සහ අනෙකුත් දේශපාලකයෝ ද දනිති. 2019 පැවති ජනාධිපති වරණයේ දී ගෝඨාභය රාජපක්ෂට ජනවරමක් ලැබුණ නමුත් ඔහුට වසර තුනකටත් අඩු කාලයකදී තනතුර පමණක් නොව රට පවා හැර යෑමට සිදු වූයේ ජනතාව සාමකාමීව එහෙත් පවතින නීති නොසලකා ඔහුට එම තනතුරෙන් යෑමට බල කළ නිසාය. එය සංකේතවත් වූයේ ‘ගෝටා ගෝ හෝම්’ යන කෙටි එහෙත් ප්‍රබල අර්ථයක් ගෙන දුන් සටන් පාඨයෙනි.

ගෝඨාභය රාජපක්ෂට තනතුර අතහැර යෑමට තුඩු දුන් හේතු ගැන ජනමතය කණ පිට පෙරළීම තම දේශපාලනය කර ගත් අතලොස්සක් විසින් විවිධ අර්ථ කතන ලබා දෙන නමුත් ජනතාවට ඔහු නෙරපා දැමීමට ප්‍රබල අවශ්‍යතාවයක් පැවති බවට කිසිදු සැකයක් නැත. පොහොට්ටුවේ නායකයන් සහ එය හැර ගොස් සිටින ආවතේවකරුවන් දෙසා බාන ආකාරයට ගොඨාභය රාජපක්ෂට තනතුර අතහැර යෑමට සිදු වූයේ අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක් නිසා නම් වහාම කළ යුතු වන්නේ ජනතාවට තීරණයක් ගැනීමට අවස්ථාවක් ලබා දීම ය. අධිරාජ්‍යවාදී හෝ එසේ නොවන කුමන්ත්‍රණකරුවන් පරාජය කළ හැකි වන්නේ ජනවරමකට අවස්ථාවක් ලබා දීමෙනි. දැනට දින නියමයක් නැතිව කල් දමා ඇති පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම ඊට හොඳ අවස්ථාවකි. පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රතිඵල කිසිසේත්ම පාර්ලිමේන්තුවේ බහුතරයට බලපෑමක් නොවන නිසා බිය විය යුතු වන්නේ ද නැත. එම ඡන්ද විමසීමේ දී පොහොට්ටුවටත් රනිල් වික්‍රමසිංහටත් ඡන්ද බහුතරයක් ලබා ගැනීමට හැකි නම් ජනවරමක් ලබා ගැනීමකි.

ඡන්දය පැවැත්වීම සඳහා මුදල් නැතැයි කියන්නේ සැබෑවටම ජනතාවට තීරණයක් ගැනීමට අවස්ථාවක් දීමට ඇති බිය නිසාය. ආණ්ඩුවේ වෙනත් වැඩවලින් මුදල් නැති කමක් පෙනෙන්නේ නැත.

රනිල් වික්‍රමසිංහ ජනවරමක් නැති වුවත් ඔහුට රට සංවර්ධනය කිරීමට සහාය දෙන්නැයි ජනවරම සිඳගත් දේශපාලන පක්ෂවලින් සහාය ඉල්ලීම මෙම ප්‍රෝඩාවේ වැදගත්ම කොටසයි. ජනතාවගෙන් අඩු තරමින් බහුතරයකගේ හෝ කැමැත්ත නැතිව ජනතාව වෙනුවෙන් තීරණ ගැනීමට රනිල් වික්‍රමසිංහට සහ ඔහුගේ කැබිනට් මණ්ඩලයට බලයක් ලැබෙන්නේ බලහත්කාරයෙන් පමණි. රාජ්‍ය ප්‍රතිපත්ති ජනතාවගේ හිත සුව පිණිස නොවන විට ඊට තමන් පත් කළ නියෝජිතයන් සංවේදී නොවන විට ජනතාවට තම මතය ඉදිරිපත් කිරීමටත් ඒ වෙනුවෙන් පෙනි සිටීමටත් අවස්ථාවක් තිබිය යුතුය. රැස්වීම් පැවැත්වීම, පෙළපාලි යෑම සහ වෙනත් මාර්ගවලින් සිය විරෝධය දැක්වීමට ජනතාව ඉදිරිපත් වන්නේ ඒ සඳහා ය. එහෙත් එවැනි ක්‍රියා මාර්ගවලට රනිල් ගේ ආණ්ඩුව කිසිසේත් ඉඩ දිමට සූදානම් නැත. පාලනයට විරෝධය දැක්වීම සඳහා සාමකාමීව මහපාරේ ගමන් කිරීම නිතියට කිසිම ආකාරයකින් පටහැනි නොවන නමුත් ඒවා මර්දනය කිරීමට පාලකයාට ඔහුගේ අණට යටත් පොලීසියත් එය සෑහෙන්නේ නැතිනම් අවි ගත් හමුදාවත් යෙදවිය හැකිය. තවත් ඉදිරියට ගොස් කිසිසේත් අදාල නොවන නීතියක් යටතේ විරෝධතාතරුවන් සිරගත කර තැබිය හැකිය.

මෙවැනි පසුබිමක් තුළ රනිල් වික්‍රමසිංහ උගත් නීතිඥයන් ඉදිරියේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය අනුව රට පාලනය කිරීමට වරමක් නැති වුවද ඒ බව නොසලකා කටයුතු කිරීමට සූදානම් බව පැවසීම පවතින පාලන ක්‍රමයේ නිරුවත් භාවය හෙළි කිරීමක් මෙන්ම අනාගතය ගැන කරන බියකරු සංඥාවකි. ඔහු නිතර පවසන ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදය අනුගමනය කරන්නේ නම් ජනවරමක් නැතිව පාලනය කිරීම අවසන් කොට වහාම ජනතාවට තිරණයක් ගැනීමට අවස්ථාව ලබා දිය යුතුය. එසේ නොකොට ආර්ථිකය සංවර්ධනය කිරීමටයැයි බලයේ සිටීමට තැත් කිරීම තම ඒකාධිපති වුවමනාව සැඟවීමට ගන්නා දුර්වල උත්සාහයකි.

රටක් සංවර්ධනය කළ යුත්තේ ජනතාව සඳහාය. රටේ ඇති මානව සහ භෞතික සම්පත් ජනතාවගේ සුභ සිද්ධිය සඳහා යෙදවීමෙන් උසස් ජීවන තත්වයක් අත් කර දීමට ය. දැනට දශක හතකට අධික කාලයක් තිස්සේ රනිල් වික්‍රමසිංහ ඇතුළත් සියලු පාලකයන් ගත් තීරණවලින් රට වඩාත් ප්‍රපාතයට පත්ව බංකොළොත්ව ඇත. මෙම බංකොළොත් භාවයට රනිල් වික්‍රමසිංහ ද වගකිව යුතුය. එවැනි තත්වයක් යටතේ ඔහුට රටේ ආර්ථික සංවර්ධනය සඳහා බලයේ රැඳී සිටීමට කිසිදු අයිතියක් නැත. නුවරඑළියේ කළ ප්‍රකාශයෙන් ඒ බව ඔහු එළිපිටම පිළිගත්තේය. ඒ අවංකව නොවේ. සමහර විට ඔහුගේ දේශපාලන අනුග්‍රහයෙන් රැකවරණය ලබා සිටින පොහොට්ටුවේ නායකයන් බිය පත් කිරීම සඳහා කළ ප්‍රකාශයක් විය හැකිය. ඔහුට දැන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නිත්‍යානුකූලව අයිතිය හිමිව ඇති නිසාය.

ජනතාවගෙන් සියයට පනහක හෝ කැමැත්තක් නැති වුවද ජන ජීවිතයට බලපාන අණ පනත් පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගැනීමට රනිල් වික්‍රමසිංහට ඇති වුවමනාව කිසිසේත් වෙනස්ව නැත. පාර්ලිමේන්තුවේ මංත්‍රී තනතුරකට පවා ජනතා කැමැත්ත නොලත් ඔහු, රට සංවර්ධනය කිරීමේ වගකීම බලහත්කාරයෙන්ම පවරා ගැනීමට ගන්නා උත්සාහය පරාජය කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේත් ආර්ථික සංවර්ධනයේත් ආරක්ෂාවට ඇති ඒකායන මාර්ගය යි.   

Print Friendly, PDF & Email

Leave a Reply