ජගත් ගුරුසිංහ, සුමනසිරි ලියනගේ සහ කල්ප රාජපක්ෂ විසින් රචිත මෙම කුඩා පොත් පිංච අප රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදය තේරුම් ගැනීමට ඉමහත් දායකත්වයක් ලබා දේ. උග්‍ර කඩදාසි හිඟයක් පවතින තත්වය තුළ මෙවැනි උත්සාහයක් ගැනීම ද අගය කළ යුතු ය.
කතුවරුන් විසින් ම දක්වන ආකාරයට මෙම පොත් පිංච ඉදිරිපත් කිරීමේ ප්‍රධාන අරමුණු තුනකි. අර්බුදයේ වපසරිය පමණට වඩා පුම්බා දැක්වීමට සමාජයේ ඉහළ පංතිය ගන්නා වෑයම හෙළිදරව් කිරීම, සැබෑ ජාතික පරිශ්‍රමයකින් අර්බුදයෙන් ගොඩ ආ හැකි බව පෙන්වීම සහ පාලක පංතිය විසඳුම් වශයෙන් ඉදිරිපත් කරන වැඩ පිළිවෙළ නිසා පහළ මාලයේ ජනතාව වඩාත් දුෂ්කර තත්වයකට පත්වීම යන කරුණු ගැන සාමාන්‍ය ජනතාවට තේරුම් ගත හැකි ආකාරයේ සරල විග්‍රහයක් කිරීම ය.
2021 මහ බැංකු වාර්තාවේ සංඛ්‍යා ලේඛන පදනම් ව ඖෂධ, ඉන්ධන, අත්‍යවශ්‍ය ආයෝජන සහ ආහාර සඳහා ඩොලර් බිලියන 12ක් වැය වන බව පෙන්වා දෙන ඔවුහු අපේ ආනයන ප්‍රමුඛතා ගත කිරීමෙන් සම්පූර්ණ ආනයන වියදම ඩොලර් බිලියන 15ක මට්ටමේ පවත්වා ගත හැකි බවට තර්ක කරති.
ඉන් පසුව 2021 අපනයන ආදායම් විග්රහ කිරීමෙන් ඩොලර් බිලියන 20ක ආදායමක් ලබා ගත හැකි නිසා ඇත්තෙන්ම අර්බුදයක් නොමැති බව පෙන්වා දෙති.
‘..එසේ නම් මොකක්ද ප්රශ්නය ? තරමක රැඩිකල් තීරණ කිහිපයකින් ජාතික ආර්ථික සැලැස්මක් අනුව ආර්ථිකය හැසිරවීමෙන් මේ අතිශයෝක්ති කරණයට ලක් කර ඇති ආර්ථික අර්බුදය විසඳිය හැකිවා පමණක් නොව රට සංවර්ධනයේ මාවතට සේන්දු කළ හැකියි..’’ -පිටුව 10
දැනට මෙම අර්බුදයෙන් ගොඩ ඒමට පාලක පංතිය ‘යෝජනා කරන ප්‍රතිකර්ම දේශපාලනික තේරීමක් මිස ආර්ථික අවශ්‍යතා නොවන’ බවද මැනැවින් කෙටියෙන් විස්තර කර ඇත. රනිල් ගේ ආණ්ඩුවෙන් සහ අනෙකුත් අය යෝජනා කරන ආකාරයට විසඳුම් සෙවීමේ දී ජනතාව මත අතිරේක බදු පැනවීම, ණය ප්‍රමාණය තවත් වැඩි නොකිරීම සහ ජාතික සම්පත්වලට සහ ස්වාධිපත්‍යයට හානියක් නොවන බවට ද පාලකයන් වග බලා ගත යුතුය.
සාමාන්‍ය ජනතාවට තවත් බර නොපටවා අර්බුදයෙන් ගොඩ ඒමට හැකි වන්නේ,
‘1977 සිට ක්‍රියාත්මක වූ ආර්ථික මූලෝපායන් කණපිට හැරවීමෙනි. මෙම වැඩ පිළිවෙළ නිසා සිදු වූයේ විදේශ ගෙවුම් ශේෂයේ හිගය පියවීමට විදේශ රටවල ප්‍රදාන සහ ණය මත රැඳීමට සිදු වීම ය. මීට අමතරව දේශීය අයවැය හිඟය උග්රවීමට හේතු වූයේ බදු ආදායම් පහත වැටීම ය. 1977 දී ජාතික ආදායමෙන් සියයට 25ක් පමණ වූ ආණ්ඩුවේ බදු ආදායම මේවන විට සියයට 9කට පමණ පහත වැටී ඇත.’ -පිටුව 11
මෙම තත්වයෙන් මිදීමට කතුවරු විසඳුම් යෝජනා පහක් ඉදිරිපත් කරති. ඒ පස් වසරක ණය විරාමයක්, ඩොලරයෙන් දුරස්තවීම, ගෙවුම් ශේෂයේ වර්තන ගිණුම් හිඟය සහ ආනයන ආදේශනය, ගෙවුම් ශේෂයේ වර්තන ගිණුම සහ අපනයන ප්‍රතිපත්තිය සහ විනිමය අනුපාතිකය වශයෙනි.
මෙම විසඳුම් යෝජනා ඉතා පුළුල් වශයෙන් විස්තර කළ හැකි වුවද ඉතාමත් සරලව ඉදිරිපත් කර ඇති ආකාරය සමාජ ක්‍රියාකාරීන්ට බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇත.
දේශීය ආර්ථිකයේ වෙනසක් සඳහා යෝජනා කර ඇති බදු ප්‍රතිපත්තිය, බැංකු ක්රමයේ සංශෝධන ද ආර්ථික විද්‍යාව ගැන කිසිදු අවබෝධයක් නැති අයකුට පවා පැහැදිලි වන ආකාරයට දක්වා තිබීම සමාජයේ පහළ මාලයේ අයට වැදගත් ය.
උග්‍ර වී ඇති අර්බුදයට හේතුව ජනතාවට ලබා දෙන සොච්චම් සහන බව පෙන්වා දෙන ඊනියා ආර්ථික විද්‍යාඥයන්ගේ සහ බලලෝභී දේශපාලකයන්ගේ පැණි තැවරූ තර්කවල හිස්බව තේරුම් ගැනීමට මෙම පොත් පිංච බෙහෙවින් ප්‍රයෝජනවත් ය.
එහෙත් අපේ ආර්ථිකයට කොඩිවිනයක් වූ දේශපාලනය ගැන සඳහන් නොවීම අඩුවක් සේ මම දකිමි. ඒ දේශපාලනය නිවැරදි නොකර ආර්ථිකය නිසි මගට ගත නොහැකි නිසා ය. අපගේ ආර්ථිකය කඩා වැටීමට මූලික හේතුවක් වන්නේ නිසි කළමනාකරණයක් නොමැතිවීම සහ නොමනා දේශපාලන මැදිහත්වීම ය. ජාතික විගණන වාර්තාවෙන් වරින් වර හෙළි කරන ආකාරයට රජයේ ආදායම් පහත වැටීමටත් ජනතාව මත බදු බර වැඩියෙන් පැටවීමටත් මූලික හේතුව දූෂිත පිළිකුල් සහගත දේශපාලනය යි. ආර්ථිකය ගොඩ ගැනීමේ මූලික කොන්දේසිය මෙම දේශපාලනය වෙනස් කිරීම ය.
මෙම පොත් පිංචේ 20 වැනි පිටුවේ සඳහන් ‘‘ ආණ්ඩුව කියු පමණින් ගොවීහු තම පුරුදු ආකල්ප ඉක්මනින් වෙනස් නොකරති’’ යන්න ගැන මගේම අත්දැකිමක් සඳහන් කරනු කැමැත්තෙමි.
සමගි පෙරමුණු රජය යටතේ ආනයන ආදේශ ආර්ථිකයක් ගොඩ නැගීමට පියවර ගෙන තිබූ සමයේ ගොවීන් යල කන්නයේ අතිරේක භෝග වගාවට උනන්දු කිරීමට දැඩි උනන්දුවක් තිබිණ. එවකට මා සිටි ඇලහැර ප්‍රදේශයේත් වියලි කලාපයේ සෙසු ප්‍රදේශවලත් එතෙක් ගොවීන් පුරුදු වී සිටියේ ජලය හිඟ යල් කන්නයේ බෙත්ම ක්‍රමයට වී වගාවට ය. බෙත්ම ක්‍රමය යනු සම්පූර්ණ ප්‍රදේශයටම වී වගාවට ජලය ලබා දිය නොහැකි නිසා තෝරා ගත් ප්‍රදේශ කීපයකට පමණක් ජලය ලබා දීමය. සෑම ගොවියෙකුම වී වගාව ප්‍රධාන කර ගත් නිසා එය මහත් ගැටලු සහගත ප්‍රශ්නයක් විය. එහෙත් 72 සිට යල් කන්නයේ මිරිස්, රටකජු, මුං ඇට පමණක් නොව සෝයා බෝංචි වැනි වගාවන් හඳුන්වා දීම නිසා යල් කන්නයේ වී වගාව බොහෝ ප්‍රදේශවල සම්පූර්ණයෙන්ම පාහේ නැවතිණ. ඒ අතිරේක භෝග වගාවෙන් ගොවීන්ට වී වගාවෙන් ලැබුණු ආදායමට වඩා වැඩි ආදායමක් ලබා ගත හැකි වූ නිසා ය. නිසි දිරි ගැන්වීම් පවතින්නේ නම් ගොවීන් තම පුරුදු වෙනස් කරන බව දැක්වීමට මෙම නිදසුන ගෙන හැර දැක්වූයේ දිගු කතාවක් කෙටියෙන් කීමට ය.
සමස්තයක් වශයෙන් ප්‍රමාණයෙන් කුඩා වුවත් මෙම කෘතිය සමාජ ක්‍රියාකාරීන්ට මහමෙරක් මෙන් දැනුමක් ලබා දෙන විශිෂ්ට කෘතියකි.
- රටේ අනාගතය තීරණය වන දේශපාලන හැරවුම් ලක්ෂ්‍යය කොතැන ද? - November 19, 2024
- සමාජ පෙරළිය හිසරදයට කොට්ට මාරු කිරීමක් නොවිය යුතුය.. - November 4, 2024
- කැනඩා ඉන්දියානු තානාපති අර්බූදය ලෝක ආධිපත්‍යය සඳහා කරන අරගලයේම කොටසක්.. - October 24, 2024