You are currently viewing ජාතික ගැටලු, මැතිවරණ හා අරගල

ජාතික ගැටලු, මැතිවරණ හා අරගල

ලංකාවේ ජාතික ගැටලු හා විසඳුම් මොනවා ද? නිදසුනක් වශයෙන් ජනවාර්ගික ප්‍රශ්නය ජාතික ගැටලුවක් ද? එය ජාතික ගැටලුවක් නම් ඊට විසඳුම කුමක් ද? මේවා ගැන සුළුතර ජනවර්ග ඇතුළු බහුතර ජනතාවගේ එකඟත්වයක් තිබේ ද? නැත. කොහෙත් ම නැත!

ඉතින් ආණ්ඩු බලය ලබා ගෙන හෝ අරගලයෙන් හෝ ජනවාර්ගික ප්‍රශ්නය විසඳා ගන්නේ කෙසේ ද? වෙනත් වචනවලින් කියනවා නම් මැතිවරණ පොරොන්දුවක් ලෙස හෝ අරගලයේ ඉල්ලීමක් ලෙස ජනවාර්ගික ප්‍රශ්නය සඳහා තෝරා ගත යුතු විසඳුම කුමක් ද? ජනවාර්ගික ප්‍රශ්නය සඳහා සුළුතර ජනවර්ග ඇතුළු බහුතර ජනතාවගේ කැමැත්ත ඇතිව ප්‍රශස්ත විසඳුමක් නීතිගත කර ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද? මේ කිසිම ප්‍රශ්නයකට විශ්වාසදායක පිළිතුරක් පෙනෙන තෙක් මානයේ නැහැ නේද?

එබැවින් ප්‍රමුඛතා පදනමක් මත ජාතික ගැටලු හා විසඳුම් හඳුනා ගැනීම ලාංකේය දේශපාලනයේ මුඛ්‍ය අවශ්‍යතාවයක් නො වේ ද? ඊට පිළිතුර ඔව් නම්, බහුතර ජනතාවගේ එකඟත්වයෙන් ප්‍රමුඛ ජාතික ගැටලු හා විසඳුම් තෝරා ගන්නේ කෙසේ ද? මේ සඳහා රටවල් 28ක පමණ අත්හදා බලා සාර්ථක ප්‍රතිඵල ලබා ගෙන තිබෙන සංවිචාරණීය මත විමසීමේ ක්‍රමය අපටත් යොදා ගත නොහැකි ද?

සංවිචාරණීය මත විමසීම යනු අහඹු ලෙස තෝරා ගන්නා මහජන නියැදියක් යොදා ගෙන, මහජන අවශ්‍යතා විවෘතව හා සබුද්ධික ලෙස හඳුනා ගෙන, ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තීරණ ගන්නා ක්‍රමයකි. මෙහි දී මහජන නියැදිය සමස්ථ පුරවැසි සමාජයේ හරස්කඩක් විය යුතුය. එම නියැදියට දේශපාලන සමානාත්මතාව මත පදනම්ව ගැඹුරින් සාකච්ඡා කර තීරණ ගැනීම සඳහා අවශ්‍ය දත්ත-තොරතුරු, පහසුකම්, හා රැස්වීමට ස්ථානයක් ආදිය සලසා දිය යුතුය. මෙම තීරණ ගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් ම මහජනතාවට පෙනෙන්නට හා ප්‍රතිචාර දැක්වීමට හැකි වන සේ විවෘතව සිදු කළ යුතුය. මෙහි දී පහසුකම් සපයන අය තමන්ගේ පුද්ගලික මත නියැදියට ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිය යුතුය.

මෙම සංවිචාරණීය මත විමසීමේ ක්‍රමය අනුව සාමාන්‍ය ජනතාවට දැනුම්වත් වීමේ හැකියාව ඇති බවත්, ඔවුන් ස්වකීය මත වෙනස් කර ගැනීමට සූදානම් බවත් ඔප්පු වී තිබේ. ඊට අමතරව මෙම ක්‍රමය මගින් බෙදී සිටින ජන කොටස් එක්සත් වන බවත්, සැබෑ මහජන අවශ්‍යතා, බහුතර ජනමතය බවට පරිවර්තනය වන බවත්, පාලකයන්ට අකමැත්තෙන් වුවත් බහුතර ජනමතයට හිස නැමීමට සිදු වන බවත් ඔප්පු වී තිබේ. 2017 දී මොංගෝලියාව සංවිචාරණ ඡන්ද ක්‍රමය නීතිගත කර තිබේ. ඒ අනුව මහජනයාගේ සංවිචාරණ ඡන්දයකින් අනුමත නොකරන කිසිදු තීරණාත්මක යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කළ නොහැකිය.

වසන්ත මුදලිගේ නිදහස් වී ඇවිත් 2023.02.02වැනි දා මෙසේ කීවේය.

“..අපි ඔක්කොම එකතුවෙලා මේ අරගලය ඉදිරියට අරගෙන යමු. අපේ ඇත්ත අයිතීන් වෙනුවෙන් අඛණ්ඩව අරගල කරමු. සැබෑ ජනතාවගේ මැදිහත්වීමක් ඇතුළේ ඕනෑම ආණ්ඩුවක් දණ ගස්සන, ඕනෑම තීරණයක් දිනා ගන්න පුළුවන් වෙන, ඕනෑම අයිතියක් තහවුරු කරන්න පුළුවන් විදියේ වඩාත් වඩාත් බලයක් නිර්මාණය කරන්න අදාල අඛණ්ඩ මැදිහත් වීමක් කරමු. එ නිසා මේ රටේ සියලු දෙනාට ඉතා ම ආදරණීය ලෙස අපි ආරධනා කරනවා හොඳ රටක් හදමු. ඒ සඳහා අඛණ්ඩව මැදිහත් වෙමු. මර්ධනය ඉස්සරහ දණ ගහන්නේ නැතුව වඩාත් නව මුහුණුවරවල් භාවිතා කරමින් ඒ වගේ ම දැවැන්ත වැඩපිළිවෙළ ඇතුළේ මේ අරගලය අඛණ්ඩව ඉස්සරහට අර ගෙන යමු..”

එසේ කියන වසන්ත මුදලිගේ ඇතුළු, අරගල කෙරෙහි වැඩි විශ්වාසයක් තබන අයටත්, ආණ්ඩු බලය ලබා ගෙන ජාතික ගැටළු විසඳනවා කියන ජාතික ජන බලවේගය ඇතුළු, මැතිවරණ කෙරෙහි වැඩි විශ්වාසයක් තබන අයටත්, පොදු මාර්ගයක් ලෙස සංවිචාරණීය මත විමසුම් ක්‍රමය තෝරා ගැනීම කාලීන වශයෙන් ඉතා වැදගත් අවශ්‍යතාවයක් නොවේ ද? පොදු අවශ්‍යතාවයක් ලෙස සංවිචාරණීය මත විමසුම් ක්‍රමය අත්‍යවශ්‍ය නැද්ද?

අපේ රටේ ජාතික ගැටලු සම්බන්ධයෙන් මෙවැනි දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් යොදා නොගන්නා තුරු එක අතකින් අසාධාරණ හා අයුක්තිසහගත අධිපති මතවලට, සැබෑ මහජන අවශ්‍යතා යටපත් වේ. අනික් අතට සැබෑ මහජන අවශ්‍යතා යටපත් වී සමාජයේ පවතින බෙදීම් උත්සන්න වේ. අවසානයේ දී ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් පරිපීඩක අසමානතා තවදුරටත් පවත්වා ගෙන යාමට දේශපාලන ප්‍රභූ තන්ත්‍රයට, නිලධර තන්ත්‍රයට හා බහුජාතික සමාගම්වලට හැකි වේ.

අපේ රටේ ජාතික මට්ටමේ හෝ ප්‍රාදේශීය මට්ටමේ ජන ජීවිතයට බලපාන ගැටළුවක් සම්බන්ධයෙන් සංවිචාරණීය මත විමසුමක් සංවිධානය කරන්න වුවමනාව හා හැකියාව ඇති පුද්ගලයෙක් හෝ සංවිධානයක් හෝ ව්‍යාපාරයක් නැද්ද? එවැනි මුලපිරීමකට වෙන කවරදාකටත් වඩා සුසුදු ආර්ථික, දේශපාලන, සමාජීය, සංස්කෘතික හා පාරිසරික තත්ත්වයක් දැන් සකස් වී තිබෙනවා නේද?

[සංවිචාරණීය මත විමසුම පිළිබඳ අදහස් ගත්තේ විජයානන්ද ජයවීරයන්ගේ ‘සංවිචාරණීය සමාජයක්’ නමැති කෘතිය ඇසුරෙනි]

Print Friendly, PDF & Email

Leave a Reply