You are currently viewing හොරකම ආයෝජනය කර සංවර්ධනයට යන රනිල් ගේ පාර..

හොරකම ආයෝජනය කර සංවර්ධනයට යන රනිල් ගේ පාර..

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිතර ජප කරන මංත්‍රයක් වන්නේ අගාධයෙන් ගලවා ගෙන ඇති ආර්ථිකය වඩාත් ශක්තිමත් කොට සංවර්ධිත රටක තත්වයට නැංවීමට විදේශිය ආයෝජකයකන්ට දොර කඩුලු විවෘත කොට හිතකර පරිසරයක් පවත්වා ගත යුතුය යන්නයි. ආයෝජකයන් දිරි ගැන්වීමට ඔහු එම ආයෝජකයන් වෙනුවෙන් පෙනි සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව සහ අනෙකුත් ජාත්‍යන්තර බැංකු නිර්දේශ කරන ඕනෑම පියවරක් ගැනීමට සූදානම් ය. ඒ අනුව, දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට, සමාවන්න ප්‍රශස්ත කිරීමට බැංකු සහ වෙනත් මූල්‍ය ආයතන වැනි මෝරුන්ට සහන සැලසෙන ආකාරයට සේවා අර්ථ සාධක අරමුදලේ තම ඉතිරුම් ඇති හාල්මැස්සන්ට දඬුවම් කිරීමට සූදානම් ය. එවැනි පියවරක සාධාරණත්වය තිරණය කිරීමට රටේ ඉහළම අධිකරණයට පවා ඉඩක් නැත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනතාවට විරෝධතාවයක් දැක්වීමට පාරට බැසීමට ඉඩ නොතබා, අධිකරණය හෑල්ලුවට ලක් කර, නිසි කලට මැතිවරණ නොපවත්වා උත්සාහ කරන්නේ ඔහුට අවශ්‍ය පරිදි රටේ නිතිය හා සාමය පවතින්නේය යන මතය ලෝකයාට ඉදිරිපත් කිරීමට ය. ඉන්දියානු ආයෝජකයන්ට දෙපයින්ම ඇවිද ගෙන ඒමට හැකි වන ආකාරයට පෝක් සමුද්‍ර සන්ධිය හරහා පාලමක් ඉදි කිරීමට ද පිඹුරු පත් සකස් කරයි. ඉන්දියානු සහ චීන ආයෝජකයන්ට සහ අනෙකුත් ගනුදෙනුකරුවන්ට සන්නිවේදනය පහසු කිරීමට හින්දි සහ චීන භාෂාව ඉගැන්විමට සූදානම් ය. භාෂාවක් ඉගෙන ගැනීම දැනුම ලබා ගැනීමේ නිම් වළලු පුළුල් කිරීමක් නිසා අගය කළ යුතු පියවරක් වුවද මෙහිදි ඔහුට අවශ්‍ය වන්නේ හාම්පුතුන්ට රිසි සේ හැසිරවිය හැකි ශ්‍රම හමුදාවක් තනා දීමය.

එහෙත් රටක සම්පත් සූරා කන, යටි මඩි සූත්‍රවලින් ධනය හොරා ගන්නා, වංචනිකයන් හැර අවංක ධනවාදි ආයෝජකයන්ට අවශ්‍ය වන්නේ තම ව්‍යාපාරික කටයුතු අතුරු ආබාධ නැතිව පවත්වා ගත හැකි සමාජ ආර්ථික පරිසරයක් පැවතිමය. එවැනි ආයෝජකයන්ට මාර්ගෝපදේශ ලබා දෙන ආයතන ව්‍යාපාර කටයුතු කිරීමට ඇති පහසුකම් පිලිබඳ දර්ශක සකස් කරන්නේ ඒ නිසාය. එම දර්ශකයේ ඉහළම තැනක සිටින සිංගප්පූරුව වැනි රටවලට ආයෝජකයන් ගලා එන්නේ ව්‍යපාර කටයුතු කිරීමේ පහසුව නිසාය. එම දර්ශකයේ එතරම් වැදගත් නොවන නමුත් චිනය වැනි රටවලට ආයෝජකයන් යන්නේ එහි වෙළඳ පොළේ විශාලත්වය නිසාය. ලංකාව වැනි රටවලට එවැනි ආකර්ෂණයක් නැත.

ලංකාව වැනි රටවලට ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමටනම් නීතිය සහ සාමය පවත්වා ගැනීම ඉහළ මට්ටමක පවත්වා ගත යුතුය. නිතිය හා සාමය පවත්වා ගැනීම ව්‍යාපාරික කටයුතුවලට ද පහසුය. පවතින නීති අනුව ආයෝකයන්ට ව්‍යාපාරික කටයුතු සැලසුම් කළ හැකිය. සිංගප්පූරුව වැනි කුඩා දිවයිනකට ආසියාවේ මූල්‍ය වෙළඳ පොළ කේන්ද්‍රයක් බවට පත්වීමට හැකි වූයේ එම නිසාය.

අපේ රටේ නීතිය හා සාමය පවත්වා ගැනීමේ ඉතිහාසය කිසිසේත් ලෝක පරිමාණයේ ව්‍යාපාරිකයන් නොව රටේ කුඩා ආයෝජකයෙකු පවා දිරිමත් කරන්නේ නැත. සියල්ල හසුරුවන්නේ දේශපාලකයන් ගේ කැමැත්ත අනුව නිසා ව්‍යාපාරිකයන් ආයෝජන තීරණ ගත යුතු වන්නේ දේශපාලකයන් ගේ කැමැත්ත අනුවය .

මේ පිළිබඳව කදිම උදාහරණයක් පසුගිය සතියේ දියවන්නා ඔය පැත්තෙන් ඇසිණ. පාර්ලිමේන්තුව සුපුරුදු පරිදි රැස් වූ විට නැගී සිටි මූලික කර්මාන්ත රාජ්‍ය ඇමති චාමර සම්පත් දිසානායක ඊට පෙර දින ඔහුට විරුද්ධව රහස් පොලිසියට ගොනු කර ඇති පැමිණිල්ලක් නිසා පොලිසියට තමා සිර භාරයට ගැනීමට අවශ්‍යනම් ඊට ඉඩ දෙන සේ මූලාසනයේ සිටි නියෝජය කතානායකගෙන් ඉල්ලා සිටියේය. පාර්ලිමේන්තු මංත්‍රීන්ට හිමිව ඇති වරප්‍රසාද අනුව ඔවුන් සිරභාරයට ගැනීමට පෙර කතානායකගේ අවසරය ලබා ගත යුතුය. මෙම ඉල්ලීමෙන් ඔහු බලාපොරොත්තු වූයේ එවැනි වරප්‍රසාද තමා වෙනුවෙන් අදාල නොකර වහාම අත් අඩංගුවට ගැනීමට ඉඩ දිය යුතුය යන්නයි. බැලු බැල්මට එය බෙහෙවින් සද්භාවයෙන් කරන ලද අවංක ඉල්ලීමකි. එවැනි පියවර දැනට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ජනතාව අතර බිඳ වැටී ඇති විශ්වාසය තහවුරු කිරීමට හිතකරය.

චාමර සම්පත් නැමති මෙම නියෝජ්‍ය ඇමති අප දන්නා ආකාරයට මෑතක දී එප්පාවෙල පොස්පේට් නිධියේ සේවය කරන ඉන්ජිනේරුවරයෙකු ට මිලදී ගැනීමේ ක්‍රියා පටිපාටියේ දී කළ වැරදි නිසා සුද්ද සිංහලෙන්ම බැණ වැදුණේ රූපවාහිනි කැමරා ඉදිරියේය. එය අවංකවම මහජන දේපොළ රැකගැනීම පිළිබඳව ඔහු තුළ ඇති කැක්කුම නිසා වන්නට ඇත. ඔහු එම පරිශ්‍රයට ඇතුළුවීමට පෙර ආරක්ෂක නිලධාරීන්ගෙන් උත්තමාචාරයෙන් පිදුම් ලැබුවේ ද එම නිසා වන්නට ඇත. එම උත්තමාචාරය ලබා සතියක් ගතවීමට පෙර ඔහු දැනට අත හැර දමා ඇති ලංකාවේ පළමු සිමෙන්ති කම්හලේ යන්ත්‍ර සූත්‍ර පරණ යකඩවලට කුණු කොල්ලයට විකුණා රජයට කෝටි ගණනක් පාඩු කර ඇතැයි වාර්තා විය. ඒ පිළිබඳව ඔහුට විරුද්ධව රහස් පොලිසියට පැමිණිල්ලක් කර ඇත්තේ එම ආයතනයේ හිටපු සභාපති ය.

රාජ්‍ය ඇමති චාමර සම්පත් ස්වේච්ඡාවෙන්ම අත් අඩංගුවට පත්වීමට කතානායකගේ අවසරය පැතුවේ මේ නිසා ය. ඇත්තෙන්ම ඔහු අත් අඩංගුවට ගත යුතු ද නැද්ද තීරණය කරන්නේ පැමිණිල්ල ගැන පරීක්ෂණ පවත්වන කණ්ඩායම යි. එමනිසා හොරාට පෙර කෙසෙල් කැනට කඩුල්ලෙන් පැනීමට අවශ්‍යතාවයක් නැත.

රනිල් සහ ඊට පෙර සිටි පාලකයනුත් දූෂණ වංචාවලට විරුද්ධ වන්නේ ඒවායින් බැට කන ජනතාව තාවකාලිකව සංසිඳවීමට විනා වැරදිකරුවන්ට දඬුවම් දීමට නිතිමය පියවර ගැනීමෙන් නොවන බව ඉතිහාසයෙන්ම පෙන්නුම් කර ඇත. එමනිසා කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ යන්ත්‍ර සූත්‍ර හොර රහසේ විකිණීමේ පරික්ෂණය සුපුරුදු ඉබි ගමනින් යනවාට සැකයක් නැත. පරීක්ෂණ අවසන් ව නඩු පැවරීමට ද තවත් කාලයක් ගත වන නිසා චාමර සම්පත් නියෝජ්‍ය ඇමති අත් අඩංගුවට ගැනීමේ හදිසි අවශ්‍යතාවයක් මතු නොවනු ඇත. එහෙත් එය ඔහුගේ “එඩිතර” භාවය ප්‍රකාශ කිරීමට එය බාධාවක් වන්නේ නැත.

කිසියම් හාස්කමකින් පරීක්ෂණ කටයුතු නිම වූවායැයි සිතමු. ඉන් පසුව සිදු වන්නේ කුමක් ද? පරීක්ෂණවාර්තා හමස් පෙට්ටියට නොවැටී තිබෙන්නේ ද?

මේ ගැන ද මෑතක තවත් නිදසුනක් රනිල් ගේ ආණ්ඩුවෙන්ම ලබා දී ඇත.

දැන් වැවිලි කර්මාන්ත රාජ්‍ය ඇමති තනතුරක් හොබවන ලොහාන් රත්වත්තේ බන්ධනාගාර ඇමතිව සිටි කාලයේ වාර්තා වූ සිද්ධියක් අපගේ මතකයේ තවමත් රැඳී පවතී. වාර්තා වූ ආකාරයට ලොහාන් රත්වත්තේ බීමත්ව අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි රඳවා සිටි එල්ටීටීඊ සැකකරුවන් කීප දෙනෙකු ඔහු ඉදිරියේ දණ ගස්වා ගිනි අවියක් පෙන්වා මරණ බවට තර්ජනය කෙළේය. රජයේ රැකවරණය යටතේ සිටින රැඳවියෙකුට බලහත්කාරකම පෙන්වා තර්ජනය කිරීම බන්ධනාගාර නීති රීතිවලට අමතරව ශිෂ්ට සමාජය ද පිළිකුල් කරන්නෙකි. මේ පිලිබඳව සමාජයෙන් නැගුණ විරෝධතාවය නිසා කරුණු සෙවීමට කොමිටියක් පත් කිරීමට බලධාරීන්ට සිදු විය.

විශ්‍රාම ලත් මහාධිකරණ විනිශ්චයකාරවරියක් වන කුසලා වීරවර්ධනගේ ගේ සභාපතිත්වයෙන් යුත් කොමිටිය කරුණු සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයෙන් පත් කෙරිණ. එම කොමිටිය කරුණු සොයා බලා නිර්දේශ සමග වාර්තාවක් ඉදිරිපත් කළ ද එය එළි දැක්වූයේ නැත. රැඳවියන්ට තර්ජනය කිරීම පිලිබඳව උනන්දුවක් දක්වන පිරිස් තොරතුරු දැනගැනීමේ කොමිසමට ඉල්ලිමක් කළ අවස්ථාවේ දී එම ඉල්ලීම අදාල බලධාරීන් ප්‍රතික්ෂේප කෙළේ කැබිනට් වාර්තාවක් නිසාය. පසුව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ තීරණය කළ නිසා වාර්තාව ඉල්ලුම්කරුවන්ට ලබා දීමට සිදු විය.

එම වාර්තාව අනුව ලොහාන් රත්වත්තේ බරපතළ වැරදි ගණනාවක් සිදු කර ඇත. එහෙත් ඔහුට විරුද්ධව මෙතෙක් කිසිදු නීති ක්‍රියා මාර්ගයක් ගැනිමට පොලීසිය හෝ නීතිපති පියවර ගැනීමට අපොහොසත් වී ඇති බව පෙනේ. පොලිස් ප්‍රකාශකගෙන් කරන ලද විමසිල්ලකට දුන් පිළිතුර වූයේ කැබිනට් මණ්ඩලය වාර්තාව පදනම්ව කටයුතු කළ යුතුය යන්නයි. ඉන් පැහැදිලි වන්නේ මෙම බරපතළ අපරාධමය වැරැද්ද ගැන පොලීසිය උනන්දු නොවන බව යි. සරලව ජුලි නම වැනි දා කොළඹ කොටුව රජගෙදරට කඩා වැදුණු අරගලකරුවන් සහ ඔවුන් පැහැර ගත්තේයැයි කියන කොඩි සොයා ගැනීමට තිබු උනන්දුව මේ ගැන දක්නට නැත. මේ සංසිද්ධිියම කනකසන්තුරේ සිමෙන්ති කම්හගේ අබලන් යන්ත්‍ර සූත්‍ර විකිණීමේ පරික්ෂණවලටත් සිදු නොවන්නේ නම් පුදුමයකි.

මේ සිද්ධි දෙක පසුගිය කාලය තුළ සිදු වූ සහ දැනටත් සිදුවෙමින් පවතින දහස් ගණන් අකටයුතුවලින් අංශුමාත්ත්‍රයක් පමණි. වැරදිකරුවන් සොයා ඔවුන්ට දඬුවම් දීමට හෝ එවැනි වැරදි නැවත සිදු නොවීමට පියවර ගැනීමට පාලකයන්ට අවශ්‍යතාවයක් හෝ වුවමනාවක් නැත. ඔවුන් ඒ සියල්ලේ නිරුවත වසා ගැනීමට උත්සාහ කරන්නේ විදෙස් ආයෝජන ගෙන්වා රට සංවර්ධනය කිරීමේ මිරිගුව පෙන්වීමෙනි. මෙම කතාන්දරය වඩාත් රසවත් කිරීමට කිසිදු හිරිකිතයක් නැතිව දින වකවානු ද සඳහන් කරති. මුළු ජන සංඛ්‍යාවෙන් හරි අඩකට ආසන්න සංඛ්‍යාවක් දිනපතාම කුස ගින්නේ නින්දට යන රටක ජනතාවට කැඳ උගුරක් හෝ ලබා දීමට ආණ්ඩුවට වැඩ පිළිවෙළක් නැත.

වංචාවෙන් දූෂණයෙන් පාලනය වන රටක ජනතාව බොරුවෙන් මුළාවෙන් සැනසිය නොහැකිය. උද්ධමනය අඩු වුවත් බඩු මිල පහත වැටී නැති බව ජනතාව අත්දැකීමෙන්ම දන්නාක් මෙන් ආයෝජනය සහ සංවර්ධනය හිස් ප්‍රලාප බව ඔප්පු වී හමාරය. පාලකයන් නොදන්නා සේ ඇස් කන් පියගෙන සිටීමෙන් කාටවත් සුගතියක් වන්නේ නැත.

Print Friendly, PDF & Email

Leave a Reply