රජයක් සිරකරුවන් ආරක්ෂා කළ යුතුයැයි කියලා ජාත්‍යන්තර ප්‍රඥප්තීන් තියෙනවලු. ලංකාවේ සිරකරුවන් 11,000 කට පමණ ඉඩකඩ තිබුණත් 41,000 කට වැඩිය සිරගෙවල ගාල්කර තිබෙනවලු. මෙහෙම වෙන්න හේතුව රස පරීක්ෂක වාර්තා පමාවීම, පොලිසිය කුඩු සැකකරුවන් ඇල්ලීම සහ ඇප ගෙවීමේ නොහැකියාව,දඩ මුදල් ගෙවාගත නොහැකිවීම ආදී දුගී බවේ පවතින ප්‍රශ්න හා නීතිරීතිවල අඩුපාඩු කියලත් කියනවා. ලෙඩට දුකට බේත් හේත් නැතිලු. මේවගේ කරුණු නිසා හිරගෙවල ගැටුම් ඇතිවෙනවා කියලා බොහෝ ගවේෂකයන් පෙන්වාදීල තිබෙනවා. මේවාත් සිරකරුවන්ගේ මානසික ආතතිය වැඩි කරන්න හේතු කාරණා තමයි. නමුත් ප්‍රධානම කාරණාව මේවාම නොවෙයි කියලයි මගේ පිළිගැනීම.
ව්‍යවස්ථාදායකය විසින් සම්පාදනය කරන්නා වූ නීති කඩකරන්නන් අත් අඩංගුවට ගෙන අධිකරණය ඉදිරියට පැමිණවීම පොලිසියේ රාජකාරියයි. පොලිසිය අත්අඩංගුවට ගත යුත්තේ නීති කඩකර තිබේදැයි කරන්නා වූ දීර්ඝ විමර්ශනයකින් අනතුරුවයි. ඉන්පසු එසේ කිසියම් පුද්ගලයෙක් නීති විරෝධී, සමාජ විරෝධී කටයුතු කර තිබෙන්නේනම් පොලිසිය අධිකරණය ඉදිරියේ එය ඔප්පු කළ යුතුයි. එසේ ඔප්පු වුවහොත් ඔහු හෝ ඇය “පුනරුත්ථාපනය” කොට යහපත් පුරවැසියෙක් ලෙසින් නැවත සමාජගත කිරීම හෝ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ වගකීම අධිකරණය විසින් බන්ධනාගාරයට පවරනවා.
මේ තමයි ධනපති සමාජ ක්‍රමයක නීති විරෝධීයැයි, සමාජ විරෝධීයැයි කියනු ලබන පුරවැසියන් සඳහා රජයක්, ආණ්ඩුවක් අනුගමනය කළයුතු නීතිමය ආකාරය කියලා සඳහන් වෙන්නේ. නමුත් අපගේ බන්ධනාගාර තුළින් එළියට එන 80 % ක් පමණ සංවිධනාත්මක අපරාධකරුවන්ගේ ජාලයේ සාමාජිකයෙක් වෙලා තමයි එන්නේ. එසේනම් පුනරුත්ථාපනය කියන කාරණාව සිදුනොවන්නේ ඇයි?
සිරගෙදර ඉහළ පෙළේ නිලධාරීන්ගේ විවිධ කටයුතු සඳහා සිරකරුවන් හෝ සිරකාරියන් යොදවා ගන්නා බවට පසුගිය කාලයේ චෝදනා නැගුණා. එවගේම ආණ්ඩුවක ඕනෑ එපාකම් වෙනුවෙන්ද සිරකරුවන්, සිරකාරියන් යොදා ගන්නා ලේවැකි ඉතිහාසයක්ද ලංකාවේ තිබෙනවා. එසේ තමන්ගේ දේශපාලන බල උවමනාවෙන් වෙනුවෙන් සිරකරුවන් පාවිච්චි කළත් වෙනත් ආණ්ඩුවක් යටතේ ඒවා හෙළා දැක කතා කිරීමේ ලැජ්ජා නැති දේශපාලකයන්ගෙන්ද අපට අඩුවක් නැහැ. දේශපාලකයන්ද මැරිලා උපන්නා සේ මෙසේ කියන්නේ ඒවා ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගන්නා මාධ්‍යකාරයන් හා ජනතාවක් සිටිනා බව දන්නා නිසයි.
මෙහි හොඳම විහිළුව සපයා තිබුණේ වර්තමාන එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන. යූ ටියුබ් නාලිකාවක් එක්ක කරන්නා වූ සාකච්ඡාවකදී ඔහු ඉතා දැඩිව කියා සිටින්නේ සිරකරුවන් මරා දැමීම ජාත්‍යන්තර ප්‍රඥප්තීන් පවා උල්ලංඝනය කරන බලවත් වරදක් කියලා. මෙහෙම කියද්දී රනිල් වික්‍රමසිංහ එජාප නායකයා එතැන නොසිටියේ වජිර අබේවර්ධනගේ පෙර වාසනාවකට වෙන්නැති කියලා මට හිතුනා.
මොකද 1983 එජාප ජේආර්ගේ ආණ්ඩුවෙන් තමයි පළමු වරට හිරගෙයක් තුළ දී සිරකරුවන් සමූළ ඝාතනයක් කළේ. ඒක කළේ ඉතාමත් සැළසුම් සහගත ලෙස දින දෙකකදී. එදා වජිර අබේවර්ධනත්, රනිල් වික්රමසිංහත් ඒ ආණ්ඩුවේ මැති ඇමතිවරු. 83 ජූලි 25 වෙනිදා දෙමළ සිරකරුවන් 35 ක් හා ජූලි 27 දෙමළ සිරකරුවන් 18 දෙනෙක් වශයෙන් සිරකරුවන් 53 දෙනෙක් දෑස් උගුල්ලා දසවද දී මරා දැමුවා. එතැනින් නොනැවතී දකුණේ දෙමළ මහා සංහාරයක් කළා. යුක්තිය නොලැබූ ඒ දෙමළ මහා සංහාරයේ කුප්‍රකට ”කළු ජූලියට” මේ ජූලි 25 වැනිදාට වසර 43 ක් වෙනවා.
83 දී කොළඹ වැලිකඩ බන්ධානාගාරය තුළදී මරාදැමූ සිරකරුවන්ගේ ඝාතනය ගැන ගවේශනාත්මක වාර්තාවක් ඉදිරිපත් කළ මාධ්‍යවේදී නන්දන වීරරත්නගේ ”කළු ජූලියේ දින 07 ක්” කෘතියේ එක් තැනක මෙසේ සඳහන් වෙනවා.
‘‘..මරා දමන ලද දෙමළ සිරකරුවන් භාරව සිටි ප්‍රධාන ජේලර් රොජර් ජයසේකර කැළණියේ ගෝණවල පදිංචිකරුවෙක්. එයාල පරම්පරාගත යූඇන්පී කාරයෝ. රොජර් ජයසේකරට ගෝණවල සුනිල්, රනිල් වික්‍රමසිංහ, හිටපු හමුදාපති මේජර් ජෙනරාල් බ්‍රිගේඩියර් තිස්ස වීරතුංග එක්ක ළග සම්බන්දකම් තිබුණා. 25 දවාලේ රොජර් අපට කිව්වා නිල ඇඳුම් ගලවලා සරොම් ඇඳගෙන දර අංශයෙන් අලවංගුත් අරගෙන වැඩකට යන්න ලෑස්ති වෙන්න කියලා. ඊට පස්සේ බන්ධනාගාරයේ රියකට අපිව නංවාගෙන ගිහින් පුංචි බොරැල්ලේ තිබුණ “රෝයල් වයින් ස්ටෝස්” එක ඉදිරිපිට නැවැත්තුවා. ඒක දෙමළ ජාතිකයෙක්ට අයිති එකක්.
අපි වයින් ස්ටෝස් එකේ දොරවල් කඩල අපට ඇතිවෙන්න බෝතල් ගත්ත. ඒවත් අරගෙන එද්දී හිරගෙදර ගේට්ටුව ළගදී වනාතේ කොල්ලෝ ලොකු කසිප්පු බූලි දෙකකුත් ගෙනත් දුන්නා. සමහරවිට රොජර් ජයසේකර කලින් ඒවා ගේන්න කියල තියෙන්න ඇති. අපි මේවාත් අරගෙන රොජර්ගේ ප්‍රධාන ජේලර් නිල කාමරයට ගියා. කාමරය ළඟ හිරකාරයෝ 40 ක් විතර හිටියා. ඒ අයට කසිප්පු දීලා අපි වයින් ස්ටෝස් එකෙන් ගෙනාපු අරක්කු බිව්වා. ඊට පස්සේ අපි ලොන්ඩ්රිපාටිය පැත්තට ගියා. එතැනදී හිරකාරයෝ එතැන තිබුණ රෙදිවලින් අපේ අත් ගැට ගහලා අපි ළග තිබුණ හිරකූඩුවල යතුරු ගත්තා.
ඒවා ඔක්කොම රොජර් ජයසේකර කල්වේලා ඇතිව හිරකාරයන්ට දීපු උපදෙස් අනුවයි කෙරුණේ. අපේ අත් කම්බිලිවලින් (හිරගෙදර රෙදි) ගැට ගැහුව. ඇසුත් බැන්දා. හිරකාරයෝ ‘වැඩේට’ ගියාට පස්සේ පැය භාගකින් විතර ඒ ගැට ගහපුව අපිම ලිහා ගත්තා.”වැඩේට” යන්න ඔවුන් කුස්සි පාටියෙන් මන්නා, පිහි, දර අංශයෙන් යකඩ ඉණි, පොරෝ ගත්තා. මේ වෙද්දී වැඩ අංශයේ වැඩ ඉවරවෙලා එමින් සිටිය හිරකාරයොත් අර කසිප්පු බීපු හතලිහට එකතුවුණා. අවසාන වෙද්දී හිරකාරයෝ 1000 ක් 1200 ක් විතර “වැඩේට” එකතුවුණා. මේ හිරකාරයෝ මෙහෙයුවේ මිනී මැරුමකට ජීවිතාන්තය දක්වා හිරදඬුවම් ලබපු තංගල්ලේ ගුණපාල කියල කෙනෙක්.
මරන්න එපා කියලා කුට්ටමනී පවා වැන්දා. ඒත් ජෙගන් කියන සිරකරුවාට පොරෝවලින් ගහද්දී ඒවා එහාට මෙහාට විසිවෙන්න ගැහුවා. හතර දෙනෙක් එක්ක එක පාරට ගහ ගනිද්දී එක හිර කාරයෙක් උඩක ඉදලා කර උඩට පැන්නාම ජෙගන් බිම වැටුණා. බිම වැටුණු ජෙගන්ගේ පපුව මැද්දට යකඩ ඉන්නකින් ඇන්නාම ලේපාරක් උඩට විද්දා. කෙන්ට්පාම්වල හිටපු සිංහරාසා පියතුමාගේ හා කොටින්ගේ පණිවුඩ දෙපැත්තට ගෙනියපු අවුරුදු 16 ක විතර කොල්ලෙක් මේ දෙමළ සිරකරුවන් අතරේ හිටියා. ඔහු මරණවාට බොහෝ දෙනෙක් විරුද්ධ වුණා. ඒත් සාක්කිකාරයෙක් ඉතුරු කරන්න හොඳ නැහැ කියලා එයත් මරලා දැම්මා.
මරණ, මරණ හිරකාරයාගේ සිරුර හිරගෙදරට ඇතුල් වෙනකොටම තිබෙන පොඩි පිට්ටනිය වගේ තැනට ගෙනත් දැම්මා. සමහර බොඩිවල ඇස් ගලවලා. ජෙගන් හා කුට්ටමනී වගේ අයගේ පුරුෂ ලිංගය කපලා කටේ ඔබලා තිබුණේ..”
ආනන්ද සායක්කාර නැමැති 72 හැවිරිදි විශ්‍රාමික ජේලර්වරයාගේ ඉහත ප්‍රකාශය වීඩියෝ සාකච්ඡා ලෙස තමා සතුව තිබෙණ බවද නන්දන වීරරත්න මාධ්‍යවේදියා වැඩි දුරටත් කියා සිටිනවා.
මේ ඝාතනයන්ගෙන් පසු සිංහල සිරකරුවන් සිරගෙය කඩාගෙන පළායෑම නතර කිරීමට හා තත්වය පාලනය කිරීමට ආණ්ඩුව ජූලි 27 වෙනිදා තීන්දු කර තිබුණා. ඒ සඳහා නායකත්වය ගත් කමාන්ඩෝ බලකායේ නායක ලුතිනන් කර්නල් සුනිල් පීරිස්ගේ ප්‍රකාශයක්ද නන්දන වීරරත්න මාධ්‍යවේදියා ප්‍රකාශයට පත්කොට තිබෙනවා. මේ එයින් උපුටා ගත් කොටසක්.
“..අප අපරාද සිදුවෙමින් තිබූ ‘චැපල් අංශය’ ඉදිරියේ තිබූ ටෙනිස් පිටියක් තරම් භූමියේ මිරිස් ගලක තලා දැමූ, මිරිස් මෙන් කපා කොටා විනාසකර තිබූ දෙමළ සිරකරුවන්ගේ සිරුරු 20 ක් පමණ තැන තැන විසිරී තිබුණා. අප ආවේ ඔවුන්ගේ සහයට යැයි සිතූ සිංහල සිරකරුවන් ජයවේවා, ජයවේවා කියා කෑගසන්නට පටන් ගත්තා.බන්ධනාගාර වහල උඩ සිටි එක් සිංහල සිරකරුවෙකු මහ හඬින් කෑ ගසා මට කතාකළා. ‘සර් කොහොමද අපේ වැඩ’. මම ඒදෙස බලද්දී මට කෑ ගැසූ සිරකරුවා එක් අතකින් කෙස්වැටියෙන් එල්ලා ගත් මිනිස් හිසක් හා අනෙක් අතින් ආයුදයක් ගෙන සිටියා. මම වහාම මගේ අතේ තිබූ කැරලි මර්දනයට යොදා ගන්නා තුවක්කුවේ රබර් උණ්ඩයකින් ඔහුට වෙඩි තැබුවා. ඔහු මට දැකපුරුදු කෙනෙක් බව මතකය නැගුණා. පසුව දැනගත් පරිදි ඔහු අර ගුවන් යානයක් පැහැරගත් සේපාල ඒකනායක.
මම එහි ඇතුළුවන විට දුටු මුල්ම බිහිසුණු සිදුවීම වූයේ සිංහල සිරකරුවන් සමූහයක් දෙමළ සිරකරුවෙකුගේ හිස යකඩ කූරු අතරින් කඩා එළියට ගැනීමයි..”
මෙවැනි අපරාධයක් 83 දී තමන්ගේ ආණ්ඩුව කළ බව වජිර අබේවර්ධන පුංචි බබා මේ දක්වා දන්නේ නැත. ඒත් සිරකරුවන් ආරක්ෂා කළයුතුයැයි ජාත්‍යන්තර නීතිපවා තිබෙන බව වජිර බබාට හදිසියේම මතක්වී ඇත. අපරාධයන් පිළිබඳ සාක්කි තිබුණත් වජිර බබාලා මෙන්ම ‘පලා බබාලාද’ අපරාධකරුවන්ට දඬුවම් කරන්නේද නැත. මන්ද ඝාතනය කළේ “දෙමළ ත්‍රස්තවාදීන්” නිසා.
1997 දී කළුතර බන්ධනාගාරයේ දෙමළ දේශපාලන සිරකරුවන්ට කළ පහර දීමකින් තිදෙනෙක් මරණයට පත්වුණා. ඔවුන්ට පහර දුන්නේ එම බන්ධනාගාරයේම සිටි වෙනත් සිරකරුවන්. ඒත් ප්‍රශ්නයක් නොවුණේ මරා දැමූවන් “දෙමළ ත්‍රස්තවාදීන්” වූ නිසාය.
2000 වසරේ ජනවාරි 06 සහ 07 දිනවලදී කළුතර බන්ධනාගාරයේ සිටි දෙමළ දේශපාලන සිරකරුවන්ට නැවතත් පහර දුන්නා. බන්ධනාගාර නිලධාරීන්ගේ පහර දීම නිසා දෙදෙනෙක් මියගියා. 85 කට වැඩි පිරිසක් තුවාල ලැබූවා. පහර කෑමෙන් බරපතල ලෙස අසාධ්‍යව සිටි 04 දෙනෙක් කොළඹ ජාතික රෝහලටත්, තවත් පිරිසක් කළුතර නාගොඩ රෝහලටත් ඇතුළත් කළා. තුවාලකරුවන් බැලීමට පැමිණි සිය ඥාතීන්ට පවා සිංහල ජාතිවාදීන් හිරහැර කළා.”දෙමළ ත්‍රස්තවාදී” ලේබලයෙන් මේ සියළු අපරාධයන් යුක්ති සහගත කළා.
චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ආණ්ඩුව යටතේ 2000 වසරේ ඔක්තෝබර් 25 වෙනිදා බිඳුණු වැව රැඳවුම් කඳවුරේ සිටි දෙමළ රැඳවියන් පිරිසක් කපා කොටා පුළුස්සා ඝාතනය කළා. රැඳවියන් 27 දෙනෙක් හෝ ඊට වැඩි ප්‍රමානයක් මරාදමූ අතර 14 දෙනෙක් බරපතල කැපුම් හා පිළිස්සුම් තුවාල ලැබූවා. වරදකරුවන් නොවූ අවුරුදු 12 සිට තිස් ගණන්වල පසු වූ මේ දෙමළ යෞවනයන් රඳවා සිටියේ “පුණරුත්ථාපනය” සඳහා. පොලිස් ආරක්ෂාවද ඇතිව “පුණරුත්ථාපන” කවුරේ සිටියදී ඝාතනය කළත් අපරාධකරුවන් අධිකරණයෙන් නිදහස් වුණා. මේ නිදහස්වීම් පිළිබඳව සිංහල සමාජය සතුටු කඳුළු වැගුරුවා. මන්ද මරා දමුවේ “දෙමළ ත්‍රස්තවාදීන්” නිසා.
2012 වසරේදී වව්නියාව බන්ධනාගාර නිලධාරීන් විසින් පහරදී දෙමළ දේශපාලන සිරකරුවන් දෙදෙනෙක් මරා දැමුවා. ගනේෂන් නිමලරූබන් හා මරියදාස් ඩෙල් රුක්ෂන් මෙසේ ඝාතනයට ලක්වුවත් ඔවුන්ගේ යුක්තිය වෙනුවෙන් සිංහල සමාජයේ හඬක් නැගුණේ නැහැ. ඒ ඔවුන් “දෙමළ ත්‍රස්තවාදී” නාමකරණය නිසා.
බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමතිවරයාව සිටි ලොහාන් රත්වත්තේ අනුරාධපුර බන්ධනාගාරයේ සිටි දෙමළ සිරකරුවන්ට වදහිංසා පැමුණුවේ 2021 ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවේදී. බීමතින් බන්ධනාගාරයට ඇතුලුව පිස්තෝල හිසට තබා තර්ජනයකර දෙමළ සිරකරුවන් දණ ගැස්සුවා. සිරකරුවන් දණ ගැස්සවීමට දඬුවම වුනේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමති ධුරයෙන් පමණක් ඉවත් කිරීම. අනෙක් රාජ්‍ය අමාත්‍යධූරය ඔහු කළ වික්‍රමයට ප්‍රදානයක් සේ තිබෙන්නට ඉඩහැරියා. සිංහල සමාජය ප්‍රශ්නය දුරදිග ගෙන ගියේ නැත්තේ කන්ද උඩරට සිංහල බෞද්ධයා ළඟ දණ ගැස්සුවේ “දෙමළ ත්‍රස්තවාදීන්” නිසා.

”සිරකරුවෝද මනුෂ්‍යයෝ” කියලා තාප්පවල ලියලා තිබෙනවා. ඒත් දෙමළ සිරකරුවෝ මනුෂ්‍යයෝ නොවේ කියලා මහාවංශය ලියූ මහානාම හාමුදුරුවෝ පවා ලියා තිබෙනවා. එමනිසා අපි බොහොමයක් සිංහල බෞද්ධයන්, සිංහල කතෝලිකයන් සිංහල ජාතිවාදයේ සිරකරුවන් බවට පත්වෙලා. ඇට මස් නහරවලට බද්ධ වූ එකී දෙමළ විරෝධය “ත්‍රස්තවාදය” නැමති සීතාම්බරපටයෙන්වසා යුක්ති සහගත කරගමිනින් ඉන්නවා. නමුත් එම ත්‍රස්තවාදය දකුණේදී “අහිංසක සිරකරුවන්” බවට පත්වෙනවා.
විරුද්ධ පක්ෂයේ සිටියදී නම් සියළු ජන කොටස්වල පීඩිතයන්ගේ අයිතිවාසිකම්, වරප්‍රසාද වෙනුවෙන් අභීතව පෙනී සිටින්නන් බවට අපේ රටේ දේශපාලකයන් පත්වී සිටිනවා. එය සිංහල බෞද්ද, කතෝලික, හින්දු ඡන්ද ඉල්ලම් ගැරීමක් බව ඔප්පුකර තිබෙන්නේ ආණ්ඩු බලය ලබාගත් පසු සිංහල බෞද්ධ රාජ්‍යයේ ආරක්ෂකයන් බවට ඔවුන් පත්වෙන නිසා. 1948 සිට 2026 දක්වා නොවෙනස්ව එය සිදුවිමෙන් පවතිනවා. මීගමු ගැටුමේදී මාලිමා ආණ්ඩුවේ හර්ෂණ නානායක්කාර අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ කදුළු කැට වැටුණේද සිංහල බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන් ඉදිරියේදී පමණයි. එහෙව් රටක මරා දැමූ දෙමළ සිරකරුවන්ට කුමන යුක්තියක්ද? කුමන සාධාරණයක්ද?
එදා 83 දී එජාප සිංහල ආණ්ඩුව සිංහල බන්ධනාගාර නිලධාරීන් මෙහෙයවා ගනිමින් සිංහල සිරකරුවන් ලවා දෙමළ සිරකරු සංහාරයක් කළා. අද එකී විෂම චක්‍රය පෙරළා සිංහල සමාජයට අභිමුඛවී තිබෙනවා. 2026 ජූලි 05 සහ 06 වෙනිදා මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මේවන විට අඩුම වශයෙන් සිංහල සිරකරුවන් 23 ක් හා සිංහල බන්ධනාගාර නිලධාරීන් 8 ක් මරණයට පත්වෙලා. තවත් 100 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයිද, ගැටුමට මැදිහත් වී ජීවිත බේරාගත් සිංහල සිරකරුවන් බන්ධනාගාර තුළදී සිංහල බන්ධනාගාර නිලධාරීන්ගේම කෲර වධහිංසාවන්ට ලක්වන්නේ යැයිද වාර්තා වෙනවා. දෙමළා අනෙකා කරගනිමින් ඔවුන්ගේ අයිතීන් වලදැමූ සමාජයකට මේ උරුමය අරුමයක් විය හැකිද? එමනිසා වජිර අබේවර්ධලාත්, ආණ්ඩු පක්ෂ, විපක්ෂ කවුරු කවුරුත් මතක තබා ගත්තොත් හොඳයි “ලබ්බට තියපු අත තමයි පුහුලටත් තියන්නේ” යි කියන්නේ මේවට කියලා.
- සිරකරුවන් වෙනුවෙන් කිඹුල් කඳුලු හෙලන පාලකයෝ.. - July 31, 2026
- NPP, නිර්ධන පංතියෙන් ධනපති පංතියට යන විප්ලවයක්..! - April 22, 2026
- යැංකි-සයොනිස්ට් මිසයිල වලට ඉරානයයටපත් කරන්න බැහැ.. - March 23, 2026