You are currently viewing දැවෙන ප්‍රශ්න විසඳීම සඳහා දේශපාලන තීරණ ගත යුත්තේ කවුද? කෙසේ ද?

දැවෙන ප්‍රශ්න විසඳීම සඳහා දේශපාලන තීරණ ගත යුත්තේ කවුද? කෙසේ ද?

තව දුරටත් අපේ රටේ දැවෙන ප්‍රශ්න විසඳීම සඳහා දේශපාලන තීරණ ගැනීමේ බලය මහජන නියෝජිතයන්ට බාර දී බලා සිටිය හොත් සාමාන්‍ය ජනතාවට විඳවීම හෝ සටන් කිරීම හෝ මර්දනය වීම හෝ හැර ජීවිතය විඳින්නට කාලයක් ඉතිරි වන්නේ නැත! එ නිසා දැන් වත් දැවෙන ප්‍රශ්න විසඳීම සඳහා දේශපාලන තීරණ ගැනීමේ බලය ජනතාව අතට ගත යුතු නැද්ද?

එය ඉතා ශිෂ්ටසම්පන්න විදියට කළ හැකි අලුත් ක්‍රමයක් දැන් සොයා ගෙන තිබේ. එය සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හැඳින්වේ. මෙම ක්‍රමයට අනුව දැවෙන ප්‍රශ්න විසඳීම සඳහා ප්‍රථමයෙන් දේශපාලන තීරණ ගනු ලබන්නේ පුරවැසියන් අතරින්, කුසපත් ඇදීමෙන් තෝරා ගන්නා පිරිසක් විසිනි. අනතුරුව එම තීරණ ජනමතවිචාරණ මගින් හෝ මහජන නියෝජිතයන් මගින් හෝ අනුමත කැරේ.

මෙම ක්‍රියාවලියේ දී පළමුව පුරවැසියන් අතරින් කුසපත් ඇදීමෙන් තෝරා ගන්නා පිරිසට අත්‍යවශ්‍ය පහසුකම් සලසා එක තැනකට රැස් කළ යුතුය. ගැටළුවට අදාල සියලු වැදගත් තොරතුරු ලබා දිය යුතුය. කුසපත් ඇදීමෙන් කුඩා කණ්ඩායම්වලට බෙදා ගැටළුව පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කිරීමට අවස්ථා සලසා දිය යුතුය. ඒ සඳහා පහසුකම් සපයන්නන්ගේ සහාය ද ලබා දිය යුතුය. අවශ්‍ය නම් අදාල විෂය විශේෂඥයින් සමග ද සාකච්ඡා කර කරුණු විමසා ගැටළු නිරාකරණය කර ගැනීමට ද අවස්ථාව සලසා දිය යුතුය. සාකච්ඡාවට සහභාගි වූ පිරිස සෑහීමකට පත් වන තුරු නැවත නැවතත් කණ්ඩායම් සාකච්ඡා-පොදු සාකච්ඡා-කණ්ඩායම් සාකච්ඡා සඳහා අවස්ථා සලසා දිය යුතුය. මෙම ක්‍රියාවලිය අන්තර්ජාලය ඔස්සේ ජනතාවට දැක බලා ගැනීමට හා ප්‍රතිචාර දැක්වීමට හැකි වන සේ විවෘතව සිදු කළ යුතුය. අවසානයේ දී එකඟත්වයෙන් නොහැකි නම් ඡන්ද විමසීමෙන් දේශපාලන විසඳුම් තෝරා ගත යුතුය. මෙම ක්‍රියාවලිය සංවිධානය කරණ හෝ පහසුකම් සපයන හෝ විශේෂඥයින් ලෙස කැඳවන හෝ කිසිවෙකු විසින් අහඹුලෙස තෝරා ගත් පිරිසට කිසිදු බලපෑමක් නොකරන බවට වගබලා ගත යුතුය.

මෙම සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය මගින් සාමාන්‍ය ජනතාවට දැනුවත් පුරවැසියන් බවට පත් වී, නිවැරදි දේශපාලන තීරණ ගත හැකි බවත්, එම තීරණ බහුතර ජනතාවගේ කැමැත්ත බවට පත් වන බවත්, රටවල් විසි ගණනක සිදු කළ අත්හදා බැලීම්වලින් තහවුරු වී ඇත. අන්තිමේ දී එම ජනමතයට හිස නැමීමට මහජන නියෝජිතයන්ට සිදු වන බවත් තහවුරු වී ඇත.  මෙම ක්‍රමය මොංගෝලියාවේ ව්‍යවස්ථාපිත නීතියෙක් බවටත් පත් ව ඇත.

වාර්ගික හෝ ආගමික වශයෙන් බෙදී ඇති සමාජවල එම බෙදීම් අභිබවා නිවැරදි දේශපාලන තීරණ ගැනීමට මෙම ක්‍රමය ඉවහල් වී තිබීම සුවිශේෂත්වයකි.

මේ වනවිට අපේ රටේ අහිමි කරමින් පවතින ඡන්ද අයිතිය, සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිය, නීතියේ ආරක්ෂාව ලැබීමේ අයිතිය වැනි මූලික අයිතිවාසිකම් රැක ගැනීමටත්, සමාජය බෙදා වෙන් කිරීමට හේතු වී ඇති ජනවාර්ගික ප්‍රශ්නය විසඳීමටත්, ජාතික බදු ප්‍රතිපත්තිය, අධ්‍යාපනය, සෞඛය, ප්‍රවාහනය, කෘෂිකර්මය, ධීවර කර්මාන්තය වැනි ක්ෂේත්‍රවල දැවෙන ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමටත් අවැසි නිවැරදි  දේශපාලන තීරණ ගැනීම සඳහාත් මෙම සංවිචාරණීය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය දැන් ලංකාවට අත්‍යවශ්‍ය නැද්ද?

ඉදිරියේ දී සියලු බාධක ජය ගෙන මැතිවරණයකින් ජනතාවාදී ආණ්ඩුවක් බිහි කළ හැකි වුවත්, ජනවාර්ගික ගැටළුව, අධ්‍යාපනය වැනි සංකීර්ණ ප්‍රශ්න විසඳීම සඳහා මෙම ක්‍රමය අත්‍යවශ්‍ය නැද්ද? එසේ නොකළ හොත් අලුතෙන් බිහි කරන ජනතාවාදී ආණ්ඩුව පෙරළා දමා දැනටත් වඩා අන්තවාදී දුෂ්ට පාලනයක් බිහි වීමේ අනතුරක් නැද්ද? 2015 ජනාධිපතිවරණයේ සිට ලැබෙන මැතිවරණ ප්‍රතිඵල, පෙර නොවූ විරූ ආන්තික ස්වභාවයක් ගන්නා බවත් පෙනෙන්නට තිබෙනවා නො වේ ද?

Print Friendly, PDF & Email

Leave a Reply