You are currently viewing ගතිකත්වයෙන් මතුවන කුහකකමේ සන්දර්ශනය..
ජාතික ජන බලය නායක අනුර කුමාර දිසානායක ඉන්දිය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශකර් සමඟ සංවාදයේ යෙදී සිටී..

ගතිකත්වයෙන් මතුවන කුහකකමේ සන්දර්ශනය..

සුනිල් හඳුන්නෙත්ති ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) දේශපාලන මණ්ඩල සභිකයා තම පක්ෂ නායකත්වයේ දඹදිව ගමනට අදාළ කුහකකම් ගැන ලියපු සටහනක් පසුගිය දිනක දැක ගන්නට ලැබුණා. එම “කුහක ප්‍රකාශනයේ” කුහකකම් වර්ග තුනක් හා ගතිකත්වය ගැන ඔහු කතාකරනවා. කුහකකමින් තොරව සටහන කියවද්දී ගතිකත්වය ගැන කුහක ප්‍රශ්න කීපයක් මතුවුනා. ඒගැන කතා කරන්නට පෙර අපි හඳුන්නෙත්තිගේ “කුහක ප්‍රකාශනය” බලමු.

හඳුන්නෙත්ති හෝ වෙනත් කවුරුන් හෝ මෙලෙස කරන්නා වූ කුහක ප්‍රකාශන මටනම් අදාලම නැහැ. මොකද රාජ්‍ය බලය ඉල්ලා සිටින ඕනෑම පුද්ගල‍යෙක් හෝ පක්ෂයක් විමසීමේ පරම අයිතිය ඡන්දදායකයාට තිබෙනවා. එවගේම ඒවා කුහකකම් කියා ප්‍රශ්නය මඟහැර යෑමේ අයිතියක් ‍රාජ්‍ය බලය ඉල්ලා සිටින පුද්ගලයකුට හෝ පක්ෂයකට හෝ නැහැ. එහෙම කරන්න පුලුවන් ඒකාධිපතියන්ට විතරයි.

අනෙක් අතට මේ සියල්ල ගතිකයි. අද කුහකම් ලෙස නම් කළත් “රාජ්‍ය බලය ලැබුනොත්” එවිට ඒ ප්‍රශ්න කිරීම් රාජ්‍ය විරෝධී, කුමන්ත්‍රණකාරී ඒවා බවට ගතික වෙන්න පුලුවන්. එතකොට තමයි ලාල්කාන්ත කිව්ව ම‍ර්දනකාරී රාජ්‍ය යන්ත්‍රය ඒ ඒ පුද්ගලයන් සහ දැනටමත් “මාක් කරගෙන ඉන්නා අය” හොයා ගෙන එන්නේ. “ත්‍රස්ත විරෝධී පනත” “ඔන් ලයින් පනත” වගේ මර්දන අණ පනත් අවශ්‍ය වෙන්නේ.

සුනිල් හඳුන්නෙත්තිගේ “කුහක ප්‍රකාශන‍යෙන්” මට ප්‍රශ්නයක් මතුවුනේ ඔහු කියනා ගතිකත්වය ගැන විතරයි. එහෙම නැතිව ජවිපෙ එක එක කාලයට අඳින ඇඳුම් ගැන, හදන පෙරමුණු ගැන, ගොඩනගන – ගොඩදාන නායකයන් ගැන, කරන්නා වූ ප්‍රකාශයන් ගැන මට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ජවිපෙ වැනි පක්ෂයක් එහෙම කළේ නැතිනම් තම‍යි දේශපාලන ගැටළුවක් මතුවෙන්නේ.

ඕනෑම පක්ෂයකට හෝ පුද්ගලයකුට සිය ප්‍රතිපත්ති වෙනස් කර ගැනීමේ අයිතියක් තිබෙනවා. මම ප‍රිණාමවාදය පිළිගන්න කෙනෙක්. නමුත් ඡන්දය ලබා ගන්න, ඡන්දදායකයන් මුළා කරන්න, ලෝක බලවතුන්ගේ, කලාපීය බලවතුන්ගේ විශ්වාසය දිනා ගන්න අවශ්‍ය මූල ධාර්මික ප්‍රතිපත්ති පමණක් ගතික වෙන්නත්, අනෙක් ඒවා ස්ථතික (static) වෙන්නත් බැහැ. ඒක දේශපාලන අවස්ථාවාදය.

මේ තියෙන්නේ ජවිපෙ පන්ති පහේ තේමාවන් සහ ඒ පන්ති 5 පිළිබඳ ඔවුන් ගේ කෙටි හැඳින්වීමක්.  (1) ලංකාවේ ආර්ථික අර්බුදය (2) ඉන්දියානු ව්‍යාප්තවාදය (3) ලංකාවේ වාමාංශික ව්‍යාපාරය (4) නිදහස යනු කුමක්ද?  ( 5) ලාංකික විප්ලවය ගතයුතු මග.

“කැරකෙන ලෝක ගෝලයේ, දශක ගානක් ඉදිරියෙන්, ගතිකත්වය (dynamics ) පිළිගන්න, ලෝකයේ නවීන වෙන දේශපාලනය එක්ක අලුත් උපාය උපක්‍රම තෝරමින්” සිටිනවා යැයි කියා ගන්නා අනුරලාගෙන්, හඳුන්නෙත්තිලාගෙන් මම දැන ගන්න කැමතියි ඉහත සඳහන් පන්ති 5 ම දැන් අත් හැරලාද? නැතිනම් ගතික උනේ මොන පන්තිද ? ලංකාවේ දෙමළ ජනයා පිළිබඳ ස්ථාවරයත් ගතිකද? නැතිනම් ඒක විතරක් තාම ස්ථතිකද?  සරළව කියනවානම් දෙමළ ජනතාව වෙනම ජාතියක්, උතුරු නැගෙනහිර කියන්නේ ඔවුන් ගේ නිජබිම කියලා පිළිගන්නවද? නැද්ද?  ප්‍රශ්නය මොන තරම් කුහක උනත් උත්ත‍රයක් දෙන්න පුලුවන්නම් හොඳයි.

එතැනින් ආරම්භ කළ පුද්ගල ත්‍රස්තවාදය 88 ජනාධිපතිවරණය තෙක් පවත්වාගෙන යමින් ආර්. ප්‍රේමදාස ජනාධිපති කර වූ ප්‍රතිපත්තියේ අද වෙනස් මත‍යක් තිබෙනවද? මොකද ප්‍රේමදාස ජනාධිපති උනේ සමස්ත ඡන්දදායක සංඛ්‍යාවෙන් ලබාගත් 25% කට ආසන්න ප්‍රතිශතයකින්. එහෙම උනේ ජවිපෙ ප්‍රධානත්වයෙන් හැදූ “දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය” වමේ වේදිකාවට බෝම්බ ගහලා, වෙඩි තියලා, ඒකේ නායකයන්, පාක්ෂිකයන් මරාදාලා ඇතිකළ භීෂණය නිසා. එම භීෂණය ගැන මෙවැනි ප්‍රශ්න අහන කුහකයන්ගේ කට වැහෙන්නත් එක්ක “නවීන වෙන දේශපාලනය එක්ක අලුත් උපාය උපක්‍රම තෝරමින් ඉන්නා”  dynamics හඳුන්, සඳුන් වගේ උත්තර‍යක් දෙයිද? අපි බලමු.

අනුර කුමාර දිසානායක සහ ජාතික ජන බලවේගයේ නායකයින්, ගුජරට් හි අමුල් කිරි කම්හලේදී..

එහෙම කුහක ප්‍රශ්ණයක් අහන්නේ ජාජබ තෝරා ගන්නේ මෝඩිගේ ගුජරාට ක්‍රමවේදය බවට තිබෙන්නා වූ ගතිකය වැඩි නිසා. මොකද 1948 සිට 2009 මැයි දක්වා මිනිස් ඝාතන සිදු කරපු ශ්‍රීලංකා අපරාධකාරී රාජ්‍යයේ වින්දිතයන්ට, යුක්තිය ඉටුකරන බවට මේ දක්වා ජවිපෙ හෝ ජාජබ කිසිදු නායකයෙක් වචනයක් හෝ කතා කරලා නැහැ. අඩුම ගානේ ජවිපෙ ‘සදාදරණීය නායක’ රෝහණ විජේවීර (උන්නැහෙත් ගතික වෙලාද දන්නේ නැහැ) ගේ ම්ලේච්ඡ ඝාතනය ගැනවත් සත්‍යය හෙළි කරගන්න වැඩ කරලා නෑ. කතා කරන්නේම වංචා, දූෂණ හා හොරාකෑම ගැන විතරයි.

නමුත් රාජ්‍යයේ සාපරාධී කටයුතු කරන්න දායක වු බවට චෝදනා ලබන හිටපු හමුදා ලොක්කන්ට ජාජබයේ ඉහල පුටු දෙන ගතිකය නම් යස අගේට තියෙනවා. එනිසා රනිල් පළමුව පවත්වන  (ලංකාවේ මෑතකදී,  මාස තුන හතරකින් චන්දයක්  පැවැත්වුවොත්) පාර්ලිමේන්තු මැතිවරණයේ විපක්ෂ නායකයා ලෙස කටයුතු කිරීමේ ගතිකයට අමුතුවෙන් සූදානම් වෙන්න ඕන වෙන එකක් නැහැ. ඉංදියානු “රෝ ඔත්තු සේවය” ට ගතිකයන් නිර්මාණය කරන්නත් පුලුවන් කියලා මතක තියා ගත්තොත් හොඳයි.

ඒ කොහොම උනත් ඡන්දදායකයෝ කුහක ප්‍රශ්න අහනකොට උපාසක බළලා වගේ හිටියත් ඔලුව වනනකොට දිල්ලියේ මිණිගෙඩි සද්දේ ඇහෙන එකනම් වළක්වන්න බැරි වෙයි.

Print Friendly, PDF & Email

Leave a Reply