You are currently viewing මානව අයිතිවාසිකම් රාජ්‍යයේ පදනම විය යුතුය..

මානව අයිතිවාසිකම් රාජ්‍යයේ පදනම විය යුතුය..

2021feb14[3]_martin_luther_king

නීලන් තිරුචෙල්වම් භාරයේ සභාපතිනිය මෙන් ම ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමේ සාමාජිකාවක් වූ ආචාර්ය අම්බිකා සත්කුණනාදන් මහත්මිය පසුගිය දා යුරෝපීය පාර්ලිමේන්තුවේ මානව අයිතිවාසිකම් සහ කම්කරු අයිතීන් පිළිබඳ අනු කොමිටිය ඉදිරියේ කළ කරුණු දැක්වීමක් පිළිබඳ ව විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයකට මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යයේ ඉමහත් ප්‍රචාරයක් ලබා දී තිබිණ. විදේශ අමාත්‍යංශයෙන් කරුණු පැහැදිලි කළ ආකාරයෙන් ඇය පරාජය කළ එල්ටීටීය වෙනුවෙන් පෙනි සිටින බවක් ද හැඟවිණ.

මාර්තු මාසයේ දී ජිනිවා හි රැස්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කොමිසම ද ලංකාවේ මානව අයිතිවාසිකම් තත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට සූදානම් වන තත්වයක් යටතේ තවත් ජාත්‍යන්තර වේදිකාවක ශ්‍රී ලංකාව ගැන කරුණු ඉදිරිපත් වීම අවාසි සහගත විය හැකි නිසා ඒ පිළිබඳ ව කිසියම් ආකාරයක තර්ජනයක් සහිත ස්ථාවරයක් ගැනීම ආණ්ඩුවේ  ඕනෑකම බවද පැහැදිලිය. එහෙත් සත්‍යය වසන් කර පිළුණු තර්ක නැවත නැවතත් ඉදිරිපත් කිරීම පැස්බර න්‍යායේ පිහිට පැතීමකි. එවැනි ප්‍රයත්න දේශීය දේශපාලන අවශ්‍යතාවයට ගැළපුණ ද බුද්ධිමත් ජනතාව මුළා කළ නොහැකි බවද තේරුම් ගත යුතුය.

ආචාර්ය අම්බිකා සත්කුණනාදන් මහත්මිය

මුලින් ම පසුගිය යහපාලන ආණ්ඩු සමයේ දී යුරෝපා සංගමයෙන් නැවත වරත් ජී ප්ලස් සහනය ලබා ගැනීමේ දී කොන්දේසි වශයෙන් ඉදිරිපත් වූ කරුණ ගැන වර්තමාන විදේශ අමාත්‍යංශය කරුණු හදාරා ඇති බවක් නො පෙනේ. යහපාලන ආණ්ඩු සමයේ කළ කී සියලු දේ ප්‍රතික්ෂේප කරන තත්වයක් තුළ එවැනි අවශ්‍යතාවයක් ද නැත. එහෙත් ජාත්‍යන්තර සංවිධාන අපේ රටේ ආණ්ඩු වෙනස්වීමත් සමග තම ප්‍රතිපත්ති ස්ථාවර වෙනස් නො කරන බව විදේශ සම්බන්ධතා ගැන අවම දැනුමක් හෝ ඇති අයට අලුත් දෙයක් නොවේ.  

ජී ප්ලස් සහනය ලබා දීමේ දී යුරෝපා සංගමයෙන් ඉදිරිපත් වූ ප්‍රධාන ඉල්ලීමක් වූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සම්මත කර ඇති මානව අයිතිවාසිකම් පිළිබඳ සම්මුතීන් 27 සහ අනෙකුත් ජාත්‍යන්තර සම්මුතීන් පිළිගෙන ක්‍රියාත්මක කළ යුතුය යන්නයි. දෙවැන්න මූලික මිනිස් අයිතිවාසිකම් අමු අමුවේම උල්ලංඝනය කරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම ය. මෙ කිසිවක් සම්පූර්ණයෙන් ඉටු කිරීමට පසුගිය යහපාලන ආණ්ඩුවට හෝ මෙම ආණ්ඩුවට උවමනාවක් නැති බව ක්‍රියාවෙන්ම ඔප්පු කර ඇත. එක්සත් ජාතින්ගේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය අයිසීසීපීආර් පනත යනුවෙන් සම්මත කර ඇත්තේ එහි හරය සම්පූර්ණයෙන්ම විකෘති වන ආකාරයට ය. මෙම පනත මෙතෙක් ක්‍රියාත්මක කර ඇත්තේ මුස්ලිම් ආගමිකයන් සහ දෙමළ ජාතිකයන් සම්බන්ධයෙන් පමණි. ඒ ජාතීන් අතර වෛරය ඇති කිරීමේ චෝදනාව යටතේ ය. මෙම චෝදනාව යටතේ සිංහල ලේඛකයෙකු අත් අඩංගුවට ගෙන මාස ගණනාවක් රඳවා ගෙන සිටියේ ආගමට අපහාස කිරීමේ චෝදනාව යටතේය. ගලබොඩ අත්තේ ඥනාසාර හිමි සිංහල අන්තවාදීන් උසි ගැන්වෙන ආකාරයෙන් කළ ප‍්‍රකාශ සහ ඉන් ප‍්‍රකෝපයට පත් අන්තවාදීන් මුස්ලිම් ආගමිකයන්ගේ ව්‍යාපාරික ස්ථානවලට සහ නිවාසවලට පහර දීම ජාතීන් අතර වෛරය ඇති කරවීමක් සේ සැලකුවේ නැත.

වත්මන් විදේශ අමාත්‍යංශයට මෙවැනි කරුණු අමතක වූවාට ජාතික සමගිය සහ සාධාරණත්වය අපේක්ෂා කරන ජනතාවටත් ජාත්‍යන්තර සංවිධානවලටත් අමතක වී නැත. එක රටක් එක නීතියක් යන සටන් පාඨය ඔස්සේ සිංහල බෞද්ධයන් හැර අන් ජන කොටස්වල සාධාරණ අයිතීන් යටපත් කිරීමට ගත් උත්සාහයට රාජ්‍ය අනුමැතිය ලැබුණේ ඊට නීතිමය ආවරණයක් ලබා දීමට එම හිමි නමගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කොමිසමක් පත් කිරීමෙනි. මේ පිළිබඳව රටේ විවිධ ජන කොටස්වලින් එල්ල වූ විරෝධය සහ විවේචන ගෝඨාභය ආණ්ඩුව ගණන් ගත්තේ නැත. විදේශ අමාත්‍යංශය සිය ප‍්‍රකාශයේ සඳහන් කරන ආකාරයට ආචාර්ය අම්බිකා සත්කුණනාදන් මහත්මිය මෙම තොරතුරු යුරෝපා සංගමය හමුවේ ඉදිරිපත් කර ඇත්තේ කරුණු නිසි සේ නොදැනය.

විදේශ අමාත්‍යංශයේ කෝපයට ලක් වූ තවත් කරුණක් වූයේ උතුරු නැගෙනහිර පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන පිළිබඳව කරුණු සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ ජනාධිපති කාර්ය සාධක බලකාය ගැන ඇය කළ සඳහනයි. විදේශ අමාත්‍යංශය සඳහන් කරන ආකාරයට වාර්ගික යුද්ධය අවසන් වීමත් සමග අවතැන් වූ ජනතාව මෙම පළාත් දෙකේ පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානවල අනවසරයෙන් පදිංචි වී ඇති නිසා එම ස්ථාන රැක ගැනීමට මෙවැනි පියවරක් ගැනීමට රජයට සිදු ව ඇත.

මෙය ද ගහ දන්නා අයට කොළ ගෙනහැර පෑමට ගත් උත්සාහයකි. පළමුවෙන්ම පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන වර්ගය හෝ ආගම අනුව වෙනස් කළ යුතු නැත. අතීත උරුමය සියලු ජන කොටස්වල අයිතියකි. එම ස්ථාන සංරක්ෂණය ඒවා පවතින රටේ පමණක් නොව ජාත්‍යන්තරයේ ද වගකීමකි. උතුර සහ නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථානවල නටඹුන් තිබීම නිසා එය බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ උරුමයක් වන්නේ නැත. දෙමළ ජන කොටස් ද අතීතයේ දී බෞද්ධයන් වූ බවට ලංකාවේ පමණක් නොව දකුණු ඉන්දියාවේත් අපමණ සාක්ෂි පවතී.

පුදුමයටත් හාස්‍යයටත් කරුණ වන්නේ උතුරු සහ නැගෙනහිර පළාත් දෙකේ පුරා විද්‍යා නටඹුන් ගැන පරීක්ෂණ කිරීමට පත් කළ ජනාධිපති කාර්ය සාධක බලකායට එම පළාත්වල වෙසෙන අනෙක් කිසිම ජන කොටසකට අයත් පුද්ගලයන් පත් නොකිරීම ය. ඒ මුස්ලිම් සහ දෙමළ ජාතිකයන් අතර පුරාවිද්‍යාව ගැන දන්නා කිසිවෙකු නැති නිසා ද?. හමුදාවේ සහ පොලීසියේ නිලධාරීන් මෙවැනි කාර්ය සාධක බලකායකට පත් කිරීමෙන් අදහස් කරන්නේ කුමක් ද?. මෙම බලකායේ සාමාජිකයෙකු ලෙස බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති පත් කිරීමට ඇති විශේෂ අවශ්‍යතාවය කුමක් ද?. එම කාර්ය සාධක බලකායේ සභාපති වශයෙන් හමුදාවේ විශ්‍රාමික මේජර් ජනරාල් වරයෙකු පත් කර ඇත්තේ ඔහුගේ පුරා විද්‍යාත්මක දැනුම නිසාද?. මෙම කාර්යට 1940 අංක 9 දරන පුරාවස්තු පිළිබඳ ආඥා පනත ප්‍රමාණවත් නොවන්නේ ද?.

මෙවැනි ප‍්‍රශ්නවලට ලංකාවේ විදේශ අමාත්‍යංශයෙන් හෝ සෙසු බලධාරියෙකුගෙන් පිළිතුරු නැති විට යුරෝපා සංගමයට හෝ වෙනත් ජාත්‍යන්තර සංවිධානයකට කරුණු ඉදිරිපත් කිරීම සෑම පුරවැසියෙකුට ම ඇති අයිතියකි. වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද 88-89 කාලයේ ලංකාවේ දකුණේ සිදු වූ මානව අයිතිවාසිකම් කඩ කිරීම් සම්බන්ධයෙන් රට තුළ සහනයක් ලබා ගැනීමට නොහැකි වූ විට ජිනීවා මානව අයිතිවාසිකම් කවුන්සලයට ගිය බව විදේශ අමාත්‍යංශය නොදන්නවා විය හැකිය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දේශපාලන අරමුණු සඳහා යොදා ගන්නා බවට අලුත්ම නිදසුන නීතිඥ හිජාස් හිස්බුල්ලා අත් අඩංගුවට ගෙන වසර දෙකකට ආසන්න කාලයක් රඳවා ගැනීම ය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් නමුත් වසර දෙකකට පසුව ඔහුට විරුද්ධව චෝදනා එල්ල වූයේ ජාතීන් අතර වෛරය ඇතිවන ආකාරයේ ප‍්‍රකාශ සිදු කිරීම ගැනය. අප නැවතත් ඇසිය යුතු ප්‍රශ්නය වන්නේ ගලගොඩ අත්තේ ඥානසාර හිමි මුස්ලිම් ආගමිකයන්ට එරෙහිව කළ ප්‍රකාශ මෙම චෝදනාව යටතට නො ගැනෙන්නේ ද යන්නයි. අහ්නාස් ජසීම් තරුණ කවියා 2007 දී පළ කළ කවි පොතක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන වසර දෙකක්ට ආසන්න කාලයක් රඳවා ගෙන ඇත්තේ ද මේ ආකාරයටම ය. 

විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශයේ සඳහන් වන ආකාරයට අම්බිකා සත්කුණනාදන් මහත්මියගේ කරුණු දැක්වීම පිළිගෙන යුරෝපා සංගමය ජී ප්ලස් සහනය නතර කළ හොත් ඉන් වැඩිම හානියක් සිදු වන්නේ උතුරු නැගෙනහිර ධීවර ජනතාවට ය. ඉන් අසමානතාවය සහ දරිද්‍රතාවය වඩාත් වැඩි වනු ඇත. ප්‍රමාද වී හෝ දරිද්‍රතාවය සහ අසමානතාවය වැඩි වීම ගැන විදේශ අමාත්‍යංශයට උනන්දුවක් ඇතිවීම සතුටට කරුණකි. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවෙන් ගෙන ඇති පියවර නිසා ජී ප්ලස් සහනය පැවතිය ද දරිද්‍රතාවය සහ අසමානතාවයේ අඩුවීමක් දක්නට නැති බව සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරයි. පසුගිය වසර දෙක තුළ වාර්තා වූ ආර්ථික කඩා වැටීම නිසා උතුරු නැගෙනහිර පමණක් නොව මුළු දිවයිනේම දරිද්‍රතාවය වැඩි විය. යුනිසෙෆ් වාර්තාවක් අනුව ලංකාවේ වයස පහට අඩු ළමයින් අතර කෘෂවීමේ අනුපාතය සියයට 15කි. ඒ අනුව ලංකාව ළමයින් කෘෂවීම අනුව ලොව නරකම රටවල් දහය අතරට පත් වේ. එමෙන්ම සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තාවක් අනුව යාපනය දිස්ත්‍රික්කයේ රෝහල් 99කින් 19ක එක ද වෛද්‍යවරයෙකු නැත. මේවාට විසඳුම් ලබා දීමට ජී ප්ලස් සහනය අවශ්‍ය නැත. වැදගත් වන්නේ යුක්තිය සහ සාධාරණත්වය රාජ්‍ය ප්‍රතිපත්තියක් වීමය.

සංහිඳියාව සහ වගවීම තහවුරු කිරීම හා යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති අය සම්බන්ධයෙන් දේශීය අධිකරණ ක්‍රියා මාර්ග ගැනීම පිළිබඳව ඉදිරිපත් කරන්නේ ද සුපුරුදු පිළුණු තර්කයි. අපරාධ පිලිබඳව දේශීය අධිකරණ ක්‍රියා මාර්ගවලින් දඬුවම් ලැබුණ අය පවා ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ නිදහස් කර ඇත්තේ කිසිදු වගවීමක් නොමැතිව ය.

සමාජ අසාධාරණය සහ යුක්තිය ඉටු නොවීම පිළිබඳව දිය හැකි හොඳම පිළිතුර එය භාවිතයෙන් තහවුරු කිරීම ය. යුක්තිය සහ සාධාරණත්වය තහවුරු කිරීම ඇත්තෙන්ම දේශීය ක්‍රියා මාර්ගයක් විය යුතුය. ඒ සඳහා අවශ්‍ය වන්නේ ජී ප්ලස් ලැබීම ද නැත්ද නොව දේශපාලන කැපවීමකි. දේශපාලන කැපවීමක් නොමැතිවීම නිසා රටේ පුරවැසියන් අතර ඇතිවන අසහනය කලකිරීම ඉච්ඡා භංගත්වය ඉදිරි ගමනට ඇති ප‍්‍රධානතම බාධකයකි. එය ජාත්‍යන්තර බලපෑමට වඩා ප‍්‍රබලය.

Leave a Reply