You are currently viewing විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිවීමට එරෙහි වීමේ රහස

විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිවීමට එරෙහි වීමේ රහස

“සාගරයක් මැද” විවිධ නාටක රඟ දැක්වීමට පටන්ගෙන තිබු‌ණේ කාලයක සිටය. එකී නාටකවල අවසන් ප්‍රතිඵලය වූයේ රටක් ලෙස ශ්‍රී ලංකාව බංකොලොත් බවට ඇද දැමීම පමණකි. ඒ හේතුවෙන් අද වන විට අවමානයට පත්ව ඇත්තේ රටය. පීඩාවට පත්ව ඇත්තේ ජනතාවය. එම අවාසනාවන්ත තත්ත්වයෙන් රටත්, රටේ සමස්ත ජනතාවත් මුදවාගැනීම වගකීමක් ඇති සියල්ලන්ගේම යුතුකමය. එය එක් දේශපාලන කඳවුරකට හෝ නායකත්වයකට මෙන් ම සමාජ කණ්ඩායමකට පමණක් සීමා වූ වගකීමක් විය නොහැකිය.

මෙවන් අවධාරණයකින් යුතුව පැහැදිලිකිරීමක් සිදු කිරීමට හේතු සපයන ලද්දේ පසුගිය සිකුරාදා පළ වූ මව්බිම පුවත්පතෙහි “සාගරයක් මැද” දේශපාලන සටහන්කරු වූ සජිත් රෝහිත ලියනගේය. සජිත්ගේ එකී සටහනට සිරස්තලය ලෙස යොදා  තිබුණේ වික්‍රමසිංහ ජයසූරිය නාඩගම ලෙසටය. එකී සමස්ත සටහනම උපයෝගී කරගෙන තිබුණේ කරු ජයසූරිය මහතා වෙත අභූත හා අපහාසාත්මක චෝදනා ඉදිරිපත් කිරීමටය. එය ඔවුන්ගේ සදාචාරයේ තරමය. කරු ජයසූරිය මහතා වර්තමානයේ දී පූර්ණකාලීනව කටයුතු කරන්නේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයට නායකත්වය ලබාදෙමිනි. එමෙන් ම සජිත් රෝහිත විසින් එකී ප්‍රහාරය කරු ජයසූරිය මහතා වෙත එල්ල කරන්නේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ මූලික අභිප්‍රාය වූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරගැනීම සඳහා වන ක්‍රියාවලිය ඉලක්ක කරගෙනය. එබැවින් සංවිධානයක් ලෙස එයට පිළිතුරු දීමේ දැඩි වගකීමක් අපට තිබේ.

ඒ් අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ අවශ්‍යතාවය අන් කවරදාකටත් වඩා හොඳින් දැනෙන්නේ අද දවසේදී ය. රටේ සෑම ජන කොටසක්ම නියෝජනය වන මහජන නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවට හෝ  යුක්තිය පසිඳලීමට බැඳී සිටින අධිකරණයට හෝ වගකීමක් දැරීමට බැඳී නැති හා ඔිනෑම අත්තනෝමතික හෝ හිතුවක්කාරි තිරණයක් රටේ ප්‍රතිපත්තිය බවට පත් කිරීමේ බලයක් සහිත ඒ්ක පුද්ගල ආධිපත්‍යයක ඇති විනාශකාරි ප්‍රතිඵල අප අත්විඳ ඇති ප්‍රමාණය අනුව සාධාරණ හා යුක්තිගරුක සමාජයකට අවශ්‍ය පරිසරය නිර්මාණය කරගැනීමට නම් ප්‍රජාතන්ත්‍රවාදි සාරධර්ම මත පාලනය කෙරෙන ආණ්ඩුකරණයක් රටට අවශ්‍යව තිබේ. කරු ජයසූරිය මහතා අද වන විට නායකත්වය ලබාදෙන සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය කටයුතු කරන්නේ ද එකි අපේක්ෂාව පෙරදැරිවය.

එම ඒකායන අපේක්ෂාව අනුව සැම විටම පෙනී සිට ඇති, අදට ද නොවෙනස්ව පෙනී සිටින අප ඒ් සඳහා කටයුතු කරන්නේ දේශපාලන බලය පිළිබඳව කිසිදු අපේක්ෂාවකින් නොවේ. එමෙන්ම කිසිදු දේශපාලන කඳවුරක් පරාජයට පත් කර කුමන හෝ දේශපාලන කඳවුරක් බලයට පත් කරගැනිමේ අදහසකින්ද නොවේ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින් ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රතිසංස්කරණ රටට හඳුන්වාදීමට සූදානම් නම් එවකට බලයේ සිටි මහින්ද  රාජපක්ෂ ජනාධිපතිවරයාට ඒ් සඳහා පූර්ණ සහය ලබාදෙන්නට සූදානම් යයි අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක මාහිමිපාණන් වහන්සේ 2012 වසරේ දී ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කළේ ඒ් නිසාය. එදා ඒ් වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පෙනී නොසිටීම තුළ, 2015 වසරේ දී විකල්ප දේශපාලන බලවේගයකට ගාමක බලය සපයන ලද්දේ ද සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය  විසිනි. ඒ් තුළ ද අප අපේක්ෂා කළ වෙනස පරිපූර්ණ කරගත නොහැකි  වුවද එය අතහැර දැමීමට අදට ද සූදානම් නැත. එමෙන් ම ඒ් වෙනුවෙන් වූ ක්‍රියාවලියකට මැතිවරණ වසරක් තරම්  සුදුසු වෙනත් කාලයක් නොමැති බව ද අපගේ විශ්වාසයයි.

එනම් අද වන විට ශ්‍රී ලංකාවේ දේශපාලන බලය අපේක්ෂා කරන ප්‍රධාන කඳවුරු සියල්ලටම නායකත්වය දෙන චරිත සැලකූ විට ඒ් සියල්ලන්ම පාහේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා පැහැදිලි පොරොන්දු ලබා දී ඇති පුද්ගලයන්ය. පක්ෂ වශයෙන් ගත් විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන එක්සත් පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිෂ්ට් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ප්‍රතිඥා දී ඇති දේශපාලන පක්ෂය. ඒ් අනුව කිසිදු දේශපාලන නායකත්වයක් හෝ පක්ෂයක් අප අද එකී අරමුණ වෙනුවෙන් පෙනි සිටින විට කලබල විය යුතු නැත. කලබල වන්නේ නම් ඔවුන් කළ යුත්තේ සජිත් රෝහිත මෙන් අවලාද නැඟීම හෝ හිතළු හා ඕපාදූප මත හෑලි දිඟහැරීම නොවේ. ඒ් සඳහා පැහැදිලි හේතු සාධක ඉදිරිපත් කරමින් විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් පවත්වාගත යුත්තේ ඇයිද යන්න තර්කානුකූල ලෙස රටට පැහැදිලි කිරිමය. එසේ නොමැතිව තමන්ට බලය ලබා ගැනීමේදි එය මජර ලෙස බුක්ති විදීමට පමණක් හොඳ වන, වෙනකෙකුට  බලය ලැබෙන්නේ නම් විධායක ජනාධිපති ක්‍රමය නරක් වන දෙබිඩි පිළිවෙත් දේශපාලනයේ දී කිසිසේත්ම සදාචාරාත්මක වන්නේ නැත.

එහිදී අප අවධාරණය කරන තවත් එක් වැදගත් කරුණක් වන්නේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ඔිනෑම ක්‍රියාවලියක්, නියමිතව ඇති කිසිදු මැතිවරණයක් කල් දමා ගැනීම සඳහා හේතුවක් කර නොගත යුතු බවය. එවැනි ඔිනෑම උත්සාහයකට එරෙහිව සංවිධානයක් ලෙස අප අනෙකුත් සමාජ බලවේග සමඟ එක් වන්නට පසුබට නොවන බව ද අවධාරණය කළ යුතුමය. එමෙන් ම එහිදි අප අවධාරණය කරන අනෙක් වැදගත්ම කරුණ වන්නේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට ජනාධිපතිවරයා අපේක්ෂා කරන්නේ නම් ඒ් සඳහා මේ මොහොත කිසිසේත්ම යොදාගත යුතු නැති බවය. එය සිදු කල යුත්තේ ඉදිරි ජනාධිපතිවරණයේ දි බලයට පත්වන ජනාධිපතිවරයා හෝ ජනාධිපතිවරිය විසිනි. එනම් ඉදිරි ජනාධිපතිවරණයෙන් පසු ඉතා කෙටි නිශ්චිත කාලසීමාවක් ඇතුළතය.

අප මේ බව පුන  පුනා අවධාරණය කරන්නේ ජනතාව අපේක්ෂා කරන ඉතාමත් යහපත් අරමුණක් පවා බලය උදෙසා අපයෝජනය කළ අවස්ථා අතීතයේ දී ද අප අත්දැක ඇති නිසාය. එමෙන් ම එවැනි ක්‍රියාවන් හේතුවෙන් මේ රටට අත්කර දී ඇති දැවැන්ත විනාශය පිළිබඳව අපට අවබෝධයක් ඇති හෙයිනි. රටේ අනාගතය යහපත් කර ගත හැක්කේ යහපත් අරමුණක් පවා යහපත් භාවිතයක් තුළ ක්‍රියාවට නැංවීමෙන් පමණකි. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ ප්‍රතිපත්තිය එයයි. පටු හා දුෂ්ට අරමුණු මත බලය පමණක් ඒ්කායන ඉලක්කය කරගත් චරිත හා කණ්ඩායම්වලට එකී ප්‍රතිපත්තිය බොහෝ විස විය හැකි බව අපි දනිමු. එහෙත් ඔවුන්ගේ විස දළ පහර මැද වුවද අප අපගේ යහපත් අරමුණු අතහැරිමට සූදානම් නැත.

Print Friendly, PDF & Email

Leave a Reply