You are currently viewing මැර ප‍්‍රහාර සහ කඳුළු ගෑස්වලින් සමරණ නිදහස

මැර ප‍්‍රහාර සහ කඳුළු ගෑස්වලින් සමරණ නිදහස

හැත්තෑපස්වැනි නිදහස් සමරුව පසුගිය දා අරගලකරුවන්ගේ ලෙයින් තෙත් වූ ගාලූ මුවදොර පිටියේ දී ගොළු මුහුදෙන් හමා එන සුළෙඟේ ලෙළ දෙන සිංහ කොඩිය එසවීමෙන් පැවැත් වූයේ ලෝකාපවාදයෙන් මිදීමටය. පාර්ලිමේන්තුවෙන් තේරීපත් වූ විධායක ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පැවසූ ආකාරයට බංකොළොත් වූ අප එම උත්සවය උත්කර්ෂවත් ආකාරයට නොපැවැත් වූයේ නම් එය ලෝක නින්දාවකි. තවත් වරක ඔහු පැවසුවේ ණයට ගත් දශ ලක්ෂ දෙසීයක් වැය කර පවත්වන මෙම උත්සවය අනාගතය සඳහා කරන ආයෝජනයකි.

කෙසේ වුවත් මෙම සමරුවේ විශේෂ ලක්ෂණය වූයේ මින් පෙර කිසි දිනක නොවු ආකාරයේ විරෝධතාවයක් රට පුරා පැවතීමය. ආණ්ඩුවේ සහාය ලත් මැර ප‍්‍රහාරයෙන් සහ ඉන් පසුව පොලීසියෙන් එල්ල කළ ජල සහ ගෑස් ප‍්‍රහාරවලින් පලවා හරින ලද්දේ එවැනි විරෝධතාවලින් එකක් පමණි. එහෙත් උතුරේත් දකුණේත් ජනතාව තුළ පවතින විරෝධය ජල හෝ කඳුළු ගෑස් ප‍්‍රහාරවලික් පලවා හැරිය නොහැකි තරම් ගැඹුරට කිඳා බැස ඇති අඳෝනාවකි. එය ප‍්‍රචණ්ඩත්වයෙන් ගාලූ මුවදොරින් පලවා හරින ලද අරගලයේම ප‍්‍රකාශයකි.

ගාලූ මුවදොරට එක් වූ විවිධ සමාජ පංතීන්ට අයත් තරුණ තරුණියන්ගේ එක ඉල්ලීමක් වූ රාජපක්ෂ පාලනය ඉවත් කිරීම සාර්ථක වුවද ඔවුන්ගේත් රටේත් අපේක්ෂාව වූ සිස්ටම් චේන්ජ් එකක් සිදු වූයේ නැත. ඒ වෙනුවට සිදු වූයේ පුද්ගලයන්ගේ චේන්ජ් එකක් පමණි. ගෝඨාභය රාජපක්ෂ වෙනුවට විධායක ජනාධිපති තනතුරට පත් රනිල් වික‍්‍රමසිංහ (රාජපක්ෂ) පාලනය පලවා හරින ලද පාලනයෙන් වෙනස්වන්නේ නැත. රනිල්ගේ මර්දනකාරී පාලන ක‍්‍රමය සමහර අංශවලින් පෙර පැවති තත්වයටත් වඩා දරුණු ලෙස ක්‍රියාරයාත්මක වේ. ඊට අවශ්‍ය පාර්ලිමේන්තු සහාය ජනවරම අහිමි කර ගත් පොහොට්ටුවෙන් නොමදව ලැබේ.  නිදහස් දින සමරුව උජාරුවෙන් පැවැත්වීමට අවශ්‍ය වූයේ ලෝකයාටත් රටේ ජනතාවටත් සිස්ටම් චේන්ජ් එකක් නොවු බව සහතික කිරීමට ය.

2023Feb06[1]_independencesl2

රනිල් වික‍්‍රමසිංහ ඇතුළු බොහෝ දෙනකුගේ දුක් ගැනවිල්ල වන්නේ 48 දී බ්‍රිතාන්‍යන්ගෙන් නිදහස ලැබෙන විට පැවති මූල්‍ය සම්පත් ප‍්‍රමාණය අද සම්පූර්ණයෙන්ම හීන වී ගොස් රට හිඟමනට පත්වීමය. එදා තේ රබර් පොල් අපනයනයෙන් ලබා ගත් විදෙස් මුදල් සංචිත නිදහස ලබා වසර කීපයක් ඇතුළත සම්පූර්ණයෙන්ම හිස්කර දැමූ බව සත්‍යයකි. එහෙත් වැඩිය කතා බහට ලක් නොවන යථාර්ථය වන්නේ අපනයන ආදායම් ඉපැයූ වතු ආර්ථිකයේත් ගොවිතැනින් ජීවිතය යාන්තමට ගැට ගසා ගත් බහුතරයේත් ජීවිතය එදා පැවතියේත් අගහිගකම්වලින් පිරි දරිද්‍රතාවයේය. වතු ආර්ථිකයට සම්බන්ධව සිටි දේශීය ධනපති පංතියේ කීප දෙනකුට නිදහස අර්ථවත් වුවද ඉංග‍්‍රීසි නොදත් බහුතරයකට එහි කිසිම තේරුමක් තිබුණේ නැත. නිදහස් සෞඛ්‍ය සේවය, නිදහස් අධ්‍යාපනය වැනි සමහර පහසුකම් යටත් විජිත සමයේ සිට උරුමව පැවතුන නමුත් දරිද්‍රතාවයෙන් ගොඩ ඒමට හැකි වූයේ නැත. නිදහස ලබා වසර හැත්තෑපහ සමරන විට මෙම සමාජ කොටස්වල ජීවන තත්වයේ සැලකිය යුතු වෙනසක් සිදුව ඇත්තේම නැති තරම් ය. ඒ වෙනුවට මූලික වශයෙන්ම ඔවුන්ගේ කර මත පැටවී ඇති ණය බර ප‍්‍රමාණය කිසිසේත් දරා ගත නොහැකි ය. විශේෂත්වය වන්නේ එම බර සමාජයේ ඉහළ මධ්‍යම පංතිකයන්ට ද දරා ගත නොහැකි තත්වයට උත්සන්නව තිබීම ය.

සිස්ටම් චේන්ජ් එකක් නැතිනම් ක‍්‍රමයේ වෙනසක් අවශ්‍ය වන්නේ පවතින සහ මෙතෙක් පෝෂණය කළ ආර්ථික සහ දේශපාලන ක‍්‍රමයෙන් පොදුවේ සමාජයේ බහුතරයකට යහපතක් ඉටු නොවන නිසාය. සුපිරි ධනපංතියට හැර අනෙක් සියලූ දෙනාට මෙතෙක් පැවති ජීවන තත්වය හෝ පවත්වා ගත නොහැකිවීම නිසාය. එය සංකේතවත් වන්නේ තුන්වෙලක් කෑ අයට දෙවේලක් කෑමට හෝ නොහැකිවීමෙනි. දෙවේලක් කෑ පුද්ගලයාට එක වේලත් හෝ නොකා සාගින්නේ සිටීමට සිදුවීමෙනි. සමස්තයක් වශයෙන් ඉතා සීමිත කොටසක් හැරුණ විට රටම මුහුණ දී ඇත්තේ බරපතල ආර්ථික අහේනියකටය. Peper Cube Index නම් දර්ශකයෙන් පෙන්නුම් කරන ආකාරයට වියදමට වඩා ආදායමක් උපයන්නේ රටේ ජනතාවගෙන් සියයට අටක් පමණි. මෙම දර්ශකයේ ඉහළින් සිටින කොටස්වල අහේනිය පහළ සිටින අයට තරම් දරුණු නොවන නමුත් සියයට 92ක් තරම් වූ බහුතරය සිටින්නේ අසහනයෙනි. මෑතක පැන වූ අතිරේක බදු නිසා ඉහළ මට්ටමේ සිටි අයගේ වියදම් තවත් සීමා කිරීමට සිදු වනු ඇත.

‘කොහේ තියන නිදහසක් ද?’ තේමාව යටතේ එල්ෆිනිස්ටන් රඟහල අසල පැවති සත්‍යග්‍රහය

හැත්තෑපස්වැනි නිදහස් දිනය වැදගත් වන්නේ පරම්පරා දෙකකට ආසන්න කාලයක් තුළ මේ රට පරිහාණියට පත් කොට බංකොළොත් භාවයට ඇද හෙළන ලද දේශපාලන නායකයන්ට සහ ඔවුන්ට සහාය වූ පාලන ක‍්‍රමය තවදුරටත් පවත්වා ගත හැකිද යන්නෙනි. දෙවනුව බහුතර ජනතාවට අභිමානවත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය දේශපාලන සහ ආර්ථික රටාවක් ඔවුන්ට ගොඩ නැගිය හැකිද සහ එය කළ යුත්තේ කෙසේද යන්න විමසා බැලීමේ අවස්ථාවක් වශයෙනි. රනිල් වික‍්‍රමසිංහ වැනි පාලකයන් නිදහස් සමරුවට වැය කරන මුදල් අනාගත ආයෝජනයක් නම් එම ආයෝජනයෙන් පසුගිය වසර හැත්තෑපහ තුළම ලැබී ඇත්තේ සෘණ ප‍්‍රතිලාභයකි. එහි වගකීම පාලකයන් භාර ගෙන ඉවත්වීම අනිවාර්යෙන්ම කළ යුත්තකි. එහෙත් ඔවුන් ඊට සූදානම් නැත. මහජනතාවට සිය අකමැත්ත ප‍්‍රකාශ කිරීමේ අවස්ථාවක් වන ඡන්ද විමසීමකට පවා ඔවුන් අද සූදානම් නැත. පළාත් පාලන ආයතන සඳහා ඡුන්ද විමසීමට මුදල් නැත යනුවෙන් පවසන්නේ මුදල් නොමැතිකමට වඩා ජනතා කැමැත්ත ප‍්‍රකාශ වනු දැකීමට ඇති අකමැත්ත නිසා ය.

පවතින දේශපාලන සහ ආර්ථික ක‍්‍රමය සැකසී ඇත්තේ දේශපාලකයන්ගේ අවශ්‍යතාවය සඳහාය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවත් සෙසු ව්‍යවස්ථාවනුත් යොදා ගන්නේ එම වුවමනාව සඳහාය. මීට හොඳම නිදසුනක් වන්නේ රටේ ප‍්‍රධාන ආදායම් මාර්ගය උපයන වතු කම්කරුවන්ට පාලනයට සම්බන්ධවීමට ඇති අවස්ථා අවහිර කිරීම ය. නිදහස ලබන විට අපනයන ආදායමෙන් සියයට 60කට වඩා ඉපැයු වතු කම්කරුවන්ගේ ඡන්ද බලය අහිමි කෙළේ ඔවුන් ඉන්දියානු සම්භවයක් ඇති අය නිසාම නොව ඔවුන් පාලන බලයට සහභාගිවීම තුළින් තමන්ගේ ලාභාංශ අඩු කිරීමේ ප‍්‍රතිපත්ති සම්පාදනයට දායක වනු ඇතැයි බිය නිසා ය. එම සැබෑ අරමුණ ජාතිවාදී කඩතුරාවෙන් ආවරණය කිරීමට ඔවුහු සමත් වූහ.

දෙවැනිව බ්‍රිතාන්‍යන්ගෙන් නිදහස ලබා ගැනීම නිසා පාලකයන්ට ධන සම්පත් නිදහසේ සූරා කෑමට අවස්ථාව හිමි විය. එය ඇත්තෙන්ම සූරා කෑම ඉක්මවා ගිය සොරා කෑමකි. ග්ලොබල් ෆයිනැන්ෂල් ඉන්ටැග‍්‍රිටි ^Global Financial Integrity)නම් සංවිධානය වාර්තා කරන ආකාරයට 2009 සිට 2017 දක්වා කාලය තුළ අපනයන ආදායම්වලින් ආපසු මේ රට තුළට නොගෙනන ලද සම්පත් ප‍්‍රමාණය ඩොලර් බිලියන 36.9කි. මෑතක දී මහ බැංකුවේ අධිපති ද අපනයන ආදායම්වලින් සියයට 25ක් ආපසු රට තුළට ගෙන නොඑන බව සඳහන් කෙළේය. මෙම සංඛ්‍යා ලේඛන සසඳා බැලිය යුත්තේ මෙරට දේශපාලකයන් සතුව ඇති විදෙස් සම්පත් සමගය. දැනට විවිධ තොරතුරු මාර්ගවලින් හෙළි වී ඇති ආකාරයට මෙම දේශපාලකයන් නමින් විදෙස් රටවල ඇති ඩොලර් ප‍්‍රමාණය ලංකාවේ මුළු විදේශ ණය ප‍්‍රමාණයට සමානය. කිසිදු කර්මාන්තයක් හෝ ව්‍යාපාරයක් නොකර දේශපාලකයන්ට මෙතරම් විශාල සම්පත් ප‍්‍රමාණයක් රැස්කර ගත හැකි වූයේ ලංකාව උකසට තබා කරන ලද අයථා ගනුදෙනුවලිනි. පැනමා පේපර්ස් නමින් කළ හෙළිදරවුවෙන් සමහර ගනුදෙනු ගැන විස්තර සඳහන් වුවද මෙතෙක් ගත් පියවරක් නැත. පාලකයින්ගේ අවසාන තුරුම්පුව වන ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හෝ ගත් පියවරක් නැත.

රටේ සම්පත් පාලකයන් අතට පත්වෙන නිසාම රට බංකොළොත්වීම වැළැක්විය හැකි වන්නේ ආයෝජනයක් වශයෙන් හෝ ලෝකයට පරකාසෙ සඳහා ඊනියා නිදහස සැමරීමට මුදල් වැය කිරීමෙන් නොව රටම බංකොළොත් කිරීමේ අපරාධයට පාලකයන්ට දඬුවම් ලබා දීමේ ශක්තිමත් වැඩ පිළිවෙළක් තුළින් පමණි. ගාලූ මුවදොර අරගලකරුවන් ඉල්ලා සිටියේ එයයි. නිදහස් දිනයේ ඔවුන්ට මැර ප‍්‍රහාර සහ පොලීසියේ ජල සහ කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කෙළේ එවැනි ඉල්ලීමක් කළ නිසා ය.

රටේ සියලූු සම්පත් පාලක පංතියට සහ ඔවුන්ගේ අනුග‍්‍රාහකයින් කීප දෙනකු අතට පත්වන දේශපාලන සහ ආර්ථික රටාවක් තවදුරටත් පවත්වා ගත නොහැකිය. බංකොළොත් භාවයෙන් ප‍්‍රකාශ වන්නේ විදෙස් ණය ගෙවා ගැනීමෙන් පමණක් නොව දේශපාලන වශයෙන් ද අප බංකොළෙත් වී ඇති බවය. එය සමස්ත ක‍්‍රමයේම බංකොළොත් භාවයකි. ඉන් ගොඩ ඒමට අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් තවත් ණය ගැනීමෙන් කළ නොහැකිය. ගත් ණය ගෙවා ගත නොහැකිව සිටිය දී තවත් ණය ගැනීමෙන් සිදු වන්නේ තව තවත් අගාධයට වැටීම පමණි. අප වැනි තත්වයන්ට මුහුණ දුන් ආජෙන්ටිනාව වැනි රටවලින් ගත හැකි ආදර්ශය එයයි.

75 වන නිදහස් දිනය නිමිත්තෙන් මන්නාරමේ ද්රවිඩයන් අද පෙර කළු ධජ විරෝධතාවක් පැවැත්වූ අතර එය දෙමළ ජාතියට ‘කළු දවසක්’ ලෙස සලකනු ලැබේ.

මෙම අර්බූදයට මුහුණ දීමට නම් අප පළමුවෙන්ම නිවැරදි කළ යුතු වන්නේ රට මෙම අගාධයට පත් කළ දේශපාලන ක‍්‍රමය යි. කලින් කලට ඡන්ද පැවැත්වීමෙන් පමණක් දේශපාලනය නිවැරදි කළ නොහැකිය. එය පැළැස්තර විසඳුමක් පමණි. ඡන්ද පැවැත්වීමෙන් තෝරා පත් කරන නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය අද ලොව පුරාම අසාර්ථක වී ඇත. නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය වෙනුවට හෝ එහි ඌණපූරණයට වෙනත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අත්හදා බැලීම් ලොව පුරා අද සිදුවෙමින් පවතී. එවැනි ක‍්‍රම සොයා බැලීමට ජනතාව යොමුවන තාක් කුමන පාලකයා යටතේ හෝ ජනතාවට නිදහස සැමරීමට සිදු වන්නේ මැර ප‍්‍රහාරවලට සහ කඳුළු ගෑස් ප‍්‍රහාරවලට ලක් වෙමිනි.  

එල්ෆිනිස්ටන් රඟහල අසල පැවති සාමකාමී සත්‍යග්‍රහයට මැර ප්‍රහාරයක්..
Print Friendly, PDF & Email

Leave a Reply