You are currently viewing තුට්ටු දෙකේ අශ්වයාගෙන් තාප්පෙන් පනින්න යන රනිල්

තුට්ටු දෙකේ අශ්වයාගෙන් තාප්පෙන් පනින්න යන රනිල්

අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේම්ජයන්ත  සමග උත්සවාකාරයෙන් නාරාහේන්පිට පාසලක ශිෂ්‍යයන්ට දිවා ආහාරය පිරිනමන ආකාරය පසුගිය දා රූපවාහිනී තිරයේ දිස් විය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් පවත්වන ලද සමීක්ෂණයක් අනුව වයසට සරිලන බර ප්‍රමාණය අඩු ළමයින්ගේ සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් වැඩිවන තත්වයක් යටතේ පාසල් ළමයින්ට දිවා ආහාරය ලබා දීම අනාගත පරපුර වෙනුවෙන් කළ යුතු කාර්යකි. එය කිසියම් දේශපාලකයෙකුගේ අනුග්‍රහයක් නොව අනාගතය වෙනුවෙන් වගකිව යුතු රජයක් ඉටු කළ යුතු කාර්යකි. නිදහස් අධ්‍යාපනය සැබැවින් ම අර්ථවත්වීමට නම් පෙළ පොත් හා බස් රථ ලබා දීමට අමතරව ළමයින්ගේ පෝෂණ තත්වය ද අනිවාර්යෙන්ම පාලකයන්ගේ අවධානයට ලක් විය යුතු කාරණයකි.

වැරදි සහගත අදූරදර්ශී ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග නිසා රටම බංකොළොක් වී ජනතාව දිළින්දන් බවට පත්ව තිබිය දී අධ්‍යාපනය ගැන සිත් යොමු කරන්නේ නම් එය දිවා ආහාරය නොමිලේ ලබා දීමෙන් විසඳිය හැකි ප්‍රශ්නයක් නොවන බව පැහැදිලිය. අපේ රටේ පාලකයන් සුපුරුදු ආකාරයට අනුගමනය කරන්නේ පැලැස්තර ඇලවීමෙන් ජනතාව මුලා කිරීමේ ක්‍රියා මාර්ගයයි. රජයක වගකීම වූ අනාගත පරපුරේ අධ්‍යාපන සහ සෞඛ්‍ය අවශ්‍යතා ඉටු කිරීම මහා පරිත්‍යාගයක්යැයි පෙන්වීමට උත්සාහ කරන්නේ එම නිසා ය.

ළමයින්ගේ පෝෂණ තත්වය ගැටලුවක් නොවන තත්වයක් යටතේ වුවද අධ්‍යාපන ක්‍රමයේ පවතින්නේ බලවත් අවුලකි. දේශපාලකයන් එය නොදත් ආකාරයෙන් සිටිය ද දෙමාපියන් සහ ළමයින් දිනපතාම අත් විඳින සත්‍යයි. මේ බවට හොඳම නිදර්ශනය වන්නේ අද රට පුරාම ටියුෂන් පංති පැවැත්වීම ඉහළම ලාභ ලබා දෙන ව්‍යාපාරයක් බවට පත්ව තිබීමයි. ටියුෂන් ගුරුවරුන් නොමැතිනම් සම්පූර්ණ අධ්‍යාපන ක්‍රමයම බිඳ වැටීමේ අවදානමක් පවතී. ටියුෂන් ගුරුවරුන්ගේ ආදායම යනු දෙමාපියන් තම ළමයින්ගේ අනාගතය වෙනුවෙන් කරන අසීරු ආයෝජනයකි. බොහෝ දෙමාපියන්ට එම වියදම දරා ගත නොහැකි වුවද තම දූදරුවන්ගේ අනාගතය වෙනුවෙන් අනිවාර්යෙන්ම කළ යුතු වියදමකි. 

විශ්වවිද්‍යාලය දක්වා අධ්‍යාපනය නොමිලේ ලබා දෙන රටක දෙමාපියන්ට තම දරුවන් වෙනුවෙන් උපයන ආදායමෙන් හරි අඩක්ම වැය කිරීමට සිදුව ඇත්තේ ඇයි? අධ්‍යාපනය නිදහස් වුවද ලබා දෙන අධ්‍යාපනය ගුණාත්මක භාවයෙන් පිරිහීමයි. කෙටියෙන් දැනට යොදා ගන්නා මිනුම් දණ්ඩක් වන විභාගවලින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට පාසලෙන් ලබා දෙන අධ්‍යාපනය ප්‍රමාණවත් නොවීමය. දැනුම සහ බුද්ධිය මැනීමේ ක්‍රමවේදයක් ලෙස විභාග ක්‍රමයේ නොයෙකුත් අඩුපාඩු පවතින නමුත් දෙමාපියන්ට තම දරුවන් ඊට හැඩ ගැස්වීම හැර වෙනත් විකල්පයක් නැත. එමනිසා අකමැත්තෙන් වුවද ඉමහත් වෙහෙසක් දරා ළමයින් ටියුෂන් පංතිවලට යැවිය යුතුය. වගකිව යුතු රජයක් නම් පාසල් ළමයින්ට දිවා ආහාර ලබා දීමට අමතරව මෙම ගැටලුවට විසඳුම් ලබා දිය යුතුය.

ජෙෆ්රි සැක්ස් [Jeffrey Sachs]

රටක් ආර්ථික සමෘද්ධිය කරා පිය නැගිමේ දී අඩිතාලම වන්නේ අධ්‍යාපනය උසස් මට්ටමකට පත් කිරීම ය. ආසියාවේ දිළිඳු රටවලට ආදර්ශයක් විය හැකි සිංගප්පූරුව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ආර්ථිකය හැසිරවීමේ අයිතිය ලබා ගත් මුල්ම වසරේ අධ්‍යාපනය සඳහා අයවැයෙන් සියයට 35 ක් වෙන් කෙළේය. ඒ රටක ශ්‍රමිකයන්ට උසස් අධ්‍යාපනයක් නොමැතිව ආර්ථික සටන ජයගත නොහැකි නිසාය. මෑතක දී ඉතියෝපියාවේ ආර්ථික සැලසුම් සම්පාදකයන් ඉදිරියේ දේශනයක් පැවැත් වූ ලොව අග්‍ර ගණයේ සංවර්ධන ආර්ථික විශේෂඥයෙකු වූ ජෙෆ්රි සැක්ස් පැවසූ ආකාරයට සෑම ළමයෙකුම අඩුම වශයෙන් වසර 14ක ප්‍රාථමික මට්ටමේ සිට තෘතීක මට්ටම දක්වා අධ්‍යාපනය ලැබිය යුතුය. ඕනෑම රටක් ආයෝජකයන්ට ආකර්ෂණයක් වන්නේ උගත් දැනුවත් ශ්‍රමික සංඛ්‍යාවක් සිටින්නේනම් පමණි. ඒ සඳහා ජාතික අයවැයෙන් අඩුම වශයෙන් සියයට 15-20 අතර ප්‍රමාණයක් වෙන් කළ යුතුයැයි ඔහු පෙන්වා දුන්නේය.

එහෙත් නිදහස් අධ්‍යාපනය ගැන පාරම්බාන අපේ රටේ ඇත්තේ ඊට හාත් පසින්ම වෙනස් තත්වයති. දැනට දශකයකට පමණ පෙර තම වැටුප් වැඩි කර ගැනීමටත් අධ්‍යාපනය සඳහා වෙන් කරන ප්‍රතිපාදන වැඩි කිරීමටත් උද්ඝෝෂණය කළ විශ්විද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලිම වූයේ ජාතික අයවැයෙන් සියයට හයක් අධ්‍යාපනය සඳහා වෙන් කළ යුතුය යන්නයි. සියයට හයක් යන්න සිංගප්පූරුවේ අගමැතිව සිටි ලී කුවාන් යූ වෙන් කළ ප්‍රමාණයට හෝ ජෙෆ්රි සැක්ස් නිර්දේශ කළ ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු වුවද ළමයින්ගේ කුස ගින්න නිවීමට නොමිලයේ ආහාර වේලක් දෙන, පාසල්වලට බස් රථ ලබා දෙන දේශපාලකයන් එම අඩු ප්‍රමාණය හෝ ජාතික අයවැයෙන් වෙන් කිරීමට උනන්දු වන්නේ නැත. 2024 අයවැයෙන් අධ්‍යාපනය සඳහා වෙන් කර ඇත්තේ සියයට 4.4 කි. එහෙත් ආරක්ෂාව සඳහා සියයට 6.1 වැය කිරීමට ඔවුන් සූදානම් ය.

මෙම සංඛ්‍යාලේඛන දෙස මතු පිටින් බැලීමේ දී සම්පත් කළමනාකරණයේ බරපතළ වැරැද්දක්  පවතින බව පැහැදිලිය. තවත් දශක කීපයකින් සංවර්ධිත ලංකාවක් ගැන දහවල් සිහින දකින පාලකයන්ට අධ්‍යාපනය සඳහා වෙන් කරන සොච්චම් මුදල හෝ මනාව කළමනාකරණය කිරීමේ හැකියාවක් නැති බව පැහැදිලි ය. මෙවැනි තත්වයක් යටතේ ජාතික අයවැයෙන් සියයයට 6ක් නොව සියයට 12ක් වෙන් කළත් සෙතක් නැත. ඒ වෙන කිසිවකටත් වඩා දැක්මක් හෝ සැලැස්මක් නැතිකම නිසාය.

මෙවැනි පසුබිමක් තුළ පාසල් ළමයින්ට නොමිලයේ දිවා ආහාරය දීම කලකට පෙර පෙළ පොත් නොමිලයේ ලබා දීමට වෙනස් වන්නේ නැත. පෙළපොත් නොමිලයේ ලබා දීම දෙමාපියන්ට කිසියම් සහනයක් වුවද ඔවුන් මුහුණ දෙන ප්‍රධාන අභියෝගය, තම දරුවන්ට ගුණාත්මකව ඉහළ අධ්‍යාපනයක් ලබා දීමට එය කිසිදු ආකාරයෙන් විසඳුමක් වූයේ නැත. එමෙන්ම නොමිලයේ දිවා ආහාරය ලබා දීම දරු පරපුරේ සුළු කොටසකගේ දිවා කාලයේ කුස ගින්න නිවා ගැනීමට හේතු වුවද ළමා මන්දපෝෂණයට විසඳුමක් නොවේ.     

Print Friendly, PDF & Email

Leave a Reply