You are currently viewing ජනතාවට සංවේදී නොවන මහ බැංකු මොළකාරයිකන්ගෙන් රටට වැඩක් වේද?

ජනතාවට සංවේදී නොවන මහ බැංකු මොළකාරයිකන්ගෙන් රටට වැඩක් වේද?

අලුත්ම පාර්ලිමේන්තු පනතකින් ස්වාධීන වූ මහ බැංකුවේ මහා වැටුප් වැඩිවීම ගැන පාර්ලිමේන්තුවේ කතා බව නතර වූයේ මුදල් පිළිබඳ අධීක්ෂණ කමිටුවේ වාර්තාවක් ලැබෙන තෙක් ඒ ගැන තීරණයක් ගැනීම කල් දැමීමෙනි. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු පවා නොසලකා කටයුතු කරන සම්ප්‍රදායක් ඇති මේ රටේ කමිටු වාර්තාවෙන් වැඩි බලාපොරොත්තුවක් තැබීම ඉබ්බන්ගෙන් පිහාටු ලබා ගැනීමෙන් වෙනස් වන්නේ ජනවරමක් නැති විධායක ජනාධිපති කෙනෙකු යටතේ රට පාලනය වන නිසා ය. රටේ මුදල් ඇමති වන්නේ ද මෙම අනුප්‍රාප්තික ජනාධිපති නිසා ඔහුට අවශ්‍යතාවයක් තිබුණේ නම් ආන්දෝලනයට තුඩු දුන් මෙම ගැටලුව විසඳීමට කාරක සභා වාර්තා අවශ්‍ය වන්නේ නැත.

මහ බැංකුවේ මූලික කාර්යක් වූ මූල්‍ය ආයතන අධීක්ෂණයේ දී අසමත්ව ඇති ආකාරයට නිදසුන් වශයෙන් විජේරත්න මහතා පසුගිය කාල වකවානුවේ දී බංකොළොත් වු මූල්‍ය සමාගම් සහ බැදුම්කර සිද්ධිය වැනි කරුණු රැසක් ඉදිරිපත් කර ඇත. ඉන් වඩාත්ම සිත් ගන්නා කරුණ වන්නේ සේවක අර්ථ සාධක අරමුදලේ පරිපාලනය කරන ආකාරය ගැන කර ඇති සඳහනයි.

කලින් පැවති ක්‍රමය අනුව සේවකයෙකු තමන් සේවය කරන ආයතනයෙන් ඉවත්ව වෙනත් ආයතනයක සේවයට ගිය විට ඔහු ගේ අර්ථසාධක අරමුදල් බැර කරන්නේ නව අංකයක් යටතේ ය. එවිට එකම සේවකයෙකුට අර්ථ සාධක අරමුදල් අංක කීපයක් තිබිය හැකිය. මෙය විවිධ ආකාරයේ දූෂණ සහ වංචාවලට තුඩු දිය හැකි තත්වයක් නිසා සෑම සේවකයෙකුම ඔහුගේ හෝ ඇයගේ ජාතික හැඳුනුම් පතේ අංකය යටතේ ලියාපදිංචි කිරීමට තීරණය කෙරිණ. එවිට සේවකයා ආයතන ගණනාවක සේව කළත් ඔහුගේ සේවක අර්ථ සාධක අරමුදලට දායක මුදල් යැවීමේ දී ගැටලුවක් නැත. එය සේවකයාට තම සේවක අර්ථ සාධක අරමුදලේ ශේෂය දැන ගැනීමට ඉතාමත් පහසු ක්‍රමයකි. එහෙත් එම කටයුත්ත කිරීමට වසර ගණනාවක් ගත වුවද මහ බැංකවේ කාර්යක්ෂම සේවක මණ්ඩලයට නොහැකි වී ඇත.

ප්‍රකාශයට පත් කර ඇති සංඛ්‍යා ලේඛන අනුව සේවක අර්ථ සාධක අරමුදලට ලියා පදිංචි වී ඇති සංඛ්‍යාව දශ ලක්ෂ 2.6කි. එහෙත් මහ බැංකුවේ අර්ථ සාධක අරමුදල් ගිණුම් දශලක්ෂ 17’3ක් ඇත. රටේ මුළු ජන සංඛ්‍යාව දශ ලක්ෂ 22ක් වන අතර ඉන් දශ ලක්ෂ 17’3ක්ම සේවක අර්ථ සාධක අරමුදලට දායක වන බව මෙම සංඛ්‍යා ලේඛනවලින් කියවෙන පණිවුඩයයි.

මහ බැංකුවේ පාලනය යටතේ පවතින සේවක අර්ථ සාධක අරමුදලේ කළමනාකරණය ගැන 2015 බැදුම්කර සිද්ධිය ගැන පරික්ෂා කොට වාර්තා කිරීමට පත් කළ වොහාරික විගණන වාර්තාව සඳහන් කළ කරුණු කීපයක් මීට පෙර ලිපියක සඳහන් කෙළෙමු. ඒ ගැන තව දුරටත් කරුණු දැක්වීම අවශ්‍ය නොවන නමුත් මහ බැංකු කළමනාකරණය එහි පාලකයන් ඉස්මතු කර දක්නා ආකාරයට සුපිරි එකක් නොවේ. එය රජයේ වෙනත් බැංකුවකින් හෝ ආයතනයක්න් වෙනස් වන්නේ සුපිරි පඩිවලින් පමණි. රටේ ආර්ථිකය බංකොළොත් කිරීම පිළිබඳව මෑතක දී ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවේ දී මහ බැංකුවේ සමහර නිලධාරීන්ද ජනතාවගේ අයිතිවාසිකම් කඩ කළ අය ලෙස නම් කර තිබිණ. 2022 දී රට බංකොළොත්වීමට තවත් හේතුවක් වන්නේ මහ බැංකුව රුපියලේ විනිමය අනුපාතය කෘත්‍රීම ලෙස ඉහළ මට්ටමක පවත්වා ගැනීම බව බොහෝ ආර්ථික විද්‍යඥයෝ පවසති.

මේ කරුණුවලින් පැහැදිලි වන සරල කාරණය රටේ ආර්ථිකය බංකොළොත් කිරීමේ දී මහ බැංකුවේ සුපිරි වැටුප් ලබන සේවකයන් පාලනයේ සිටි දේශපාලකයන්ගෙන් වෙනස් වන්නේ නැතය යන්නයි. 2022 වසරේ ආර්ථිකය කඩා වැටීම පුරෝකතනය කිරීමට මහ බැංකුවේ ආර්ථික විශ්ලේෂකයන්ට හෝ සමීක්ෂණ අංශවලට හැකියාවක් තිබුණේ නැත. එසේ නොහැකි වූයේ නොදැනුවත්කම නිසා ද අකාර්යක්ෂමතාවය නිසා ද යන්නත් ඉදිරි පියවර ගැනීමේ දී සැලකිල්ලට ගත යුතුය.

දැනට රට මුහුණ දී ඇත බරපතළම අර්බූදය වන රාජ්‍ය ණය ප්‍රශ්නයේ දී ද මහ බැංකුව ක්‍රියාත්මක වී ඇත්තේ ජනතාවගේ සුභ සිද්ධිය සඳහා නොව දේශීය සහ විදේශීය මූල්‍ය ආයතනවල වුවමනාව වෙනුවෙනි. විදේශ ණය ප්‍රතිව්‍යුහගත  කිරීමේ කොන්දේසියක් ලෙස දේශීය ණය ප්‍රතිව්‍යුහ කළ යුතුයැයි මූල්‍ය සංවිධාන යෝජනා කළ විට මහ බැංකුව වහාම එය පිළිගෙන දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඉදිරිපත් විය. ප්‍රතිව්‍යුහ ගත කිරීමේ බර වැඩි වශයෙන්ම පැටවූයේ සේවක අර්ථ සාධක අරමුදල මත ය.

සේවක අර්ධ සාධක අරමුදලේ විශාල මුදල් ප්‍රමාණයක් තිබෙන නමුත් එහි හිමිකරුවන් අඩුම වැටුප් ලබන අයයි. එනම් අරමුදලේ ගිණුම්වලින් සියයට 85ක්ම රු. ලක්ෂයට වඩා අඩු ඒවාය. සේවක අර්ථසාධක අරමුදල් පනත අනුව අරමුදල බදු අය කිරීමෙන් නිදහස් වුවද ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩිම බර දැරුවේ ඔවුන් ය. විදෙස් විනිමය පවත්වා ගැනීමට අපනයන ආදායම් හෝ රටට ලැබෙන්නේ ද යන්න ගැන ද බැංකුව උනන්දු වන්නේ නැත. විදෙස් විනිමය සංචිත ගැන අධීක්ෂණය කරන ආයතනයක් වන ග්ලෝබල් පයිනෑන්ෂල් ඉන්ටෙග්‍රටි (Global Financial Integrity) පසුගිය වසරේ පළ කළ වාර්තාවක් අනුව 2009 සිට 2017 දක්වා කාලය තුළ ලංකාවට ගෙන ආවේ නැති විදෙස් විනිමයේ වටිනාකම ඇ. ඩොලර් බිලියන 36.833 කි. මෙම මුදල ගෙන්වා ගැනිමට මහ බැංකුව උනන්දු වූයේ නම් 2022 අප්‍රේල් මස ලංකාවට බංකොළොත් භාවය ප්‍රකාශ කිරීමට සිදු වන්නේ නැත.

මින් පැහැදිලි වන්නේ රටේ ඉහළම වැටුප් ලැබීමට හෝ සියයට 80 ක වැටුප් වර්ධක ලබා ගැනීමේ නීතිමය අයිතියක් හෝ සදාචාරමය බැඳීමක් මහ බැංකුවට නැත යන්න ය. එවැනි හිතුවක්කාර පියවරක් වැළැක්වීමට හෝ නිවැරදි කිරීමට බලධාරීන් පියවර නොගැනීමන් පෙනී යන්නේ ඔවුන්ට හිමිවන දේශපාලන අනුග්‍රහයේ වපසරියයි. එමනිසා ආර්ථිකය ගොඩ නැගීමේ පියවරට විදෙස් ණය ලබා ගැනීමටත් වඩා වැදගත් වන්නේ දේශීය ආයතන වගකීමට සහ වගවීමට බැඳී සිටින තත්වයට පත් කිරීම ය. එසේ නැතිව පාර්ලිමේන්තු කමිටු වාර්තාවලින් ප්‍රශ්නයට විසඳුම් ලැබෙන්නේ නැති බව අමුතුවෙන් කිව යුතු නොවේ.

Print Friendly, PDF & Email

Leave a Reply