You are currently viewing සිතින් මවා ගත් සමූහ ඝාතන අවි නිසා ඉරාකය විනාශ කළ කොලින් පවෙල් වීරයෙක් ද?

සිතින් මවා ගත් සමූහ ඝාතන අවි නිසා ඉරාකය විනාශ කළ කොලින් පවෙල් වීරයෙක් ද?

එක්සත් ජනපදයේ ඒකාබද්ධ හමුදා කාර්ය මණ්ඩලයේ සභාපති තනතුරටත් ඉන් පසුව රාජ්‍ය ලේකම් තනතුරටත් පත් පළමු ඇමරිකානු අප්‍රිකානු ජාතිකයෙකු වන කොලින් පවෙල් පසුගිය සතියේ දිවියෙන් සමුගත් විට ඇමරිකාවේත් බටහිර රටවලත් ඉහළ ම රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ ගෞරවයටත් ප්‍රශංසාවටත් ලක් වූයේ ය. වාර්ගික බාධක නැවත නැවතත් බිඳ දමමින් ප්‍රජාතන්ත්‍රවාදයට කැප වූ ඔහු අපගේ රට ශක්තිමත් කළේ යැයි ජනාධිපති ජෝ බයිඩන් සිය පණිවුඩයේ සඳහන් කළේ ය. ඔහු 1996 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ නම් ඇමරිකාවේ ප්‍රථම ඇමරිකානු අප්‍රිකානු ජනාධිපති විය හැකිව තිබුණේ යැයි සමහර දේශපාලන නායකයෝ ප්‍රකාශ කළහ. තවත් සමහර අය පවසන ආකාරයට ඔහු තම ජනාධිපති සිහිනය අත්හැරියේ බුෂ් පවුලට ඇති හිතවත්කම නිසා ය.

ජැමෙයිකාවේ උපත ලද දුප්පත් කම්කරු පවුලකින් පැවත එන පවෙල් දෙවන ලුතිනන් කෙනෙකු ලෙස ඇමරිකානු හමුදාවට බැඳී ඒ තුළින් අත්කර ගත් ජයග්‍රහණ කිසිසේත් සුළු පටු නොවේ. රිපබ්ලිකන්වාදියෙකු වූ ඔහු ජෝර්ජ් බුෂ්ගේ අවධානය දිනා ගැනීමට සමත් වූ නිසා වරක් ජාතික ආරක්ෂක උපදේශක තනතුරට ද පත් කරනු ලැබිණ. තරු හතරක් දිනා ගත් ජනරාල්වරයෙකු වූ ඔහු ආරක්ෂක ලේකම් තනතුරට පත් කරනු ලැබුවේ ද ජනාධිපති ජෝර්ජ් බුෂ් පාලන සමයේ ය. කෙසේ වුවත් 2005 දී රජයේ සේවයෙන් ඉවත් වන විට ඔහු ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ ද ගෞරවය දිනා ගැනීමට සමත් වූයේය.

ජනාධිපති බයිඩන් සඳහන් කළ ආකාරයට ඔහු ඇමරිකානු අප්‍රිකානුවෙක් වශයෙන් වාර්ගික බාධක ජය ගැනීමත් හමුදා ජීවිතයේ දීත් ඉන් පසුව රාජ්‍ය පරිපාලනයේ දීත් අත්කර ගත් කැපී පෙනෙන තත්වය ඔහුටත් ඇමරිකාවේ සුපිරි තත්වය ගැන සිහින මවන අයගේත් ඇගයීමට ලක් වුවද නූතන ඉතිහාසයේ එය කීර්තිමත් අවස්ථාවක් නොවේ. ඔහුගේ වෘත්තීය ජීවිතය හැම විටම ප්‍රජාතන්ත්‍රවාදී අගයන්ට ඇති කැපවීමක් ප්‍රදර්ශනය කළේ නැත. වියට්නාම් යුද සමයේ ඇමරිකානු හමුදා විසින් කරන ලද මයි ලායි ඝාතන ගැන පරික්ෂා කර වාර්තා කිරීමට ඔහු පත් කරනු ලැබූ විට යුක්තිය ඉටු කිරීමට වඩා හමුදාවේත් ප්‍රධාන දේශපාලන ධාරාවේත් මතවාදයට අවශ්‍ය ආකාරයට ක්‍රියා කළේ ය. මයි ලායි ඝාතන ගැන පරික්ෂා කළ ඔහුගේ නිගමනය වූයේ ඇමරිකානු හමුදා වියට්නාම් ජනතාව සමග අගය කළ යුතු සම්බන්ධතාවක් පවත්වා ගන්නේ ය යන්නයි.

ඉන් පසුව ඇමරිකාවේ මහත් දේශපාලන ආන්දෝලනයකට තුඩු දුන් ඉරාන් කොන්ට‍්‍රා ගනුදෙනුව ඔහු දැන සිටි බවට සාධක තිබුණත් ඒ ගැන නිහඬව සිටීම නිසා තනතුරේ උසස්වීමක් ලබා ගැනීමට සමත් වූයේ ය. ඉරාන් කොන්ට‍්‍රා ගනුදෙනුව වූයේ නිකරගුවාවේ රජයට එරෙහිව සටන් කළ සැන්ඩිනිස්ටා ගරිල්ලා භටයන්ට අරමුදල් සැපයීමට ඇමරිකානු ජාතික ආරක්ෂක සේවය යොදා ගත් උපක්‍රමයකි. සම්බාධකවලට ලක්ව සිටි ඉරානයට රහසිගතව අවි ආයුධ විකිණීමෙන් උපයා ගත් මුදල් කොන්ට‍්‍රා කැරලිකරුවන්ට ලැබීමට සලස්වා තිබිණ. ඇමරිකාවේ ආරක්ෂක අංශවලට මෙවැනි වක‍්‍රාකාර මාර්ගයකින් සැන්ඩින්ස්ටා කැරලිකරුවන්ට අරමුදල් සැපයීමට සිදු වූයේ කොංග්‍රස් මණ්ඩලයෙන් සැන්ඩින්සා කැරලිකරුවන්ට ආධාර කිරීම තහනම් කර තිබූ නිසාය. මෙම ගනුදෙනුවට සම්බන්ධ අනෙකුත් නිලධාරීන්ට තනතුරු අහිමි ව සේවයෙන් ඉවත්වීමට සිදු වුව ද පවෙල්ට ඉන් හානියක් සිදු වූයේ නැත.

මැනුවෙල් නොරීගා [ Manuel Noriega]

ඔහු හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානියාව සිටි සමයේ සිදු කළ තවත් කුප‍්‍රකට මෙහෙයුමක් වූයේ අසල්වැසි කුඩා රටක් වන පැනමාව ආක්‍රමණය කොට එහි රාජ්‍ය නායකයා වූ මැනුවෙල් නොරීගා අත් අඩංගුවට ගෙන ඇමරිකානු සිරකරුවෙකු කිරීමය. අල් කයිඩා සංවිධානයට රැකවරණය ලබා දෙන්නේය යන චෝදනාව යටතේ 1992 දී සෝමාලියාවට ද ආක්‍රමණික හමුදාවක් යෙදවූයේත් ඔහුගේ අණ යටතේය. ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීමට හමුදාව යවන ලද්දේ ඔහුගේ පාලනය යටතේ ය.

එක්සත් ජනපද මැරීන් බළකායේ (USMC) රථ පෙළක් 2003 මාර්තු මාසයේදී වැලි කුණාටු මැදින් උතුරු ඉරාකයට පැමිණේ.

ඒ සියල්ලටත් වඩා සාහසික තීරණයක් වූයේ 2003 දී ඉරාකය ආක්‍රමණය කිරීම ය. මැද පෙරදිග ඇමරිකානු ආධිපත්‍යයට බලවත් අභියෝගයක් වූ ඉරාකයේ නායක සදාම් හුසේන් ඉවත් කිරීමට ඇමරිකාවට මෙන්ම ඊශ්‍රායලයට ද දැඩි අවශ්‍යතාවක් තිබිණ. එහෙත් ඉරාකය ආක්‍රමණය කිරීමට එරෙහිව ඇමරිකාවේත් ලොව බොහෝ තැන්වලත් දැඩි විරෝධයක් මතු විය. එවැනි ආක්‍රමණයක් සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයෙන් අනුමැතිය ලබා ගත නොහැකි තත්වයක් තිබිණ. ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට යොදා ගත් ආයුධය වූයේ ඉරාකය සතුව සමූහ ඝාතන අවි ඇතැයි යන්නය.

2003 දී ඇමරිකානු රාජ්‍ය ලේකම් ලෙස ආරක්ෂක මණ්ඩලය ඇමතූ ඔහු ඉරාකයේ ඒකාධිපති පාලක සදාම් හුසේන් සතු අරාබි කරයට පමණක් නොව එක්සත් ජනපදයේත් ආරක්ෂාවට ද බලවත් තර්ජනයක් වන සමූහ ඝාතන අවි වහා විනාශ කිරීම ලෝක සාමය අපේක්ෂා කරන සියලු දෙනාගේ යුතුකමක් බව පෙන්වා දුන්නේ ය. ඔහු මෙසේ ද පැවසුවේය:

‘‘..මා අද දින කරන සෑම ප‍්‍රකාශයක්ම මූලාශ්‍රවලින්, බලවත් මූලාශ්‍රවලින් තහවුරු කර ගත් ඒවාය. ඒවා කිසිසේත් හිතලූ නොවේ..’’.

 අවසානයේ දී ඔහුට ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය දිනා ගත හැකි විය. වහාම ආක්‍රමණයට සූදානම් වූ ඔහු 500,000ක හමුදාවක් ඒ සඳහා පිටත් කෙළේය. යුද්ධයේ උපක්‍රමය වූයේ ගුවන් ප්‍රහාරවලින් සදාම් හුසේන්ගේ හමුදා ශක්තිය විනාශ කොට පාබල හමුදා රට තුළට යවා විරුද්ධවාදීන් ඝාතනය කිරීම යි. එය සති කීපයකින් නිම කළ හැකි විය. අත් අඩංගුවට ගත් සදාම් හුසෙන් හදිසියේ ම පිහිටුවා ගත අධිකරණයකින් නඩු අසා මරා දැමිණ. එහෙත් පවෙල් ප්‍රකාශ කළ ආකාරයට සමූහ ඝාතන අවි ඉරාකයේ කිසි තැනකින් සොයා ගත නොහැකි විය. සමූහ ඝාතන අවි ඉරාකය සතුව ඇතැයි යන්න ඉරාකය ආක්‍රමණය කිරීම සඳහා ගොතන ලද බොරුවක් බව පැහැදිලි විය.

ඔහු 2012 දී ඒ පී ජනමාධ්‍යවේදියෙකු සමග පැවති සාකච්ඡාවක දී සමූහ ඝාතන අවි පිළිබඳ ව ලැබී තිබුණ තොරතුරු සාවද්‍ය බව පිළිගත්තේ ය. එය ඔහුගේ රාජකාරි වාර්තාවේ කළු පැල්මක්යැයි ද කීවේ ය. එහෙත් එම සාවද්‍ය තොරතුරු මත දියත් කළ යුද්ධය නිසා ඇමරිකානු භටයන් 5000කට අධික පිරිසක් මිය ගිය අතර ගණන් බලා ඇති ආකාරයට අසරණ ඉරාක වැසියන් දශ ලක්ෂයකට අධික සංඛ්‍යාවකට දිවි අහිමි විය. සදාම් හුසේන්ගේ ඒකාධිපති පාලනය යටතේ අරාබිකරයේ ඉහළම ජීවන තත්වයක් අත් කර ගෙන ජනතාව මේ දක්වා ම අන්ත අසරණ තත්වයකට පත්ව සිටිති. යුද්ධයෙන් ඔවුන්ට උරුම වූයේ දරිද්‍රතාවය, දූෂණය සහ විදෙස් මැදිහත්වීම් පමණය.

ඉරාකයේ පාලන බලය ෂියා ආගමික කොටස අතට පත්වීමෙන් දුර්වල වූ හමුදාමය පසුබිමක් ඇති සුන්නි ආගමික කොටස් වරක් ඇමරිකානු හමුදාවේ රැකවරණය ලැබූ අල් බැග්ඩාඩි යටතේ ඉස්ලාමීය රාජ්‍යය නමින් අන්තවාදී සටන් සංවිධානයක් පිහිටුවා ගත්හ. එය ඇමරිකාවේ අනුග්‍රහයෙන් ඉරාකයේ අලුතින් පිහිටුවන ලද හමුදාවට එරෙහිව මෙන්ම සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යයට එරෙහිව ද සටන් කරමින් සිටී. වඩාත් සරලව විවිධ කණ්ඩායම්වලට බිඳි ගිය ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය මුස්ලිම් ලෝකයට ම තර්ජනයක් බවට පත්ව ඇත. එය බොහෝ විට අල් කයිඩා සංවිධානයටත් වඩා කුරිරු ලෙස අහිංසක මිනිසුන් ඝාතනය තම දේශපාලන අරමුණු වෙනුවෙන් සාධාරණය කරන අන්තවාදී සංවිධානයකි.

ඉහතින් සඳහන් කළ ඒ පී ජනමාධ්‍යවේදියා සමග පැවැත් වූ සාකච්ඡාවේ දී ඉරාකයෙන් ඒකාධිපති පාලකයෙකු තුරන් කිරීම ජයග්‍රහණයක් සේ හැඳින් වුවද ඉන් වාසියක් ලැබුණේ ඇමරිකානු හමුදාවේ යුදවාදීන්ට හා ඊශ්‍රායලයට පමණි. ෂියා සුන්නි ආගමික බෙදීම අනුව වෙන්ව ඇති රට ගොඩ නැගීම තවමත් අභියෝගයකි. මහා මැතිවරණයක් පැවැත් වුවද කිසිම පක්ෂයකට ශක්තිමත් රජයක් පිහිටුවීමට හැකියාවක් නැත. කලකට පෙර ලොව දෙවන විශාල තෙල් නිෂ්පානය කළ ඉරාකය දැන් එහි ජනතාවගේ මූලික අවශ්‍යතා හෝ සපුරාලීමට නොහැති තරම් දුර්වල ය.

කොලින් පවෙල් ගේ මෙම උරුමය ගැන හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සඳහන් කෙළේ මෙසේ ය.

‘‘ඉරාකය සහ සමූහ ඝාතන අවි ගැන මහත් වැරදි කළ කොලින් පවෙල් ගේ අභාවය බොරු පුවත් ජන මාධ්‍යයේ ඉහළින් වර්ණනා කිරීම පුදුම සහගත ය.’’

ජනාධිපති තනතුරේ සිටිය දී ආරක්ෂක අංශ විසින් හසුරුවන අදිසි හස්තයක් මගින් රාජ්‍යය පාලනය කරන බවට ට‍්‍රම්ප් චෝදනා කළත් ඔහු ඒ ගැන කිසි පියවරක් ගත්තේ නැත. එසේ වුවත් ඔහුගේ ඉහත සඳහන් ප්‍රකාශය කුමන තත්වයක් යටතේ හෝ නිවැරදි පැහැදිලි කිරීමකි. වෙනත් තත්වයන් යටතේ යුද අපරාධකරුවෙකු වශයෙන් හැඳින්විය යුතු කොලින් පවෙල් ජාතික වීරයෙකු වන්නේ අදිසි හස්තයකින් හසුරුවන සමාජ සන්දර්භයක දී පමණි.

Leave a Reply