You are currently viewing විධායක ජනාධිපතිකම අහෝසිය තවත් වරක් පුස් වෙඩිල්ලක් වේවි ද?

විධායක ජනාධිපතිකම අහෝසිය තවත් වරක් පුස් වෙඩිල්ලක් වේවි ද?

ලබන වසරේ ඔක්තෝබර් මස වන විට පැවැත් විය යුතු ජනාධිපතිවරණය පිළිබඳ උණුසුම වැඩි වෙමින් පවතී. එක් එක් පක්ෂ අතර මෙන්ම පක්ෂ තුළ ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ කවුද යන්න නිතර කතාබහ වෙන මාතෘකාවකි. සමගි ජනබලවේගයේ සභාපති සරත් පොන්සේකා ජනාධිපතිවරණයක දී තමාගේ සහාය සජිත් ප්‍රේමදාසට ලබා නොදෙන්නේයැයි කළ ප්‍රකාශයක් නිසා එම කඳවුර තුළ තරමක ආන්දෝලනයක් ඇති විය. ඊට පෙර ජාතික ජන බලවේගයේ මංත්‍රීවරියක් වූ හරිනි අමරසූරිය එම පෙරමුණ වෙනුවෙන් ජනාධිපති තරගයට ඉදිරිපත් කිරීමේ සූදානමක් ගැන කතාබහ වුව ද ඒකේඩී යන සුරතල් නාමයෙන් හැඳින්වෙන අනුර කුමාර දිසානායක තරගයට ඉදිරිපත් වන බව දැන් නිසැකයෙන්ම තහවුරු වී ඇත. පොදුජන එක්සත් පෙරමුණ එක්සත් ජාතික පක්ෂය ඇතුළත් අනෙක් පක්ෂවලිනුත් ජනාධිපති තරගයට ඉදිරිපත් වීමේ සූදානම තිබුණ ද රටේ පවතින දේශපාලන තත්වය මත ඔවුන්ට සැලකිය යුතු බලපෑමක් කළ හැකි වනු ඇතැයි පිළිගැනීමක් නැත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ලබන වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇති නමුත් රනිල් රාජපක්ෂ ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පසෙකට දමා ජනාධිපති රනිල් කියන දේ නීතිය හැටියට සලකන තත්වයක් යටතේ ඡන්දයක් පැවැත්වෙන්නේද යන්න සැක සහිතය. පළාත් සභා සහ ප්‍රාදේශීය සභා ඡන්ද කල් දැමු ආකාරය අමතක වීමට තරම් කලක් ගත වූයේ නැත. ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම පැවැත්වීමට අයවැයෙන් වෙන් කළ ප්‍රතිපාදන නිකුත් කරන ලෙස භාණ්ඩාගාරයට නියෝග කළ විට පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩ කිරීමේ චෝදනාව මත ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකරුවන් පාර්ලිමේන්තු අධිකරණයක් ඉදිරියට කැඳවීමේ සූදානමක් ද තිබිණ.

ඒ කතාවේ එක පැත්තකි. ආණ්ඩුව කරවන අයත් ආණ්ඩු බලය ලබා ගැනීමට කැස කවන අයත් අමතක කිරීමට උත්සාහ කරන හෝ පැත්තකට දමා ඇති වැදගත්ම එමෙන්ම ප්‍රබල කාරණය වන්නේ දශක හතරකට අධික කාලයක් තුළ අසාර්ථක වූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට ජනතාවට සෘජුව වගකියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බිහි කිරීමට මෙම දේශපාලන පක්ෂ සහ සන්ධාන සූදානම් ද යන්නයි.

මෙම ඉතිහාසයෙන් පෙනුනුම් කරන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ලක්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එකඟව සිටින්නේය යන්නයි. සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් මෙය වඩාත් තහවුරු වූ සත්‍යයකි. එසේ තිබිය දී මෙම පක්ෂ හෝ සන්ධාන දෙකම තම අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමේ අරමුණෙන් ජනාධිපතිවරණයට තරග වදින්නේ ඇයි? ඉමහත් ධනස්කන්ධයක් සහ අපමණ වෙහෙසක් දරා අහෝසි කිරීමට සපථ කළ තනතුරක් සඳහා තරග වදින්නේ ඇයි? සජිත් දිනුවත් අනුර කුමාර දිනුවත් දෙදෙනාගේ ම කාර්ය එම තනතුර අහෝසි කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් හෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ය. එම කාර්යන් දෙකෙන් කුමන එකක් හෝ දත්මිටි කා ගිරිය පුප්පා කෑ ගැසීමෙන් කළ හැකි හෝ කළ යුතු දෙයක් නොවේ.

ඇත්තෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට වඩා නිතර සංශෝධනය කරන 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ යුතු වන්නේ සාකච්ඡාව හා සම්මන්ත්‍රණය තුළින් ඇති කර ගන්නා එකඟතාවයෙනි. 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පැන වූයේ ඒ කිසිම ක්‍රියා මාර්ගයක් අනුගමනය නොකර හයෙන් පහේ බහුතරයෙනි. එවකට අගමැති වූ ජේ ආර් හයෙන් පහේ බහුතරය පාලනය කෙළේ එම මංත්‍රීන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි තම කමීස සාක්කුවේ දමා ගෙන ය. ව්‍යවස්ථාවට විරුද්ධ වන අයෙකුගේ මංත්‍රිකම ඉවත් කොට ඒ සඳහා තමාට කැමති කෙනෙකු පත් කර ගැනීමට ජේ ආර් ට හැකියාව තිබිණ.

එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාලකයාට ආකර්ෂණය වන්නේ විධායක ජනාධිපති තනතුරට ලබා දී ඇති සුවිශේෂී බලතල නිසාය. එම ක්‍රමය අහෝසි කිරීමට බලය ලබා ගත් තැනැත්තා හෝ තැනැත්තිය තනතුරේ දිවුරුම් දීමෙන් පසුව උත්සාහ කරන්නේ හැකි කලක් එම බලයේ රස විඳීමට ය. එය අප ලබා ඇති අත්දැකීම යි.

ඉදිරියේ පැවැත්වෙන කවර හෝ මැතිවරණයක දී කුමන පක්ෂයක් හෝ පුද්ගලයෙක් බලයට දිනා ගත්තත් දේශපාලන සුජාත භාවය, නැතිනම් ජනතා විශ්වාසය තහවුරු කර ගැනීමට ජරා ජීර්ණ දූෂිත ක්‍රමය වෙනස් කිරීමට වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළ යුතුය. එවැනි වැඩ පිළිවෙළක ආරම්භය ජනතාවට වග කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකි. එවැන්නක් තනි පක්ෂයක හෝ පෙරමුණක දායාදයක් නොව සමස්ත ජනතාවගේම සාධාරණ සහ යුක්ති සහගත වුවමනාවන් පිළිබිඹු වන්නක් විය යුතුය. ඒ සඳහා පක්ෂ පෙරමුණු සීමා ඉක්මවා යා යුතුය.

Print Friendly, PDF & Email

Leave a Reply