බහුජන හිත පිණිස වූ සියලු නිර්මාණයෝ ලොව වාසය ප්‍රියජනක කෙරෙති. අහිතකර වූ සියලු විනාශයෝ ලෝක වාසය බියජනක කෙරෙති. යුග ගණන් තිස්සේ ජනතාවගේ සිත් සතන් තුළ පැහී මිරිකී දුක් විදින ඉෂ්ට සහ ශිෂ්ට බලවේගයන් එම ස්වයං සිරගෙවලින් නිදහස් කළ යුතුය. එසේම ප්‍රජාතන්ත්‍රවාදය. බහුතරයේ බලය ආදී වචන තුළ සැගවී සිටින දුෂ්ට අශිෂ්ට බලවේගයන් සිංහාසන වලින් ඇද හෙලා බෙලහීන කරමු. අපි නිර්මාණශීලී වෙමු. විනාශකාරී නොවමු. එහෙත් වංචනිකයන් සිය බලය මුදාහැර අප පෙළන විට අටසිල් සමාදන් නොවමු.
කිසියම් සමාජ විලෝපනයක් අහසින් කඩා වැටෙන්නේ නැත. පොළවෙන් හදිසියේ මතුවන්නේ ද නැත. එය දිග කලක් තිස්සේ බිඳෙන් බිඳුවය. අණුවෙන් අණුව කැටිවී තැන්පත් වෙයි. සුදුසු අවස්ථාවක් පැමිණි විට පුපුරා කඩා පනී. බාහිර පාලනයක් නැතිව එසේ කඩා පැනීම විනාශ කාරීය. එය හොඳක් නරකත් නොතකයි. එය කරන්නා ඊට වගා කිය යුත්තේ අඩි වෙනි. වැඩියෙන් වග කිය යුත්තේ දිග කලක් තිස්සේ නීතියෙන් හා අවනීතියෙන් පවත්වා ගැනුණු අයුක්තියයි. සමාජ අසාධාරණය යි.
මෙවැනි සමාජ සංසිද්ධියක් පිටුපස දිග ඉතිහාසයක් ඇත. එය මිනිසුන්ගේ නිර්මාණයක් නොවේ. ස්වභාව ධර්මයේ නිර්මාණයකි. සොබා දහමට එසේ කිරීම සඳහා මිනිසා හවුල් වේ. ඒ කෙසේද?
අවුරුදු දහස් ගණනක් මිනිසුන් වහලුන් ලෙස තබාගෙන, ඔවුන්ගේ ශ්‍රමයෙන් සැප ජීවිත ගත කළ ඉහළ පැලැන්තිය වහලුන්ට සැලකුවේ ද්‍රව්‍යයක් ලෙස ය. ඒ මදිවට කුරුරු අමානුෂික දඬුවම් වලට ගොදුරු කරනු ලැබිණ. ඒ අවුරුදු දහස් ගණන පුරා පාලක පන්තියේ ද්වේෂය, අයුක්තිය ටිකෙන් ටික වහලුන් තුළ පැලපදියම් වී තිබී, ස්පාටකස් ගේ සටන සමග පුපුරා ගියේය. වැඩ වසම් යුගය බිහිවුණේ ඒ නිසාය. ඊළඟ ප‍්‍රවේණිදාස යුගය වෙනස් වුණේ ඔලිවර් කොම්වේල් වැනි අයගේ හැඟීමත් සමගය. ධනපති යුගය බිහිවීම එම සටන්වල ප්‍රතිඵලය විය. කම්කරු යුගයේ දී ලෝකයේ බොහෝ තැන්වල සටන් ඇවිලිණි. දැන් අපේ රටට නිදහස ලැබී වසර 74 ක් වුවද ගොවියා, කම්කරුවා, ධීවරයා, සේවයෙහි නිදහස් නැත. අසාධාරණයක් සිදුවන හැම මොහොතකම ඊට ගොදුවරුවන මිනිසාට තරගයක් ද්වේෂයක් ඇතිවේ. අනෙකාට ඇති බලය හමුවේ යටපත් වේ. එහෙත් හිතේ තැන්පත් වේ. එය ඔහු තුළ පමණක් නොව එය අසන දකින අනික් මිනිසුන් අනික් මිනිසුන් තුළ ද ඇති වේ. එය මුහුදින් එතෙර මිනිසුන් තුළ ද ඇති වේ. එසේ සිත් සතන්හි තැන්පත් වන එම කෝප වේගය බොහෝ කලකට පසු වුවද කඩා පනිනවා නියතමය. එය සොබා දහම ය.
අප රටේ වසර ගණනක් තිස්සේ සිදු වූ අවනීතික පැවතුම්, පීඩා, අයුක්තිය ඊට සුදුසු අවස්ථාවේ දී පුපුරා යාම සිදුවිය. මෙසේ ශක්තිය කැටිවීම පිණිස, අසාධාරණ නීතියක්, ක්‍රියාවක් වචනයක් වුව සෑහේ. පොදු ජනයාට හිමි සම්පත් හොරකම් කිරීම, වංචාවෙන් රැවටීමෙන් ගැනීම ආදිය නිසා ද ඇති වේ. එසේ තිබෙන නිධන්ගත ආවේග පුපුරා යාමට ආසන්න සුළු සිද්ධියක් සැහේ. වර්තමාන ආණ්ඩුව මහජනතාවට ඉටු කළ යුතු පොරොන්දු පසෙක තබා පොදු දේපළ හොරකම් කිරීම, නාස්තිය කළ බව දැන ගන්නා සැමවිටම ඔවුන්ට එරෙහි ආවේග ක්‍නගත වේ. මැයි 9 දා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්, ප‍්‍රාදේශීය දේශපාලකයන් පමණක් නොව, අගමැති පවා නොදැන සිටි ඉතිහාසය මෙයයි. එනම් ඔවුන්ගේ දුෂ්ට පාලනයට විරෝධතාව දක්වන්නේ සුළු පිරිසක් පමණකි යි සිතීමය. ඔවුන් කළ දුෂ්ටකම් පිළිබඳ කෝපය වෛරය රට පුරාම තිබිය යුතු බව ඔවුහු නොසැතූහ. එහෙයින් මයිනාගමටත්, ගොටා ගෝ ගමටත් පහර දී සුපුරුදු ලෙස විරෝධතාව මැඩිය හැකි යැයි සිතූහ. වැරදුණේ එතැන ය. රට පුරා ගෙවල් ගිනි තැබීම් ප්‍රචණ්ඩ ක්‍රියා වේ. එහෙත් ඒ සියලු විනශයන් කළේ අගමැති මහින්ද රාජපක්ෂ, ජොන්ස්ටන් වැනි අය ගින්නට පිදුරු දැමූහ. ගාල මුවදොර සාමකාමී උද්ඝෝෂණය රටපුරා සැඟවී තිබුණු බව වටහාගන්නට ඉතිහාසයක්, දේශපාලනයක් ගැන ප්‍රමාණවත් වැටහීමක් තිබිය යුතු ය. එදා සාමකාමී විරෝධතාවට භාරදුන් අමන අනුගාමිකයන් සහ මන්දබුද්ධික දේශ පාලකයන්ට ස්තූති පූර්වකව කිය යුත්තේ තරුණ විරෝධතා කරුවන්ගේ යහපත් පරමාර්ථය ඉටුවීම ස්ථාවර වූ බව ය. මින් ඉදිරියට එම පාදඩ දේශපාලනයට ඉඩක් නොලැබෙනු ඇත. එය යළි හි ඔසොවන්නට තැත් කරන මොහොතේම විරෝධතා පැන නගිනු ඇත. එම අරගලයේ අපේක්ෂිත ඉලක්කය එයයි. අරගලයේ යහපත් නිර්මාණය එයයි. ඔවුන්ගේ අරගලයේ ප්‍රතිඵලය නියත වෙනස්වීමකි. එහෙත් පැවතුණු වංචනික ප්‍රචණ්ඩ දේශපාලනය, අව්‍යාජ, සාමකාමී දේශපාලනයක් බවට පත්වීමේ පදනම් වැටිණ.
විරෝධතා කරුවන්ගේ නිර්මාණශීලීත්වය
කෙසේ වෙතත් උද්ඝෝෂණයෙන් පසු ඇතිවූ ගිනි තැබීම් සහ මරණ, විරෝධතා කරුවන් අපේක්ෂා කළ දෙයක් නොවේ. ඔවුන්ගේ නිර්මාණශීලිත්වයවූයේ මර්දනය සඳහා ඉඩ ලබා ගැනෙන ප‍්‍රචණ්ඩභාවය නීති විරෝධීවීම නොසිදුවීමය. මෙතෙක් ආණ්ඩු කළේ ප්‍රචණ්ඩ වීමට පොළඹවා මර්ධනය කිරීමයි. කලක් තිස්සේ මර්දනය ප්‍රචණ්ඩ භාවය වර්ධනය කොට යම් එක් ප්‍රචණ්ඩ අවස්ථාවක් මවා මුලින් උපුටා දැමීම සිදුවේ. 1971, 1988 සහ (1983 උතුරේ) ජනතාවට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීමෙන් ඒ සියල්ල මර්දනය විය. සටන් මර්දනයේ කලාවට ගාලු මුවදොර පිරිස අසුවූයේ නැත. එම සටන පැවතුණත් නැතත්. එහි ප්‍රතිඵලය සනිටුහන් වී හමාරය. නිර්මාණය එයයි. ඒ නිසා මෙවර දියත් කළ පාදඩ දේශපාලනයේ සුපුරුදු භාවිතයෙන් සටන අවසන් වූයේ නැත. ඊට හේතුව වූයේ එම දුෂ්ට ක්‍රමයට එරෙහිව රටපුරා විරෝධතා මුහුකුරා ගොස් මතුපිටට කඩා පැනීමය. එහිදී සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා ප‍්‍රතිප්‍රචණ්ඩ ක‍්‍රියා වුවද, එය සාධාරණ සටන් මඩිනු ලැබීමට වුවමනා කරන සාධකයම වේ. යම් තරමකට පාදඩ දේශපාලන උපක‍්‍රමයකව වෙයි. මේ තත්වයෙන් මිදීම සිතා මතාම කළයුතුය. ඉන් පසු ගොඩ නැගෙන සමාජ ක්‍රමයක් තුළ කිසිසේත් නොතිබිය යුත්තකි. යහපත් භෞතිකවාදී දේශපාලන විඥානයකින් හෝ පක්ෂ ප්‍රතිපත්තියකින් හෝ පාලනය විය
මිනිසාට මිනිසකුවීමේ ගෞරවය සමාජයෙන් ලැබිය යුත්තේ කෙසේ ද?
මිනිසාට දක්වන ඇනුම් බැණුම්, හිංසා, පීඩා, අපහාස, පහත් සැලකිලි නිසා උපදින කෝපය, ද්වේෂය, තැන්පත්ව එකතු වී පසු කාලයක මතු වී ප්‍රචණ්ඩත්වයට යොමුවන බව පෙර සඳහන් ය. එසේ ප්‍රචණ්ඩ වන්නේ ඇයි ? ප්‍රචණ්ඩත්වයට ප‍්‍රති ප‍්‍රචණ්ඩත්වයක ලෙසිනි. එහෙයින් එය සමාජ ක්‍රම වෙනස් කිරීමේ මාර්ගයක් ලෙස පිළිගැනීමක් ඇත. විසෙන් විස නැසේ යන උපහැරණයෙන් ද කියැවෙන්නේ එයයි.
මිනිසාට වෙනස්කම් කිරීම නිසා ඔහු කෝපවන්නේ, ප‍්‍රතික‍්‍රියා දක්වන්නේ ඇයි? කෙටි පිළිතුර නම් ඔහු මිනිසකුවීම නිසාය යනුයි. මිනිසකුවීම සතුටටත් අභිමානයටත් පත්විය යුත්තක් නොවේද? එහෙයින් මිනිසා වෙනස්කොට, පහත්කොට සැලකීම අමනුෂ්‍ය ක‍්‍රියාවක් විය යුතුය. මනුෂ්‍යත්වය, මනාව ගරුත්වය, මිනිස්ගුණය, දෙවියන් වැනි මිනිසුන් ආදී යෙදුම් වලින් දර්ශනවාදය සහ වෙනත් විෂයයන්හිදී එය හැඳින්වේ. එහෙත් නීතියේ දී එය විශේෂ වචනයකින් හැඳින්වෙන අතර ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක‍්‍රමයකදී මිනිසාට එම අර්ථය දෙමින් පුරවැසියා පරමාධිපතිවේයැයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවන්හි සඳහන් වේ.
පුරවැසි බලය සහ පරමාධිපත්‍යය
ප්‍රජාතන්ත්‍රවාදී ජන රජයක ඉහළම බලය තිබෙන්නේ පුරවැසියාට ය. නීතියට ඉහළින් කිසිම පුද්ගලයකු නොසිට යුතුය. ප්‍රජාතන්ත්‍රවාදී රටක නීතියේ ආධිපත්‍ය මූලික වේ. යනාදී වාක්‍ය දේශපාලන සාහිත්‍යයේ නිතර භාවිත වේ. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ. ‘පරමාධිපත්‍ය’, පරමාධිපති බලය ගැන සඳහන් වන ආකාරය විමසා බලමු. එහි 3 වන ව්‍යවස්ථාව මෙසේය.
3. ශ්‍රී ලංකා ජන රජයේ පරමාධිපත්‍යය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේ ය. පරමාධිපත්‍යය අත්හළ නොහැක්කේය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ද ඇතුළත් වන්නේ ය.
ජන රජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේය යි මෙහි කියැවේ. එනම් ජන රජයේ ඉහලම බලය ඇත්තේ ජනතාවයටය. එනම් පාර්ලිමේන්තුව ඇමතිවරුන් හෝ ජනාධිපති නොවන බවයි. එහෙත් භාවිතයෙන් සිදුවී ඇතතේ අනිකකි. එහි ඊළග වැකිය එනම් කවර තත්ත්වයක් යටතේ වත් පුරවැසියාගේ බලය තව කෙනෙකුට පැවරිය නොහැකිය. එහෙත් පාර්ලිමේන්තුව සම්මත කරන නීතිවලින්” ඇමතිවරුන් තීරණ ගන්නා සහ ක්‍රියා කාරන ආකාරය අනුව ඔහු හා ජනතාවට වඩා බොහෝ බලවත් වෙති. ඉහත 3 වන ව්‍යවස්ථාවේ පරමාධිපති බලයට අයත් නෛතික තත්වයන් සඳහන් වේ. එනම් පාලන බලතල හෙවත් ව්‍යවස්ථාදායක, විධායක සහ අධිකරණ බලතල පුරවැසියා සතුවන බවය. එනම් නීති පැනවිය යුත්තේ පුරවැසියාගේ අපේක්ෂාව පරිදිය. එහෙත් සිදුවී ඇත්තේ පාලකයන්ට අවශ්‍ය නීති පනවා ගැනීමය. පාර්ලිමේන්තු මන්ත්‍රීත් ඒ ගැන අදහස් දක්වනු අප දැක නැත. පක්ෂ නායකයා හෝ ජනාධිපති කියන දේ කියමින් විපක්ෂයට බැණ අඩ ගනසු මිස හරවත් දෙයක් ඔවුහු නොකියති. ජනාධිපති ඒකාධිපතියෙකු වූ විට මන්ත්‍රීවරු අමන ගැත්තේ වෙති. එපමණක් නොව රාජ්‍ය පාලනයේ සියලු නිලධාරීහු කරබාගෙන කියන දේ කරති. අධිකරණයට කළ හැක්කේ පනවා ගත් නීතිය අනුව තීන්දු දීමය. එහෙත් ව්‍යවස්ථාවේ ස`දහන වන්නේ කුමක් ද? ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ බලය ජනතාවගේ ය. එම බලය ක්‍රියාත්මක කිරීම ජනතාව වෙනුවෙන් කළ යුත්තක් බවය. එහෙත් සිදුවන්නේ ජනාධිපති නැත්නම් පක්ෂ නායකයා වෙනුවෙන් ක්‍රියා කිරීමය. එවිට සිදුවන්නේ ව්‍යවස්ථාවට පටගැහනිව ක්‍රියා කිරීමය.
ව්‍යවස්ථාදායකය, විධයාකය, අධිකරණය යන ආයතන කළ යුත්තේ පරමාධිපතියා සතු බලය ඔහු වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමය. එම බලය අන්සතු කළ නොහැකි නිසා පැවරෙන්නේ බලය නොවේ නීති රීති ක්‍රියාත්මක කිරීමේ වගකීමය. මෙතෙක් අප රටේ සිදුවී ඇතතේ, බලය පවරා ගැනීමය. කළ නොහැකිය. පරමාධිපතියා වෙනුවෙන් වගකීම් ඉටු කිරිම කළ යුතුය. අධිකරණය යුක්තිය ඉටු කළ යුත්තේ පොදු ජනතාව වෙනුවෙනි. විවිධ විෂම නීති හා උපක්‍රම යොදාගෙන පාලකයන් වෙනුවෙන් තීන්දු දෙන්නට සිදුවීම අධිකරණ දූෂණයකි. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වැනි ව්‍යවස්ථාවට පටහැණි ය. එහි මෙසේ දක්වේ.
ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක වීම ද, භුක්ති විදීම ද මතු දැකවෙන් ආකාරයෙන් සිදු වන්නේය.
(අ).’ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ජනතාව විසින් තෝරා පත්කරගනු ලබන මන්ත‍්‍රීවරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින් ද, ජනමත විචාරණයකදී ජනතාව විසින් ද ක්‍රියාත්මක කළ යුත්තේ ය.’
පාර්ලිමේන්තුව ක්‍රියාත්මක කළ යුත්තේ ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය යි. මන්ත‍්‍රීන්ට ඇතතේ ක්‍රියාත්මක කිරීමේ වගකීමය. එහෙත් මෙතෙක් කර ඇත්තේ තමන් වෙනුවෙන් නීති පනවා ගැනීමය. 1982 ජනමත විචාරණයේ දී සිදුවූයේ ඒකා ජනාධිපති යන නම තුළ සැඟවී සිටි ඒකාධිපතියාට තවත් අවුරුදු හතරකට ඒකාධිපති බලය පැවරීමකි. ජනතාව වෙනුවෙන් කළ යුතු කිසිවක් ඔහුට තිබුණේ නැත.
(ආ). රටේ ආරක්ෂාව ඇතුළුව ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත්කරගනු ලබන ජනරජයේ ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කළ යුත්තේය.
1978 පනවා ගත් මේ ව්‍යවස්ථාවෙන් රටම කණපිට පෙරළිණ. අගමැති ඇතුළු ඇමති මණ්ඩලය විසින් කළ යුතුය තිබුණු දේ තනි අතකට පවරා ගැනිණ. එවිට එය ජනතාවගේ බලය අනුව වගකීම පවරා ගැනීමක් නොව බලය කොල්ල කෑමක් විය. එදා පටන් පරමාධිපති පුරවැසියා යටත් වැසියකු බවට පත්විය.
අධිකරණ බලය ද පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කළ යුතු බව එම ව්‍යවස්ථාවේ (ඇ) වගන්තියෙන් කියැවේ. එසේ කියන්නේ අධිකරණ බලය ජනතාවගේ නිසා ය. එය ජනතාවගේ වීමට නම් යුක්ති සහගත අපක්ෂපාත තීන්දු ගත යුතුය. අධිකරණ ක‍්‍රියා පටිපාටිය විවෘත විය යුත්තේ ඒ නිසාය. එහෙත් අපේ රටේ ‘නිදොස් කොට නිදහස් කෙරුනේ’ මේ කියන ජනතාවගේ පරමාධිපත්‍යයට පටහැණි ලෙසය. එනම් පරමාධිපතියා යටපත් කොට ඒකාධිපතියා ඉස්මතු වීමෙනි.
4 වැනි ව්‍යවස්ථාවෙන් සියලු පාලන ආයතන වලට පවරා ඇති විශිෂ්ට වගකීම මෙසේය.
(ඈ). ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප‍්‍රකාශකොට පිළිගනු ලබන මූලික අයිතිවාසිකම් සියලු පාලන ආයතන විසින්
- ගරු කරනු ලැබිය යුත්තේය.
- ආරක්ෂා කරනු ලැබිය යුත්තේය.
- වර්ධනය කරනු ලැබිය යුත්තේය.
මෙම වගන්තියෙන් වගකීම ඉටු කිරීමේදී කළ යුතු දේ එසේ සඳහන් වූ අතර නොකළ යුතු දේ ගැන මෙසේ සඳහන් වේ.
‘තවද ඒ මූලික අයිතිවාසිකම් මෙහි මින් මතු විධි විධාන සලස්වා ඇති ආකාරයට සහ ප්‍රමාණයට මිස
- සංක්ෂිප්ත කිරීම
- සීමා කිරීම හෝ
- අහිමි කිරීම නොකළ යුත්තේ ය.’
මූලික අයිතිවාසිකම් ගරු කරනු ලැබිය යුත්තේ කෙසේ ද? පුරවැසියන්ගේ අයිතිවාසිකම පිළිගෙන එය භුක්තිවිඳීමට සහාය විය යුතු ය.
ආරක්ෂා කරනු ලැබිය යුත්තේ කෙසේද? මූලික අයිතිවාසිකම් කඩ කරනු ලැබීමෙන් පුරවැසියන්ට ආරක්ෂාව සැලසිය යුතුයි. වෙනත් අයගෙන් උල්ලංඝනය වේ නම් එයින් රැකගත යුතුය.
වර්ධනය කළ යුත්තේ කෙසේ ද? මූලික අයිතිවාසිකම් භුක්තිවිඳීමට පුරවැසියාට පහසුකම් සැලසිය යුතුය.
අපේ රටේ මේ එකක්වත් සිදුවන්නේ නැති බව ඉතා පැහැදිලිය. එහි තේරුම පුරවැසියා රාජ්‍ය නිලධාරීන් ඉදිරියේ යටත් පහත් බවට පත්වන බව ය. මේ වගන්තියේ නොකළ යුතු දේම බොහෝ විට සිදුවනු ඇත. එහි අරුත නම් පුරවැසියා බලය නැති කෙනෙකු ද, රාජ්‍ය නිලධාරියා බලවතෙකු බවට පත්වන බවයි.
ඉහතින් සඳහන් වුයේ පරමාධිපති වශයෙන් පුරවැසියාට පාලන බලතල ඇතැයි කියැවුණ දා එය පූර්ණ අසත්‍යයක් බවය. සාමාන්‍ය පුරවැසියකුගේ ත්, ව්‍යවස්ථාදායක, විධායක හෝ අධිකරණ නිලධාරියෙකු ගේත් බරපතළ වෙනසක් ඇති බවය. ඒ සියලු දෙනා පුරවැසියාගේ බලයෙන් හැඩ වැඩ වී පිම්බී සිටින බව බොරුවක් ද?
ඊළඟට මූලික අයිතිවාසිකමක් ඉහත කියැවුණු නිලධාරියකුගෙන් කඩ වුවහොත් ඊට ප්‍රතිකර්ම ලබා ගැනීම පහසු නැත. එම ක්‍රියා පටිපාටි මගින් ම පුරවැසියා පීඩනයට පත්වේ. අපේ රටේ මූලික අයිතිවාසිකම් වර්ධනය කොට නැත. මර්දනය කර තිබේ. භාවිතයෙන් අහිමි කරනු ලැබේ.
පාලන බලතල මූලික අයිතිවාසිකම් යන දේකට අමතරව තුන්වැනි පරමාධිපති බලයක් ද වේ. එනම් ඡන්ද බලය යි. රාජ්‍ය පාලනය අහිතකර නම් ආණ්ඩුව වෙනස් කිරීමට ඡන්ද බලය යෙදිය හැකිය. එහෙත් පාලකයා විසින් ඡන්ද දායකයා තමන්ට අවශ්‍ය පරිදි. ප්‍රබන්ධ කිරීම, මගින් පුරවැසියාගේ බලය අහිමි කර ඇත. ඡන්ද බලයේ 1952 සිටි ආණ්ඩු මාරු කිරීම සිදුවී ඇත. එහෙත් රට අද තිබෙන පිරිහුණු තත්වයට ඇද හැළුණේ ඡන්ද බලය පරමාධිපති බලයක් ලෙස භාවිත නොවුණු නිසාය.
ඉතිහාසයේ පළමු වරට පරමාධිපති බලය ක්‍රියාත්මක වීම
සර්වජන ඡන්ද බලය ලැබී දැනට අවුරුදු 91 ක් ගතවී ඇතත් ඡන්ද බලය පරමාධිපති බලයක් ලෙස සැබෑ භාවිතයට ගැනුණේ 2022 අප්‍රේල් මාසයේ ය. ඒ ගෝඨා ගෝ හෝම් උද්ඝෝෂණය සමගය. බලය අන්සතු කළ නොහැකියයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතත්, සිදුවී ඇත්තේ බලය පාවා දීමය. අවුරුදු 91 ක් ඡන්ද බලයද, අවුරුදු 74 ක් පරමාධිපති බලය ද අපි පාවා දුනිමු. පරමාධිපති බලයට අයත් දේ ව්‍යවස්ථාවේ ඇතත්, එය පැහැර ගන්නා විට කළ යුත්තේ කුමක් දැයි ව්‍යවස්ථාවේ සඳහන් නැත. මූලික අයිතිවාසිකම් ඉතා දුෂ්කර ප්‍රතිකර්මයකි. මදාවි දේශපාලනයේ රජවීමත් සමග එය අකර්මණ්‍ය වේ. ඒ හැරත් පරමාධිපති බලය යටපත් කරන නීති රීති ද පනවා ගැනිණ. ඒවා සිය ගණනින් ගිණිය යුතුය. නිදහුන් දෙකක් මෙසේය. 1982 ජනමත විචාරණය හෙවත් කලගෙඩි සෙල්ලම එකකි. එය ඡන්දයෙන් පීඩකයා රජකරවීමකි. දෙවැන්න 1988, 14 වැනි සංශෝධනය යි. එයින් සිදුවූයේ පරාජිත මන්ත්‍රීත් පාර්ලිමේන්තුවට ගැනීමය. ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු වූ පෙත්සම ප‍්‍රතික්ෂේප විය. සමහරවිට විධායකය විසින් අනියම් ලෙස අධිකරණ තීන්දු ගන්නා නිසාය.
අඩු ගණනේ අවුරුදු 74 ක්ම පුරවැසියා ඡන්දය දෙන අතවැසියකු බවට පත්කරගෙන තිබිණ. පුරවැසි බලය යනු තම අයිතිවාසිකම අහිමිවනවිට සාධාරණ බලයයි. සමාජ ක්‍රම වෙනස් කිරීමේ උරුම කරුවා පුරවැසියාය. පුරවැසියා එවැනි උරුමයක් ඇති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ වෙනත් නීතියක සඳහන් කරන්නේ නැත. එම හීලෑ කර ගැනුණු උගතුන් විසිනි. එහෙයින් පරමාධිපති බලය අරුත් ගැන්විය යුත්තේ පුරවැසියා විසින්මය. එය උගතුන්ගේ භාෂාවෙන් නොව පුරවැසි ක්‍රියාකාරකම් වලිනි. උගතුන් එය නීතියේ ආධිපත්‍යය පරමාධිපත්‍යය ආදී වචන වල සඟවා ඇත්තේ පාලකයන්ගේ අපේක්ක්ෂාවෙන් ය. එහෙයින් කියන්නේ එකකි. කරන්නේ අනිකකි. පුරවැසියාට තමන්ගේ බලය යටපත්වන විට කළ යුතු දේ කුමක් ද? යනු නීතියක සඳහන් නැත. එවිට එයට අර්ථයක් දිය යුත්තේ පුරවැසියාට ම ය. පුරවැසියා විසින් විරෝධතා නිර්මාණය කොට, වර්ධනය කළ යුතුය. එහෙත් විරෝධතාව වැඩි දියුණු වී ප‍්‍රචණ්ඩභාවය දක්වන වර්ධනය වූ විට එය මර්දනය කිරීමේ නීති රීති, ආයතන, උපකරණ ආදිය රාජ්‍ය පාලනය තුළ ම ඇත. රාජ්‍යය නම් කුමක් ද යන්න ඉතිහාසය පුරාම දී ඇත්තේ 14 වැනි ලූවී රජුගේ අර්ථය එනම් ‘රාජ්‍යය නම් මමය’ යනුයි. ව්‍යවස්ථාවේ පුරවැසියා පරමාධිපතියා ලෙස අච්චු ගසා, භාවිතයේ දී පාලකයා පෙන්වා ඇත්තේ තමා පරමාධිපතියාට ඉහලින් සිටින බවය.
මේ අයුරින් නෛතිකව සහ භාවිතයෙන් දිග කලක යටත්ව විසීම නිසා පුරවැසියා ප්‍රචණ්ඩ භාවය ඊට ප්‍රතිකර්මය ලෙස භාවිතා කරයි. එවිට එය මුලිනුපුටා දමා තවත් කලක් පාලනය කිරීමට ව්‍යවස්ථා, නීති, රීති පමණක් නොව ආචාර ධර්ම ද තනා ගැනේ.
වෙනත් රටවලටත් ආදර්ශයක් දෙමින් 2022 අප්‍රේල් විරෝධතාව බෙහෙවින් නිර්මාණාත්මක විය. ප්‍රචණ්ඩ භාවයෙන් තොරවීම ප‍්‍රථම ශක්තිය විය. දෙවැන්න නම් එය ජාති, ආගම්. දේශපාලන ආදී පටු භේද වලින් තොරවීමය. එය මනුෂ්‍ය ආදරය සහ අමනුෂ්‍ය විරෝධය සඳහා වූ නිර්මාණාත්මක ප‍්‍රවේශයකි. හිංසාවෙන් තොරවීම නිසාය. එය අතීතයේ මෙන් සෘජු මර්දනයට ගොදුරු නොවීය. එහෙත් පාලකයාගේ දුෂ්ට භාවය නිසා අනියම් මර්දනයන් පළල් කොට තිබිණ. මැයි 09 දා මුදා හලේ එම දුෂ්ට භාවයේ උපරිමය යි. ඒ සමග හිටපු අගමැති රටම ගිනි තැබුවේය. ඉන්පසු රටපුරා විරෝධතා සමග හොරු මංකොල්ලකරුවෝද සුපුරුදු අශිෂ්ටත්වය දැක්වූහ.
කෙසේ වෙතත් සමාජ නිර්මාණයේ එම සාධනීය පියවර වාසයට සදුසු සුන්දර රටක් ගොඩ නැගීමට මග පෑදී ඇත. හෝරුන්ගෙන්, මංකොල්ල කරුවන්ගෙන් දූෂිත දේශපාලූවන්ගෙන් තොර රටක් ගොඩ නැගීමට අවශ්‍ය පුරවැසි බලය අවදිවීම සාධනීය යි. ඉදිරියේ දී රටේ පාලනයට අලුත් මිනිසුන් සොයා ගනිමු. පරමාධිපති බලය සැබෑ ලෙස පිළිබිඹු වන අලුත් ව්‍යවස්ථාවක් හදා ගනිමු.
- ‘තරිඳු මර්දනය.. - August 2, 2023
- සමානාත්මතාව සඳහා යෝජනාවක්.. - July 12, 2023
- ඡන්ද බලය.. - March 23, 2023