You are currently viewing බලවතුන්ගේ අවියක් බවට පත්ව ඇති ජාත්‍යන්තර නීතිය..

බලවතුන්ගේ අවියක් බවට පත්ව ඇති ජාත්‍යන්තර නීතිය..

පසුගිය දා හේග් මූලස්ථානය කර ගෙන ඇති අන්තර්ජාතික අපරාධ අධිකරණයේ පූර්ව විනිශ්චය සභාවක් මගින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින්ට සහ රුසියානු ජනාධිපති ගේ ළමා කටයුතු භාර කොමසාරිස්වරියක් වන ල්වෝවා බෙලෝවා අත් අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්නැයි නියෝගයක් නිකුත් කෙළේය. මෙම නියෝගය ක්‍රියාත්මක වන්නේ නම් රුසියානු ජනාධිපතිවරයා රුසියානු සමූහාණ්ඩුව තුළ නොවුවත් වෙනත් රටක දී හෝ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට බලයක් මෙම අධිකරණය පිහිටුවීමට පාදක වූ රෝම ව්‍යවස්ථාව අනුව තුන්වැනි පාර්ශ්වීය රටකට පවා හිමි වේ.

රුසියාවේ ජනාධිපතිවරයාගේ ළමා අයිතිවාසිකම් කොමසාරිස් ල්වෝවා බෙලෝවා [Alekseyevna Lvova-Belova]

මීට පෙර සුඩානයේ ජනාධිපතිව සිටි ඔමාර් අල් බෂීර්ටද මෙවැනිම වරෙන්තුවක් නිකුත් කර තිබුණ ද එය කිසිම රටක් ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් වූයේ නැත. අල් බෂීර් ජනාධිපතිව සිටිය දී රෝම ව්‍යවස්ථාවට අත්සන් තබා අපරානුමත කර ඇති දකුණු අපි‍්‍රකාවේ නිල සංචාරයක යෙදුන ද දකුණු අප්‍රිකානු රජය ඔහු අත් අඩංගුවට ගත්තේ නැත. එවැනි පසුබිමක රුසියානු ජනාධිපති පූටින් ද විදේශ රටක දී අත් අඩංගුවට ගනු ඇතැයි සිතිය නොහැකිය. ලොව ප්‍රබල න්‍යෂ්ටික බලවත් රාජ්‍යයක නායකයා වෙනත් රටක දී අත් අඩංගුවට ගැනීමට තැත් කිරීමේ දේශපාලන ප්‍රතිවිපාක කිසිසේත් පහසුවෙන් බැහැර කළ නොහැකිය.

එමනිසා මෙම නියෝගය නිකුත් කිරීම වැදගත් වන්නේ එහි දේශපාලන අර්ථයෙනි. මෙම නියෝගය නිකුත් කෙළේ චීන ජනාධිපති සී ජින්පින් රුසියාවේ ජනාධිපති සමග ඉහළ පෙළේ සාකච්ඡාවකට මොස්කව් නගරයට පැමිණිමට දින කීපයකට පෙර ය. චීන ජනාධිපති මෙම සංචාරයේ දී යුක්‍රේනයේ සටන් නවත්වා සාමකාමී විසඳුමක් ඇති කර ගැනීම සඳහා චීනය ඉදිරිපත් කර ඇති යෝජනා ද කතාබහට ලක්වනු ඇතැයි රාවයක් ද තිබිණ. යු යුක්‍රේනයේ යුද්ධය හුදෙක් රුසියානු ආක්‍රමණයක් සේ හඳුන්වන යුරෝපා සංගමය සහ එක්සත් ජනපදය යුක්‍රේනයට සාමය ඇති කිරීමේ එකම මාර්ගය ලෙස දකින්නේ රුසියාව කොන්දේසි විරහිතව යුද්ධයෙන් ඉවත්ව ආපසු පැරණි දේශසීමවට පසු බැසීමයි. යුක්‍රේනයේ මෙම ගැටලුවට තුඩු දී ඇති භූ දේශපාලනය සහ ඓතිහාසික පසුබිම නොතකා ඉදිරිපත් කරන මෙවැනි යෝජනා ප්‍රායෝගික ද යන්න පවා බටහිර කතිකාවට ඇතුළත් වන්නේ නැත. සාමය ගැන කතා කිරීම පවා පිළිකුලෙන් හෙළා දැකීම අද බටහිර සම්ප්‍රදායයි.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, චීන නායක ෂී ජින්ග් මොස්කව්හි ක්‍රෙම්ලිනයේ පැවති හමුව – 2023 මාර්තු 21

මෙම යුද්ධය නිසා බටහිර රටවල මතුව ඇති රුසියන් විරෝධය කෙතරම් ද යන් රුසියාවේ ටෝල්ස්ටොයි ඩෙස්ටොවොස්කි සහ ඇන්ටන් චෙකොව් වැනි සම්භාව්‍ය රුසියන් කලාකරුවන්ගේ කෘති පවා මෙම රටවල සම්බාධක වලට ලක්ව ඇත. චීන ජනාධිපති සී ජින්පින් ගේ සංචාරයට පෙර අන්තර්ජාතික අපරාධ අධිකරණයෙන් ජනාධිපති පූටින් අත් අඩංගුවට ගැනීමේ නියෝගයක් නිකුත් කිරීම පිටුපස නීතිමය කරුණුවලට වඩා දේශපාලන හේතුත් ප්‍රබල වී ඇති බව පෙනෙන්නේ එම නිසා ය.

පළමු ව අන්තර්ජාතික අපරාධ අධිකරණයේ අධිකරණමය බලය ලෝකයේ බලවත් රටවල් සියල්ලම පාහේ පිළිගන්නේ නැත රුසියාව හෝ එක්සත් ජනපදය රෝම ව්‍යවස්ථාවට අත්සන් කර නොමැත. එපමණක් නොව එහි නීත්‍යනුකූල භාවය හෝ පිළිගන්නේ නැත. එක්සත් ජනපදයේ හිටපු ආරක්ෂක උපදේශකයෙකු වන ජෝන් බොල්ටන් පවසන ආකාරයට අන්තර්ජාතික අපරාධ අධිකරණය මූලික වශයෙන් ම නීති විරෝධී ය. එම නිසා එක්සත් ජනපදයේ කිසිම වැසියෙකු මෙම අධිකරණයට ඉදිරිපත් නොකිරීමට අමතරව එවැනි ක්‍රියා මාර්ග ගැනීම වැළැක්වීමට අවශ්‍ය අනෙකුත් පියවර ගැනීමට සූදානම් ය.

එවැනි අවස්ථාවක් වන්නේ එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානයේ සිදු කළ යුද අපරාධ සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් කිරීමට සූදානම් වීමය. එවැනි ප්‍රයත්නයක් එක්සත් ජනපදයේ ස්වෛරීත්වයට එල්ල කරන පහරක් සේ දුටු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් 2020 දී එම විමර්ශනයට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව ආර්ථික සහ සංචාර සම්බාධක පැන වූයේය. එක්සත් ජනපදයේ සම්බාධක හමුවේ පසුබට අන්තර්ජාතික අපරාධ අධිකරණය 2021 දී එම විමර්ශනය අතහැර දැමුවේය. ඉන් අදහස් වන්නේ ඇෆ්ගනිස්ථානයේ යුද අපරාධ සිදු නොවීම ද නැතිනම් ලොව බලවත්ම රාජ්‍යය සම්බන්ධයෙන් ගිවිසුම් නීති ක්‍රියාත්මක කිරීමට මෙම අධිකරණයට හැකියාවක් හෝ වුවමනාවක් නැතිකමද යන්න තවම ඔවුන් පැහැදිලි කර නැත.

කෙසේ වුවත් රුසියාවට එරෙහිව චෝදනා එල්ල කර ඇත්තේ යුක්‍රේනයේ රුසියානු මැදිහත්වීම ආරම්භවීමත් සමග සටන් පැවති ප‍්‍රදේශවන ඩොනෙට්ස්ක්, ලූගාන්ස්ක්, සපොරොෂ්යෙ සහ කර්සන් ප‍්‍රදේශවල සරණාගත හෝ අනාථ නිවාසවල සිටි ළමයින් ඉවත් කිරීමය. දෙමාපියන්ගේ හෝ යුක්‍රේනයේ කීෆ් පාලනයේ අවසරයක් නැතිව මෙම ළමයින් වෙනත් ආරක්ෂිත ස්ථානවලට ගෙන යෑම පැහැර ගෙන යෑමක් සේ සලකා යුද අපරාධ විමර්ශනයක් ආරම්භ කර ඇත.

ඇත්තෙන්ම ළමයින් දෙමාපියන්ගේ අනුමැතියක් නොමැතිව ඉවත් කර ගැනීම අපරාධයක් සේ සැලකිය හැකි වුවද ඒ දිනවල පැවති යුද තත්වය නොසලකා තීරණ ගැනීම දේශපාලන වුවමනාව අනුව සිදු කල බවට සැකයක් නැත. ළමයින්ගේ සහ සිවිල් පුරවැසියන්ගේ ආරක්ෂාව ගැන උනන්දු වන අය 2014 සිට ඩොන්බාන්ස් සහ ලූගාන්ස්ක් ප‍්‍රදේශවල පැවති යුද තත්වයන් යටතේ ජන ජීවිතය අඩාලවීම සහ අවතැන්වීමද සැලකිල්ලට ගත යුතුව තිබිණ.

විදේශීය බලවතුන් විසින් යුක්රේනයට ලබා දෙන පුහුණුව..

යුක්‍රේනයේ රුසියානු බස කතා කරන ප‍්‍රදේශ සහ කීෆ් පාලනය අතර හටගත් මෙම ගැටුම 2014 සිටම උග‍්‍ර තත්වයට පත් ගැටලූවකි. එය සාමකාමීව විසඳා ගැනීමට නොහැකි වූයේ ද එක්සත් ජනපදයේ සෘජු සහ වක්‍ර මැදිහත්වීම නිසාය. රුසියානු බස කතා කරන ප‍්‍රදේශ සහ කීෆ් පාලනය අතර පැවති ගැටුම් නිරාකරණය සඳහා ඇති කර ගත් මින්ස්ක් ගිවිසුම හොඳ පිවිසුමක් වුවද එය කි‍්‍රයාත්මක කිරීමට වඩා යුක්‍රේනයේ සන්නද්ධ බලය තර කර ගැනීමට කල් ලබා ගැනීමේ උත්සාහයක් බව එවකට ජර්මනියේ චාන්සලර් වූ ඇන්ජෙලා මර්කේල් තනතුරෙන් විශ්‍රාම යෑමෙන් පසුව ජන මාධ්‍යයට පවසා තිබිණ. මේ සියලු සිද්ධීන්ගෙන් සහ ප්‍රවණතාවලින් කියවෙන්නේ යුද්ධයත් ඒ සමගාමීව සිදු වන යුද අපරාධත් බටහිර රටවල් අනපේක්ෂිත කරුණු නොවන බවයි.

යුද අපරාධ සම්බන්ධයෙන් ඉදිරිපත් වන චෝදනා මානව අයිතිවාසිකම් ගැන ඉදිරිපත් කරන චෝදනා මෙන් තෝරා ගත් රටවල් සහ අවස්ථාවන් සම්බන්ධයෙන් විවිධ අන්තර්ජාතික ගිවිසුම් යටතේ ක්‍රියාත්මක කිරීම භූ දේශපාලන අරගලයේ ම කොටසකි. එක්සත් ජනපදයට සහ යුරෝපා සංගමයට හිතවත්, පක්ෂපාතී රාජ්‍යයන්හි යුද අපරාධ සිදු වන්නේ හෝ මානව අයිතිවාසිකම් කඩකිරීම් සිදු වන්නේ නැත. මේ පිළිබඳ හොඳම උදාහරණය එක්සත් ජනපදයේ සහ බටහිර රටවල ආධාර අනුග‍්‍රහයෙන් පවතින ඊශ‍්‍රායෙලයයි. ඊශ‍්‍රායෙලය පලස්තීනුවන්ගේ ජීවත්වීමේ අයිතිය පවා උදුරා ගැනීම මේ රටවල අවධානයට ලක් වන්නේ නැත. එම අපරාධ ගැන එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට පවා මැදිහත් විය නොහැකි වන්නේ එක්සත් ජනපදය ඒවා සිය නිෂේධ බලය යොදා හෝ වෙනත් දේශපාලන බලපෑම්වලින් වළක්වන නිසාය. මේ ගැන දීර්ඝ වශයෙන් සඳහන් කිරීම අනවශ්‍ය වන්නේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ ජනමාධ්‍යවලින් ප්‍රචාරය නොකරන නමුත් උනන්දුවක් ඇති බොහෝ දෙනකු දන්නා සාමාන්‍ය කරුණු නිසාය.

ඇත්තෙන්ම එක්සත් ජනපදය ඇෆ්ගනිස්ථානය, ඉරාකය, ලිබියාව පැරණි යුගොස්ලාවියාව සහ සිරියාව වැනි රටවල සිදු කර ඇති යුද අපරාධ ගැන ජාත්‍යන්තර ගිවිසුම් ක්‍රියාත්මක වන්නේ නැත. ඉරාකයේ එවකට සිටි පාලකයා වූ සදාම් හුසේන් සතුව සමූහ ඝාතන අවි ඇතැයිද එය එක්සත් ජනපදයේත් සෙසු ලෝකයේත් ආරක්ෂාවට තර්ජනයක් යැයි පවසා පළමු ව එම රටට එරෙහිව සම්බාධක පනවා ඉන් පසුව ආක්‍රමණය කිරීම යුද අපරාධයක් හෝ ජාත්‍යන්තර නීති කඩකිරීමක් වන්නේ නැත. ඉරාකයට එරෙහි පනවා තිබූ සම්බාධක නිසා 500,000කට අධික ළමයින් සංඛ්‍යාවක් මරණයට පත්වීම එක්සත් ජනපදය දකින ආකාරයට මානව අයිතිවාසිකම් කඩ කිරීමක් හෝ යුද අපරාධයක් වන්නේ නැත. 1996 දී මෙම ප්‍රශ්නය එවකට එක්සත් ජනපදයේ එ ජා තානාපති මැඩලීන්  ඕල්බ‍්‍රයිට්ගෙන් ප්‍රශ්න කළ විට ඇගේ පිළිතුර වූයේ එය ඉරාකයේ ‘නිදහස’ වෙනුවෙන් ගෙවිය යුතු මිලක් වශයෙනි. නිදහස යනුවෙන් ඇය අදහස් කෙළේ එක්සත් ජනපදයට ඉරාකය තුළ ක්‍රියාත්මක වීමට ඇති නිදහසයි.

මීට අමතරව ඇෆ්ගනිස්ථානයේ එක්සත් ජනපදය ප්‍රමුඛ නෙටෝ හමුදා විවාහ මගුල් උත්සව වලට පමණක් නොව රෝහල්වලට පවා ප්‍රහාර එල්ල කිරීම යුද අපරාධ වන්නේ නැත. ඒවා ගැන විමර්ශනය කිරීම පවා සම්බාධකවලට ලක් වෙන කාරණයකි.

යුක්‍රේනයේ සිදුවන යුද්ධය නිසා ළමා අයිතිවාසිකම් මෙන්ම අති මහත් ජනතාවකගේ ජීවත් වීමේ අයිතියට ද බලවත් තර්ජනයකි. එම නිසා කුමන අරමුණෙන් ක්‍රියාත්මක වුවද යුද්ධය විශාල වශයෙන් සම්පත් විනාශ වීමකට අමතරව ජන ජීවිතයට වන්නේ පිරිමැසිය නොහැකි හානියකි. එමනිසා ප්‍රමුඛතම සහ එකම කාර්ය විය යුත්තේ යුද්ධය නැවැත්වීම ය. අයිතිවාසිකම් ගරු කරන සමාජයක භූමිකාව විය යුත්තේ සාමය තහවුරු කරන සහ අසාධාරණය නතර කරන වැඩ පිළිවෙළකට යොමු වීමය. එහෙත් එක්සත් ජනපදයත් යුරෝපා සංගමයත් සාමය තහවුරු කිරීමට වඩා උනන්දු වන්නේ තම දේශපාලන සහ ආර්ථික බලය සුරක්ෂිත කර ගැනීමට ය. ඔවුන්ට යුද්ධය යනු දේශපාලනය වෙනත් ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමකි.

එම නිසා රුසියානු ජනාධිපතිට සහ ඔහුගේ නිලධාරිණියකට එරෙහිව යුද අපරාධ පිලිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම යුක්තිය හෝ සාධාරණත්වය තහවුරු කිරීමට ගන්නා උත්සාහයක් නොවේ. මෙහි පවතින නරකම ආදර්ශය වන්නේ යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් ජාත්‍යන්තරව ඇති කර ගන්නා සම්මුතීන් පවා මහ බලවතුන් සිය දේශපාලන අරමුණු සාක්ෂාත් කර ගැනීමේ මාධ්‍යයක් වශයෙන් යොදා ගැනීමයි. කුඩා සහ දුර්වල රාජ්‍යන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන නීතිය බලවත් රටවල් නොසලකා හැරීමයි. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ ජාත්‍යන්තර නීතිය පිලිබඳව පවතින විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටී බලවතාගේ කැමැත්ත නීතිය බවට පත්විමයි.  

Leave a Reply