You are currently viewing ලෝක විනාශයක උරචක‍්‍රමාලයක් රුසියන් – යුක්‍රේන් යුද්ධයට විසඳුම්

ලෝක විනාශයක උරචක‍්‍රමාලයක් රුසියන් – යුක්‍රේන් යුද්ධයට විසඳුම්

රුසියාව සහ නේටෝව ප්‍රමුඛ බටහිර රටවල සහාය ලබන යුක්‍රේනය අතර යුද්ධයට දැන් වසරක් ගතව ඇත. මාස කිපයක් ඇතුළත නිම කිරීමට බලාපොරොත්තු වූ මෙම යුද්ධය තවත් වසර ගණනාවක් පැවතීමේ පැහැදිලි අනතුරක් පවතින අතර වඩාත් ම භයානක තත්වය වන්නේ න්‍යෂ්ටික අවි භාවිතා කරන ගැටුමක් බවට පත් වන්නේ ද යන සැකයයි. රුසියාව න්‍යෂ්ටික අවි භාවිතා නොකරන බවට ප්‍රකාශයක් කර ඇති නමුත් ගැටුම දැන් පවතින ප්‍රදේශ ඉක්මවා රුසියාවේ අභ්‍යන්තරයට ව්‍යාප්ත වුවහොත් න්‍යෂ්ටික අවි යොදා ගැනීමට ඇති හැකියාව ඉතාම ඉහළය. න්‍යෂ්ටික යුද්ධයක අනතුරක් ගැන සෝදිසියෙන් සිටින විද්‍යඥයන් පවසන ආකාරයට ජයග්‍රාහකයෙක් නොවන සියල්ලන්ට විනාශය කැඳවන න්‍යෂ්ටික යුද්ධයක් ඇතිවීමට තවත් ඇත්තේ නැනෝ තප්පරයක් පමණි. නැනෝ යනු දැනට සොයා ගෙන ඇති ක්ෂුද්‍රතම මිනුමයි.

බටහිර රටවල සම්පූර්ණ සහාය ලබන යුක්‍රේනයේ දේශපාලන නායකත්වයට ජීවිත සහ දේපොළ විශාල වශයෙන් බිලි ගන්නා මෙම නිරර්ථක යුද්ධය අවසන් කිරීමට අවශ්‍යතාවයක් ඇති බවක් පෙනෙන්නට නැත. ඔවුන්ට අවශ්‍ය  ඕනෑම අවියක් තොග ගණනේ සීමාවකින් තොරව එක්සත් ජනපදයෙන් සහ යුරෝපා සංගමයෙන් ලැබෙන නිසා යුද්ධය නතර කිරීමට අවශ්‍යතාවක් ද සෙලන්ස්කි ප්‍රමුඛ යුක්‍රේන් පාලකයන්ට ඇතැයි  කිව නොහැකිය. යුක්‍රේනයේ අවශ්‍යතාවය 2014 පැවති දේශසීමාවට නැවත යන තෙක් යුද්ධය පවත්වා ගැනීමය. එය තහවුරු කර ගැනීම සඳහා රුසියානු පෙඩරේෂණයේ අභ්‍යන්තරයටම යුද්ධය ගෙන යාමට සූදානම් අතර එක්සත් ජනපදය අවශ්‍ය අවි සැපයීමට ඉදිරිපත් වනු ඇත. මොස්කව් නගරය ආසන්නයේම ස්ථානවලට ඩ්‍රෝන ප‍්‍රහාරක යානා යැවීමේ ශක්තිය යුක්‍රේනයට පවතින බවට දැන් තොරතුරු ලැබෙමින් පවතී. වැදගත්ම දේ සාමය හෝ සාකච්ඡා ඇරඹීම සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරන මානසිකත්වයක් බටහිර රාජ්‍ය නායකයන් තූළ තිබීමය.

චීනයෙන් සාම සැලැස්මක් ඉදිරිපත්ව ඇත්තේ මෙවැනි පරිසරයක් තුළය. එක්සත් ජනපදය මහජන චීනය පිළිගනිමින් 1979 දී නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශනය නොසලකා තායිවානයේ ස්වෛරීත්වය සහ අනන්‍යතාවය පිළිගනිමින් නැගෙනහිර ආසියාවේ සටන් උණුසුම උත්සන්න කරමින සිටින අතර චීනය ද ඊට ප‍්‍රතිචාර දැක්වීමට සූදානම් බව පැහැදිලි සාධකයකි. එසේ වුවද යුක්‍රේනයේ අවි ගැටුම අවසන් කොට ස්ථිර සාමය ස්ථාපනය කිරීමට යෝජනාවක් ඉදිරිපත් කිරීම ද විශේෂත්වයකි.

චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ විදේශ කටයුකු පිළිබඳ මධ්‍යම කොමිසමේ අධ්‍යක්ෂ වොන්ග් යී ඉදිරිපත් කර ඇති කරුණු 12කින් යෝජනාවට දැනට ලැබී ඇති ප‍්‍රතිචාර විවිධාකාරය. ගැටුමේ පාර්ශවයක් වන යුක්‍රේනය, චීනයේ යෝජනාවට විරෝධයක් නොදක්වන නමුත් ජනාධිපති සෙලන්ස්කිගේ ප‍්‍රශ්නය වන්නේ කතා කරන්නේ කුමක් ගැන ද යන්නයි. එමෙන්ම කතා කිරීමට කිසිවෙක් ඇත්තේ ද නැත. උග‍්‍ර පුටින් විරෝධියෙකුවන සෙලන්ස්කි, පූටීන් සමග කුමන ආකාරයේ හෝ සාකච්ඡාවකට සූදානම් නැත. එහෙත් ඔහු චීන යෝජනාව මෙතෙක් ප‍්‍රතික්ෂේප කර නැත. ඔහු චීන ජනාධිපති සී ජින්පින් හමුවීමට පවා සූදානම්යැයි ප‍්‍රකාශ කෙළේය.

චීන ජනාධිපති ෂයි ජින් පිං [Xi Jinping] සහ පෝලන්ත ජනාධිපති ඇන්ඩ‍්‍රසෙල් ඩූඩා [Andrzej Duda]

නේටෝ යුද හවුලේ සහ යුරෝපා සංගමයේ ප්‍රබල සාමාජිකයෙකු මෙන්ම අසල්වැසි රටක් වන පෝලන්තයේ ජනාධිපති ඇන්ඩ‍්‍රසෙල් ඩූඩා චීන යෝජනාව හඳුන්වන්නේ ඉදිරියට යා හැකි මගක් සේය. යුක්‍රේන – රුසියානු යුද්ධය නිසා දැඩි ආර්ථික බලපෑමකට පත්ව සිටින පෝලන්තයට මෙම ගැටුම නිරාකරණය කර ගැනීම ආරක්ෂාව මෙන්ම ආර්ථිකයට ද තීරණාත්මක සාධකයකි. ඔහු සඳහන් කරන ආකාරයට මහා බලවතෙකු වන චීනය නොසලකා හැරිය යුතු නැත. එමනිසා එම යෝජනා පදනම්ව සාකච්ඡා ඇරඹීම ඵලදායි කටයුත්තක් සේ ඔහු සලකයි.

එහෙත් යුද්ධයේ බලවත්ම පාර්ශ්වයක් වන එක්සත් ජනපදයේ ප‍්‍රතිචාර බෙහෙවින් නිෂේධනීය ය. එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මෙම යෝජනා දෙස බලන්නේ වපරැසිනි. ඔහු සරලව පවසන ආකාරයට මෙම යෝජනාවට පුටින්ගේ සහාය ලැබෙන්නේ නම් එහි කිසිත් හොඳක් තිබිය නොහැකිය. ‘‘මෙම යෝජනාවේ කිසිවකින් රුසියාව හැර වෙනත් කිසි කෙනෙකුට යහපතක් වන දෙයක් මට නොපෙනේ.’’ 

නේටෝ මහලේකම් ජනරාල් ජෙන්ස් ස්ටොල්ටන්ර්බර්ග් [Jens Stoltenberg]

නේටෝ මහලේකම් ජනරාල් ජෙන්ස් ස්ටොල්ටන්ර්බර්ග් දකින ආකාරයට මෙම අවි ගැටුම නිරාකරණයට මැදිහත්වීමට තරම් විශ්වසනීයත්වයක් චීනයට නැත. ඔහු පවසන ආකාරයට චීනය රුසියාවේ යුද මෙහෙයුමේ පාර්ශ්වකරුවෙකි. එමෙන්ම මෙම යුද්ධය හෙළා දැකීමට චීනය ඉදිරිපත් වූයේ ද නැත. ඔහුගේ ඉදිරිපත් කිරීම අනුව යුද්ධයට ඇති එකම විසඳුම රුසියාව 2014 දේශසීමාව දක්වා පසු බැසීම සහ යුක්‍රේනයට නේටෝ යුද සංවිධානයට ඇතුළුවීමට බාධා නොකිරීම ය.

තවත් යුරෝපා සංගමයේ සාමාජික රටක් මෙන්ම යුක්‍රේනයේ අසල්වැසි රටක් වන හන්ගේරියාව ද චීනයේ සාම සැලැස්මට අනුමැතිය පළ කර ඇත. මෙම අවිගැටුමේ දී පාර්ශ්වයක් ගෙන නැති හංගේරියාව යුක්‍රේනයට අවි යැවීමද ප්‍රතික්ෂේප කරයි. හංගේරියාව ද යුද්ධය නිසා ආර්ථික අසීරුතාවලට මුහුණ දී ඇති යුරෝපීය සංගමයේ රටවලින් එකකි.

චීනය සමග සමීප ආර්ථික සහ දේශපාලන සබඳතා පවත්වන රුසියාව ද මෙම යෝජනා අධ්‍යයනය කරමින් සිටින බව පවසා ඒවා පිළිගැනීමක් හෝ ප‍්‍රතික්ෂේප කිරීමක් මෙතෙක් සිදු කර නැත.

චීනය ඉදිරිපත් කර ඇති යෝජනාවලියේ මූලික කරුණ වන්නේ සාම සාකච්ඡා ආරම්භ කළ යුතුය යන්නයි. දැනට දෙපාර්ශ්වයම යුද්ධය තව තවත් උත්සන්න කිරීමට සැලසුම් කරන නමුත් සාමයක් ගැන ඉඟියක් හෝ කරන්නේ නැත. දෙවැනි වැදගත් කාරණය වන්නේ ස්වෛරීත්වයට සහ භෞමික අඛණ්ඩතාවට ගරු කිරීම ය. තුන් වැනිව දැනට ඒක පාක්ෂික ව පනවා ඇති සම්බාධක ඉවත් කළ යුතුය.

බැලූ බැල්මට මෙම ප්‍රධාන කරුණු තුන ප්‍රතික්ෂේප කිරීමට පහසු නැත. යෝජනාවෙන් ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාවය යන්නෙන් නිශ්චිතව අදහස් වන්නේ කුමක් ද යන්න සාකච්ඡා තුළින් විසඳා ගත යුතු කාරණයකි. ජර්මනිය, ප්‍රංශය සහ රුසියාව ඇතුළත්ව 2014 දී අත්සන් කළ මින්ස්ක් ගිවිසුම අනුව ක්‍රිමියාව හැර ඩොන්බාස් ප‍්‍රදේශය සම්බන්ධයෙන් කිසියම් එකඟතාවයක් ඇති කර ගෙන තිබිණ. මෙම ගිවිසුම අත්සන් කෙළේ එය සැබැවින්ම ක්‍රියාත්මක කිරීමට වඩා යුක්‍රේනයේ සටන් ශක්තිය තර කර ගැනීමට කාලය ලබා ගැනීමටයැයි එවකට ජර්මන් චාන්සලර්වරිය වූ ඇන්ජෙලා මර්කේල් ප‍්‍රකාශ කර තිබුණ නමුත් එය වැදගත් පිවිසුමකි. ඇත්තෙන්ම මර්කේල් ගේ ප‍්‍රකාශය, රුසියාව බටහිර රටවල් සමග ගිවිසුම් ඇති කර ගැනීමේ දී දෙවරක් සිතීමට පොළඹවන කාරණයකි. ඒ කෙසේ වුවත් යුද්ධයේ කිසියම් අවස්ථාවක දී සාකච්ඡාවලට එළඹීම අනිවාර්ය ය. ඒ රුසියාව සම්පූර්ණයෙන්ම පරාජය කිරීමට උත්සාහ කිරීම න්‍යෂ්ටික යුද්ධයකට පිවිසීමක් වන නිසා ය.

මෙම අවි ගැටුම සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට පෙළඹවීමක් ඇත්තේ ගැටුමේ ප්‍රධාන පාර්ශ්වයන්ට පමණක් නොවේ. එහි ප්‍රතිඵල ලෝක ආර්ථිකයට ද තදින් දැනෙන නිසාය. විශේෂයෙන් එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය ඒකපාක්ෂිකව පනවා ඇති වෙළඳ සහ ආර්ථික සම්බාධක බටහිර රටවලට මෙන්ම සංවර්ධනය වන රටවලට ද තදින් බලපායි. කළු මුහුද හරහා කෙරෙන ධාන්‍ය වෙළඳාමට ඇති බාධක නිසා අප්‍රිකානු රටවල ආහාර හිඟය උත්සන්න වී දරිද්‍රතාවය වැඩි වේ. රුසියානු තෙල් අපනයනයට පනවා ඇති සම්බාධක ද ලෝක ආර්ථිකයට තීරණාත්මකව බලපාන සාධකයකි.

අනික් කාරණය වන්නේ සම්බාධක පැනවීමෙන් රුසියානු ආර්ථිකය කඩා බිඳ දැමීමට ගත් උත්සාහය සාර්ථක නොවීම ය. සම්බාධක පැනවීමේ දී රුසියානු ආර්ථිකය සියයට 10-15ත් අතර ප්‍රමාණයකින් කඩා වැටෙනු ඇතැයි එක්සත් ජනපදය ගණන් බැලූ නමුත් එසේ වූයේ නැත. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ගණන් බැලීම් අනුව රුසියානු ආර්ථිකය පසුගිය වසරේ සියයට 2.1ක සෘණ වර්ධන අනුපාතයක් වාර්තා කළ අතර මෙම වසරේ සියයට 0.3ක වර්ධනයක් අත්පත් කර ගනු ඇත. ඉන් පැහැදිලි වන සරල කාරණය සම්බාධක පැනවීමෙන් අපේක්ෂිත තත්වය අත්කර ගත නොහැකිය යන්නයි.

දෙවැනිව සම්බාධක පැනවීම නිසා රුසියානු ආර්ථිකය හා දේශපාලන සම්බන්ධතා බටහිරින් නැගෙනහිරට යොමුවීමේ ප‍්‍රවනතාවයක් පවතී. රුසියාව දැනටමත් බටහිර යුරෝපයත් සමග ඇති විවිධ සම්බන්ධතාවලින් ඉවත් වෙමින් සිටී. එක නිදර්ශනයක් වන්නේ රුසියාවේ බැංකු, ඇමරිකානු බැංකු මගින් මෙහෙයවන SWIFT නිෂ්කාශන වැඩ පිළිවෙළින් ඉවත් කිරීම නිසා විකල්ප ක්‍රම හඳුන්වා දීමය. ඇමරිකානු වීසා සහ මාස්ටර්කාඩ් වෙනුවට මීර් නම් ක්‍රමය රුසියාව හඳුන්වා දී ඇත. ජාත්‍යන්තර වෙළඳාමේ දී ඩොලර් වෙනුවට රූබල් හෝ ද්විපාර්ශ්වික මුදල් යොදා ගැනීම තවත් පියවරකි. දැනටමත් රුසියාවේ ප්‍රධාන වෙළඳ ගනුදෙනුකරුවන චිනය සමග කෙරෙන වෙළඳ කටයුතු වලදී ඩොලර් යොදා ගන්නේ නැත. රුසියානු තෙල් මිලදී ගන්නා රටවල අතුරින් ප්‍රධාන තැනකට පත්ව ඇති ඉන්දියාවද ද්විපාර්ශ්වික වෙළඳ කටයුතුවල දී ඩොලර් වෙනුවට දේශීය මුදල් යොදා ගැනීමට එකඟතාවක් ඇති කර ගෙන සිටී.

මින් පැහැදිලි වන්නේ එක්සත් ජනපදය සිය ආර්ථික සහ හමුදාමය ශක්තිය යොදා රුසියාව කොන් කිරීමටත් අවසානයේ දී එහි පාලනයේ වෙනසක් ඇති කිරීමටත් අරමුණු කර ගත් නමුත් එසේ කිරීම පහසු කටයුත්තක් නොවන අතර දීර්ඝ කාලීන ව එක්සත් ජනපද ආධිපත්‍යයට බරපතළ හානියක් සිදු විය හැකිය යන්නයි. එහෙත් එම සත්‍යය පිළිගැනීමට ඇමරිකාවේ සැබෑ බලය වන රහස් හස්තය ඉඩ දෙන්නේ නැත. ඊට අභියෝග කිරීමට ජෝ බයිඩන්ට හැකියාවක් ඇතැයි සිතිය නොහැකිය. අවසාන ප්‍රතිඵලය වන්නේ යුක්‍රේන් යුද්ධයේ විසඳුමකට හොඳ පිවිසුමක් විය හැකි චීන යෝජනා ප්‍රතික්ෂේප වීම සහ ලෝකය න්‍යෂ්ටික යුද්ධයකට නොදැනුවත්ම තල්ලුවීම පමණි.   

Print Friendly, PDF & Email

Leave a Reply