You are currently viewing හතුරෝ ..

හතුරෝ ..

ගැත්තෝ හාම්පුතාට වැඳ වැටෙති. තාන්න මාන්න තනතුරු උදෙසා පත ලෙව කති. එය අතින් පයින් කටින් පමණක් නොව උගත්කමෙන් හෝ සිය දැනුමෙන් පවා කරති.

ආණ්ඩුව වෙනුවෙන් වග උත්තර කියන්නට යවනු ලැබූ ගැත්තා එනම් නීතිඥයා කළ ප්‍රකාශයත් ආණ්ඩුවේ බලු ගැති මාධ්‍ය යහමින් පළ කෙළේය. එහි දී නීතිඥ ගැත්තා කීයේ ජිනීවා නුවරට ගොස් ආණ්ඩුවේ වැරදි කියන අය ජාති ද්‍රෝහීන් බව ය. එසේ ද්‍රෝහීන් වීමට කියා ඇති දේ මොනවා දැයි කීවේ නැත. ගැති මාධ්‍යයෝ ද ගැත්තා කී දේ මිස රටට එරෙහිව කියා ඇති දේ කුමක්දැයි පළ නොකළහ. නීතිඥයා ඒ සිය ස්වාමියාට වලිගය වැනු ආකාරය යි. මාධ්‍යය තම බඩ ගෝස්තරය සලසන පාලකයාට රෙදි සෝදා දෙන ආකාරය යි.

ආණ්ඩුවට එරෙහිව අර ද්‍රෝහීන් පැවසූ දේ නොකියා සාමාන්‍ය මිනිසා සත්‍යය වටහා ගත්තේ කෙසේ ද? මෙරට උගතුන් ද, ජන මාධ්‍ය ද, ජනතාව මුළා කෙරමින් පවත්වා ගැන්ම වසර 74 ක්ම කර ගෙන ගිය දේ ය.

‘ජාති ද්‍රෝහීන්’ කළේ කුමක් ද? ආණ්ඩුව, මර්දන නීති යොදා අත් අඩංගුවට ගැනීම් අසාධාරණ නඩු පවරන හැටිත් වෙනත් මානව අයිතිවාසිකම් උල්ලංඝනය කර හැටිත් කී බව නිසැක ය. පෙර එක් කලෙක එජාප ආණ්ඩුව මානව අයිතිවාසිකම් පතුරු ගසද්දී මහින්ද රාජපක්ෂ ජිනීවා යද්දී සිදු වූයේ ත් ඔය ටිකම ය. එදා ඒක හරි. අද ඒක වැරදි ද?

සිද්ධිවල වෙනසක් නැත. වෙනස ඇත්තේ මිනිසුන්ගේ ය. මෙබඳු සත්‍ය ය, යුක්තිය නොදැන පොත්වල අච්චු අකුරු වන්දනා කරන උගතුන් ද, සත්‍යය හැර අන් සියල්ල පළ කරන මාධ්‍ය ද අපේ රට මේ විනාශය කරා ඇදගෙන ආ බව පැහැදිලි ය.

ජනතාවනි, අපේ රට මේ කාලකණ්නි හැතිකරයෙන් බේරා ගනිමු. එක්සත් ජාතීන්ගේ අත කොලුවක්වීම පාලකයන්ට මානව අයිතිවාසිකම් කඩ කිරීමට ලයිසමක් ද? චීනය අපේ පැත්තව කතා කිරීම නිසා අප ගැති විය යුතුද? මේ ලෝක දේශපාලනය නොදැන ආණ්ඩුවට වලිගය වැනීම කවර රාජ්‍ය තන්ත‍්‍රයක් ද?     

Leave a Reply